Labels

Wednesday, August 3, 2016

හෙළ කතට විමුක්තිය විවර කළ සඟමිත් තෙරණිය

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ විමුක්තිදායිකාව ලෙසින් විරාජමාන වනුයේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේයි. මගධාධිරාජ වූත් නවරට සසුන් පිහිටුවමින් බුදුදහම ප්‍රචාරය කරමින් ශාසනික සේවයට උරදුන් ධර්මාශෝක මහඅධිරජුගේත්, දේවි නම් බිසවගේ එකම දියිණියවූත්, මිහිඳු මහරහතන් වහන්සේගේ නැගෙනිය වූ සංඝමිත්තා කුමරිය පැවිදි භූමියට පැමිණීමට පෙරාතුව අග්ගිබ්‍රහ්ම නම් තරුණයකු සමඟ විවාහ වී සිටියාය. පුත් රුවන වූයේ සුමන කුමරුය.
මිහිඳු කුමරු පැවිදිවීමත් සමඟින් අග්ගිබ්‍රහ්ම තරුණයාද සසුන්ගතවූයේ ය. සැප සම්පතින් ආඩ්‍යයව සිට, සුමට වූ දිගු කෙස්කළඹ සිඳදමා, මෘදු මොළොක් ගත සැරසූ ගෙල බැඳි ආභරණ උනා දමා, මුව සැරසූ අනේක විඳ සඳුන්, කුකුම් සුවඳ විලවුන් හැරදමා, කඩ සහිත කසාවතින් ගත වසා ගැනීමට උත්තරීතර වූ පැවිද්දේ පහස ලබන්නට සංඝමිත්තා කුමරිය පුණ්‍යවන්තියක වූ නිසාවෙන් ධම්මපාලි තෙරණියගේ උපාධ්‍යායත්වයෙන් හා අයුපාල තෙරණියගේ ආචාර්යත්වයෙන් වයස අවුරුදු දහඅට පමණ වයස් වන කල්හි ප්‍රවෘජ්‍යාභූමියට සැපත් වූවාය.
ධර්මාශෝක පියරජතුමා සිදුකළ වටිනා ශාසනික සේවය අර්ථවත් කරමින්,
දායකවෙමින් ප්‍රත්‍ය දායකයකු වූ පියරජුට සම්බුදු සසුනේ උරුමකරුවකු වන්නට මිහිඳු මහරහතන් වහන්සේ සේම, සංඝමිත්තා මහරහත් තෙරණිය අවකාශය උදාකර දුන්නාය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් තුනක් පමණ පසුකොට තිබුණ ද, උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පහස ලැබූ සංඝමිත්තා තෙරණිය සියලු ලෞකික බැදීම් සිඳදමා, ප්‍රේත තිරිසන්, අසුර, නරකය යන සතර අපා දුකට පත් නොවන සේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් දුක්ඛයන්ගෙන් අතමිදී, රාග, ද්වේශ, මෝහ නමැති කෙලෙස් රැහැන් සිඳදමා සසර කතරින් එතෙර වූ උත්තරීතර මහරහත් තෙරණියක වීම බොහෝ දෙනෙකුට හිතසුව ගෙනදෙන්නක් විය.
ක්‍රි.පූ. තෙවන සියවසෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛව දූත පිරිස ලක්දිවට වැඩම කිරීමෙන් ලැබුණු සජීවි දහම් පණිවිඩය උකහාගත් දහස් සංඛ්‍යාත ලක්වැසියෝ මහත් වූ ශ්‍රද්ධාවෙන් බුදුදහම කෙරෙහි පැහැදී බොදුනුවන් බවට පත්වූහ. දෙවනපෑතිස් රජතුමා තෙරුවන් සරණයාමත් සමඟින් රජමාලිගය පුරා දිනපතා ධර්මදේශනා පැවැත්වූහ. එම දහම්පදින් සැනස ුණු සිත් ඇති අනුලා බිසව ඇතුළු පන්සියයක් කාන්තාවෝ සෝවාන් ඵලයට පත්ව කසාවත් දරාගනිමින් පැවිදි සුව විඳීමේ ප්‍රාර්ථනාවෙන් හා බලාපොරොත්තුව සිටියේ ය.
මේ පිළිබඳව මිහිඳු මහරහතන් වහන්සේට දැන්වූ කල “නකප්පති මහාරාජ පබ්බාජේතුං ඉත්ථියෝ හි නො” යනුවෙන් කාන්තාවක පැවිදිකිරීම තමන්ට අකැප බව මිහිඳු හිමියන් ප්‍රකාශ කළ බැවින් ලක්දිව මෙහෙණ සසුන පිහිටුවීම උදෙසා තම නැඟණිය වූ සංඝමිත්තා තෙරණිය වැඩමකිරීමට දූත පිරිසක් පිටත් කර යැවීය.
ඒ අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සමඟ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ක්‍රි.පූ. 237 දී වැඩම කරවන ලදී. පැවිදි භාවය ලබාගැනීම සඳහා දැඩිඅධිෂ්ඨානයකින්, උත්සහයකින් හා කැපවීමකින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් බුදුපියාණන් වහන්සේ වෙතට දීර්ඝ ගමනකින් ගමන් කළාසේම, ලක්දිව මෙහෙණ සස්න ඇති කිරීම සඳහා වැඩමකොට වදාළ සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් ද, උතුරු ඉන්දියාවේ සිට රාජධානි තුනක් පසු කරමින්, වින්ධ්‍යා කඳුකරය ඔස්සේ ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් මුහුදු වෙරළට පැමිණ ලක්දිවට ගොඩ බැසීම උදෙසා නැව් නැඟි ආකාරය විස්තර කරනු ලබයි. උත්තරා, හේමා, මසාරගල්ල, අග්ගිමිත්තා, දාසිකා, ඓග්ගු පබ්බතා, මත්තා, මල්ලා, ධම්මදාසියා, ඇතුළු භික්ෂුණීහු දසදෙනෙකු පැමිණි බව වංසකතාව දක්වනු ලබයි. තුන්වන සම්ප්‍රදායට අනුව මහාදේවි, පදුමා, හේමාසා උන්නලා, අඤ්ජලි සහ සුමා යන භික්ෂුණිහු දහසය දහසක් සමඟින් සංඝමිත්තා මහරහත් තෙරණියෝ ලක්දිවට වැඩමකොට වදාළ බව සඳහන් කරනු ලබයි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද දහ අට කුලයක කුල ශ්‍රේණි සහිතව ලක්දිවට වැඩම කරවන මොහොතේ ධර්මාශෝක රජු බෝධිය ඔසවාගෙන ග්‍රිවය දක්වා ජලයෙහි බැස මනාකොට නැවෙහි පිහිටුවීය. පසුව, “මම තුන් වරක් මහාබෝධිය රාජ්‍යයෙන් පිදුයෙමි. එසේම මාගේ යහළු වූ රජතෙම රාජ්‍යයෙන් පුදාවා” මේ වචන කියා ඉවුරෙහි ඇදලි බැඳ සිටියා වූ මහ රජ දුර වඩිනා ලද මහා බෝධිය දකිමින් කඳුළු වැගිර වූයේ ය. මහාබෝධියෙන් වෙන්වීම හේතු කොට ශෝක ඇති වූ ධර්මාශෝක මහරජ හඬා වැළප සිය පුරයට සම්ප්‍රාප්ත වූහ.
මහාබෝධිය සහිත නැව සාගරයට වූ කල්හි මුහුද හාත්පස යොදුනක් තන්හි රළ සංසිඳුනේ ය. හාත්පස පස්වනක් පියුම් පිපුණාහ. නොයෙක් තූර්යයෝ අහස්හි වැයුනාහ. නොයෙක් දේවතාවෝ නොයෙක් පුද පූජා පැවැත්වූහ. නාගයෝ මහාබෝධිය ගන්නා පිණිස කටයුතු කරන ලදී. ූ සංඝමිත්තා මහරහත් තෙරණියෝ ගුරුළු වෙස් ඇතිව ඒ මහානාගයන් බියගැන්වීය.බිය ගන්වන ලද්දා වූ ඒ මහා නාගයෝ මහතෙරණිය වැඳ අවසර ගෙන මහාබෝධිය එතැනින් නාග භවනට වැඩම කොට සත් දවසක් මුළුල්ලේ නාගරාජ්‍යයෙන් හා නානාවිධ පූජාවන් කොට බෝධිය නැවෙහි පිහිටියේ ය.

දේවානම්පියතිස්ස රජතුමා බෝධින් වහන්සේ වැඩමා මඟ දෙපස අලංකෘත කොට දඹකොළ පටුනේ සිට අනුරාධපුර මහමෙව්නා උයනට වැඩම කරවන ලද අතර සුවිශේෂී ලෙස සරසා ගරුකොට බෝ සමිඳු පිහිටුවන ලදී.
සංඝමිත්තා තෙරණිය වැඩම කරවන කල්හි අනුලා දේවිය ඇතුළු පන්සියයක් කන්‍යාවන් හා අන්තඞපුරවාසී වූ ස්ත්‍රින් පන්සියයක් ද සමඟ දසසිල් සමාදන්ව කසාවත් දරා පැවිදි බව පතමින් සිත්කළු උපාසිකා විහාරයෙහි වාසය කළෝ ය. සඟමිත් තෙරණියෝ සමීපයෙහි මේ සියල්ලම පැවිදිව උත්තරීතර වූ රහත් භූමියට පිළිපන්හ. රජ මැදුරෙහි වසන රජකුමාරිකාවන්ගේ සිට පහත් කුල දාසියන් ඇතුළු අනන්ත අප්‍රමාණ කාන්තාවෝ පැවිදි භූමියට පත්ව සුවසේ වාසය කළෝය. පැවිදි නොවුනු කාන්තාවන් ද දහම් රසයෙන් සැනසුනහ. ශ්‍රී ලංකා ධරණිතලයේ කාන්තාවගේ විමුක්තිය උදෙසා කැපවී ලක්දිව භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස බිහිකරමින් උදාරතර වූ ශාසනික ක්‍රියාදාමයට තොමෝ නිරත වූහ.

උපාසිකා විහාරයයි ප්‍රසිද්ධ වූ මෙහෙණ වරෙහි භික්ෂුණී සංඝයා සහිතවූ ඒ සංඝමිත්‍රා නම් ස්ථවිර තොමෝ වාසය කළාය. එහි චූලංගන, මහංගන සිරිවඩ්ඩ යයි මන්දිර තුනක් ප්‍රමුඛකොට ඇත්තාවූ මන්දිර දොළහක් දෙවනපෑතිස් රජු කරවූයේ ය. එම මන්දිර අතුරින් එක් මහමැදුරක මහා බෝධිය වැඩම වූ නැවෙහි තුඹ යටෙහි පිහිටුවීය. එක් මන්දිරයක පළපත තැබීය. අනෙක් මැදුරෙහි කෙනිපතය තැබූහ.
සංඝමිත්තා තෙරණියගෙන් පැවිදි උපසම්පදාව ලද භික්ෂුණීන් අතර සද්ධම්ම නන්දා, සෝමා, ගිරිද්දි, දාසිකා, ධම්මා, ධම්මපාලා, මහිලා, සොහානා, ධම්ම තාපසා, හරමිත්තා, සනා, කාලි, උත්තරා යන භික්ෂුණින් වහන්සේලා ලක්දිව වාසය කළ භික්ෂුණීහු වූහ. දස දහස් සංඛ්‍යාත භික්ෂුණීන් වහන්සේලා ලක්දිව පහළ වූයේ සංඝමිත්තා තෙරණියගේ අනූපමේය කැපකිරීම නිසාවෙනි.

භික්ෂුණි පිරිස වැඩිවන විට විවේකයට බාධා පැමිණෙන හෙයින් සංඝමිත්තා තෙරණින් වහන්සේ විවේකීව වාසය කිරීම සඳහා උපාසිකා මොහෙණවරින් චේතියගිරියට වැඩමකොට විවේකීව වාසය කළෝ ය. මේ පිළිබඳ දත් දෙවනපෑතිස් රජතෙමෙ ඇත්හල සමීපයෙහි හත්ථාහල්ත විහාරය නම් මෙහෙණවර කරවා පිදූහ.
මෙසේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේද වැඩම කොට වදාළ සංඝමිත්තා තෙරණිය නිසාවෙන් මනාවූ සංස්කෘතික පිබිදීමක් ඇතිවිය. කාන්තාවට විමුක්තිය ලැබීමේ උත්තුංග මොහොත එළඹියේ ය. විහාරමහාදේවි, ලීලාවතී, සෝමාදේවි වැනි උත්තරීතර කාන්තාවන් ලක්දිවට පහළව රාජ්‍ය විචාරීම මෙන්ම නුවණැතිව වාසය කරන්නටත් කාන්තා අයිතීන් ස්ථාපිත වන්නටත් උන්වහන්සේගේ ලංකාගමනය හේතු විය.
ජීවිතය අනියත වූවකි. මරණය නියතයකි. ජීවිතයේ සැබෑ යථාර්ථය පසක් කරමින් සංඝමිත්තා රහත් තෙරණියෝ පැවිදි කිස නිම කළ අතරම ලෝක ශාසනික අභිවෘද්ධියට කැපව පනස් නම වයස් වූවාය. හත්ථාල්හක මෙහෙණවරෙහි දී පිරිනිවන් පා වදාළ ඕතොමෝ හට සත් දවසක් මුළුල්ලේ උතුම් වූ පූජා සත්කාර කරනු ලැබූහ.

මිහිඳු මහ රහතන් වහන්සේට සේ මුළු ලංකාද්වීපයම සරසා අලංකාර කරන ලදී. කුල ගෙයෙහි නඟන ලද තෙරණියගේ සිරුර ථූපාරාමයට නැඟෙනහිරින් චිත්‍ර ශාලා සමීපයෙහි මහාබෝධි උපාශ්‍රයෙහි විසූ තැන දේහය දවා උත්තිය රජු විසින් භෂ්මාවශේෂ තැන්පත් කොට සෑයකුදු කරවීය. උපරිම අයුරින් රාජගෞරවයන් උත්තිය මහරජු සංඝමිත්තා තෙරණිය වෙනුවෙන් සිදුකරන ලද්දේ තෙරණින් වහන්සේගේ සුවිශේෂි අනුග්‍රහය ලාංකිකයන්ට දැක් වූ නිසාවෙනි.

ජම්බුද්වීපයේ සිට වැඩමකොට වදාළ සංඝමිත්තා තෙරණියෝ පනස් නමවන වියෙහි පිරිනිවන් පාන තෙක් වැඩ වාසය කළේ ලංකාද්වීපයෙහිය. දඹදිව උපත ලැබුවද වැඩි කාල පරිච්ඡේදයක් ලක්දිව වසමින් ජීවිතය කැපකළේ ලාංකිකයන් වෙනුවෙනි. දේශීය වශයෙන් මෙන්ම විදේශිය වශයෙන් උදාර සේවාවක් ඕ තෙමෝ විසින් සිදුකරන ලද්දෝය.
ලංකාධරණිතලය තුළ කාන්තාවක වශයෙන් ඉපිද උත්තරීතර වූ අර්හත් ධජය ලැබුවේද, වර්තමානයෙහි කසාවත් දරා ගිහිගෙහි බැඳීිම්වලින් වියුක්තව පැවිදිසුව විඳින්නේද, අනාගතයේ දී කාන්තාවක කසාවත දරමින් නික්ලේෂි ජීවිතයක් ගතකරනු ලබන්නේ ද අතීත, අනාගත, වර්තමාන සියලු ප්‍රවෘජ්‍යාභූමියට පත් කාන්තාවෝ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේගේ උත්තරීතර නාමය කෘතඥතාවයෙන් අනුස්මරණය කළයුත්තේමය.





මොරගොල්ලාගම
උපසමා සිල් මාතාව








ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 06 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment