Labels

Saturday, August 20, 2016

සසර මඟ හදන හෝ නසන අරමුණ

පුබ්බේව මේ භිකඛවෙ සම්බෝධා අනභිසම්බුද්ධස්‌ස බෝධිසත්තස්‌සේව සතෝ එතදහෝසි කොනු ඛො පඨවි ධාතුයා අස්‌සාදො කො ආදිනවො කිං නිස්‌සරණං?

'මහණෙනි, සම්බෝධියෙන් පෙරම සම්මා සම්බුද්ධ බෝසත්වූ මට මේ අදහස විය. පඨවි ධාතුහුගේ ආස්‌වාදය කවරේද? ආදීනව කවරේද? නිස්‌සරණය කවරේද?

ඉහත සඳහන් කරනු ලැබුවේ, සංයුත්ත නිකායේ ධාතු සංයුත්තයට අයත් පුබ්බ සූත්‍ර දේශනාවේ දහම් කොටසකුයි. සියලු සංඛත හෙවත් සංඛාර වස්‌තූහු අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත්කොට අවබෝධවීමේ මඟට පැමිණීමට නම් මෙම අස්‌සාදය,

ආදීනවය සහ නිස්‌සරණය පිළිබඳ භාවනාවෙන්, සමාධියෙන් ලද පුහුණුවක්‌ තිබිය යුතුමය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ තවදුරටත් විස්‌තරකොට දේශනා කරති.

''ආපෝ ධාතුහුගේ ආස්‌වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්‌සරණය කවරේද? තේජෝ ධාතුහුගේ අස්‌සාදය කවරේද? ආදීනවය කවරේද? නිස්‌සරණය කවරේද? වායෝ ධාතුහුගේ අස්‌සාදය කවරේද? ආදීනව කවරේද? නිස්‌සරණය කවරේද?

'මහණෙනි, ඒ මට මේ අදහස විය. පඨවි ධාතුව නිසා යම් සුවයක්‌, සොම්නසක්‌ උපදීද, මේ පඨවි ධාතුවේ ආස්‌වාදයයි. යම් හෙයකින් පඨවි ධාතුව අනිත්‍යයද දුක්‌ සහගතද, වෙනස්‌වන ස්‌වභාව ඇත්තේද මේ පඨවි ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවෙහි දැඩි රාගය පිළිබඳ යම් දුරලීමක්‌ වේද, දැඩි රාගය පිළිබඳ යම් ප්‍රහාණයක්‌ වේ, මේ පඨවි ධාතුහුගේ නිස්‌සරණයයි. ආපෝ ධාතුව නිසා යම් සුවයක්‌ සොම්නසක්‌ උපදීද, මේ ආපෝ ධාතුහුගේ ආස්‌වාදයයි. යම් හෙයකින් ආපෝ ධාතුව අනිත්‍යද, දුක්‌ සහගතද, වෙනස්‌වන ස්‌වභාව ඇත්තේද මේ ආපෝ ධාතුහුගේ ආදීනවයයි. ආපෝ ධාතුවෙහි දැඩි රාගය පිළිබඳ යම් දුරලීමක්‌ වේද, දැඩි රාගය පිළිබඳ යම් ප්‍රහාණයක්‌ වේද මේ ආපෝ ධාතුහුගේ නිස්‌සරණයයි. තේජෝ ධාතුව නිසා යම් සුවයක්‌ සොම්නසක්‌ උපදීද, මේ තේජෝ ධාතුවෙහි ආස්‌වාදයයි. යම් හෙයකින් තේජෝ ධාතුව අනිත්‍යද, දුක්‌ සහගතද වෙනස්‌වන ස්‌වභාව ඇත්තේද මේ තේජෝ ධාතුහුගේ ආදීනවයයි. තේජෝ ධාතුවෙහි දැඩි රාගය පිළිබඳ යම් දුරලීමක්‌ වේද, දැඩි රාගය පිළිබඳ යම් ප්‍රහාණය වේද මේ තේජෝ ධාතුහුගේ නිස්‌සරණයයි. වායෝ ධාතුව නිසා යම් සුවයක්‌ සොම්නසක්‌ උපදීද, ඒ වායෝ ධාතුවෙහි ආස්‌වාදයයි. යම් හෙයකින් වායෝ ධාතුව අනිත්‍යද දුක්‌ සහගත වෙනස්‌වන සුළුද මේ වායෝ ධාතුවෙහි ආදීනවයයි. වායෝ ධාතුවෙහි දැඩි රාගය පිළිබඳ යම් දුරලීමක්‌ වේද, දැඩි රාගය පිළිබඳ යම් ප්‍රහාණයක්‌ වේද මේ වායෝ ධාතුවෙහි නිස්‌සරණයයි.'

මෙම අදහස විදර්ශනාවට ගත යුතුය. සෑම සංඛ්‍යාවක්‌ම, එනම් සෑම සවිඥනික, අවිඥනික වස්‌තුවක්‌ම නිර්මාණය වී ඇත්තේ මෙම ධාතු සතරෙනි. අභවිත සිතකට එනම් සියලු සංඛත, සංඛාර වස්‌තූන් අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත්කොට දකින්නට පුරුදු නොකරන ලද සිතකට මෙම සංඛ්‍යාත වස්‌තු අරමුණු වෙන්නේ සත්ව, පුද්ගල, නිත්‍ය, සුඛ, ආත්ම සංඥවෙනි. මේ නිසා ප්‍රිය අරමුණෙහි උපාදානයට බැස ගනී. එනම් මගේය, මම වෙමි, මගේ ආත්මයයි යනුවෙන් සිතින් දැඩිව අල්ලාගනී. අකමැති අරමුණෙහිදී පඨිඝයට හසුවෙයි.

එනම් තම ආත්ම සංඥවට තර්ජනයක්‌ සේ සලකාගෙන ගැටෙයි. කිපෙයි. තරහා ගනියි. විදර්ශනා නුවණින් අරමුණ දෙස බලන්නාට , එහි ඇත්තේ නිත්‍ය වූ, හෝ සුඛ හෝ, සත්වයෙක්‌, පුද්ගලයෙක්‌ හෝ ආත්මයක්‌ නොව වෙනස්‌වීමට ගොදුරුවන ධාතු කොටස්‌ සමූහයක්‌ බව වැටහෙයි. යම් වූ වස්‌තුවක්‌ අනිත්‍ය නම්, දුක්‌ සහගත නම් වහා පෙරළෙන සුළු නම් එය දුකක්‌ බව වටහා ගනියි. එසේ දුක්‌ හටගන්නේ තම වසඟයෙහි නොපවත්නා නිසා බව විදර්ශනා නුවණට හසුවෙයි. අභාවිත සිතක්‌ ඇත්තාට ආරම්මණය කාම ගොදුරක්‌ මිස එහි නිත්‍ය නොවන ස්‌වභාවය නොවැටහෙයි. විදර්ශනා නුවණින් බලන්නට හෝ දකින්නට තරම් ඒ පෘථග්ජන සිත මෝරා නැත. එසේ නැතිනම් පුරුදුකොට නැත. වඩනා ලද සිත් ඇත්තාට ආරම්මණය ධාතු වශයෙන් වැටහෙයි. ස්‌කන්ධ වශයෙන් වැටහෙයි එනම් පුද්ගල සංඥවෙහි, හැබැවින්ම ගැටී ඇති යථා ස්‌වභාවය අවබෝධ කර ගනී. සම්මුතියෙහි සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ලෙස සංඥවට හසුකර ගත්තද පරමාර්ථ වශයෙන් බලන විට එහි ඇති සැබෑ ස්‌වභාවය වූ රූප, වේදනා, සංඥ, සංඛාර, විඥන නම් වූ ස්‌කන්ධ පඤ්චකය වෙන්වෙන්ව වැටහෙයි. එහි උරුමව පවතින අනිත්‍ය ලක්‌ෂ දුක්‌ඛ ලක්‌ෂණද, අනත්ත ලක්‌ෂණද අවබෝධ කරගනී. රූපය මම කිdය හෝ මම හෙවත් ආත්මය රූපය මේයෑයි කියා හසුකර නොගනී. රූපයෙහි මම හෝ මා කෙරේÊරූපය පවතී යෑයි කියා ආත්ම සංඥවක්‌ නොගනී. භාග්‍යවතුන් වහනසේ දේශනා කළ අයුරින් සම්මුතියෙහි පවත්නා ආස්‌වාද රූපය කෙරෙන් දකී. එම රූපය වෙනස්‌වන බවත්, දුකට උරුම බවත්, වහා පෙරළෙන සුළු බවටත්, වටහා ගනී. මේ ආදීනවයයි. එමෙන්ම විදර්ශනාලාභියා විසින් අස්‌සාද හඳුනාගෙන එහි උපාදානයකට නොපැමිණෙන්නේ එහි ඇති ආදීනවය පිළිබඳ අවබෝධයක්‌ ඇතිකරගත් නිසාය. ආදීනව පිළිබඳ අවබෝධය ඇතිවන විට එහි විදර්ශනා සිතෙහි නිස්‌සරණය සකස්‌ වෙයි. එනම් දැඩි රාගය දුරලීම සහ ප්‍රහාණය ඇතිවීමයි. සතිමන්ත වූ මේ විදර්ශනා නුවණ ඇත්තා විසින් එම රූපාරම්මණය අස්‌සාද, ආදීනව සහ නිස්‌සරණ ස්‌වභාවයට යටත්කොට සිහිය පිහිටවූයේ ධාතු වශයෙන් දකින්නට සිත පුරුදු කොටගත් බැවිනි. ස්‌කන්ධ වශයෙන් දකින්නට සිත පුරුදු කොටගත් බැවිනි. ආයතන එනම් චක්‌ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, මන වශයෙන් විදර්ශනා නුවණ දකින්නට සිත පුහුණු කොට ගත් නිසාය.

මෙහිදී ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් මාර්ගයේදී අවබෝධකොට ගත යුතු මූලික දහම් කරුණක්‌ද ඇත. එනම් මනාවූ සීලයෙහි පිහිටීමෙන් අධ්‍යාත්මික පසුබිම සකස්‌කර ගැනීමයි. අපි කළ යුත්තේ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත්කොට සංඛත හෝ අරමුණ දෙස බලා උපාදානය නොකර ගැනීම පමණක්‌ය. වෙන කිසිවක්‌ම මේ මාර්ගයේ නැත නම් වූ මේ අදහස ගැන විමසිය යුතුය. මාර්ගඵලාබෝධයට හේතුවන ඵල සම්පත්තීන් ඇත්තන් පහසුවෙන්ම නිර්වාණගාමී මග වහා සකසාගත් බව සැබෑවකි. එනමුත් වැඩි පිරිසට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපුබ්බී කථාව නම්වූ දාන කතා, සීල කතා, සග්ග කතා, කාදයමන්හි ආදීනවය, ක්‌ලේෂයන්හි ළාමක, පහත් බව සහ නෙක්‌ඛම්මයෙහි ඇති ආනිසංස දේශනා කළහ. භාග්‍යවතුන් වහන්සේ ඡටා සූත්‍රයේදී මෙසේ දේශනා කළහ.

සීලේ පතිට්‌ඨාය නරො සපඤ්ෙඤා

චිත්තං පඤ්ඤං ච භාවයං

ආතාපි නිපකො භික්‌ඛු

සො ඉමං විඡටයේ ජටං

'ප්‍රඥවන්තයා මනුෂ්‍යයා සීලයෙහි පිහිටාම සිතත් (සමථය) ප්‍රඥාවත් (විදසුන්) වඩන්නේය. විදසුන් නුවණින් යුතු භික්‌ෂුව කෙලෙස්‌ තවන වීර්යයෙන් යුතු වන්නේ සසරෙහි, ජීවිතයෙහි ස්‌කන්ධ පඤ්චකයෙහි අවුල නිරවුල් කරන්නේය. මෙහි කෙළවර කෙලෙසුන්හි ප්‍රහාණයයි. මේ නිසා සීලයට මුල්තැන දිය යුතු බව පැහැදිලිය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. මහණෙනි, මම යම්තාක්‌ මේ චතු ධාතූන්ගේ ආස්‌වාදය, ආස්‌වාද වශයෙනුත්, ආදීනව ආදීනවය වශයෙනුත්, නිස්‌සරණය නිස්‌සරණය වශයෙනුත් මෙසේ තතු සේ අවබෝධ නොකෙළෙම්ද, මහණෙනි, ඒතාක්‌ මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මා සම්බෝධිය මැනවින් අවබෝධ කළෙමියි ප්‍රකාශ නොකළෙමි.'

''මහණෙනි, මම යම් කලෙක මේ චතු ධාතූන්ගේ ආස්‌වාද ආස්‌වාද වශයෙනුත්, ආදීනව ආදීනව වශයෙනුත්, නිස්‌සරණය නිස්‌සරණ වශයෙනුත්, මෙසේ තතු සේ අවබෝධ කළෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාවේ අනුත්තර සම්මා සම්බෝධිය මැනවින් අවබෝධ කළෙමියි ප්‍රකාශ කළෙමි. මාගේ අර්හත් ඵල විමුක්‌තිය නිශ්චලය. මේ අන්තිම ජාතියයි. දැන් පුනර්භවයක්‌ නැත. ඥන දර්ශනයද මට පහළ විය. මෙම දහම් කතාව ඔබ අප සැමටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ පිණිසම උපකාරක ධර්ම පෙළක්‌ම වේවා.


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment