අද අප අතර සිටින වැඩි දෙනෙක් බොහෝ බණ ඇසුවත් මහා පින්කම් කළත් පින්කම් පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇතිව කටයුතු කරනවා යැයි සිතන්න අමාරුයි. මුදල් යහමින් ඇති අය සිතා සිටින්නේ මුදල් වියදම් කළ පමණකින් පින් රැස්කර ගත හැකිය කියලයි. මුදල් අගහිගකම් ඇති අය කියන්නේ මුදල් නැත්නම් පින් කර ගන්නට බැරි බවයි. මේ දෙකම වැරැදි අදහස්. හැම දෙයක්ම සල්ලි තමයි කියා සිතන්නට වර්තමාන සමාජය නැඹුරු වී තිබීම අවාසනාවකි. හැම දේකටම මුල් වන්නේ සල්ලි නොවෙයි. වැදගත් ම දේ හිතයි කියල බුදුහාමුදුරුවෝ මොනතරම් අවධාරණය කරල තියෙනවද?
උපන් අප හැම කෙනෙකුටම සිතක් තියෙනව. පින් කරන්න අවශ්‍ය කරන වැදගත් ම දේ තමයි හොඳ සිත. වැරැදිලා ගියත් හොඳ හිතින් කරන දේකින් පව් සිද්ධ වන්නේ නැහැ. පින් සිදු වෙනවා. මහා පරිමාණ පුණ්‍යකර්මවලින් ගොඩක් පින් රැස්වෙනවා තමයි. ඒ වගේ ම සුළු යැයි අප විසින් නොතකා හරින බොහෝ දේවල්වලින් පින් රැස්කර ගන්න පුළුවන්. ඒ සඳහා අවබෝධයත් උනන්දුවත් අවශ්‍යයි.
හැම කෙනෙකුට ම හැමදාම මහා පින්කම් කරගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් හැම කෙනෙකුටම හැම වෙලාවක ම පාහේ පුංචි පුංචි පින්කම් කරගන්න හැකියාව තිබෙනවා. අද අප අතර වැඩි දෙනෙකුට අමතක වෙලා ඇයි මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ කියන කාරණය. ඇතැම් කෙනෙක් හැසිරෙන්නෙ මනුෂ්‍ය ලෝකෙට ආවේ පුළුවන් තරම් පඤ්චකාම සම්පත් විඳගන්න වගෙයි.
ඒ අය මොන ක්‍රමයකට හරි ඉඳුරන් පිනව ගන්න දඟලනව. සමහරු නම් සිතාගෙන ඉන්නෙ මනුෂ්‍ය ලෝකයට ආවේ සල්ලි හම්බ කරන්න කියලයි. මොන තරම් වැරැදීමක්ද? සැප විඳින්න නම් යන්න තිබුණෙ දිව්‍ය ලෝකයටයි. අප මනුෂ්‍ය ලෝකයට එන්න හුඟක් මහන්සි ගන්න ඇති. පින් කරන්න ඇති. ප්‍රාර්ථනා කරන්න ඇති. අනේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුනා නම් පින් කර ගන්න තිබුණ කියල හිතන්න ඇති. ඒත් අද ඒක මතක නැහැ.
කොහොම හරි මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුන අපට පින් කරන්න පමණක් නොවෙයි මොනව කරන්නත් තියෙන්නෙ ඉතාම සුළු කාලයයි. දිව්‍ය ලෝක, අපාය ලෝක සමඟ සන්සන්දනය කරල බලනකොට මනුෂ්‍ය ලෝකය අපේ ආයුෂ මොනතරම් කෙටිද? ඒ කෙටි කාලයෙනුත් සෑහෙන කොටසක් මොනවත් කරගන්න බැරි බාල කාලයටත් මහළු කාලයටත් වැය වෙනව. ලෙඩ රෝග, ප්‍රශ්න කරදර වගකීම් නිසා තවත් සෑහෙන කාලයක් නාස්ති වෙනව. එහෙම ජීවත් වන අප කලාතුරකින් ලොකු පින්කමක් කර ගත්තාම ඇතිද? කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මොකද? අවදියෙන් ඉන්න හැම වෙලාවක ම පව් සිද්ධ වෙන්න පුළුවනි. පින් පව් කියන්නෙ පේන, ඇහෙන දේවල්ම නෙමෙයි. පින් පව් කියන්නෙ සිතන දේවල්වලටයි. නොදැන නොසිතා වැරැද්දක් වුනාට පව් සිද්ධ වෙන්නෙත් නැහැ නොදැන නොසිතා හොඳ දෙයක් සිද්ධ වුණාට පින් සිද්ධ වෙන්නෙත් නැහැ. පින්කමක් හෝ පව්කමක් කියන්නෙ චේතනාවකට බව ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ කියන බුද්ධ දේශනාවෙන් පැහැදිලි වෙනව.
අපේ සිත නිතරම බරවෙන්නෙ පාපයටයි. දකින, ඇහෙන දේවල් නිසා සිතේ ආශාව හෝ ද්වේශය උපදිනව. අරමුණක් සිතට ආවාම මධ්‍යස්ථ උපේක්ෂා සහගත චේතනාවක් ඇතිකර ගන්න පුළුවන් වෙන්නෙ සිත දියුණු කළ කෙනෙකුට පමණයි. එහෙම නැති අයගෙ සිතේ උපදින සිතිවිලි පාපයට බරයි. කිසිවක් නොසිතා සිටින වෙලාවක වුවත් සිත ඇතුළෙන් ඉස්මතු වෙලා මතක් වෙන්නෙ වෙච්ච වැරැදි, අතපසු වූ දේවල් එහෙම නැතිනම් පසුතැවිල්ලට හේතුවන දේවල් ම තමයි. කළ හොඳ පින්කමක් වුවමනාවෙන් ම තමයි මතක් කර ගන්න වෙන්නෙ. කොහොමටත් ලෞකික ජීවිත ගත කරන හැම කෙනෙකුගෙම සිතේ ඇතිවන හැඟීම් පින් සිතිවිලි කියල කියන්න බැහැ. එතකොට පව් වැඩියෙන් උපදිනව කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එහෙම පරිසරයක් තුළ ඉඳල හිටල මහපින්කමක් කර ගත්තට මදි.
බුද්ධ ධර්මයේ සඳහන් වෙනව අටමහාකුසල් ලැයිස්තුවක්. ඊට අනුව කඨිනචීවර පූජාකිරීම, අටපිරිකර, සාංඝිකදාන ආදිය මහානිශංසදායක පින්කම්. ඒවායින් බලසම්පන්න මහා පිනක් එකවර ම කරගන්න පුළුවනි. එහෙත් එබඳු පින්කම් නිතර කරගන්න ලැබෙන්නෙ නැහැ. බුද්ධ දේශනාවට අනුව කුඩා පින්කම් කරලත් පිනෙන් ශක්තිමත් වෙන්න පුළුවනි. නිතර පුංචි පින්කම් ගැන අවධානයෙන් ඉන්න විට පව් සිතිවිලි උපදින්න තියෙන අවස්ථාවත් මගහැරිල යනව.
උදේ හවස බුදුන් වැඳීම, මල් පූජා කිරීම, පිරිත් කීම හැමදාම කරන්න ඕන. ඒවගේ පින්කම් ඇතුළෙත් තව කුඩා පින්කම් රාශියක් තියෙනව. උදාහරණයකට මල් පූජා කිරීම ගත්තොත් මල් වට්ටිය අතට ගැනීම, මල් සොයා යාම, මලින් මලට විපරම් කර බැලීම, සුදුසු මල් නෙලීම, පැන් ඉසීම, මල් ආසනය සුද්ධ පවිත්‍ර කිරීම, ආසනය මත මල් තැන්පත් කිරීම දෑත් ඔසවා වැඳීම මේ ආදී වශයෙන් හැම දෙයක්ම පින් සිතිවිලි උපදින වැඩ. ඒත් වැඩි දෙනෙක් සිතන්නේ ශ්‍රද්ධාව උපදවාගෙන කරන්නෙත් ආසනය මත මල් තැන්පත් කිරීම පමණක් මල් පූජාකිරීම හැටියටයි. මුලින් කී කටයුතු පින්කම් වෙන්න නම් සිහියෙන් කරන්න ඕන. එතකොට හැම දෙයක් ම සිද්ධ වෙන්නෙ සතියෙන් යුක්තවයි. සතිසම්පජඤ්ඤය කියන එළඹ සිටි සිහිය තියෙන කොට මල් කඩන අතර තමන්ගෙ ගහේ මල් නැති එක ගැන අමනාපයක්වත් අනුන්ගෙ ගස්වල මල් පිරිල කියල ඊර්ෂ්‍යාවක්වත් උපදින්න ඉඩක් නැහැ.
ඔබ පන්සලට යන්නෙ කිසියම් අරමුණක් ඇතිවයි. බණක් අහන්න, දානයක් දෙන්න, බෝධිපූජාවක් තියන්න එහෙමත් නැත්තම් හාමුදුරුවෝ මුණ ගැහිල දුක සැප විමසන්න වගේ අරමුණකින් තමයි යන්නෙ. බණ අහන්න යන කෙනා ඉබේටම වගේ ධර්මශාලාවට ගිහිල්ල වාඩි වෙනව. අනිත් අය සාධු කියන කොට තමනුත් සාධු කියනව. ඊට පස්සෙ ආපසු එනව. බලන්න මේ අතරතුර කොතරම් පින්කම් එහෙම නැත්නම් පින් සිතිවිලි උපදවා ගන්න අවස්ථා තිබුණද? උදාහරණයකට බලන්න. පන්සලට යන්න සූදානම්වීමට අතපය සෝද ගන්න එක, සුදු ඇඳුමක් තෝරන එක, ඒ ඇඳුම් ඇඳ ගන්න එක, මේව ඔක්කොම ප්‍රධාන අරමුණට සම්බන්ධ කරල සිතන කොට පින් සිද්ධ වෙනව.
අප පන්සලට ඇතුල්වෙන කොට පාවහන් ගලවනව. වැඩි දෙනෙක් ඒක කරන්නෙ ගැලවිය යුතු නිසා, නොගැලෙව්වොත් හොඳ නැති නිසා, ගැලවිය යුතුයි කියල දැන්වීමක් දාල තියෙන නිසා. මේ වගේ හේතු මත පාවහන් ගැලෙව්වට පින් සිද්ධ වෙන්නෙ නැහැ. මම තුනුරුවන්ට ගෞරව පිණිස පාවහන් ගලවමි කියන පින් සිතිවිල්ල උපදින්න ඕන. තමන්ට වඩා වැදගත් කෙනෙකුට හෝ දේකට සිතාමතා ගෞරව කිරීම පිනක්. ඒකෙ ආනිශංසය තමයි තමන්ටත් ගිය ගිය තැනදි ගරු සත්කාර ලැබීම. ඒක ඔබට ඕන කරන ඔබ බලාපොරොත්තු වෙන දෙයක්. හැබැයි අචේතනිකව හෝ බාහිර හේතුවකින් පෙළඹීම නිසා පාවහන් ගැලෙව්වාට ඒ ප්‍රතිඵලය ඔබට ලබන්න බැහැ.
ගෙදරක සාංඝික දානයක් කියන්නෙ මහපින්කමක්. එතනදි දානය පිළිගැන්වීමට පමණක් නෙවෙයි එකම පින්කම වෙන්නෙ. ඔබට නොපෙනුණාට එතන පින් වැලක් ම තියෙනව. පින්කමක් අවස්ථා තුනක් තියෙනව. පූර්ව, මුඤ්චන, අපර කියල, පූර්ව අවස්ථාව ආරම්භ වෙන්නෙ දානයක් දෙන්න මුලින්ම අදහස් කරන තැනින්. එතැන් පටන් කරන හැම දෙයක්ම දානය උදෙසා කියල සිහි කල්පනාවෙන් කළොත් පින්කම් බවටත් පත්වෙනව. දානයක් දෙනකොට සැරසිලි මොකටද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් දානය වෙනුවෙන් කොඩියක් දැමීම, පැරණි චාරිත්‍රයට අනුව ගොක් සැරසිල්ලක් කිරීම, පාවාඩ, වියන් දැමීම, සංඝයා වහන්සේගේ පා සෝදා පිස දැමීම, සාධුකාර දීම ආදී මේ හැම ක්‍රියාවක් ම සිහි කල්පනාවෙන් ශ්‍රද්ධාවෙන් කරන කෙනා පින් එකතු කර ගන්නව. බොහෝ අය එබඳු පින්කම්වලට දුර බැහැර ඉඳල එන්නෙ නොගියොත් හොඳ නෑ කියල හිතාගෙනයි. ආවත් පින් සිතිවිලි උපදින මොකුත් නොකර ඉඳල කෑම කාල ආපසු යනව. ඒ අයට තමන් කාපු කෑම ටික විතරයි ප්‍රයෝජනවත් වෙන්නෙ. කාලය මිඩංගු කරගෙන ඇවිල්ල කරගත්ත පිනක් නැති තරම්.
සිහි කල්පනාව සහ අවබෝධය තියෙන කෙනාට තමන්ගෙ ම පැවැත්ම උදෙසා කරන දේවල් ගරුනාම අනික් හැම දෙයක් ම පිනක් බවට පත්කර ගන්න පුළුවනි. ගෘහ ජීවිතය වුනත් පින් ආකරයක්.
මම සහ මගේ කියන හැඟීම ආත්මාර්ථකාමී එකක්. ආත්මාර්ථකාමී බව තමයි ලෝකයට වැඩියෙන් ම හානිදායක දේ සිද්ධ වන හේතුව. මේක ඇති වෙන්නෙ ආශාව, තෘෂ්ණාව, බැඳීම නිසයි. ඔබට සංසාරයෙන් නිදහස් වෙන්න තියෙන ලොකුම බාධාවත් මේ බැඳීමයි. ඔබ දන් දෙන්නෙ, සිල් රකින්නෙ, භාවනා කරන්නෙ ආත්මාර්ථකාමිත්වය නිසා ඇති වන ඇලීම්, ගැටීම් වළක්වා ගන්නයි. මම, මගේ කියන හැඟීමෙන් තොරව කරන හැම දෙයක් ම පිනක් බවට, සංසාරයෙන් ගැළවීමට හේතුවක් බවට පත්කර ගන්න පුළුවනි.
ඔබ මේ ලෝකයට ඇවිත් මේ ලෝකයෙන් වෙන්ව යන අවස්ථාව දක්වා කාලය ඉතාම කෙටියි. උපරිම වශයෙන් අවුරුදු සීයකට අඩුයි. මේ කෙටි කාලය තුළ ඔබ මොනතරම් දේවල් මගේ කරගෙන තිබෙනවද? ඔබේ අම්ම තාත්තගේ පටන් ඔබේ සොහොන දක්වා හැම දෙයක්ම ඇත්තටම ඔබේද? මේ අතර හුඟක් දේවල් ඔබ මේ ලෝකයට එන කොටත් මෙහෙ තිබුණ දේවල්. ඔබ මේ ලෝකයෙන් යන්නෙ ඔබේ කියල හිතාගෙන රැකගෙන හිටපු දේවල්වලින් අඩු තරමෙ නූල් පොටක්වත් අරගෙන නෙමෙයි. මේ ලෝකෙ තිබුණ හැම දෙයක්ම පාවිච්චි කරල ඔබ කළේ ගත පිනවල සිත සතුටු කරගැනීම පමණයි නේද? ඒ සතුටෙන් ඔබට ගෙන යන්න යමක් තියෙනවද? අප එකිනෙකා නොදන්න විවිධ ලෝකවලින් ඇවිල්ල මේ ආත්මෙ ඉපදිල, අඹුසැමි, දූ දරු දෙමාපිය සම්බන්ධතා ඇතිව කෙටි කලක් ළංව ජීවත්වෙලා ඉඳල නැවතත් එකිනෙකා නොදන්න ලෝකවලට යනව. මේ අතර කාලයෙ එකට ජීවත්වීම සඳහා මොනතරම් අරගලයක් කරනවද? එකිනෙකා මරා ගන්නව, අමාරුවෙ දානව, ආදරෙන් බැඳල තියාගන්න නොයෙකුත් බලපෑම් කරනව. කල්ප ගාණක් දිග සංසාරෙ ගැන නොසිතා මේ කෙටි ජීවිත කාලය ගැන විතරක් හිතල මොනතරම් දේවල් කරනවද? අන්තිමට ගඟට ඉනි කැපුව වගේ ඉතිරි වෙච්ච දෙයක් නෑ.
ඔබ විසින් අඹුසැමි, දූදරු, ගුරු ශිෂ්‍ය ආදී වශයෙන් පුද්ගලයන් සමගත්, ඉඩකඩම්, යානවාහන, මිල මුදල් ආදී වශයෙන් දේපළසමගත් ඇතිකර ගෙන තිබෙන බැඳීම තාවකාලික එකක්. ඔබේ කාලය, ධනය, ශ්‍රමය ඔබ වැඩියෙන් ම කැප කරන්නෙ ඉහත කී අය වෙනුවෙනුයි. එහෙත් මේ බැඳීම හිතේ තියාගෙන ඔබ ඉහත කී අය වෙනුවෙන් කරන දේවල්වලින් ඔබට පිනක් ලබන්න තිබෙන අවස්ථාව ඉතාම අඩුයි. ඔබ මවක් පියෙක් හැටියට සත්වයෙකුට උපදින්න අවස්ථාව සලසා දීම මහ පිනක්. එහෙත් ඉන් අනතුරුව කරන කැප කිරීම් ආත්මාර්ථකාමීව ඔබට ම කරගන්නා දේවල් නිසා පින් ලැබෙන්නෙ නැහැ.
හැබැයි ආදරය වෙනුවට කරුණාවෙන් මේ අය වෙනුවෙන් කැප කිරීම් කරන්න පුළුවන් නම් ඒ කරුණාවන්ත සිතට පුළුවනි ඔබට පින් එකතු කර දෙන්න. ඒ සඳහා ඔබට අවබෝධයත් සිහි කල්පනාවත් අවශ්‍යයි. අම්මා කෙනෙකුට පුළුවන් නම් මගේ කුසට ආ මේ දරුවා කොහෙන් ආවාදැයි මා දන්නෙ නෑ. නමුත් ඔහුට මේ ලෝකයට ඇතුල්වෙන්න මගේ උපකාරය අවශ්‍යයි. මම ඔහුට උපදින්න උදව් කරනවා, ජීවත් වෙන්න උදව් කරනවා, ඉගෙන ගන්න උදව් කරනවා ආදී වශයෙන් මගේ දරුවා කියන හැඟීම යටපත් කොට ගෙන තවත් සත්වයෙකුට කරන උපකාරයක් හැටියට කිරි ටික, බේත් ටික, අධ්‍යාපනය පමණක් නොවෙයි දේපළ වුවත් පවරාදීමේදී හිත තුළ ආදරය, තෘෂ්ණාව වෙනුවට කරුණාව උපදවා ගන්න පුළුවන් නම් පින් සිද්ධ වෙනවා නො අනුමානයි. එහෙත් ඔබ මේ කරන්නේ තාවකාලිකව එක්ව සිටීම වෙනුවෙන් අපතේ යන කැප කිරීමක් පමණයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය,
අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යක්ෂක,
රාජකීය පණ්ඩිත
නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 17 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment