Labels

Saturday, August 13, 2016

අලසකම දියුණුවට බාධාවයි උත්සාහය සමෘද්ධියට හේතුවෙයි

අලසකම ආර්ථික දියුණුවට බාධාවකි. උත්සාහය ආර්ථික සමෘද්ධිය පිණිස හේතු වේ. අලස පුද්ගලයාට කිසිවක් ජයගත නොහැකිය. ලොව දිනූ යම් කෙනෙක් වෙතොත් ඒ සියල්ලෝම එම ජයග්‍රහණ අත්පත් කර ගෙන තිබෙන්නේ අලස නොවී කැපවීමෙන් කටයුතු කිරීමේ හේතුවෙන්ය. කුසීතකම දුරින්ම දුරලා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් සියලු ජයග්‍රහණ අත්පත්කරගත හැකි බව මෙම බුද්ධ දේශනාවලින් පැහැදිලි වේ.
ආර්ථික සමෘද්ධිය තීරණය වන්නේ පුද්ගල උත්සාහය හා කැපවීම මතය. බුදුසමයට අනුව කායික හා මානසික ශක්තියෙන් තොරව කිසිවක් ජයග්‍රහණය කළ නොහැකිය. බුදුසමය ධන නිෂ්පත්තියේදී කායික ශ්‍රමය බෙහෙවින් අගය කරනු ලැබේ. මිනිස් ශ්‍රමය ඇගයීම සඳහා උට්ඨාන වීර්ය (උට්ඨානවිරියාදිගත) බාහුබලය (බහාබලපරිචිත) දහඩිය මහන්සිය (සේදාවක්ඛිත්ත) යන වදන් යෙදී තිබේ. මිනිසා විසින් අත්විඳිනු ලබන දුකෙන් නිදහස් විය හැක්කේ වීර්ය උපයෝගී කර ගෙනය යන්න අවධාරණය කර තිබේ.

(විරියෙන දුක්ඛං අච්චේති) එසේම උත්සාහයෙන් තොරව ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් කිසිවක් අත්පත්කරගත නොහැකි බව ප්‍රකට බෞද්ධ ව්‍යාපාරිකයෙකු වූ අනේපිඬු සිටුවරයාට පැහැදිලි කළ අයුරු පංච ඉට්ඨධම්ම සූත්‍රයේ ඇතුළත්වේ. එහි දැක්වෙන පරිදි ආයු, වර්ණ, සැප, යසස හා ස්වර්ගය යන අවශ්‍යතා පහ කිසිවිටෙකත් ප්‍රාර්ථනා කිරීමෙන් හෝ ඉල්ලා සිටීමෙන් ලබාගත නොහැකි වේ. එසේ ප්‍රාර්ථනා කිරීමෙන් ලැබිය හැකි නම් ලෝවැසියාට කුමන අඩුවක්දැයි යනුවෙන් ප්‍රශ්න කරනු ලැබේ. පොදුවේ සෑම අයෙක්ම අපේක්ෂා කරන කරුණු පහක් මෙහි දැක්වෙන අතර ඒවා අත්පත්කර ගැනීම පිණිස පුද්ගලයා නිරන්තර අරගලයක නිරතව සිටින බව පැහැදිලිය. එහෙත් එම අවශ්‍යතා ඉටු කර ගැනීමෙහිලා අවශ්‍ය වන්නේ පුද්ගල උත්සාහය හා බුද්ධිය මිස ප්‍රාර්ථනා කිරීමක් හෝ ආයාචනා කිරීමක් නොවේ. ධනවත් වීම පිණිස විවිධ මිථ්‍යා දෘෂ්ටික පිළිවෙත් අනුගමනය කරන්නන්ට බුදුරදුන්ගේ මෙම ඉගැන්වීම බෙහෙවින් අදාළ වේ.

කැපවීමෙන් ආර්ථික අභිවෘද්ධිය


ආත්ම විශ්වාසය හා කැපවීම මත ආර්ථික අභිවෘද්ධිය, සාක්ෂාත්කරගත හැකි බව මෙයින් පෙන්වා දෙන උපදේශයයි. එම උපදෙස් නොපිළිපැද විවිධ මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි හා විශ්වාස පිටුපස ගොස් තම කාලය හා ධනය විනාශ කර ගන්නා පුද්ගලයන් රැසක් දක්නට ලැබේ.
අභිවෘද්ධියට හේතු හතරක්
මෙලොව අභිවෘද්ධිය පිණිස ඉවහල්වන සිව්වැදෑරුම් හේතු අතරින් උඨඨාන සම්පදාව පැහැදිලි කරන ව්‍යග්ඝපජ්ජ සූත්‍රය පෙන්වා දෙන්නේ ධනය එක්රැස් කිරීමේදී එම කාර්යෙහිලා දක්ෂවීම (දක්ඛො) අනලස්වීම (අනලසො) උපායශීලි වීම (තත්‍රැපාය වීමංසාය සමන්නාගතො) කාර්යශූර වීම (අලංකාතුං) සංවිධානයෙහි දක්ෂවීම (අලං සංවිධාතුං) අවශ්‍ය බවයි. මෙමගින් පෙන්වා දෙන්නේ කවර ව්‍යාපාරයක් තුළ වුවද පුද්ගල උත්සාහය හා ශ්‍රමය වැදගත් සාධකයන් වන බවයි.

උට්ඨාන වීර්ය


උට්ඨාන වීර්ය භෞතික මෙන්ම ආධ්‍යාත්මික දියුණුව පිණිසද හේතුවන්නක් හෙයින් බුද්ධ දේශනාවන්හි එය නිරන්තරයෙන්ම අවධාරණය කර තිබේ. ධනය ඉපයීමේ කාර්යයේදි මිනිසා සතුව තිබිය යුතු බුද්ධිමය හා කායික ශක්‍යතාව විවිධ අයුරින් ඇගයීමට ලක්කරන බුදුසමය පෙන්වා දෙන්නේ යමක් ආරම්භ කිරීමේ හැකියාව (ආරම්භධාතු) එය ඉදිරියට ගෙනයාමේ හැකියාව (නික්ඛමධාතු) බාධා මැඩ ගැනීමේ හැකියාව (පරක්කම ධාතු) හා ශක්තිමත්ම පිහිටා සිටීමේ හැකියාව (ථාමධාතු) සාර්ථක පුද්ගලයෙක් වීමට අවශ්‍ය ගුණාංග ලෙසය.
ආර්ථික දියුණුව අපේක්ෂා කරන පුද්ගලයෙක් තුළ වැඩ කිරීමෙහිලා පෙළඹවීමක් ඇතිකෙරෙන ඉගැන්වීම් සමූහයක් කුසීතාරම්භවත්ථූ සූත්‍රයේ ඇතුළත් වේ. කුසීතවත්ථු යටතේ පුද්ගලයා තුළ සත්විධ ආකාරයෙන් අලසකම ක්‍රියාත්මක වන ආකාරයත් ආරම්භවත්ථූ යටතේ සත්විධ ආකාරයෙන් උත්සාහය ක්‍රියාත්මකවන අයුරුත් පැහැදිලි කරයි. අලසකම ආර්ථික දියුණුවට බාධාවකි. උත්සාහය ආර්ථික සමෘද්ධිය පිණිස හේතු වේ. අලස පුද්ගලයාට කිසිවක් ජයගත නොහැකිය. ලොව දිනූ යම් කෙනෙක් වෙතොත් ඒ සියල්ලෝම එම ජයග්‍රහණ අත්පත් කර ගෙන තිබෙන්නේ අලස නොවී කැපවීමෙන් කටයුතු කිරීමේ හේතුවෙන්ය. කුසීතකම දුරින්ම දුරලා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් සියලු ජයග්‍රහණ අත්පත්කරගත හැකි බව මෙම බුද්ධ දේශනාවලින් පැහැදිලි වේ.

දැහැමින් ධනවත්වීමට


දැහැමින් ධනවත් වීමට මඟපෙන්වන රහස් රැසක් බුද්ධ දේශනාවල ඇතුළත් වේ.
ඒ අතරින් ධනසම්පත්හි විපුලත්වයට හේතු පැහැදිලි කරන චක්ක සූත්‍රයෙහි අන්තර්ගත කරුණු සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීම සඳහා මාර්ගෝපදේශකත්වය ලබාදෙයි. ධනය ඉපැයීමේ ව්‍යාපාර සාර්ථක වීමෙහිලා බලපාන හේතු අතරින් ව්‍යාපාර සඳහා යෝග්‍ය පරිසරය (පතිරූපදේස) යහපත් සමාජ සම්බන්ධතා (සප්පුරිසූපනිස්සය) ව්‍යාපාරිකයාගේ යහපැවැත්ම (අත්තසම්මාපණිධි) හා වාසනාගුණය (පුබ්බේචකතපුඤ්ඤතා) ප්‍රධාන වේ. බොහෝ ව්‍යාපාර සාර්ථක වී තිබෙන්නේ එම ව්‍යාපාරය පිහිටා තිබෙන බාහිර හා අභ්‍යන්තර භෞතික පරිසරය, ව්‍යාපාරය හා මහජනයා අතර පවතින සම්බන්ධය, ව්‍යාපාරිකයාගේ ආදර්ශමත් පැවැත්ම හා ඔවුන්ගේ වාසනා ගුණය නිසයි. මෙම කරුණු හතර ආර්ථිකය හා සම්බන්ධ වර්තමාන ඉගැන්වීම් සමඟ තුළනය කළ විට බුදුරදුන්ගේ ඉගැන්වීම්වල සර්වකාලීන අගය වටහා ගත හැකිවේ. මෙම ඉගැන්වීම් ඇතුළත් උපදෙස් බෞද්ධ ව්‍යාපාරික සමාජයට ලැබෙන්නේ නම් ධනය ඉපැයීම පිළිබඳ බටහිර ආකල්පවලට වහල් නොවී දේශීය අනන්‍යතාවට අනුකූල ආර්ථික පිළිවෙතක් ප්‍රතිනිර්මාණය කරගත හැකිවේ. එබැවින් හැකිතාක් මෙම සංකල්ප ගිහි සමාජයට ලබා දීම බෞද්ධ උගතුන් සතු වගකීමකි.

දියුණුවේ දොරටුව


ධනයෙන් ආඩ්‍ය සමෘද්ධිමත් ජීවිතයක් ගොඩනඟා ගැනීමේදි සළකා බැලිය යුතු සදාචාරාත්මක උපදෙස් රැසක් දියුණුවේ දොරටුව යනුවෙන් හැඳින්වෙන අත්ථස්ස ද්වාර ජාතකයෙහි ඇතුළත් වේ. ඒ යටතේ නිරෝගිමත් පෞරුෂයකට හිමිකම් කීම (ආරෝග්‍ය) ආචාරශීලිත්වය හෙවත් විනයගරුක බව (සීල) පරිණත උපදේශකයන්ගෙන් උපදේස ලබා ගැනීම (වුද්ධානුමත) ව්‍යාපාරය පිළිබඳ දැනුම (සුතඤ්ච– ධර්මානුකූල ප්‍රතිපත්ති (ධම්මානුවත්තීච) හා උත්සාහය (අලීනතාච) සාර්ථක ධනවතෙක් වීමට ඉවහල් වේ. ආර්ථික සමෘද්ධිය පිළිබඳ බුදුන් වහන්සේගේ මෙම ඉගැන්වීම් වෙනස් නම් වලින් නූතන ව්‍යාපාර කළමණාකාරණ විෂය යටතේ දක්නට ලැබේ. වාච්‍යාර්ථය වශයෙන් වෙනස් වුවද බෞද්ධ ආර්ථික දර්ශනයේ ඇතුළත් සංකල්ප නූතන ආර්ථික විද්‍යා සංකල්ප සමඟ බොහෝදුරට සමාන වන බව පැහැදිලිය.
මහා පරිමාණයේ ව්‍යාපාර පමණක් නොව ගෘහ ආර්ථිකය වුව අසාර්ථක වීමෙහිලා බලපාන හේතු හතරක් බුදුසමයෙන් පෙන්වා දෙයි. ඒ යටතේ විනාශ වු දෑ නැවත සොයා සපයා නොගැනීම, දිරපාත් වූ ගොඩනැගිලි හා යන්ත්‍ර සූත්‍ර ප්‍රතිසංස්කරණය නොකිරීම,ආදායමට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය සඳහා වෙන්කිරීම, හා ආත්ම දමනයක් හා ශික්ෂණයක් නොමැති පුද්ගලයන් ආයතනයේ පාලානාධිකාරයට පත්කිරීම ආදිය හේතුවෙන් ආර්ථික ලාභය පිණිස පවතින ආයතන පරිහානියට පත්වේ. නිවසක ආදායම වැඩිවීම හා අඩුවීම කෙරෙහි ද මෙම හේතු හතර හෝ එයින් එකක් මුල්වේ. මහන්සියෙන් උපයන ධනය පියා විසින් මත්පැනට යෙදවීම හේතුවෙන් ආර්ථික වශයෙන් දිළිඳු බවට වූ පවුල් රැසක් දක්නට ලැබේ. ඉහතින් දැක්වු සිව්වැදෑරුම් කරුණු හතරෙන් අවසන් කරුණින් අවධාරණය වන්නේ මතට හා දුරාචාරයට යොමුවූ පුද්ගලයන්ට ධනය පමණක් නොව වෙනත් අංශද පාලනය කිරීමට ඉඩ දීම නුසුදුසු බවයි.

ධනවත් වීම සඳහා අවශ්‍ය කායික හා මානසික කැපවීම බුදුසමයෙන් ඇගයීමට ලක්වන අයුරු ඉහත සඳහන් සූත්‍ර දේශනාවලින් පැහැදිලි වේ. ධනවත් වීමේ බෞද්ධ පිළිවෙත වන්නේ තමාගේ කායික හා මානසික ශක්තිය මත විශ්වාසය තබා උත්සාහයෙන් කටයුතු කිරීමයි. නුවණ මෙහෙයවා නිසි පරිදි ක්‍රියාකරන තැනැත්තා උත්සාහය පදනම් කරගෙන ධනය ලබන බව බුදුසමයේ පිළිගැනීමයි. (පතිරූපකාරී ධූරවා උට්ඨාතා වින්දතෙ ධනං)



කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 10 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment