Labels

Thursday, August 25, 2016

සම්මා දිට්‌ඨිය සැරියුත් හිමියන්ගේ වදනින්


මඡ්ධිම නිකායේ සම්මා දිට්‌ඨි සූත්‍රයට අනුව සම්මා දිට්‌ඨිය පහත පරිදි සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරයි.

අකුසලය දනී ද අකුසල මූලය දනී ද, කුසලය දනීද, කුසල මූලය දනීද එය සම්මා දිට්‌ඨියයි. අකුසලය ලෙස ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුනාවාචා, පරුසාවාචා, සම්පප්ප්‍රලාප, අභිද්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය දක්‌වයි. අකුසල මූලය වන්නේ ලෝභ දෝස මෝහයි. කුසලය වන්නේ ඉහත අකුසලයන්ගෙන් ඉවත් වීමයි. කුසල මූලය වන්නේ අලෝභ අදෝස අමෝහයි.
එමෙන්ම තවත් ආකාර කීපයකින් පහත ලෙස සම්මා දිට්‌ඨිය ඉදිරිපත් කරයි.

* ආහාරය දනීද, එහි සමුදය දනීද, එහි නිරෝධය දනී ද, එමෙන්ම නිරෝධගාමිණී පටිපදාව දනී ද, එය සම්මා දිට්‌ඨියයි. සිතේ ආහාර වන්නේ කබලීංකාර ආහාර සතර මහා ධාතුන්ගෙන් සෑදුණ මනබඳනා රූපයයි. අප ගන්නා ආහාරත් අන්තර්ගත වේ. ඵස්‌ස ආහාර- මනවඩනා රූපය ස්‌පර්ශයෙන් ඇතිවන සුඛ, දුක්‌ඛ, උපේක්‌ඛා වේදනා වේ. මනෝසඤ්ෙච්තනා ආහාර - මනට යොමුකරන සංඥාවට අගයක්‌ ලබාදී ෙච්තනා ඇතිකිරීමයි. විඤ්ඤාණ ආහාර - රූප වේදනා සංඥා සංඛාර පිළිබඳව දැනුවත්වීම තුළින් ඒවා නිත්‍ය ලෙස ගැනීමයි. ආහාර වලට හේතුව වන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව නැති කිරීමෙන් ආහාර නැතිවේ. තෘෂ්ණාව නැතිකිරීමේ ප්‍රතිපදාව වන්නේ අරිඅටඟි මගයි.

* දුක දනීද, එහි සමුදය දනී ද, එහි නිරෝධය දනී ද, එහි නිරෝධගාමිණී පටිපදාව දනී ද, එය සම්මා දිට්‌ඨියයි. දුක වන්නේ ඉහත කී දුක්‌ සියල්ලයි. එනම් ජාති ජරා ව්‍යාධි ආදී දුක්‌. දුකට හේතුව වන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව නැති කිරීම නිර්වාණයයි. තෘෂ්ණාව නැතිකිරීමේ ප්‍රතිපදාව වන්නේ අරිඅටඟ මගයි.

* ජරා මරණ දනී ද, එහි සමුදය දනීද, එහි නිරෝධය දනී ද, එහි නිරෝධගාමිණී පටිපදාව දනී ද එය සම්මා දිට්‌ඨියයි. ජරා ධර්මය ලෙස දිරිමක්‌, දිරණ බවක්‌, කැඩුන බවක්‌, කෙහෙ පැසුණ බවක්‌, හම රැළි වැටුණ බවක්‌, ආයුෂ පිරිහීමක්‌, ඉන්ද්‍රියයන්ගේ දුර්වල වීමක්‌ ඇත්ද එය ජරාවට යාමයි. මරණ ධර්මය ලෙස චුත වීමක්‌, චුතවන බවක්‌, භේදයක්‌, අතුරුදන්වීමක්‌, මරණයක්‌, කාලක්‍රියාවක්‌, ස්‌කන්ධයාගේ බිඳුමක්‌, ශරීරය බහා තැබීමක්‌ වේ නම්, එය මරණ ධර්මයයි. ජරා මරණ වලට හේතුව වන්නේ ජාතියයි. ජාති (ඉපදීම) නැසීමෙන් ජරා මරණ නැතිවේ. මේ සඳහා අරිඅටඟි මගම භාවිත කළ යුතුයි.

* ජාති (ඉපදීම) දනී ද, එහි සමුදය දනී ද, එහි නිරෝධය දනී ද, එහි නිරෝධගාමිණී පටිපදාව දනීද, එය සම්මා දිට්‌ඨියයි. ජාති ලෙස අසම්පූර්ණ ඉපදීමක්‌, පරිපූර්ණ ඉපදීමක්‌, අණ්‌ඩකෝෂ වස්‌තිකෝෂයන්ට පිවිසීම් වශයෙන් පිළිසිඳ ගැනීමක්‌, සංසේදජ, ඕපපාතික වශයෙන් ප්‍රකටව නිපදීමෙක්‌, ස්‌කන්ධයාගේ පහළවීමක්‌, ආයතනයන්ගේ ලැබීමක්‌ වේ. ඉපදීමට හේතුව වන්නේ භවයයි. භවය නැති කිරීමෙන් ජාති නැතිවේ. මේ සඳහා අරිඅටඟි මගම භාවිත කළ යුතුය.

* භවය දනීද, එහි සමුදය දනී ද, එහි නිරෝධය දනීද, එහි නිරෝධගාමිණී පටිපදාව දනී ද, එය සම්මා දිට්‌ඨියයි. භවය ආකාර තුනකි. එනම් කාම භව (සතර අපාය, මනුෂ්‍ය ලෝකය සහ දිව්‍ය ලෝක), රූප භව (රූපාවචර බ්‍රහ්ම ලෝක) සහ අරූප භව (අරූපාවචර බ්‍රහ්ම ලෝක) වේ. භවයට හේතුව වන්නේ උපාදානයයි. උපාදානය නැති කළ විට භවය නැතිවේ. මේ සඳහාද අරිඅටඟි මග ම භාවිත කළ යුතුය.

* උපාදානය දනී ද, එහි සමුදය දනී ද, එහි නිරෝධය දනීද, එහි නිරෝධගාමිණී පටිපදාව දනී ද, එය සම්මා දිට්‌ඨියයි. උපාදාන හතරකි. එනම් කාමුපාදාන - කාමය දැඩිව ගැනීමයි, සීලබ්බතුපාදාන - සීලය දැඩිව ගැනීමයි, දිට්‌ඨුපාදාන-බුද්ධ වචනයට පටහැනි වෙනත් මත දැඩිව අල්ලා ගැනීමයි, අත්තවාදුපදාන-මම මගේ යන්න අල්ලා ගැනීම. උපාදානයට හේතුව වන්නේ තණ්‌හාවයි. තණ්‌හාව නැති කිරීමෙන් උපාදානය නැති වේ. මේ සඳහාද අරිඅටඟි මගම භාවිත කළ යුතුය.

* තණ්‌හාව දනී ද, එහි සමුදය දනීද, එහි නිරෝධය දනී ද, එහි නිරෝධගාමිණී පටිපදාව දනී ද, එය සම්මා දිට්‌ඨියයි. තණ්‌හාව මෙහි හය ආකාරයක්‌ දක්‌වයි. එනම් රූප තණ්‌හා, ශබ්ද තණ්‌හා, ගන්ධ තණ්‌හා, රස තණ්‌හා. ස්‌පර්ශ තණ්‌හා, ධම්ම තණ්‌හා වේ. තණ්‌හාවට හේතුව වන්නේ වේදනාවයි. වේදනා නැති කිරීමෙන් තණ්‌හාව නැති වේ. මේ සඳහා ද අරිඅටඟි මගම භාවිත කළ යුතුය.

* වේදනාව දනී ද, එහි සමුදය දනී ද, එහි නිරෝධය දනී ද, එහි නිරෝධගාමිණී පටිපදාව දනීද, එය සම්මා දිට්‌ඨියයි. වේදනාවද මෙහි හය ආකාරයක්‌ දක්‌වයි. එනම් චක්‌ඛු සම්ඵස්‌සයෙන් වන වේදනා, සෝත සම්ඵස්‌සයෙන් වන වේදනා, ඝාණ සම්ඵස්‌සයෙන් වන වේදනා, ජිව්හා සම්ඵස්‌සයෙන් වන වේදනා, කාය සම්ඵස්‌සයෙන් වන වේදනා, මනෝ සම්ඵස්‌සයෙන් වන වේදනා, වේ. වේදනාවට හේතුව වන්නේ ඵස්‌සයි. ඵස්‌සය (ස්‌පර්ශය) නැති කිරීමෙන් වේදනාව නැති වේ. මේ සඳහාද අරිඅට මගම භාවිත කළ යුතුය.

* ඵස්‌සය (ස්‌පර්ශය) දනීද, එහි සමුදය දනීද, එහි නිරෝධය දනීද, එහි නිරෝධගාමිණී පටිපදාව දනීද, එය සම්මා දිට්‌ඨියයි. ස්‌පර්ශය මෙහි හය ආකාරයක්‌ දක්‌වයි. එනම් චක්‌ඛු සම්ඵස්‌සය, සෝත සම්ඵස්‌සය, ඝාණ සම්ඵස්‌සය, ජිව්හා සම්ඵස්‌සය, කාය සම්ඵස්‌සය, මනෝ සම්ඵස්‌සය වේ. ස්‌පර්ශයට හේතුව වන්නේ සළායතනයි. සළායතන නැති කිරීමෙන් ස්‌පර්ශය නැති වේ. මේ සඳහා ද අරිඅටඟි මගම භාවිත කළ යුතුය.

* සළායතන දනීද, එහි සමුදය දනීද, එහි නිරෝධය දනීද, එහි නිරෝධගාමිණී පටිපදාව දනීද, එය සම්මා දිට්‌ඨියයි. සළායතන හයකි. එනම් චක්‌ඛායතන, සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන යන හයයි. සලායතන වලට හේතුව වන්නේ නාම-රූපයි. නාම-රූප නැති කිරීමෙන් සළායතන නැති වේ. මේ සඳහා ද අරිඅට මගම භාවිත කළ යුතුය.

* නාම-රූප දනී ද, එහි සමුදය දනී ද, එහි නිරෝධය දනීද, එහි නිරෝධගාමිණී පටිපදාව දනීද, එය සම්මා දිට්‌ඨියයි. නාම-වේදනා, සංඥා, ෙච්තනා, ඵස්‌ස, මනසිකාර වේ. රූප යනු සතර මහා භූතයන්ගෙන් හටගත්තා වූ දෙයයි. නාම-රූප වලට හේතුව වන්නේ විඤ්ඤාණයයිs. විඤ්ඤානය නැති කිරීමෙන් නාම-රූප නැති වේ. මේ සඳහා ද අරිඅටඟි මගම භාවිත කළ යුතුය.

* විඤ්ඤාණය දනීද, එහි සමුදය දනීද, එහි නිරෝධය දනීද, එහි නිරෝධගාමිණී පටිපදාව දනීද, එය සම්මා දිට්‌ඨියයි. විඤ්ඤාණය මෙහි හය ආකාරයක්‌ දක්‌වයි. එනම් චක්‌ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය වේ. විඤ්ඤාණයට හේතුව වන්නේ සංඛාරයි. සංස්‌කාර නැති කිරීමෙන් විඤ්ඤාණය නැති වේ. මේ සඳහාද අරිඅටඟ මගම භාවිත කළ යුතුය.

* සංඛාර දනී ද, එහි සමුදය දනී ද, එහි නිරෝධය දනී ද, එහි නිරෝධගාමිණී පටිපදාව දනී ද, එය සම්මා දිට්‌ඨියයි. සංඛාර තුන් ආකාරයක දක්‌වයි. එනම් කාය සංඛාර- ආස්‌වාස ප්‍රස්‌වාසයයි, වචී සංකාර- විතක්‌ක විචාරයි, චිත්ත සංකාර- සංඥා සහ වේදනා වේ. සංඛාර වලට හේතුව වන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව නැති කිරීමෙන් සංඛාර නැති වේ. මේ සඳහාද අරිඅටඟි මගම භාවිත කළ යුතුය.

* අවිද්‍යාව දනී ද, එහි සමුදය දනී ද, එහි නිරෝධය දනී ද, එහි නිරෝධගාමිණී පටිපදාව දනීද, එය සම්මා දිට්‌ඨියයි. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නොදැනීමයි. අවිද්‍යාවට හේතුව වන්නේ ආස්‍රවයි. ආස්‍රව නැති කිරීමෙන් අවිද්‍යාව නැති වේ. මේ සඳහාද අරිඅට මගම භාවිත කළ යුතුය.

* ආස්‍රව දනී ද, එහි සමුදය දනී ද, එහි නිරෝධය දනීද, එහි නිරෝධගාමිණී පටිපදාව දනීද, එය සම්මා දිට්‌ඨියයි. ආස්‍රව යනු පල් වී ඇති ගඳගහන කෙළෙස්‌ යන්නයි. ආස්‍රව තුනකි. කාමාස්‍රව, භවාස්‍රව, අවිද්‍යා ආස්‍රවයි. මීට අමතරව දිට්‌ඨි ආස්‍රවයද ඇත. ආස්‍රව වලට හේතුව අවිද්‍යාවයි. අවිද්‍යාව නැති කිරීමෙන් ආස්‍රව නැති වේ. මේ සඳහාද අරිඅටඟි මගම භාවිත කළ යුතුය.

බුදු පියාණන් වහන්සේ දේශනා කළ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‌ෂණය තුළ සිහිය පවත්වාගෙන යමින්, ඇස කණ නාසය ආදී ඉන්ද්‍රියයන්ට එන අරමුණු වල යථාර්ථය දකිමින් කටයුතු කරනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කරමින්, පටිච්ච සමුප්පාදය අවබෝධයෙන් සම්මා දිට්‌ඨිය ඇතිකරගත හැකිය.


පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය කන්නිමහර-වතුරුගම


2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment