Labels

Saturday, August 20, 2016

මම නම් වූ නොවටිනාම වචනය කපා හරින්න

ගැඹුරු විවේකය, සුන්දර නිවීම, පරම නිවන යනු ඔබෙන් 'මම' ඉවත්වයැමයි. එනම් විඤ්ඤාන - නාම රූප පිහිටා සිටීමත් පනවා ගැනීමත් නොයෙදෙන තැනය.

ඔබ මෙතෙක්‌ සංකල්පනාගතව එල්බගෙන සිටි මම, මගේ, මගේම, අප අපගේම වෙමි, වෙමු යෑන පැනවීම් ගැන හොඳින් විමසා බලන්න. නිරීක්‌ෂණය කර බලන්න. කුමන පදනමක්‌, කුමන කාරණයක්‌, කුමන හෝ හේතුවක්‌ නිසා මේ පනවා ගැනීම් කළාද? කිසිසේත් පිළිගත හැකි සාධාරණ හේතුවක්‌ ඉදිරිපත් කළ නොහැක. එසේ හෙයින් පරම විවේකය, සුන්දර නිවීම, සදාකාලීක නිදහස සඳහා 'මම' බාධකය ඉවත්කරන්න. ඔබගෙන් 'මම' නමැත්තා හෙවත් කරන්නා ඉවත් කිරීම පමණකින්ම ලෝකයෙන් නිදහස්‌වීමට පුළුවන.


ඔබ තුළ නිදන්ගතව මම ඉන්නතාක්‌ කල් ඔබට නිවනක්‌ සතුටක්‌, සැනසිල්ලක්‌ නොමැත. ම පින-පව පනවනු ඇත. කුසල් අකුසල් පනවනු ඇත. එවිට විපාක යන්නෙන් නිදහස්‌වීමක්‌ද නැත. මම ගෙන් නිදහස්‌ වූ විට ක්‍රියාත්මකභාවයක්‌ සිදුවීමක්‌ පමණකි. ස්‌වභාව ධර්මයේ ස්‌වභාවයක්‌ පමණි. 'මම', 'අපි' නැත. 'කරමි' කරමු නැත. අවිද්‍යාවෙන් විද්‍යාවට ආලෝකයෙන් අලෝකය කරා පියමං කරනු ඇත.

ඔබ ඔබගේ ක්‍රියාදාමය තුළම හැසිරීම් රටාව තුළම සතිමත්ව සිටින විට, දකින විට ඔබ තමාට අයිති නැති දෙයක්‌ ළංකරගෙන ප්‍රපංචනය කරගෙන, උපාදානය කරගෙන දිගු සසර ගමනක යෙදුන හැටි වැටහෙනු ඇත. පටිච්ච සමුප්පාදය ධර්මයේ මුල, මැද ධර්ම ගැන හෙවත් ඉධප්පච්චයතා, ධම්මට්‌ඨිකා, ධම්ම නියාමතා ගැන මන මෙහෙයවන විට ලෝක ස්‌වභාවය යථාභූත ඥාන දර්ශනය වෙත සමීප විය හැක. මේ යථා භූතයේදී ශුන්‍යතාව පිළිබඳ සමීපතම අත්දැකීමට ඔබට පත්විය හැක. එහිදී මම නොපැනවේ. උපත, මරණය සංකල්පයන් සම්මුතීන් ඉක්‌මවා ගිය යථාර්ථයට පත්වේ. ඒ ධම්ම නියාමතාවයයි. ඔබ තුළ නිදන්ගතව ඇති, දෘෂ්ටිගතව ඇති මම ඉවත් වේ. කර්තෘ හෙවත් කරන්නා නොපැනවේ. මම සංඥවෙන් වෙන්වේ. මමත්වයෙන් ඉවත්වීම බර බිම හෙලීම නිසාම සැහැල්ලු බවට විවේකී බවට සම්ප්‍රාපප්තිය සිදුවේ.

විඤ්ඤාණ, නාම, රූප නම් වශයෙන් පැනවීම් වශයෙන් සම්මුති වශයෙන් යෙදීම් වශයෙන් ප්‍රකට වන මේ ස්‌වභාවධර්මය මමත්වයෙන් මුදා ගැනීම පුද්ගල සංකල්පයෙන් නිදහස්‌වීම වේ. මම යෑයි විශ්වාස කළ රැවටිලිකාරයා ඔබගෙන් සමුගත්විට භයක්‌ නැත. උපත, මරණය නොපැනවේ. එලොව - මෙලොව නොපැනවේ. පින-පව, සුගති දුගති කර්ම විපාක නොපැනවේ. මොනතරම් නිදහස්‌ද? හැඟීම් මත මිතුරුවී ඇලීම් ඇතිකරගෙන රාගයෙන් ගිනි ගැනීමත් ගැටීම් හා හතුරුවී ද්වේෂයෙන් ගිනි ගැනීමත් නොයෙදෙන බැවින් පරම විවේකීව ඉතා ගැඹුරු නිහඬබවක්‌ තුළ සුඤ්ඤත විහාරීව වාසය කිරීමට හැකිවනු ඇත.

මහා ප්‍රඥව පහළවීමේදී උපාය මාර්ගය වූ පටිච්චසමුප්පාද දර්ශනයෙන් මන ශුන්‍යත්වයට පත්වේ. එවිට සංඥ විරහිත සමාධියට පත්වේ. එය අචින්ත්‍ය වූ අනිමිත්ත සමාධියයි. මෙහිදී සංසාරය හා නිර්වාණය යන ද්වතාවය නොපිහිටයි. උපත හා මරණය යන ද්වතාවය නොපිහිටයි. සියලු චින්තනයන් රූපමය චිත්ත සංඛාර අත්හැරේ. පරමාර්ථමය මනසම වේ. එහි ප්‍රතිෂ්ඨාවක්‌ හෙවත් පිහිටීමක්‌ නොයෙදේ. ශුන්‍යත්වය තුළ කිසිවක්‌ පිහිටකර හෝ ආධාර කරගෙන හෝ ර¹ නොපවතී. ආයාසයෙන් තොරව වීර්යයෙන් තොරව ඉතාමත් සැහැල්ලුවෙන් ලිහිල්ව සියලු බන්ධයන්ගෙන් හෙවත් භාරයන්ගෙන් මිදුනේ වේ. පරම + අනු ඉක්‌මවාගිය පරමානූත්තර ලෝකෝත්තර නිවීම වේ.

ඉදපච්චයතාවෙන් සම්මා සම්බුද්ධ බෝධි චිත්තයට මනස සම්ප්‍රාප්ත වූවා වන්නේ යථාභූත පරිඤාණය උදාවී සංඥ ශුන්‍යතාවයෙන් කිසිම සංඥවක්‌ විඤ්ඤාණයට සාපේක්‌ෂ නොවන බවයි. ප්‍රකට බවෙත් අප්‍රකට බවෙත් මූලයෙහි යෝනිසෝමනසිකාරය යෙදේ නම් විඤ්ඤාණය මත මනස ක්‍රියාකාරීත්වයක්‌ නොවේ. ස්‌ථාවර පිහිටීමක්‌ නොයෙදේ. චිත්ක්‌ක - විචාර නොපිහිටයි. එනිසාම විඤ්ඤාන, නාම, රූප නොපිහිටයි. ජාති, ජරා, මරණ නොවේ.

විශ්ව පදාර්තයන්ගේ, ධාතුන්ගේ ශක්‌තීන්ගේ සුද්ධ ධර්මයන්ගේ ආත්ම පදාර්ථයක්‌ නැත. නිරන්තර වේගවත් බවක්‌ ප්‍රවර්තනයක්‌ පමණි. උත්පාද, වය හෙවත් හට ගැනීමක්‌ නිරුද්ධවීමක්‌ පැනවිය නොහැකි බවකි. ඒ නිසා ඉපදීම මරණය නම්වූ සංකල්පගත වීම නොදැනුවත් බවයි. අවිද්‍යාවයි. එනිසා විඤ්ඤාන, නාම, රූප අන්තර් සාපේක්‌ෂතාවයේදී ආත්ම පදාර්ථයක්‌ නැත. මම නැත. මේ යථාර්ථයේදී උපත - මරණය ඇති දෙයක්‌ නොවේ. මම නම් යෙදුම පනවා ඇති විඤ්ඤාණ, නාම, රූප පටිච්චසමුප්පාද ධර්මතාවය, ඉදප්පච්චයතාව ගැන අවිධිමත්වන්න. එවිට විඤ්ඤාණය ක්‌ෂයවී අපේක්‌ෂා විරහිත සංකල්ප විරහිත ශුන්‍යත්වයේ ස්‌වභාවයට මනස පත්වේ. ඒ බුද්ධ මනසයි.

උපත සංඥවන්ගේ අනුසාරයෙන් නිමිත්තග්‍රාහී වීමද, විපත සංඥාවන්ගේ අනුසාරයෙන් (විපරිනාමය) නිමිත්තාග්‍රාහී වීමද මෙතෙක්‌ කල් පනවාගෙන ආ බවක්‌ වැටහෙනු ඇත. සංඥවන්ගේ පවතින බව ඉත්තකභාවයයි. සංඥවන්ගේ වෙනස්‌වීම අඤ්ඤථභාවයයි. ඉත්තභාවය හා අඤ්ඤථාභාවය සංකල්ප වශයෙන් ගැනීම දෘෂ්ටි ජාලයකට පැටලීමකි. ඒ නිසා රූප සංඥ නිමිති වශයෙන් ගැනීමද ශබ්ද සංඥ නිමිති වශයෙන් ගැනීමද ගන්ධ සංඥ නිමිති වශයෙන් ගැනීමද රස සංඥ නිමිති වශයෙන් ගැනීමද, පොට්‌ඨබ්බ සංඥ නිමිති වශයෙන් ගැනීමද ධම්ම සංඥ නිමිති වශයෙන් ගැනීමද නිමිත්තානූසාරී වේ. යෝනිසෝ මනසිකාරය, සතිමත්බව, එළඹ සිටි සිහිය මත අනිමිත්තානුසාරිය අප්‍රමාදී විහරණයෙන් විඤ්ඤාණ නිරෝධය නම්වූ ධර්මතාවට පත් වේ.

මම නැති තැන හිස්‌ බවයි. මේ හිස්‌බවට බොහෝ දෙනා බියවෙති. පොතක්‌ සඟරාවක්‌ බලන්නේත්, ගුවන් විදුලිය අහන්නේත්, රූපවාහිනිය නරඹන්නේත්, 'මම' නමැති පුද්ගලයා තනි නොකිරීමටයි. ඕපදූප කතා කරන්නේත්, කෙනෙක්‌ බලාපොරොත්තු වන්නේත් ආයතන සම්බන්ධීකරණය කරගෙනය. (චක්‌ඛු ආයතනවලින් පස්‌ස ආහාර) ආහාර ගන්නේත් තනි පංගලමේ කාන්සිය මගහරවා ගැනීමටය. 'ඇයි තවම මම ළංකරගෙන ඉන්න නිසානේ' භෞතික වස්‌තු එහාට මෙහාට කරමින් මෙවලම් පරිහරණය කරමින් සිටින්නේ ඒ සඳහා නේද? මම අවදිව සිටින විට කිසිවක්‌ නොකර සිටින්නේ ශුන්‍යත්වයට බිය නිසාය. ආයතන පිනවන්නේත් ශුන්‍යතාවට අකැමැති නිසාය. අඬ දබර කළකෝලාහල කරන්නේත් ඒ සඳහාය.

'ශුන්‍යත්වයේ අගය, වටිනාකම, උසස්‌ බව, ශ්‍රේෂ්ඨත්වය මුනිබවට පත් උතුමන් හැර පුහුදුන් අය දන්නේ නැත'. උත්තම නිහඬ බවට පත් මම පලවා දැමූ මහා ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ ඒ සඳහා අපට අවශ්‍ය මග පෙන්වා වදාළහ. ඒ මග යා යුතුය. එසේ නොමැතිව ලෝක ධර්මයන්ගෙන් නිදහස්‌ව ලබන නිවන වෙත 'මම' නොමැති තැන කෙසේ නම් ළංවෙන්නද?

විඤ්ඤාණයාගේ සැපයුම් මාර්ගය අවහිර කරන විට අපට මහත් භයක්‌ හිස්‌ බවක්‌ දැනෙනු ඇත. සැපයුම් මාර්ග කෙසේ හෝ සපුරාලන්න අප නිතරම උත්සාහ ගනිමින් සිටින්නේ. ඒ මමත්වයයි. විඤ්ඤාණයාගේ ආහාරය ඵස්‌සයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම සපයමින් 'මම' පෝෂණය කරයි. ඒ එයාගේ පැවැත්මටයි. 'මම' තනි වෙන නිසාය. එමෙන් ඒ සියල්ල කරන්නේ ලෞකික ලෝකය තුළ සිටගෙනමය. නින්දේදී පවා ඔබට සිහින ලෝකයක්‌ මවා සැපයුම් මාර්ග සපයයි. තනි බව මහගැරවීමටයි. අඹුදරුවන්, දැසි දස්‌සන්, දෙමාපිය, ඥතීන්, මිත්‍රයන් මෙන්ම ගේදොර ඉඩකඩම්, යාන වාහන ආදී පණ ඇති පණ නැති දේ සපයාදී තනිබව මගහැරලා දමයි. එහෙත් සවිඤ්ඤානි, අවිඤ්ඤානික ලෝක ධර්මයන් ළංකර ගෙන සිටිනතාක්‌ බුද්ධාදී උතුමන් පැමිණි මහා නිහඬ බවට පත්විය නොහැක. එසේ හෙයින් මහා මුණිවරයාණන් වහන්සේ අවබෝධ කිරීමට උපදෙස්‌ දුන් ප්‍රතිපදාව හරිහැටි දැනගත යුතුය. මගෙන් නිදහස්‌වන්න. ලෝක ධර්මයන් හිතෙන් අත්හරින්න.

'මම' නම් වූ නොවටිනාම වචනය කපා හරින්න. හේතුව මම ඇති තැන අහංකාර කම හට ගනී. අහංකාර කම නිසා කර්ම රැස්‌ කරයි. කර්ම රැස්‌ කිරීමෙන් භවය දික්‌ වේ. වැඩිපුරම අපායාදී දුගතියන්හිම අනන්ත දුක්‌ විඳිමින් පරක්‌ තෙරක්‌ නොපෙනෙනා ගමනක යැමට සිදුවේ. 'මම' සංකල්පය ලෝකයා විසින් ඔබට පටබැඳ ආරෝපණය කර ඔබව මෝඩයාට අන්දවා ඇත. නැති 'මමෙක්‌' පනවා 'ඇත' මතය දී ඔබව වෙස්‌ ගන්වා ඇත. 'මෝඩයාට අන්දවා' ඇත. මේ යථාර්ථය බුද්ධිමත්ව අවබෝධ කටයුතුය. 'මම' නම් වූ මෝඩයාට ඇන්දවූ ඔබ එතැන් සිට අසත්‍යම කරපින්නා ගත්තා. හැම තීරණයක්‌ම හැම නිගමනයක්‌ම 'මම' සංකල්පය මත ගොඩනැගුන නිසා දෘෂ්ටි ජාලයකට මැදිවුණා. මේ 'හීන මන්ද බුද්ධික' භාවයෙන් ඔබව මුදා ගන්නේ ශාන්ති නායක තථාගත දර්ශනයයි.

සියලුම ආගමික ඉගැන්වීම් අන්තගාමී නොවිය යුතු බව බුද්ධිමත් ඔබ තීරණය කරනු ඇත. බුදුපියාණන් වහන්සේ ගුරුවරයකු නොව මග පෙන්වන්නකි.

'තම්මෙහි කිච්චං ආතප්පං

අක්‌ඛා තාරෝ තථාගතා'
නොමඟ යනු ලෞකිකත්වයකි. හරිමග යනු ලෝකෝත්තරයි. තථාගත දහම ස්‌වභාව ධර්ම කියාපන පෙන්වා දෙන පිළිවෙතකි. ඒ පිළිවෙත තුළ ඔබ ආගම් අදහන වහලෙක්‌ බවට පත් කර නැත. 'අණ' දෙන්නෙක්‌ නොමැති නිසා ඔබ වහල්භාවයෙන් නිදහස්‌ය. සමහර ආගම්වලින් ශ්‍රාවකයා අනුගාමිකයා ආණ්‌ඩු කරයි. පාලනය කරයි. ඒ නිසා එහිදී පාලකයන් ඔබට හමුවේ. පාලකයන් හමුවේ ඔබ අන්ධානුකරණයට යටත්වූවෙක්‌ වේ. අධම තත්ත්වයට පත්වේ. සත්‍යය අහුරා ඇත. නිවන් මඟ මඟහැරී යනු ඇත. ලෝක ධර්මයන් ළංකර ගන්න ගන්න ඔබ නොදැනුවත්වම ස්‌වාමියෙක්‌ බවට පත්වේ. පාලකයෙක්‌ බවට පත්වේ. නොවටිනා මනුෂ්‍ය සම්පත් දිව්‍ය සම්පත් බ්‍රහ්ම සම්පත් වටිනා දේ විදිහට ඔබට ඒත්තු ගන්වයි. සම්පත් හමුවේ දාසයෙක්‌ බවට පත්වේ. සේවකයෙක්‌ බවට පත්වී දුකෙන් දුකට පත් වේ.

කිසිදාක හෝ නිදහස කැමැති නම් හෙවත් දුකෙන් අත්මිදීමට කැමැති නම් ස්‌වාමියෙක්‌ නොවන්න. අත්හරින්න. මම අත්හරින්න. යථාර්ථය තේරුම් ගෙන ආර්ය උත්තම භූමියට ඇතුළු වන්න. එහි කෑදරකම නැත. ප්‍රේමය නැත. ආදරය නැත. වුවමනාව නැත. ගිජුකම නැත. මෙතැනින් පහල ගියහොත් වහලෙක්‌ බවට පත් වී දුකට පත්වේ.

මන නිතරම ආවේගකාරීය. හැඟීම්වලට වහල්ය. අකුසලයට බොහෝ දුරට බරය. රංචු ගැසීමට කැමැතියි. දොඩමළුවීමට කැමතිය. දෙවැන්නකු ගේ පැමිණීම නිතරම අපේක්‌ෂා කරයි. උද්වේගකර හැඟීම්, ඇලීම්, ගැටීම් මනේ ක්‍රියාකාරීත්මය පැවැත්මට අදාළ කර ගනී. ඉවහල් කර ගනී. කර්තෘ විරහිත බවේදී රූප සංඛාර හට නොගන්නා තැන යථාභූත ඥානය පහළවීම යෝනිසෝ මනසිකාරය වේ.


ගම්පහ සිරිසීවලී හිමි

2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment