Labels

Tuesday, August 23, 2016

ගිහි ගෙය ගිනි ගෙයකි

ගිනි නම් කොතෙක්‌ බියකරුවූ ප්‍රපංචයක්‌ද? දයාව, කරුණාව. මෛත්‍රිය අනුකම්පාව එහි නැත. දෘඪතම රශ්මියකින් හෙබියාවූ එය ඒ අනුව ස්‌වකීය වූ ග්‍රහණයට හසුවූ සෑම සියලු දෙයක්‌ම දවා අළුකර දමන්නේය. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සදෙසා වදාළ පරිද්දෙන් සංසාර කතරේ අතරමංවූ සත්ත්වයාගේ සිතද එකම ගිනි ගොඩකි.
හුදෙක්‌ මේ ඒ එම සත්ත්වයින් අමාමහ නිර්වාණ ශාන්තිය සාක්‌ෂාත් නොකර ගත් නිසාය. එයින් සිත්වල කෙලෙස්‌ ගිනි සදාකාලිකව නිවා නොගත් නිසාය.

අප්‍රමාණ කෙලෙස්‌ ගිනිවලින් ගිනිගත් සිත් ඇති මිනිසුන් වාසය කරන නවාතැන්පල ගිහි ගෙදරය. සැබවින්ම ඒ ගෙදර ගිහි ගෙදරටත් වඩා ගිනිගත් ගෙයක්‌ ලෙසින් අර්ථ නිරූපණය කිරීම වඩාත් නිවැරැදිය. ඒ නොයෙක්‌ කෙලෙස්‌ නිසා උපන් අනන්ත දුක්‌ නමැති ගිනි පුළිඟුවලින් නිරන්තරයෙන් ඔවුන් දවන පසුබිමක්‌ ගිහි ගෙදර නිර්මාණයවී තිබෙන නිසාය.

ගිහිගෙදර දුක්‌ නමැති ගිනිවලින් වටලැවුණු නවාතැන්පලක්‌ වන්නේ කුමක්‌ නිසාද? මේ අන්දමට බැලීමේදී පෙනෙනනේ එය කෙලෙස්‌ සතුරන් නසන තැනකට වඩා කෙලෙස්‌ සතුරන්ට හැදෙන්නට වැඩෙන්නට ඉඩකඩ ලැබෙන පරිසරයක්‌ නිසා මෙසේ සිදුවී තිබෙන බවයි. ඒ අනුව පුද්ගලයාට ගිහි ගෙදරදී සෑම සියලු දෙයක්‌ම පෙනෙන්නේ මහත්වූ විසිතුරු සැටියකිනි. සරණ බන්ධනයකින් පසු බිළිඳකු හෝ බිළිඳියක ලැබීම දෙමහලු ඔවුනොවුන්ගේ නිම්හිමි නැති සතුටකට කාරණයක්‌ වන්නේය. එය සැබෑවකි සම්මා සම්බුදුරජාණන් වහන්සේද දේශනා කොට වදාළේ දරුවන් යනු දෙමව්පියන්ට ලැබිය යුතු සම්පතක්‌ බවයි. මේ ලෝ දහමේ එක්‌ පැත්තක්‌ පමණකි. එහෙත් මේ සෑම සම්පතකම තවත් ලෝකයා නොදකින පැත්තක්‌ද තිබේ. එය මේ මහා විශ්වයෙහි සකලවිධ වූ ජීව - අජීව වස්‌තුවකටම පොදුවූ සදාතනික ධර්මතාවයි. ඒ අනිත්‍යHයි. ළදරුවකු ඉතපදීම, ඔහු ක්‍රමයෙන් ළමා වියට පත්වී යොවුන් වයසද පසුකොට තරුණයකු බවට පත්වීම ගිහි ගෙදරකදී දරුවන් සතු දෙමව්පියන්ට මහත්වූ සංතුෂ්ටියට කාරණා වන දේය. එහෙත් ඊට යටින් සිදුවන අනිත් පැත්ත, පුහුදුන් ලෝකයා

නොදකින අනෙක්‌ පැත්ත කොතෙක්‌ නම් භයංකර වන්නේද? ඒ වනාහී අනිත්‍යතාව හා බැඳී ජීවිතයේ සියලු දේ හෙමි හෙමින් දිරායන්නට පටන් ගැනීමයි. නව

යොවුන් වියට පත්වූ තරුණයා මහලුවී ලෙඩ රෝගවලට ගොදුරුවී මියයාම මේ භයංකරත්වයෙහි අවසාන උපරිමයයි. මේ අතුරතුරදී ගිනිගත් ගිහි ගෙදරදී අප ඔබ කොතෙක්‌ විසිතුරු දේ ලබනවාද? ඒ හැම දෙයකටමත් මේ දෙය පොදුය. එනම් ජරාවාසවීම, සිඳී බිඳී විනාශවී යාම මේවා හා බැඳී පවතින සදාතනික වූ ලෝදහමයි.

පුහුදුන් මිනිසාට මේ හැම දෙයක්‌ම විඳ දරා ගැන්මට පිළිවන්ද? සැබවින්ම නොපිළිවන. තමා මහත් සේ ආශා කළ දේ තමන් කෙරෙන් ඈත්වී යන විට පෘතග්ජන සත්ත්වයෝ ළෙහි අත්ගසා ගනිති. හඬති. වැළපෙති. ජීවිතය තුරන් කර ගැනීමටද උත්සාහ ගන්නා අතර, අවසානයේ එහිද වැටී ගන්නෝනම් කොතෙක්‌ද? ආශා කිරීම, ඇළුම් කිරීම, ඒවා රැකගැන්මට උත්සාහ කිරීම, ඒ සියල්ලක්‌ම අසාර්ථකවූ තැනදී තම ජීවිතයට පවා වෛර කිරීම ආදී මේ සියලු දේම මොනවාද? ඇත්තෙන්ම ගිහි ගෙදර ජීවිතය වෙලාගත් දරුණුතම ගිනි දලු නොවේද? ගිහි ගෙදර බිලිගත් මේ ගිනි නිසා අනන්ත දුක්‌ තැවුල්වලට ගොදුරුවූවෝ සම්මා සම්බුදුරදුන් ධරමානකාලයෙහිද කොතෙක්‌ නම් සිටියෝද?

කිසා ගෝතමිය, රඡ්ජුමාලා, පඨාචාරා මේ එවැනි අයගෙන් කිහිප දෙනෙක්‌ පමණකි. ගිහි ගෙදර දී ගෙවිය යුතු යෑයි සිතූ සුන්දර ජීවිතයකට පිළිපන් කිසාගෝතමියට ලැබුණු බිළි¹ එතෙක්‌ මෙතෙක්‌ ඇයට ලැබුණු මහාර්ඝතම සම්පත බවට පත්වීය. එනමුදු ඒ බිළි¹ අනපේක්‌ෂිත ලෙස හදිසියේම මියගියේය. මරණය පිsළිබඳවත් කිසා ගෝතමිය පෙරකිසිම දිනයකදී අසා තිබුණේ නැත. එහෙයින් ඇයට එය තේරුම්ගත නොහැකි දෙයක්‌ බවට පත්විණි. කොතෙක්‌ කතා කළත් දරුවා කතා නොකළේය. සිනහ නොවුණේය. එයින් කිසාගෝතමිය බියගති. එය ඇයට දරාගත නොහැකිවිය. ඇය උමතු වූවාය. පඨාචාරවටද සිදුවූයේ ඇයට සිදුවූ

විපතට සමානවූ දෙයකි. ඇය ගිහි ගෙදරදී ඇළුම් කළ සියල්ලම ඇයට අහිමිවූයේ ඇය බලා සිටියදීමය. රඡ්ජුමාලාවට සිතේ සැනසිල්ල හා සහනය නැතිsවිය. මේ නැතීවීම් සියල්ලම අවසානයේදී ගිහිගෙය ගිනිගත් දෙයක්‌ බවට පත් කළ

ආකාරය කොතෙක්‌ නම් සාහසිකවීද? මේ කිසිම අනුකම්පාවක්‌ නැති අනවරාග්‍රවූ සංසාර මායාවේ හැටිය. අපසිතා ගෙනසිටින දේවල් ඒ

ආකාරයෙන් සිදු නොවන බව මේවායින් හොඳින්ම වටහාගත හැකිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ කොතෙක්‌ වැඩකළ අපූරු ගොවියෙක්‌ සිටියේය. ඔහු මුලින්ම තෙකෙහි දිය බැන්ඳේය. සීසෑවේය. වල් නෙළුවේය. බීජ වැපුරුවේය. ඒ සෑම අවස්‌ථාවකදීම සම්මා සම්බුදු රජාණන් වහන්සේද ඒ කෙත අසලින් වැඩම කළහ. ගොවියා සමග පිළිසඳරද කතා කළහ. කෙතෙහි අස්‌වැන්න නෙළාගත් පසු එහි කොටසකින් බුදුරජාණන් වහන්සේට ප්‍රනීත දනක්‌ දෙමියි ගොවියා ඉටා ගත්තේය. එහෙත් කෙත පැසී අස්‌වැන්න නෙළන්නට ඔන්න මෙන්න තිබියදී පෙරදා ඇතිවූ මහා වර්ෂාවකින් කෙත මෙන්ම අස්‌වැන්නද මුළුමනින්ම විනාශවී ගියේය. ගොවියාගේ සියලු බලාපොරොත්තු සුන්විණි. ඔහුට සිය සිත්හි ඇතිවූ ශෝකය උහුලාගත නොහැකිවිය. ඔහු සිය පැල්පතෙහි අබලන් යහනට වී දුකින වැතිර සිටියේය. බුදුරජාණන් වහන්සේ ඒ බව දිවැසින් දුටු සේක. ගොවියාගේ පැල්පතට වැඩම කළ සේක. එහිදී උන්වහන්සේ සදෙසා වදාළ බුදුබණ කෙතරම් සැනසිsදායක වීද? හොඳ හෝ නරක හෝ වේවා අපේක්‌ෂාව නැත්නම් බලාපොරොත්තුවද ගිහි ගෙයි ගිනිගෙයක්‌ නිර්මාණය කරන තවත් ගිනි පුළිඟුවක්‌ බව මෙහිදී ඒ සම්බුදු බණෙන් ඒත්තු ගැන්විණි. එහි අවසානය දුක,වේදනාව, පසුතැවීම හා කඳුළ පමණක්‌ බව මෙයින් වටහා ගැනීම අසීරු නැත.

එහෙයින් මේ සංසාරය යනු සත්ත්වයාට ගෝචර තැනක්‌ නොවේ. තවත් පැහැදිලි කරන්නේ නම් සංසාරය සත්වයාට සුදුසු, යහපත්වූ තැනක්‌ නොවේ. සංසාරයේ සියල්ලක්‌ම ස්‌ථිරසාරවූත්, පරම සුවදායකවූත් දැ නොවන්නේමය. එනම් එහි ඇති ජීව - අජීව වූ සියල්ලකටම කිසියම්වූ වලංගු කාලයක්‌ ඇත. ඒ කාලය ඉක්‌මවූ පසු ඒවායේ වටිනාකම නැතිවී යයි. අවලංගු වී යයි. ප්‍රතික්‌ෂේපවී යයි. බුදුපියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ රූපයෙන් උසස්‌වූ කාන්තාවක්‌ ජීවත් වූවාය. ඈ බුදුපියාණන්වහන්සේ බැහැ දැකීමටද පැමිණි අතර එහෙත් නිර්වාණගාමී ගමන පිsළිබඳවත්, සංසාර බිය පිළිබඳවත් ඈ තුළ කිසිදු හැඟීමක්‌ හෝ දැනීමක්‌ නොතිබුණේය. ඇය බුදුපියාණන් වහන්සේ සමගද කතාකරන්නට උත්සාහ කළේ රූපයේ වටිනාකම පිළිබඳවය. පින්වත් නැගෙණියනි, ඔබ ඔය නිතර කතා කරන්නේ කාලික වටිනාකමක්‌ තිබෙන දෙයක්‌ පිළිබඳවයි. ඒ අනුව ඔබේ ඔය රූපයට තිබෙන්නේ කාලික වටිනාකමක්‌. කාලය ඉක්‌මවා ගිය පසු එය අවලංගු වී යනවා. බුදුපියාණන් වහන්සේ වදාළ සේක.

ඉඳින් පින්වතුනි, මේ සංසාරයේ ඔබ ලබන රූපය පමණක්‌ නොව අනෙකුත් කවර වටිනාකමකින් යුත් කෙබඳු දෙයක්‌ වුවද කාලය ගෙවී ගිය පසු පසෙකට තල්ලුවී යන්නේය. කාටත් අප්‍රිය, අමනාප වූවක්‌ බවට පත්වන්නේය. මෙය පෘතග්ජනයාට ඉවසා දරා ගැනීමට නොහැකි වූවකි. ඔවුහු ඒක්‌ බලාපොරොත්තුවක්‌ බිඳ වැටෙන විට තවත් බලාපොරොත්තුවක්‌ ඇතිකර ගනිති. අසහනය හා දොම්නසින් පිරුණු සෑම සිතක්‌ පිටුපසම ඇත්තේ බිඳ වැටුණු බලාපොරොත්තුවකි. මෙය සංසාර ජීවිතය නමැති ගිනි ගෙයෙහි තව තවත් මොළවනු සමත් පෘතග්ජන වූ කෙලෙස්‌ බරිතයාගේ ලොකු දුර්වලතාවකි. මේ විපත තුළින් ඉවත් වන්නට උත්සාහ නොකළහොත්, ඉවත් නොවුණහොත් නැවත නැවතත් සංසාරයට ඇද වැටීමෙන් පෘතග්ජනයාට මුහුණපාන්නට සිදුවන සංසාරික අතවරවල සීමාවක්‌ පැනවිය නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මේ සඳහා බුද්ධකාලීන ශාසන ඉතිහාසයෙන්ම ගෙනහැර දැක්‌විය හැකි නිදසුන් අපමණ තිබේ. පූතිගත්තතිස්‌ස හාමුදුරුවන්ගේ කතා පුවත මේ අතරට ගත හැකි එක්‌ කතා පුවතකි. උන්වහන්සේ දුර ඈත ආත්ම භවයක මස්‌ වැද්දකු ලෙස උපත ලබා සිටි බව දැන ගන්නට ලැබේ. මේ මස්‌ වැද්දාගේ ප්‍රමුඛතම කාර්යය වූයේ කුරුල්ලන්ට උගුල් ඇටවීමය උගුල් අටවා ඔවුන් මරා මස්‌ කිරීමය. ඔහු සෑහෙන කාලයක්‌ මේ පවිටු ක්‍රියාව කරගෙන ගියේය. දෙවූ කිරි වහා නොමිදෙන්නාක්‌ ඒ ආත්ම භාවයේදී ඔහුට මුදල් හදල් ඕනෑ තරම් ගලාගෙන ආවේය. සුව පහසු ජීවනයක්‌ද ලැබුණේය. එනමුදු ගොනා පසුපස රියසක ගමන් කරන්නාක්‌ මෙන් එහි අකුසල විපාකය ඔහු අතහැර දැමුවේ නැත. එය විපාකදීමට අවස්‌ථාව බල බලා මස්‌ වැද්දා පසු පස්‌සේම හැම ආත්මභාවයක්‌ පාසාම ගමන් ගත්තේය. අවසානයේදී අර්හත්භාවය ලැබීමට සුදුසු ආත්මභාවයට පැමිණින. ඒ ආත්ම භාවයේදී මස්‌ වැදි තෙම පූතිගත්තතිස්‌ස නමින් සම්බුද්ධ ශාසනයට ඇතුළුවී සිටි අතර කුරුල්ලන්ට කළ අනන්ත වේදනා හේතුවෙන් ඇඟ සම්පූර්ණයෙන්ම කුණුවී වන වී ගියේය.

ඉඳින් බලන්න, ගිහිගෙය නම් වූ ගිනිගත් සංසාර නවාතැන්පළෙහි හැටිෘ ශ්‍රද්ධාවක්‌, ප්‍රඥවක්‌ අල්ප මාත්‍ර වශයෙන් හෝ නොබලා ඒ ඇතැම් දුෂ්ට අවාසනාවන්ත නවාතැන්පළට ඇද වැටුණු පසු සිදුවන භයංකාර විපත්වල තරම කළ යුත්ත, නොකළ යුත්ත, දහම, අදහම, පින-පව ගැන කිසිවක්‌ තේරුම් යන්නේ නැත. එවැනි ගිනිගත් නවාතැන් පළවල සිටින බොහෝ ඇත්තන්ට අවශ්‍යවන්නේ කෙසේ හෝ ජීවිතය පවත්වාගෙන යාම පමණකි.

මේ සෑම කෙනෙකුම තේරුම් ගත යුතු එක්‌ දෙයක්‌ ඇත. ඒ වූ කලී සෑම ක්‍රියාවකටම ප්‍රතිවිපාක වශයෙන් ලැබෙන ක්‍රියාවක්‌ද විශ්වය තුළ පවතින බවය. එය හොඳට හොඳය. නරකට නරකය.

මෙලෙසින් බැලීමේදී මේ අනන්ත දීර්ඝවූ සංසාරය තුළදී අවම වශයෙන් සෝවාන් මාර්ගයට වත් නොපිවිසී සිටින ඔබට කවර ආත්මභාවයක්‌ ලබා යළි ඉපදෙන්නට ලැබේදැයි කිව නොහැකිය. වැඩිපුර නිරය, තිරිසන්, ප්‍රේත හා අසුර ආදී අපායයන්වලය. ඒ හැර ගිහි ජීවිතයක්‌ ලබන මිනිසකුව ඉපදෙන්නට ලැබීමත් භාග්‍යයක්‌ය. නමුදු මේ ජීවිතය සසර සතිපට්‌ඨානය වැඩීම ආදී නිර්වාණයට අදාළ ප්‍රතිපත්තීන්හි පිහිටුවා කටයුතු කිරීමට උත්සුක නොවීමෙන් සත්වයාට සිදුවන සංසාරික හානිය මෙතෙකැයි කියා නම් කියන්නට බැරිය. එවැන්නකුගේ සංසාර ගමනත්, එමෙන්ම විඳින්නට තිබෙන දුක්‌ කන්දරාවත් දෙකක්‌ නොව එකක්‌මය. මේ තුළ සසරට ඇද වැටෙන සත්වයාට නිරන්තරයෙන් ජීවත්වෙන්නට සිදුවන්නේ දියෙන් ගොඩ දැමූ මත්ස්‍යය සේ බියෙන්මය. තැනි ගැන්මෙන්ය.

ගිනි ගත් ගෙයකින් නික්‌ම පලා යන්නකු සේ සියලු බැඳිම්වලින් අතමිදී ගොස්‌ සව් කෙලෙස්‌ නසා අරහත් බව පසක්‌ කර ගත් රහතන් වහන්සේලාට මේ ආදී වූ කවර නම් බියක්‌ද? උන්වහන්සේලාට බියක්‌ නැත්තේමය. ඒ මේ ජීවිතය තුළදී කළ යුතු සියල්ල සිදුකර අවසන් බැවිනි. එනම් ඒ අරහත් මුනිවරයන් වහන්සේලාට සිදු කරන්නට තවත් කිසිම දෙයක්‌ ඉතිරිවී නැත. එහෙයින් උන්වහන්සේලාට තුන් කල්හිම ඉතිරිවූ කිසිදු බලාපොරොත්තුවක්‌ද නැත. ඇත්නම් ඇත්තේ ඒ එකම බලාපොරොත්තුවක්‌ පමණකි. එය කුමක්‌දැයි එදා කොණ්‌ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළ මේ උදාන වාක්‍යයෙන් ඔබට මැනවින් පසක්‌කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

''මට දැන් මරණය ගැන අමුතු ආශාවක්‌ නැහැ. ජීවිතය ගැනත් අමුතු ආශාවක්‌ නැහැ. මාසෙ පඩිය බලාගෙන ඉන්න කෙනෙක්‌ වගේ මං මේ කල් බලාගෙන ඉන්නෙ පිරිනිවන් පාන්ටයි''.


සංවාද සටහන - සුගත් වීරසූරිය

2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment