Labels

Saturday, August 13, 2016

බුද්ධ ප්‍රමුඛ සාංඝික දානය

ආහාර දානයෙන් ලබන තැනැත්තාගේ කායික පෝෂණය සිදුවේ. දානය සාංඝික දානය හා පුද්ගලික දානය යැයි දෙවැදෑරුම්ය. පුද්ගල බෙදීමකින් තොරව බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයාට දීම සාංඝික දානයයි. මජ්ජිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රයේ සාංඝික දාන හතක් දැක්වේ. එනම්,

1. එක් පාර්ශවයෙක්හි භික්ෂු මහා සංඝයා වහන්සේ ද අනෙක් පාර්ශවයෙහි භික්ෂුණි මහා සංඝයා වහන්සේද වඩා හිඳුවා මැද බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා පුදනු ලබන බුද්ධ ප්‍රමුඛ මහා දානය පළමුවන සාංඝික දානයයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසුද උභය සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා මේ දානය දිය හැකි බව අටුවාවෙහි දක්වයි.


2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණි උභය මහා සංඝයා වහන්සේට පුදන දානය.

3. භික්ෂු මහා සංඝයා වහන්සේට පුදන දානය.

4. භික්ෂුණී මහා සංඝයා වහන්සේට පුදන දානය.

5. මගේ දානයට මෙපමණ භික්ෂු මහා සංඝයා වහන්සේ ද මෙපමණ භික්ෂුණී මහා සංඝයා වහන්සේ ද වැඩම කරත්වායි පුද්ගල නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනයෙන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන් හට පුදන දානය.

6. එසේ ආරාධනා කොට වැඩම කළා වූ භික්ෂුන් වහන්සේලාට පමණක් දෙන දානය.

7. එසේ ආරාධනා කොට වැඩම කළා වූ භික්ෂුණීන්ට පමණක් දෙන දානය.

හය වැනි සාංඝික දානය මෙතෙක් මට භික්ෂුහු සඟින් උදෙසා ලවයි ආරාධනා කොට එක භික්ෂුවක් හෝ සාමණේර නමක් හෝ උදෙසා දෙන දානයයි. එයද සාංඝික දානයකි. හත් වැන්නද මෙවැනි දාන දීමක්මය. එය දෙන්නේ භික්ෂුණීයකට හෝ සාමණේරවරියකට ය. මේ 6 වෙනි දානය මෑතක් වන තුරු ලක්දිව බෞද්ධයන් සිදු කොට ඇත.

මජ්ජිම නිකායේ දක්ඛිණ විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් දැක්වේ. ඒවා මෙසේ ය.

1. සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානය පූජා කිරීම.

2. පසේ බුදුරජාණන් වහන්සේට දානය පිදීම.

3. මහ රහතන් වහන්සේට දානය පිදීම.

4. රහත් ඵලය අවබෝධ කිරීමට පිළිපන් ආර්යයන් වහන්සේට දානය පිදීම.

5. ආනාගාමී වූ ආර්යයන්ට දානය පිදීම.

6. අනාගාමී ඵලය ලබා ගන්නට පිළිපන් ආර්යන් වහන්සේට දානය පිදීම.

7. සකෘදාගාමී වූ ආර්යයන් වහන්සේට දානය පිදීම.

8. සකෘදාගාමී ඵලය ලබා ගන්නට පිළිපන් ආර්යන් වහන්සේට දානය පිදීම.

9. සෝවාන් වූ ආර්යන් වහන්සේට දානය පිදීම.

10. සෝවාන් ඵලය ලබාගන්නට පිළිපන් ආර්යයන් වහන්සේට දානය පිදීම.

11. වීතරාගි පංඤාභිඥා ලැබූ තැනැත්තාට දානය පිදීම.

12. පෘථග්ජන සිල්වතාට දානය පිදීම.

13. පෘථග්ජන දුස්සීලයාට දන්දීම.

14. තිරිසන් සතුන්ට දන් දීම.

(ම.නි. 1. 1974) යනුවෙනි.


දන් දීමේ අනුසස් දත් බෞද්ධයෝ තිරිසන් සතෙකුට හෝ ආහාරයක් දීමට කැමැත්තෝ වෙති. ආහාර දානයේ ආනිසංස ලෙස ආයුසය, වර්ණය, සුවය, බලය, ප්‍රඥාව යන සම්පත් දෙව් මිනිස් සුගති වලදී ලැබේ. තිරිසන් සතෙකුට ආහාර දීමෙන් ජාති සියයක දී ආයුසය, වර්ණය, සුවය, බලය, ප්‍රඥාව යන ආනිසංස පහ ලබයි. පෘථග්ජන දුස්සීලයාට ආහාර දීමෙන් ජාති දහසකදී ද, පෘථග්ජන සිල්වතාට ආහාර පිදීමෙන් ජාති ලක්ෂයක දී ද, ධ්‍යාන ලාභීන්ට ආහාර පිදීමෙන් ජාති කෝටියකදී ද ආයුෂාදී සම්පත් ලබන්නේ ය. සෝවාන් ඵලය සඳහා පිළිපදින තැනැත්තාගේ සිට ඇති උසස් ගුණවතුන්ට ආහාර දානය දීමෙන් ලබන ආයුෂාදි ආනිසංස අනන්තය, අප්‍රමාණය (චන්දජෝති හිමි, 1991).


කලවානේ ආනන්ද හිමි

2014 ජූලි මස 23 වැනිදා බදාදා   දින    ආලෝකේා උදපාදි  පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment