Labels

Thursday, August 25, 2016

ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ සංගායනාවේ ථෙරාසනය හෙබවූවෝ කවරහුද?

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ කාර්යය ශාසන ඉතිහාසයේ එතෙක්‌ සිදුකරන ලද සංගායනා තරම්ම හෝ ඊටත් වඩා ගැඹුරින් සිදුකරන ලද සංගායනාවකැයි කිව හැකිය. එහෙයින් මාතලේ අලුවිහාරයේදී සිදුකරන ලද ත්‍රිපිටක සංගායනාවේ ථෙරාසනය හොබවන ලද්දේ කවර මහතෙරුන් වහන්සේ නමක්‌ ද යන්න හඳුනාගැනීම අතිශය වැදගත් වන්නකි. ථෙරවාදීන් විසින් මීට පෙර පවත්වන ලද සෑම සංගායනාවකම ථෙරාසනයේ වැඩ සිටි මහතෙරුන් වහන්සේලා
පිළිබ`දව සාහිත්‍යමය මූලාශ්‍රයන්හි තොරතුරු එතත්, අලුවිහාර සංගායනාවේ ථෙරාසනය හෙබවූ මහතෙරුන් වහන්සේ පිළිබ`ද පැහැදිලි තොරතුරක්‌ නොවීම මහත් අඩුවකි. මෙහිලා අප බලාපොරොත්තු වන්නේ අට්‌ඨකථා සහ සෙසු සාහිත්‍යමය මූලාශ්‍රය පදනම් කරගනිමින් මේ පිළිබ`දව විමසා බැලීමට ය. ඊට මත්තෙන් ධර්ම සංගීතියක ථෙරාසනයේ භූමිකාව හ`ඳුනාගැනීම වැදගත් ය.

ථෙරවාදීන්ගේ ප්‍රධාන සංගායනා තුනකි. එනම් පළමුවන, දෙවන සහ තෙවන ධර්ම සංගායනා ය. මෙම සංගීති තුන මගින් ථෙරවාදීන්ගේ මතවාද චිරස්‌ථායීව තහවුරු කරගන්නා ලද අතර ඒවායේ ථෙරාසන පිළිවෙළින් මහා කාශ්‍යප, කාකණ්‌ඩපුත්ත යස, මොග්ගලීපුත්ත තිස්‌ස ආදී ඒ ඒ සමයන්හිදී වැඩසිටි ශාසන භාරධාරී මහ තෙරුන් වහන්සේලා විසින් දරන ලදී.

විශේෂයෙන්ම මෙකී සංගායනාවල ථෙරාසන හෙබවූ මහතෙරුන් වහන්සේලාගේ චරිතාපදාන විමසා බලන විට පෙනීයන්නේ බුදුන් වදාළ ධර්මය විනය විනිශ්චයෙහිලා ප්‍රවීණ මෙන්ම ථෙරවාදයෙහි බුහුටි, පරවාද මථනයෙහි සමත්, නිරුත්සහයෙන්ම ඒ ඒ සමයෙහි වැඩසිටි මහාසංඝයා නායකත්වයෙන් පිළිගත් මහතෙරුන් වහන්සේලා ථෙරාසනයෙහි තැබූ බවය. ධර්ම සංගායනාවක්‌ පැවැත්වීමේ අවශ්‍යතාව පැන නැ`ගුණු විට ඒ ස`දහා අවශ්‍ය සංඝයා තෝරාගැනීම, එහි න්‍යාය පත්‍රය පිළියෙල කිරීම මෙන්ම සෙසු කෘත්‍ය සංවිධානය කිරීමේ කාර්යය සිදුකරන ලද්දේ ථෙරාසනයට පත්වන මහතෙරුන් වහන්සේ විසිනි.

මෙහිලා පෙනීයන වැදගත්ම කරුණ වන්නේ ධර්ම විනය සම්බන්ධයෙන් පැන නඟින මතවාදයන්හි ආවසනික විනිශ්චයට පදනම් කරගන්නේ ථෙරාසනයේ මහතෙරුන් වහන්සේගේ අදහස වීමයි. මේ අනුව ථෙරාසනය සතුව අධිකාරි බලයක්‌ පැවතිණැයි කෙනෙකුට කිවහැකි වුව ද, මහතෙරුන් වහන්සේ එවැනි අගතිගාමී තත්ත්වයකට නොපැමිණෙමින් සංගීතිකාරක සෙසු තෙරුන් වහන්සේලාගේ අදහස්‌ ද විමසා එකී අදහස්‌ ධර්මයෙහි විනයෙහි බහා විනිශ්චය කොට ආවසනික මතයට එළඹි බව පෙනේ. මේ අනුව ථෙරවාද ධර්ම සංගායනා කාර්යය වඩාත් ප්‍රජාතන්ත්‍රීය ලක්‌ෂණ ප්‍රකට කෙරෙන අතර විශේෂයෙන් එහිලා වූ නිදහස ථෙරවාද න්‍යායට යටත්ව සීමා වූ බව පෙනේ.

ධර්ම සංගීතියක ථෙරාසනය සතු වූ වැදගත් කාර්යයක්‌ වන්නේ ධර්ම විනය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක්‌ දරන තෙරුන් වහන්සේලා ධර්මාසනාරූඪ කරවා ඒ ඒ ධර්ම කොටස්‌ පිළිබ`ද සංගීතිකාරක තෙරුන් වහන්සේලා ඉදිරියේ ප්‍රශ්න කිරීම ය. මේ බව ප්‍රථම සංගීතිය පිළිබඳ සමන්තපාසාදිකා විනයට්‌ඨකථාවෙහි දැක්‌වෙන විස්‌තරවලින් මැනවින් පැහැදිලි වේ.

ධර්ම සංගායනාවක ථෙරාසනය හා ධර්මාසනය පිළියෙල කිරීම පිළිබ`දව සමන්තපාසාදිකා විනයට්‌ඨකථාවේ ද, සද්ධම්ම සංග්‍රහයේ ද තොරතුරු දැක්‌වේ. සමන්තපාසාදිකා විනයට්‌ඨකථාවේ අජාසත් මහරජතුමා සංගායනාව ස`දහා මණ්‌ඩපය පිළියෙල කළ ආකාරය මෙසේ දැක්‌වේ.

'....පන්සියයක්‌ භික්‌ෂූන්ට අනගි කැප පසතුරුණු පන්සියයක්‌ පනවා දකුණු දිග ඇසුරුකොට උතුරු දිගට මුහුණලා ස්‌ථවිරාසනය ද, මණ්‌ඩප මධ්‍යයෙහි පෙරදිගට මුහුණලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩ හි`දීමට සුදුසු වූ ධර්මාසනය ද පනවා මෙහි දළමුවා විජිනිපත තබා -ස්‌වාමීනී, මාගේ කටයුතු නිමවන ලදැයි භික්‌ෂු සංඝයාට සැලකරවීය....'

මෙමගින් පෙනීයන්නේ සංගායනාවට ස්‌ථවිරාසනය හා ධර්මාසනය ප්‍රමුඛ වූ බවත්, ධර්මාසනයෙන් බුදුන් වහන්සේ නියෝජනය කරනු ලැබූ බවත් ය. ඒ අනුව සංගායනා කාර්යයේදී ථෙරාසනය දරණ තෙරුන් වහන්සේ සංගීතිකාරක සංඝයාගේ ද කැමැත්ත ඇතිව ධර්ම විනය සංගායනා කිරීම ස`දහා ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ තෙරුන් වහන්සේලා ධර්මාසනාරූඪ කරවනු ලැබේ. ඒ අනුව ප්‍රථම සංගීතියේදී විනය සංගායනාව සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙහි තබාගන්නා ලද්දේ උපාලි මහරහතන් වහන්සේ ය. ඒ අනුව උපාලි මහරහතන් වහන්සේ ධර්මාසනාරූඪ වූ අයුරු විනයට්‌ඨකථාවේ මෙසේ දැක්‌වේ.

'....මෙසේ ආයුෂ්මත් උපාලි මහාස්‌ථවිරයන් වහන්සේ තුමූම තමන් සම්මත හුනස්‌නෙන් නැ`ගිට සිවුරු එකස්‌කොට ස්‌ථවිර භික්‌ෂූන් වැ`ද දත්මුවා විජිනිපත ගෙන ධර්මාසනයෙහි වැඩ හුන්හ. අනතුරුව ආයුෂ්මත් මහා කාශ්‍යප මහාස්‌ථවිරයන් වහන්සේ ස්‌ථවිරාසනයෙහි වැඩ හි`ද ආයුෂ්මත් උපාලි මහාස්‌ථවිරයන් වහන්සේ ගෙන විනය විචාළ සේක....'

මේ අනුව ථෙරාසනයේ නියමයෙන් ධර්මාසනයට පත්වන්නේ ඒ ඒ ධර්ම විනය කොටස පිළිබ`ද ප්‍රවීණයෝ ය. උදාහරණයක්‌ ලෙස ප්‍රථම සංගීතියේදී බුදුන් වෙතින් ඇසූ ධර්මය සංගායනා කිරීමෙහිලා ජ්‍යෙෂ්ඨත්වයෙහි තබාගන්නා ලද්දේ අන`ද මහතෙරුන් වහන්සේ ය. උන්වහන්සේට එහිලා ධර්මාසනයේ භූමිකාව උසුලන්නට සිදුවූයේ ලෙහෙසි පහසු පරිසරයක නොවේ. ධර්ම විනය විශාරද දැනුමකින් යුතු තෝරාගත් මහතෙරුන් වහන්සේලාගෙන් සමන්විත සංඝ සන්නිපාතයක්‌ මධ්‍යයේ ය. සදොස්‌ නිදොස්‌ මැනවින් විනිශ්චයට ලක්‌වීමෙනුයි අවසාන වශයෙන් ථෙරාසනයේ ද අනුමැතියෙන් සදොස්‌ ඇත්නම් නිදොස්‌ කොට සියලුදෙනා වහන්සේ එක්‌ව ස-Cධායනා කොට එහිදී සම්මත කෙරෙනුයේ.

මේ නයින් බලන කල්හි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ සංගායනාවෙහි ද ස්‌ථවිරාසනයක්‌ මෙන්ම ධර්මාසනයක්‌ පිහිටුවා තිබෙන්නට ඇත. ස්‌ථවිරාසනයට එසමයෙහි වැඩ සිටි භික්‌ෂූන්ගේ ප්‍රසාදයට පාත්‍ර වියපත් මෙන්ම ධර්ම විනය විශාරද මහතෙර නමක්‌ පත්වන්නට ඇත. එසේම ත්‍රිපිටකයේ ඒ ඒ ධර්ම කොටස්‌ පිළිබ`ද ප්‍රවීණ භාණක මහතෙරුන් වහන්සේලා ධර්මාසනයෙහි තබා එකී එකී කාණ්‌ඩ පිළිබ`ද ප්‍රවීණ තවත් තෙරවරුන්ගේ ද පරීක්‌ෂාවට ලක්‌වෙමින් ලේඛනයෙහි දක්‌ෂ තෙරුන් වහන්සේලා ග්‍රන්ථාරූඪ කිරීම සිදුකරන්නට ඇත.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමේ සංගායනාවේ ප්‍රධානත්වය දැරූ මහතෙරුන් වහන්සේ පිළිබ`දව මෙරට ප්‍රධාන පෙළේ ඓතිහාසික මූලාශ්‍රයවල ස`දහන්ව නැති අතර මෙකී කාර්යය ස`දහා පන්සියයක්‌ තෙරුන් වහන්සේලා සහභාගි වූ බව පමණක්‌ මූලාශ්‍රය කිහිපයකම ස`දහන්ව තිබේ.

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ මතය වන්නේ උපාලි මහරහතන් වහන්සේගේ පටන් වළගම්බා රාජ්‍ය සමය දක්‌වා ත්‍රිපිටකය වාචනා මාර්ගයෙන් පවත්වාගෙන ආ ස්‌ථවිර පරම්පරාව ලෙස නිකාය සංග්‍රහය දක්‌වන ස්‌ථවිර නාමාවලියේ අවසානයේ ස`දහන් වන සිව ස්‌ථවිරයන් වහන්සේ ථෙරාසනය හොබවමින් කටයුතු කරන්නට ඇති බවයි. එලෙසින් මලලසේකර මහතා ස`දහන් කරන්නේ සිව තෙරුන් වහන්සේ දක්‌වා පිටකත්‍රය සහිත අර්ථ විවරණ වාචනා මාර්ගයෙන් පවත්වාගෙන ආ ස්‌ථවිර පරම්පරාව නිකාය සංග්‍රහයේ කතුවරයා විසින් ග්‍රන්ථාරූඪ සංගායනාව පිළිබ`ද ස`දහන් කිරීමට සූදානම් වන තැන දක්‌වා තිබීම හේතුවෙනි. එකී ස්‌ථවිර නාමාවලියේ අග එන සිව ස්‌ථවිර සංගායනාවේ මුලසුන හොබවන්නට ඇතැයි මලලසේකර මහතා කල්පනා කළ බව පෙනේ.

එසේ වුව ද මේ ස`දහා මූලිකත්වය ගත් මහතෙරුන් වහන්සේ පිළිබ`ද අස්‌ගිරි තල්පත සෘජුවම සෙසු මූලාශ්‍රය කිසිවකුත් වාර්තා නොකරන තොරතුරක්‌ දක්‌වා සීටී. එනම් ථූපාරාම නිවාසී කුන්තගත්ත තිස්‌ස මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක්‌ වහන්සේලා මාතුල දනව්වේ අලුලෙනට රැස්‌ව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ බවයි. මේ පිළිබ`ද අදහස්‌ දක්‌වන පූජ්‍ය ඇරව්වල සෝමරතන හිමියන් ස`දහන් කරන්නේ මාතලේ අලුවිහාර සංගායනාව හා සම්බන්ධ කොහොන් විහාරයේ කොහොන් තිස්‌ස නම් තෙරුන් වහන්සේ නමක්‌ වැඩ සිටි බවට ජනප්‍රවාදගත තොරතුරු පවතින බවත්, අස්‌ගිරි තල්පතෙහි එන කුන්තගත්ත තිස්‌ස මහරහතන් වහන්සේ සහ ජනප්‍රවාදගත කොහොන් තිස්‌ස තෙරුන් වහන්සේ දෙදෙනෙකු නොව එක්‌ අයෙකු වන බවයි. මේ අනුව ග්‍රන්ථාරූඪ සංගායනාවේ ථෙරාසනය හොබවන්නට ඇත්තේ අස්‌ගිරි තල්පතේ එන කුන්තගත්ත තිස්‌ස තෙරුන් වහන්සේම බවට සෝමරතන හිමියෝ පෙන්වාදෙති.

අස්‌ගිරි තල්පතෙහි එන කුන්තගත්ත තිස්‌ස මහරහතන් වහන්සේ පිළිබ`ද ඇතිවන මවිතය නම් එවැනි තෙරුන් වහන්සේ නමක පිළිබ`ද පුරාතන මූලාශ්‍රය කිසිවක ස`දහන් නොවීමත්, අස්‌ගිරි තල්පත මෑතකාලීන මෙන්ම ඉතිහාසඥයන්ගේ අභියෝගයට ලක්‌ වූ මූලාශ්‍රයක්‌ වීමත් ය. බැමිණිතියා සාය සමයේදී මෙරට වැඩ වෙසෙමින් ත්‍රිපිටකය ආරක්‌ෂා කරගත් උපරිමණ්‌ඩලවාසී සංඝරක්‌ත, මහාතිස්‌සභූති, චූලසීව, ඉසිදත්ත, මහාසෝණ, වත්තබ්බක නීග්‍රෝධ, ඵුස්‌සදේව හා උපතිස්‌ස වැනි භාණක මහතෙරුන් වහන්සේලා පිළිබ`ද අටුවා විස්‌තරවලදී ස`දහන් කොට ඇත්තේ ඉමහත් ගෞරවයෙනි.

ඒ අනුව අදාළ සමයට අයත් අට්‌ඨකථා මූලාශ්‍රය දක්‌වා සිටින විස්‌තර පාදක කරගනිමින් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ සංගායනාවේ ථෙරාසනය හෙබවූ මහතෙරුන් වහන්සේ හඳුනාගැනීම වඩාත් යුක්‌ති යුක්‌ත වේ.

මෙහිලා අට්‌ඨකථාවල ස`දහන් වන මහතෙරුන් වහන්සේලා දෙනමක්‌ පිළිබ`ද අපගේ අවධානයට ලක්‌විය. එනම් මණ්‌ඩලාරාමවාසී මහාසෝණ තෙරුන් වහන්සේ සහ මණ්‌ඩලාරාමවාසී තිස්‌සභූති තෙරුන් වහන්සේ යන තෙරුන් වහන්සේලා දෙනම ය. මේ අත§න් මහාසෝණ තෙරුන් වහන්සේ පිළිබ`ද විභංගට්‌ඨකථාවේ ද, තිස්‌සභූති තෙරුන් වහන්සේ පිළිබ`ද මැඳුම්සඟි අටුවාව, ධම්මසංගණී අටුවාව හා විභංග අටුවාව ආදියේ ද තොරතුරු ස`දහන් වේ.

විභංගට්‌ඨකථාවේ එන මහාසෝණ තෙරුන් වහන්සේ මේ අතින් අදාළ කාලයේ සම්භාවනාවට පාත්‍ර තෙර නමක්‌ වූ බව පෙනේ. සමකාලීන භාණක තෙරුන් වහන්සේලා අතර මහාසෝණ තෙරුන් වහන්සේට හිමිව පැවති ස්‌ථානය පිළිබ`ද විභංග අටුවාවේ ඤාණ විභංගයේ විස්‌තර වන භාණක තෙරුන් වහන්සේලා දඹකොළ පටුනෙන් නැව් නැ`ග දඹදිව බලා පිටත්වීමට සූදානම් වන අවස්‌ථාවේදී චූලසීව, ඉසිදත්ත හා මහාසෝණ තෙරුන් වහන්සේලා අතර ඇති වූ සාකච්ඡාවෙන් පැහැදිලි වේ. එහිලා ඉසිදත්ත හා චූලසීව තෙරුන් වහන්සේලා මහාසෝණ තෙරුන් වහන්සේට කියා සිටිනුයේ -....ඇවැත්නි, දියේ මරණයත්, ගොඩ මරණයත් එකම ය. අපි නොයන්නෙමු. ඔබ නිසා අනාගතයෙහි ශාසන ප්‍රවේණිය රැකෙන්නේ ය...." වශයෙනි.

මේ අනුව පෙනීයන්නේ මහාසෝණ තෙරුන් වහන්සේ මෙකල වැඩසිටි ත්‍රිපිටක ධර්මයෙහි ප්‍රවීණ මෙන්ම සමකාලීන භික්‌ෂූන් අනාගතයේ බලාපොරොත්තු ඇතිකරගෙන සිටි තරුණ භික්‌ෂුවක්‌ බව ය. මහාසෝණ තෙරුන් වහන්සේ එකලදී ලබා සිටි ජනප්‍රියත්වය තවත් කරුණකින් පැහැදිලි වේ. එනම් විපත්ති සමයේදී පරතෙරට වැඩම කළ තෙරුන් වහන්සේලා පෙරළා මෙරටට වැඩම කළ පසුව පැමිණෙන්නේ මහාසෝණ තෙරුන් වහන්සේ කොහේ වැඩ වසද්දැයි අසමින් උන්වහන්සේ වැඩ සිටියා වූ කල්ලකගාමයේ මණ්‌ඩලාරාම විහාරයට ය. මහාසෝණ තෙරුන් වහන්සේ පන්සියයක්‌ තෙරුන් වහන්සේලා පිරිවරාගෙන මණ්‌ඩලාරාම විහාරයට වැඩම කළ අට්‌ඨකථාවේ ස`දහන් වේ. මේ අනුව පැහැදිලි වන්නේ මහාසෝණ තෙරුන් වහන්සේ නිසැකවම මණ්‌ඩලාරාම සංඝ සම්මේලනයේත්, ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ සංගායනාවේත් වැදගත් භූමිකාවක්‌ ඉසිලූ බවයි.

පර්යාප්ති ධර්මය හැදෑරීමෙන් ද, ස`ග මහ`ඵ පිළිවෙළින් ද ඉදිරියෙන්ම වැඩ සිට ඇත්තේ තිස්‌සභූති මහතෙරුන් වහන්සේ ය. උන්වහන්සේ අනාගාමී තෙරුන් වහන්සේ නමක්‌ බව මැඳුම්ස`ගි අටුවාවෙන් පෙනේ. උන්වහන්සේ මණ්‌ඩලාරාම සංඝ සම්මේලනයේ ථෙරාසනය දරන්නට ඇති බවත්, එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මාතුල දනව්වේ අලුලෙනේ පවත්වන ලද ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ සංගායනාවේ ථෙරාසනය ද උන්වහන්සේටම පැවරෙන්නට ඇති බව මේ පිළිබ`ද අපගේ අදහසයි.


හෙම්මාතගම පියදස්‌සි හිමි පරිවේනාචාර්ය 
කුඹුරුලෙන ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන, රිදීගම.


2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment