ව්‍යාපාද සංකප්ප, ඒ කියන්නේ මෛත්‍රී සිතිවිලි, ද්වේෂයට ප්‍රතිවිරුද්ධ සිතිවිලි, ඊළඟට අවිහිංසා සංකල්ප, හිංසාවෙන් ඉවත්වෙලා අවිහිංසාව පුරුදු කරන්න.
කිසිම සත්ත්වයෙකුට හිංසාවක් නොවේවා කියන සිතිවිලි. මෙන්න මේ සිතිවිලිවලට කියනවා සම්මා සංකප්ප කියලා. ඒ සිතිවිලි අනුසාරයෙන් ඒ තැනැත්තාගේ වචනත් ඊළඟට වෙනස් වෙනවා. ඒ වචන තමයි අර බොරු කීම්, කේළාම් කීම්, පරුෂ වචන කීම්, නිශ්ඵල වචන දෙඩීම් යන ඒවායින් ඉවත් වෙන්න ඒ තැනැත්තා උත්සාහ කරනවා. ආජීවක අෂ්ඨමක සීලයේ මේ ගැන කියවෙනවා. ඊළඟට ඒ හොඳ වචන කතා කරන අතරේ ඒවායින් වෙන් වෙලා සත්‍ය වචන, අනෙක් අය සමඟ කතා කරන වචන, ඒ වගේම අර්ථවත් වචන ඒ විදියට පාවිච්චි කරනවා නම් මෘදු මොළොක් වචන භාවිතා කරනවා නම්, ඒ තැනැත්තා ඊළඟට කල්පනා කරනවා. මගේ වචන හැටියට මගේ වැඩත් තියෙන්න ඕන කියලා. අර ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර කියන වැරැදිවලිනුත් ඈත් වෙනවා. අන්න ඒ වගෙයි අර තමන්ගේ දිවි පැවතුම් පිළිබඳව උත්සාහවත් වෙන පින්වතාගේ චිත්ත සන්තානයේ ඇති වෙන ඒ විශාල පෙරළිය.
විශාල පරිවර්තනය, ඒ විශාල වීර්යය, උත්සාහය, ප්‍රයත්නය නිසා ඒ තැනැත්තා තුළ ක්‍රම ක්‍රමයෙන් වටිනා ගුණයක්, ඉතාම දුර්ලභ ගුණයක් ඇති වෙනවා සම්මා සතිය කියලා. නියම සිහිය, නියම සිහි කෙරුම.
හරියට සිහිය මතු වෙනකොට ඒකට යොමු වෙන්නේ, ඒ ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට සතර සතිපට්ඨානයයි. මේ ශරීරයේ ස්වභාවය ගැන සිතන්න පටන් ගන්නවා මේ ශරීරයේ ඇති වන වේදනාවන් ගැන, මේ හිතේ ස්වභාවය ගැන, සිතට එන, ඇති වන - සිතිවිලි ගැන, මෙන්න මේවා පිළිබඳව. මේකයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතර සතිපට්ඨානය තමයි නිවනට ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය, නොවරදින මාර්ගයත්, ඒ සතර සතිපට්ඨානයයි. එතකොට ඒ සතිපට්ඨානය වැඩීම තුළින් ඊළඟට යම් කෙනෙකු තුළ සුළු වෙලාවක් ඒ සිහිය පවත්වා ගන්න ශක්තිය ලැබුණා නම් ඒක ක්‍රම ක්‍රමයෙන් ඒ වෙලාව වැඩි කරන කොට ඒ තැනැත්තාට යම්කිසි සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඒ තැනැත්තාගේ සිත තැන්පත් කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදියට හරි සිත් එකඟ කෙරුම් තුළින් සිත එකඟ කරගන්න පුළුවන් වෙනවා. යම්කිසි කර්මස්ථානයක් තුළ එයින් කෙරෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයයි. අප මේ කාලයේ වචනයක් යොදනවා. ‘පෞරුෂය’ කියලා කෙනෙකුගේ ජීවිතය පිළිබඳව අදහස පෙන්නුම් කරන්න. ‘පෞරුෂය’ කියලා කියනවා. පෞරුෂය කියන එක මතු වෙන්නේ ඔන්න ඔතනදී. හරියට අර චෛත්‍යයක් හදන්න පටන් ගෙන කොත පැළැන්දුවාම වගේ සම්මා සමාධිය යම්කිසි සන්තානයක ඇති වුනා නම් ඒ තැනැත්තාගේ පෞරුෂය ඒකාග්‍ර වෙනවා. අන්න ඒ තත්ත්වයටපත්වීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීම කියලා කියන්නේ.
යම්කිසි කෙනෙක් ලෝකෝත්තර වශයෙන්, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා නම් ඒ තැනැත්තාට එතනම නිවනයි. මේ ධර්ම මාර්ගය කොයි තරම් පුදුමද කියතොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා, මේ ස්වාක්ඛාත වූ ධර්මය, සන්දිට්ඨිකයි අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි’ කියලා. ඒ කියන්නේ මේ මැනවින් දේශනා කරන ලද ධර්මය. ධර්ම ප්‍රතිපත්ති, ඒවා නොසිස් ප්‍රතිපත්ති ඇති ඒවා. ‘හරියට ආනිසංස දෙන නොවරදින ප්‍රතිපත්තියක් ඇති ධර්මයක් මේ. අන්න ඒක නිසා ඒක ස්වාක්ඛාතයි. සන්දිට්ඨික කියලා කියන්නේ. මේක එදිනෙදා ජීවිතයේ තමන්ට මෙලොවම ඇස් පනාපිටම ඒවායේ ප්‍රතිඵල දකින්නට පුළුවන් වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ‘ථොක ථොකං ඛණෙ ඛණෙ’ කියලා, ප්‍රකාශ කළ ආකාරයට, ටිකෙන් ටික, හෙමින් හෙමින් හරි පටන් ගෙන ඒ කරන කරන ප්‍රමාණයට ආනිසංස තියෙනවා. ඊළඟට ඒ වගේ ම තමයි අකාලික ධර්මතාව අනුව විපාක දෙනවා. අර විශේෂයෙන් අප ප්‍රකාශ කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනකොට එතනම නිවනයි. ආයිත් වෙන කෙනෙක් ඇවිල්ලා දැන් සම්පූර්ණ කරාද, ඔන්න එහෙම නම් මම නිවන දෙනවා කියලා, කරන්න දෙයක් නැහැ. ඒකයි මේ ධර්මයේ අකාලික බව.
ඊළඟට ඒහිපස්සික කියලා කියන්නේ ‘එව, බලව, කියනවා. ධර්මයමයි. මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නැහැ. ‘එන්න බලන්න’ කියලා. බොහෝ විට ඔය වෙළෙන්දන් එහෙම පදික වේදිකාවල ‘එන්න බලන්න’ කියලා ආරාධනා කරනවා. ඒ විදියේ දෙයක් නෙවෙයි බුදුපියාණන් වහන්සේ මෙතන මෙහි දක්වලා තියෙන්නේ. ධර්මයයි මේ ‘එන්න, බලන්න’ කියලා. මේ මා මෙහෙම ක්‍රියාවට නගලා බලන්න, මෙහි ප්‍රතිඵල තිබෙනවාද කියලා. අන්න ඒ අදහසයි ඒහිපස්සික කියලා කියන්නේ. ‘එව බලව‘ කියන එක. ඒ වගේ ම ඕපනයික කියලා කියන්නේ, එකින් එකකට ඇදගෙන යන ශක්තියක් තිබෙනවා. අප අර කිව්ව මහ මුහුදේ උපමාව අනුව, එකින් එකට ඇදගෙන යනවා. එකින් එකට ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. ඒක, පඩි පෙළක් නගින කොට එකින් එකට සම්බන්ධතාවක් තිබෙනවා වගේ, ඒ නිසා ම මේ ධර්ම මාර්ගයේ යම් තැනකින් ආරම්භ කළා නම්, හරියට ආරම්භ කළා නම්, හරියාකාර ආරම්භයක් කළා නම්, එතන ඉඳලාම ඒ තැනැත්තාට දියුණුව තිබෙනවා. නිකම්ම නොවේ එහි යෙදෙනවා නම්.
අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ එයින් පෙන්නුම් කරන්නේ ඒහිපස්සික, ඕපනයික, ගුණ ඊළඟට පච්චත්තං’ වේදිතබ්බෝ විඤ්ඤුහි නුවණැති පුද්ගලයින්ට අමුතුවෙන් කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ, තමන්ටම ඒක ක්‍රියාවට නගලා, තමන්ටම ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵලයක් තිබෙනවාද මේ සංසාරය කෙළවර කරගන්න පුළුවන්ද, මෙලොවදීම ඒ ‘දිටේඨව ධමේම’ කියන ආකාරයට මෙලොවම, ඒ නිවන් සුවය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද? බැරිද? කියන එක කරලාම බලන්න ඕන. අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ මෙතන දේශනා කර වදාළා. එතකොට මේ ගිහි පින්වතුන්ට තමන්ගේ ගිහි භාවය නිසා හෝ මේ ධර්ම මාර්ගය ගැන පසුබට වෙන්න කිසිම හේතුවක් නැහැ. අතීතයේ දී බුද්ධ කාලයේ පවා, අනාථ පිණ්ඩිකාදීන් ඔය මේ කාලයේ ධනවතුන් ගැන කල්පනා කරනකොට ඊට වඩා සිය දහස් ගුණයක් විශාල ධනයක් ඇති කෙනෙක් අනාථ පිණ්ඩික සිටාණන්, නමුත් සෝවාන් උපාසකයෙක්. ඒ තැනැත්තාගේ, ඒ උපාසකතුමාගේ දූ දරුවන් පවා මාර්ග ඵල අවබෝධය ලැබුවා. විශාඛා මහා උපාසිකාව, ඊළඟට චිත්ත ගෘහපති, හත්ථක ආලවක ආදී ඒ ගිහි නාම රාශියක් තියෙනවා. ඒ මාර්ග ඵල අවබෝධය ලැබූ අය අතර වූවන්.
ඒ පින්වතුන් නිකම්ම නෙවෙයි කාලය ගත කළේ නියම ධර්ම මාර්ගය හැම අවස්ථාවකදීම යොදා ගත්තා. බුදුපියාණන් වහන්සේ සමඟ ධර්මය සාකච්ඡා කරනවා. බණ භාවනාවල යෙදෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි ජීවිතය ගෙවුවේ. අන්න ඒ විදියට ජීවිතය සාර්ථකව ගෙන යන බෞද්ධ පින්වතුන්ට පුළුවන් මේ ධර්ම මාර්ගයෙන් අදත් ප්‍රතිඵල නෙළාගන්න. අන්න ඒක නිසා මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන, දැන් අද විශේෂයෙන් ම තම තමන්ගේ ජීවිතයේ තිබෙන වැඩ කටයුතු ආදිය නිසා මේ කාලයේ දී බොහෝ දෙනා පසුබට වෙනවා. මේ වැඩ කටයුතුවලට කාලය සොයා ගැනීම පිළිබඳ වූ ගැටළුවයි බොහෝ දෙනා කියන්නේ. ඒ වගේ ම ඒ නිසාම ප්‍රමාදයට වැටෙනවා.
පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් විද්‍යායතනයේ
විහාරාධිකාරී
දර්ශනපති
පුස්සැල්ලයායේ චන්දිම හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 10 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment