Labels

Thursday, August 25, 2016

ශ්‍රේෂ්ඨ වන්නේ කවුරුන්ද?

ඉතා උසස් යැයි සම්මත බ්‍රාහ්මණ කුලය මෙන් ම ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යැයි කුමන නාමයකින් හැදින්වූවත් පස්පව් දස අකුසල් සිදු කරන පුද්ගලයෝ පාපකාරී පුද්ගලයෝමයි. යම් කෙනෙක් උසස් හෝ පහත් වන්නේ ඒ අයගේ කුසල්, අකුසල් ක්‍රියාවන් අනුව මිස සිතින් මවාගත් කුල පරම්පරාවෙන් නොවේ යැයි නිකිණි පුර පසළොස්වක පෝදා අප කතා කළ දීඝ නිකායෙහි පාථික වර්ගයට අයත් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් පැහැදිළි කළා. අද නිකිණි අව අටවක පෝදා තවදුරටත් මෙම සූත්‍ර දේශනාව පිළිබඳව කතා කරමු.
වාසෙට්ඨයෙනි, මේ සතර වර්ණයන් මෙසේ නුවණැත්තන් විසින් ගරහන ලද දහම්හි ද නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද දහම්හි ද කුෂ්ල ධර්මයන්හි ද ශුක්ල ධර්මයන්හි ද එනම් හොඳ දේ ද නරක දේ ද මෙසේ කුසලා කුසල ධර්මයන්හි මිශ්‍රව පවත්නා කල්හි බ්‍රාහ්මණ වර්ණයම ශ්‍රේෂ්ඨ යැයි අන්‍යයෝ හීන පහත් යැයි බ්‍රාහ්මණ වර්ණයම සුදු යැයි අනිකුත් වර්ණ කළු යැයි බ්‍රාහ්මණයෝ ම මහා බ්‍රහ්මයාගෙන් ඉපදුනා මහා බ්‍රහ්මයා විසින් මැවුවා. මහා බ්‍රහ්මයා විසින් දායාද කළ මහා බ්‍රහ්මයාගේ මුවින් උපන් ඖරෂ එකම පුත්‍රයෝ ජාතිය නම් බ්‍රාහ්මණයෝ පමණයි. ඔවුන්ගේ එම අදහස් ඒ වචන නුවණැත්තන් විසින් සඳහන් කළ දෙයක් නෙමෙයි. නුවණැත්තන් එය අනුමත කරන්නක් ද නොවේ. ඒ කුමක් නිසා ද වාසෙට්ඨයෙනි,
මෙය සතර වර්ණ අතුරින් කවරකට අයත් අයෙක් වුණත්, එනම් මේ සතර වර්ණයට අයත් කවර පුද්ගලයෙක් වුවත් යම් මහණෙක් රහත්ද? කෙලෙස් නැති කළාද? විෂයෙහි බඹසර තියෙනවාද? කරන ලද අවසන් කටයුතු ඇද්ද එනම් බඹසර රැක නිවන් පිණිස කළයුතු යමක් අවසන් කොට ඇත්තේ ද රහත් බවට පැමිණ සිටිනවාද? හැම ආකාරයෙන් ම සියලු භව බන්ධන නැතිකොට තියෙනවාද? මනා වූ ආකාරයෙන් අවබෝධයෙන් යුතුව කෙලෙස්වලින් සසරෙන් මිදුණේ ද? අන්න ඒ අයම ඒ පුද්ගලයාම හැම දෙනා අතුරෙහි ම අග්‍ර යැයි කියනු ලබනවා. එය ද අධර්මයෙන් නොව ධර්මයෙන්මයි. වාසෙට්ඨයෙනි, ධර්මයම එනම් සියලු ලෝකයන්හි ම මෙලොවෙහි ද? පරලොවෙහි ද? ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අදහස් පෙළ එදා භාරතීය සමාජයේ පැවතුණ කුල භේදයට, වර්ග භේදයට, වර්ණ භේදයට බොහෝ දෙනා සිතිවිලිවලින් ඇති කරගත්ත සංකල්ප සිතිවිලිවලට ලබාදෙන ලද ඉතාම හොඳ පිළිතුරකුයි.

එකම නාමයයි පවතින්නේ


බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද නිදසුනක් මෙහිදී අපට සිහිපත් කළ හැකියි. ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නම් වූ පංච මහා ගංගා ගලාගෙන අවුත් මහා සාගරයට වැටුණායින් පසුව ඒ ගංගාවල පෙර නාමය අත්හැරෙනවා. ඊට පසුව හඳුන්වන්නේ මහා සාගරය යන නම පමණයි. ඒ මහා සාගරයේ පවතින්නේ එකම ලුණු රසය පමණක්මයි. කුමන කුලයකින්, වංශයකින් පැමිණ පැවිදි වූවත් මේ බුදු සසුනට ඇතුළත් වූ පසුව හඳුන්වන්නේ එකම නාමයකිනි. එනම් ගෞතම ශ්‍රාවක හෝ බුද්ධ ශ්‍රාවක යන නාමයෙන් පමණක්මයි. පිරිසුදු වූ බුද්ධ වචනය අනුගමනය කරන ඕනම කෙනෙකුට සිතා ගත හැකියි, සමාජය මොන ආකාරයකින් භේදයන් සාදාගෙන සිටියත් පස්, පව්, දස අකුසල් කරන හැම පුද්ගලයෙක් ම පාපී පුද්ගලයෙකි. ඕලාරික අකුසල් සිදු කරන පුද්ගලයෙකි. ඔහු හෝ ඇය මෙලොව වගේ ම පරලොවත් පිරිහෙනවා.
යම් කෙනෙක් මොන සමාජ සම්මතයකට අයිති වුණත් පස් පව් දස අකුසල්, වලින් බැහැර වී දස කුසල් මාර්ගයට යොමු වී සිටින්නේ නම් ඔහු හෝ ඇයම උසස් කෙනෙකි. සැබෑම බුද්ධ ශ්‍රාවකයෙකි. ශ්‍රාවිකාවකි. ගෞතම ශ්‍රාවකයෙකි. ශ්‍රාවිකාවකි. මෙලොව පරලොව දෙලොව ජීවිතයම දිනාගත් අයෙක් ම වන්නේ ය.

ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි


බුදුරජාණන් වහන්සේ නැවතත් මෙසේ සඳහන් කරනවා. වාසෙට්ඨයෙනි, මේ ලෝකයේදීත්, පරලෝකයේදීත් ජනයා මැද ධර්මයම ශ්‍රේෂ්ඨවන නිසා මේ කරුණු සියලුදෙනාම දැනගත යුතුයි. එනම් මෙලොව හෝ පරලොව ගැන සිහිපත් කරන කොට සියලු ජනයා විසින් මේ ශ්‍රේෂ්ඨ වූ ධර්මය මෙන්න මේ ආකාරයෙන් කරුණු තේරුම්ගත යුතුයි.
වාසෙට්ඨයෙනි, පසේ නදී කොසොල් රජතුමා ගෞතමයාණන් වහන්සේ හඳුනාගෙන තියෙන්නේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ඉතා උත්තරීතර කෙනෙක් හැටියටයි. වාසෙට්ඨයෙනි, කපිලවස්තු ජනපදයේ ශාක්‍ය වංශිකයෝ පසේ නදී කොසොල් රජු කෙරෙහි ආදරය දැක්වීම ද දැක ආසනයෙන් නැගී සිටීම ද දෑත්් එක් කර වැඳීම ද සිදු කරනවා. ගෞරව සම්මාන ද කරනවා. එබඳු සැලකුම් ලබන කොසොල් රජතුමා පවා තථාගතයන් වහන්සේ කෙරෙහි ආදර දැක්වීම ද දැක ආසනයෙන් නැගී සිටීම ද ඇඟිලිබැද නමස්කාර කිරීමද, ගෞරව සම්මාන වතපිළිවෙතෙහි යෙදීම ද සිදු කරනවා. එනම් තථාගතයන් වහන්සේට කොසොල් රජතුමා සියලු ගෞරව සිදු කරනවා.
වාසෙට්ඨයෙනි, ගෞතමයන් වහන්සේ මනාව උපන් සූජාත කෙනෙක්. මම එසේ නොවේ කියා හෝ ගෞතමයන් වහන්සේ බලසම්පන්න කෙනෙක් ද? මම එසේ නොවේ කියා හෝ ගෞතමයන් වහන්සේ දැකුම්කළු යි මම එසේ නොවෙමියි කියා හෝ ගෞතමයන් වහන්සේ යසසින් යුක්තයි මම එසේ නොවේ කියා හෝ ගෞතමයන් වහන්සේ මහේශාක්‍ය කෙනෙක්ද මම එසේ නොවේ ද කියා කොසොල් රජතුමා ගෞතමයන් වහන්සේට දෑගිලි එක් කොට වන්දනා කරනුයේ. වාසෙට්ඨයෙනි, කොසොල් රජතුමා මේ ආකාරයෙන් සළකන්නේ ධර්මයට නේද? මේ ආකාර සම්මාන ගරු බුහුමන් හැම දෙයක් ම ලැබෙන්නේ ධර්මය නිසා ම නේද? ඔබ සිතා බලන්න වර්තමානයේ වූව ද ඔබට යම්කිසි කෙනෙක් සත්කාර සම්මාන කරනවා ද ගෞරව දක්වනවා ද ඒ ඔබ ධර්මයේ හැසිරිලා ඇති කරගත් ගුණධර්ම නිසා නොවෙයි ද? තථාගතයන් වහන්සේ වදාළා වාසෙට්ඨයෙනි, මෙලොවදීත් පරලොවදීත් මේ ලෝකයේ සත්ත්වයන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ උතුම් වන්නේ ධර්මයමයි.
වාසෙට්ඨයෙනි, නුඹ නා නා ජාතීන්ට අයත් වන්නා වූ නා නා ග්‍රෝතයන්ට අයත් වන්නා වූ නා නා කුලයන්ට අයත් වන්නා වූ ගිහියන්ගෙන් නික්මිලා පැවිදි වූ අයෙක් නුඹ කවුද කියලා යම් කෙනෙක් අහනවානම් අප ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන් වහන්සේලා යැයි පිළිතුරු දෙන්න.

නොසැලෙන ශ්‍රද්ධාව


වාසෙට්ඨ, තථාගතයන් කෙරෙහි යමෙකුගේ ශ්‍රද්ධාව නොසැලී පිහිටනවා නම් මුල් බැසගෙන තිබෙනවා නම් එය මහණකු, බමුණකු හෝ දෙවියකු හෝ මාරයකු හෝ බ්‍රහ්මයකු හෝ ලොව කිසිදු කෙනෙකු විසින් සෙලවිය නොහැකිය. ඒ ආර්ය ශ්‍රාවකයා විසින් මම භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන් ධර්මයෙන් නිර්මිත වූ ධර්මයට දායාද වූ ඖරෂ පුත්‍ර වෙමි. එනම් හදවතෙහි ම ධර්මානුකූලවම පිළිවෙත් මගෙහි උපන් පුත්‍රයෙක් වෙමි.
ඔවුහු විසින් මේ වචන කියනු සුදුසුය. ඒ කවර හෙයින් ද? වාසෙට්ඨයෙනි, ධර්ම කායි යනු ද බ්‍රහ්මකායි යනු ද ධර්ම භූත යනු ද බ්‍රහ්ම භූත යනු ද මේ හැම තථාගතයන් වහන්සේට නමකි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව අප කිසිවිටකවත් ගිහි හෝ පැවිදි ජීවිතයක උපතේ ස්වභාවය අනුව එක එක වර්ගයාට හෝ ජාතියකට හෝ කුලයකට හෝ බෙදී නිවන් මගෙහි පිළිවෙත් මාර්ගයෙහි ගමන් කළ නොහැකි බව ඉතාම පැහැදිළියි. යම් කෙනෙක් එවැනි භේද සිත්හි දරාගෙන නිවන් මඟ අරමුණු කරන්නට සුදානම් වන්නේ නම් ආරම්භ කරන ලද තැනම ඔවුහු හෝ ඇය නතරවන්නේය. එනම් සියල්ල අත්හරින්න උගන්වන මේ ආර්ය ධර්ම මාර්ගයෙහි තණ්හා මද මාන දෘෂ්ඨීන්ට බැඳ ගන්නා වූ වර්ග භේදය හෝ කුල භේදය හෝ යම් වූ ද භේදයක් සිත්හි පවත්වාගෙන මේ මාර්ගයේ ගමන් කළ නොහැකිය නිසාය.

මෙහි දී සඳහන් කළ යුතු කරුණක් තිබේ යම් රටක සම්මුතිය අනුව උපතින් ජාතියක් හිමිවිය හැකියි. එම ජාතිය වෙනුවෙන් දියුණුව වෙනුවෙන් කටයුතු කළ හැක්කේ අන් කිසිදු වර්ගයකට හෝ පිරිසකට විපතක්, භේදයක් අසාධාරණයක් නොවන ආකාරයෙනි. තවත් තැනක යම් කෙනෙකුගේ සිතේ පවතින්නේ තම කුලය පිළිබඳ වර්ගය පිළිබඳව මානයක් පමණකි. තමා උසස් බවත් අන් අය පහත් බවත් මානයක් සිතේ දරාගෙන ඔවුන් ඇසුරු නොකිරිම ඔවුන්ට ගරු නොකිරීම ඔවුන් හා ආහාර නොගැනීම ඔවුන් වසන ප්‍රදේශයක වාසය නොකිරීම තම නිවහනට ඔවුන්ට පැමිණෙන්නට ඉඩ නොදීම ධර්මය අනුගමනය කරනවා යැයි කියමින් මානයෙන් යුතුව එවැනි අයට තමන් හා සමගින් පිළිවෙත් පුරන්නට ඉඩ නොදීම මේ සියල්ලම තථාගතයාණන් වහන්සේ පෙන්වා දෙන නිවන් මඟ අරමුණු කරගත් ආර්ය මාර්ගයට පටහැනි බව මෙහි දී ඉතාම පැහැදිලියි.





බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment