Labels

Friday, August 26, 2016

චිත්ත පාරිශුද්ධියට අවශ්‍ය උතුම් ම සීලය

සීලය යන වචනය ඉතා කුඩා එකක් වුවත්, එහි අදහස ඉතාමත් පළල් එමෙන්ම ඉතා ගැඹුරු අර්ථයක් ඇති එකක්. සීලය හෙවත් සීලනය කියන්නේ සංවරයට යි. හික්මීමටයි. විශේෂයෙන් ම කය සහ වචනය යන දෙක සංවර කර ගැනීම සීලයෙන් අපේක්ෂා කරන මූලික කාර්යයක්. එසේ වුවත් සිත සංවර කර ගැනීමකින් තොරව කායික හා වාචසික සංවරය ගැන සිතන්නට අපහසුයි.
තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සිත කියන්නේ සියල්ලටම ප්‍රධාන වන එකක්. කායික හා වාචසික ක්‍රියාකාරකම් සිත පෙරටුකර ගෙනයි පවතින්නේ.
කෙනෙකුගේ ජීවන රටාව තවත් කෙනෙක් අවබෝධ කර ගන්නේ ඔහු හෝ ඇය කයින් හා වචනයෙන් ක්‍රියාත්මක වන ආකාරය දෙස බලලයි. කෙනෙකු සිල්වත් ද දුස්සීලද කියා හෝ සදාචාරසම්පන්න ද, දුරාචාර බහුල ද කියා හෝ තේරුම් යන්නේ ඒ තැනැත්තාගේ බාහිර ක්‍රියාකාරකම් දෙස බලලයි. සීලයෙන් සිදු කරන්නේ සිතින් සිතා සත්ත්වයාගේ බාහිර ක්‍රියාකාරකම් සමාජයට හානියක් නො වන ආකාරයට පාලනය කිරීම යි. ශරීරයට කටට ස්වශක්තියෙන් තනිවම කිසිවක් සිදු කරන්නට බැහැ. ඒ සඳහා සෑම විටම සිතෙහි නියෝගය අවශ්‍ය වෙනවා.

මිනිසාගේ රූප කාය ඇසුරු කරගෙන ඇස, කන, නාසය, දිව හා මනස කියන මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වන්නේ. තවත් ලෙසකින් පවසනවා නම් ශරීරය කියන්නේ ඒ ඉන්ද්‍රියයන්ගේ එකතුවක්. ඒ ඉන්ද්‍රියයන් හැසිරවීම සිදු කරන්නේ සිතයි. එසේනම් කය කියන්නේ සිතෙහි නියෝගය මත ක්‍රියාත්මක වන එක්තරා උපකරණයක් වැනි දෙයකට යි. දහමට අනුව සිතන තැනැත්තා යහපත් දේ කියන අතර, යහපත් දේ කරන්නට පෙළඹෙනවා. එසේ ම තම ජීවිකාව ද අයහපත් සේ සිදු කරනවා. සීලය යන ශික්ෂණ ක්‍රමය තුළ වන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුනම ඔහු තුළ දියුණු වෙනවා.

සංවර වූ මනසකින් යුක්තව සිදුකරන ක්‍රියාවන්ද, කථාවන් ද ඉතා යහපත් වෙන බවත්, ඒ යහපත් වූ, තැන්පත් වූ, සදාචාර සම්පන්න වූ ක්‍රියාවන් නිවනට හේතුවන බවත්, ඒ අනුව අපට තේරුම් ගත හැකිවෙනවා. එසේ ම සියල්ල සිතින් සිතා පසුව සිදුකරන බැවින් සිත සංවර කර ගත්විට සියල්ල සංවර වෙන බවද මේ අනුව පැහැදිලි කර ගත හැකිවෙනවා.

බීමට ගන්නා ජලය එකතු කරන ජල ටැංකියක් ගැන හිතන්න. එය වටා කරාම පහක් ද සවිකර ඇතත්, මේ කරාම රත්තරනින් තනා තිබුණත් ටැංකියේ ඇති ජලය අපිරිසුදු නම් කරාමවලින් එන්නේ අපිරිසුදු වූ ජලය යි. එහි පිරී ඇත්තේ පිරිසුදු ජලය නම් කරාමවලින් එන්නේ පිරිසුදු වූ ජලය යි. එතැනදී කරාමය තනා ඇත්තේ රත්තරනින් ද පිත්තලෙන් ද යන්න වැදගත් වෙන්නේ නැහැ. ඒ කරාම තුළින් එන වතුරෙහි ඇති ගුණාත්මක භාවයයි වැදගත් වෙන්නේ.
මේ ජල ටැංකිය අපේ සිත ලෙසත්, ටැංකියේ පිරී ඇති ජලය අපගේ සිතිවිලි ලෙසත් සිතා ගන්න. අපේ සිතේ පවතින සිතිවිලි හොඳ දේයි. ඒ සිතිවිලි නරක නම් ඒ ඉන්ද්‍රියයන්ගෙන් ක්‍රියාත්මක වන්නේ ද නරක දේම යි. මේ අනුව සිල්වත් වෙනවා කියන්නේ එක්තරා ආකාරයකට සිතෙහි හොඳ සිතිවිලි වර්ධනය කර ගන්නට කරන උත්සාහයක් වශයෙන්ද සිතා ගත හැකියි. ඉන්ද්‍රියයන්ගෙන් සමාජයට යොමුවෙන ක්‍රියාකාරකම් පාලනය කිරීම බාහිර සීලය වශයෙනුත් ඉන්ද්‍රිය විඤ්ඤාණයයන් තුළින් සිතට සපයන තොරතුරු වලට සිත වහලෙකු බවට පත් නොකර ඒ අරමුණුවල හොඳ නරක තේරුම් ගෙන කටයුතු කිරීමට සිත මෙහෙයවීම ආභ්‍යන්තරික සීලය වශයෙනුත් හඳුන්වන්න පුළුවන්.

තථාගතයන් වහන්සේ පෙන්වා දුන් සීලය තුළින් අපේ සදාචාරාත්මක චින්තනයට ලැබෙන්නේ ද ලොකු ශක්තියක්. අප සිදුකරන පින් හා පව් කුසල් සහ අකුසල් යන මේවායේ ඇති වෙනස හඳුනා ගැනීමට එය ඉවහල් වෙනවා. අප කය සහ වචනයෙන් සිදු කරන ක්‍රියාකාරකම් තුළින් ලැබෙන්නා වූ ප්‍රතිඵලයෙන් අපගේ සාංසාරික ජීවිතයේ සැප පිණිස පවතින්නේද, සංසාර විමුක්තියට උපකාරවන්නා වූ චිත්ත පාරිශුද්ධියට හේතු වන්නේද යනුවෙන් සිතා ඒ ක්‍රියාකාරකම් සිදු කිරීමත්, සීලය හා සම්බන්ධ චින්තනයේ වෙනස්කම් අනුව සිදු වන්නක්. සමාජයේ බොහෝ දෙනා සිල්වත් වන්නේ තමනට භෞතිකව ලැබෙන වාසි මුල්කර ගෙනයි. නමුත් තමන්ගේ සිල්වත්කම රාග, ද්වේශ, මෝහ ප්‍රතිපදාවට සමීප වෙන තරමටයි ඒ තැනැත්තාගේ සීලය නිවනට උපකාර වෙන්නේ.

ඒ වගේම අවධානය යොමු විය යුතු කරුණුක් තිබෙනවා. ඒ සිල් සමාදන්වීම හා සිල්වත්වීම ගැනයි. සිල් සමාදන්වීම පහසුයි. නමුත් සමාදන් වූ සීලය ආරක්ෂා කිරීම හෙවත් සිල්වත්වීම අපහසුවයි. සීලය ප්‍රායෝගිකරණය කිරීම තම තමාම සිදුකළ යුතු දෙයක්. ඒ නිසා පළමුව සීලය තිබෙන්නේ සමාජයෙන් වෙන් වී හුදකලාව ආරක්ෂා කිරීම සඳහා නොවන බවත්, සමාජයේ එදිනෙදා ජීවත්වන විට ඇතිවන උද්වේගකර තත්ත්වයන් පාලනය කරන්නට සීලය උපයෝගි කරගත හැකිබවත්, වටහාගත යුතු වෙනවා. එය තම නිවසින් පටන්ගත යුතු දෙයක්.
සිත, කය, වචනය යන තුන්දොර සංවර කර ගෙන තම චර්යාවන් දියුණු කර ගන්නා වූ සිල්වතාගේ ජීවිතය සන්සුන් එකක්. ඔහු තමාට සමාජයෙහි ජීවත්වෙන විට විවිධ තාඩන, පීඩන අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවුවත් ඒ සියල්ල සන්සුන් සිතින් මුහුණ දෙනවා. ඒවා හමුවේ අනවශ්‍ය ලෙසින් කලබල වී ඇති වී තිබෙන අර්බුද වැඩිකර ගන්නේ නැහැ. තමාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධභාවය ගැන ඔහුට මනා අවබෝධයක් තිබෙන නිසා තමා කරන කියන කටයුතු සිහියෙන් කරන නිසා ඔහුට බොහෝ දෙනාට මුහුණ දෙන්නට වන සතර බියෙන් සැලෙන්නේ නැහැ.

සත්‍ය වශයෙන්ම බුදුදහම සතුටින්, සන්තෝෂයෙන් ජීවත්වන්නන් සඳහායි. ධර්මයෙන් තොරව සතුට සොයන්නාට ඒ සඳහා බොහෝ දේ තිබිය යුතු බව හැඟෙනවා. නමුත් ධර්මානුකූලව සිතන්නාට තමාට සතුටුවීම සඳහා තිබෙන දේ හොඳටම ප්‍රමාණවත්. තිබෙන දෙයින් සෑහීමකට පත්වී සතුටුවන්නා හා සමඟ සැමදා සතුට රැඳෙනවා. සතුටුවීම සඳහා බොහෝ දේ තිබිය යුතුය යනුවෙන් සිතන්නාට ඒ බොහෝ දෙයින් සුළු දෙයක් හෝ නැතිව ගිය විට දැනෙන්නේ දුකක්.
වත්මන් ලෝකයේ ජීවත්වෙන බහුතරය සැමවිටම තරඟකාරීවූත් සංකීර්ණවූත් ජීවන රටාවක් තුළ රැල්ලේ දුවන්නන් බවට පත්වෙලයි සිටින්නේ. තමා සමාජයේ ඉහළින් ම වැජඹිය යුතුය යන පුහු ආකල්පය නිසා ධනයට හා භෞතික සැපයට අසීමිත ලෙස ගිජු වෙමින් තමන්ගේ ආධ්‍යාත්මික වටිනාකම් පවා කෙලෙසා ගන්නා තත්ත්වයකුයි තිබෙන්නේ. මේ ලෞකික ජීවිතයේ තම සීමා මායිම් නිසි ලෙසින් හඳුනා නොගත් ඔවුන් හිස ගිනි ගත්තවුන් ලෙසින් වල්මත් වූවන් ලෙසින් ආශාවන්හි වහලුන් බවට පත්වී ඔබමොබ දුව යනවා. සිල්වතා මේ තත්ත්වයෙන් මිදුණු කෙනෙක්. අසීමිත ආශාවන් පාලනය කර ගත් ඔහු සැහැල්ලු දිවි පෙවෙතක් ගතකරන සැනැසිල්ලේ ජීවත්වෙන කෙනෙක්.

විවිධ සමාජ තලවල ජීවත්වෙන අප විසින් අපේ ජීවිත වටා කිසියම් සීමා මායිමක් ඇතිකරගත යුතුයි. ඒ අපේ ම ආරක්ෂාව වෙනුවෙන්. මහ මුහුද වටේටම වෙරළ තිබෙනවා. වෙරළ මුහුදේ සීමාවයි. මහ මුහුද තම සීමා දැන ඒවා ඉක්මවා යන්නේ නැතිව කටයුතු කරන නිසා බොහෝ විට ජල තරංග වෙරළේ හැපී නැවත මුහුද දෙසට ම ඇඳී යනවා. එලෙසින් අපේ ජීවිත වටා ද කිසියම් සීමාවක් අප විසින් ම සළකුණු කරගත යුතුයි. ඒ සීමාව සීලය වශයෙන් හඳුන්වන්න පුළුවන්. සිල්වත් පුද්ගලයා තමාගේ සීමාව ගැන නිරන්තරයෙන් ම අවබෝධයෙන් කටයුතු කරනවා. තමන්ගේ ආරක්ෂාවට ඇති තමන් ආරක්ෂා කරන්නට සමාදන් වූ සීලය ඔහු හොඳින් ආරක්ෂා කරනවා සේ ම ඒ සීලය තුළින් නිරායාසයෙන්ම ඔහුත් ආරක්ෂා වෙනවා. සීලය කෙනෙකුට වැදගත් වන්නේ එය ස්වකීය ආරක්ෂකයෙකු ලෙසින් කටයුතු කරන නිසයි.

සීලය තුළින් අන්තගාමී ද නොවිය යුතුයි. සීලය තිබෙන්නේ තම චිත්ත පාරිශුද්ධිය ඇතිකර ගැනීමට මිස, ඒ තුළින් අසහනකාරි මානසිකත්වයකට පත්වීමවත් තමන් ව හුවා දක්වා මානය ඇති කර ගැනීමටත්, නොවෙයි. බොහෝ දෙනා තමන්ගේ සිල්වත්භාවය තුළ අනුන් හෙළා දැක තමන්ව හුවා දක්වා ගැනීමට හදනවා. එය ම ඒ තැනැත්තාගේ ආධ්‍යාත්මික පරිහානියට හේතු වෙනවා. සීලය සිත පිරිසුදු කර ගැනීමට මිස සිත කිළිටි කර ගැනීමට නොවේ. සීලය විසුද්ධියක් ලෙසින් සප්ත විසුද්ධින් තුළ පළමුවෙන් ම දක්වා තිබෙන්නේ ඒ නිසයි.

ඇතැමෙක් සීලය මහ වධයක් ලෙසින්ද, බරක් ලෙසින්ද කරට ගෙන කටයුතු කරන අයුරු දක්නට ලැබෙනවා. ඇත්තෙන්ම සැබෑ සීලයෙන් කෙනෙකුගේ සිතට එලෙසින් බරක් ඇතිවිය නො හැකියි. සැබෑ සිල්වතාගේ සිත සැහැල්ලුභාවයකින් යුක්ත එකක්. ඒ මානසික සැහැල්ලුවමයි ඔහුගේ චිත්ත සමාධිය පිණිස උපකාර වන්නේ. ඒ සමාධියයි ප්‍රඥාව හෙවත් පරම සුවය, පරප්‍රාප්තිය වන නිවන පිණිස උපකාරි වෙන්නේ.


මේ අනුව සීලය කියන්නේ අපගේ ජීවිතයේ හැම අංශයක් හරහා ම ගමන් කරන ධර්මතාවක් බව අප තේරුම් ගතයුතුයි. ශරීරය පුරාම රුධිරය ධාවනය වන්නා සේ සීලය අපේ ජීවිතයේ කුඩා අවධියේ සිට සත්‍යාවබෝධය තෙක් මුහුකුරා යනතුරා ම විවිධ ආකාරයෙන් ක්‍රියාවත්මක වන, ජීවිතයේ සෑම පැතිකඩකට ම අදාළ වෙන දෙයක් බව පැහැදිලි වෙනවා.





ශාස්ත්‍රපති, 
රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 06 වන සෙනසුරාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment