Labels

Tuesday, August 23, 2016

ආහාරයෙහි ප්‍රතිකූල සඤ්ඤා භාවනාව

අපි කව්රුත් ආහාර ගන්නෙමු. මෙලොව සියලු සත්ත්වයන්ම ආහාරයෙන් ජීවත් වෙති. 'සබ්බේ සත්තා ආහාරට්‌ඨිතිකා ' යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ගස්‌ වැල් වලට පවා ආහාර අවශ්‍යය වන්නේ ය. ආහාර නොහොත් පෝෂක පදාර්ථ නැති වුවහොත් මලානික බවට පත් වෙයි. ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙයි. මරණයට පවා පත් විය හැකි ය. එබැවින් අප කාටත් ආහාර අවශ්‍ය දෙයකි. ආහාර වෙනුවෙන් මිනිසුන් සටන් කරති. ආණ්‌ඩු පිහිටුවති. ඇතැම් විට ආණ්‌ඩු පෙරලති.
මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ආහාර ප්‍රධාන ස්‌ථානය ගනියි. වියළි ආහාර, පිසූ ආහාර, නොපිසූ ආහාර, ශීත කළ ආහාර, ටින් වල ඇසිරූ ආහාර, බෝතල් කළ ආහාර, ආදී වශයෙන් විවිධ ආහාර වර්ග ඇත. බුදුදහම අනුව බලන විට ප්‍රධාන වශයෙන් ආහාර වර්ග හතරක්‌ ඇත. එනම්,

1. කබලිංකාරාහාර


 2. ඵස්‌සාහාර

3. මනෝසං‍චේතනාහාර


 4. විඤ්ඤාණාහාර

යනුවෙනි. කැබලි කොට ගන්නේ කබලිංකාරාහාරය යි. අරමුණු ඇති කරන්නේ ඵස්‌සාහාරය යි. සිත ආශ්‍රය කොට පවතින්නේ මනෝ සංෙච්තනික ආහාරය යි. නාම රූප හා එක්‌ව බැදුනේ විඤ්ඤාණාහාරය යි. මෙම ආහාර වර්ග අතුරෙන් ආහාරයෙහි පටික්‌කුල සංඥා භාවනාව සඳහා යොදාගන්නේ ඛාද්‍ය, බෝජ්‍ය, ලෙය, පෙය යන සතර ආකාරයේ කබලිංකාරාහාරයෝ ය. මෙම ආහාර වල පිළිකුල් තත්ත්වය ගැන මෙනෙහි කිරීම ආහාරයෙහි පතිකුල සංඥා භාවනාව වශයෙන් සැළකෙයි.

ආහාර කෙරෙහි ගිජු බවක්‌ දක්‌වමින් කෑදර ලෙස වැළඳීම සුදුසු නැත. ආහාර කෙරෙහි අධික තෘෂ්ණාව ඇති කර ගැනීම සුදුසු නැත. ආහාර ගැනීම නිසා ජීවිතය චිරාත් කාලයක්‌ පවත්වා ගැනීමට හැකි වන්නේය යන හැඟීම ඇතිව ආහාර ගැනීම සුදුසු ය.ආහාර කෙරෙහි තෘෂ්ණාව දුරු කර ගැනීම සඳහා බුදු හිමියන් 'පුත්‍රමාංසෝපමාවක්‌' වදාරා ඇත. මෙය හුදෙක්‌ උපමාවක්‌ පමණකි. එක්‌තරා සැමියකු සහ බිරිඳක තම එකම දරුවා ද රැගෙන බියකරු කාන්තාරයක්‌ මැදින් ගමන් කරති. කතර මැද දී ගෙන ගිය ආහාර සියල්ල නිමාවට පත් වෙයි. එවිට ස්‌වාමියා පැවසුවේ තමන් මරණයට පත් කර, එම මස්‌ අනුභව කර තමාගේත් දරුවාගේත් ජීවිත බේරා ගන්නා ලෙස යි. එවිට බිරිඳ පැවසුවේ තමන් මරණයට පත් කර, එම මස්‌ අනුභව කර දරුවාගේත්, පියාගේත් දිවි බේරා ගන්නා ලෙසයිs. අවසන සැමියාත්, බිරිඳත් තීරණය කරන්නේ දරුවා මරා එම මස්‌ අනුභව කර එම දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමටයි. එහෙත් එක්‌ අයකු හෝ දරුවා මරණයට පත් කිරීමට ඉදිරිපත් නොවුනි. දරුවා මව විසින් පියා වෙතට යවනු ලබයි. පියාට දරුවා මරන්නට සිතක්‌ පහළ නොවන බැවින් මව වෙතට යවයි. මෙසේ බොහෝ වෙලාවක්‌ මව වෙතටත්, පියා වෙතටත් ගමන් කළ දරුවා වෙහෙසට පත්ව එයින් මරණයට පත් වෙයි. සැමියාත් බිරිඳත් දරුවාගේ මස්‌ අනුභව කර දිවි බේරා ගත්හ.

ඔවුන් දෙදෙනා තම පුත්‍රයාගේ මස්‌ අනුභව කළේ කිසිම සතුටකින් නොවේ. අප්‍රසන්න හැඟීමකිනි. එයට හේතු ගණනාවක්‌ තිබුණි. තම පුත්‍රයාගේ මස්‌ නිසා ද, මිනිස්‌ මස්‌ නිසා ද, ළදරු මස්‌ නිසා ද, අමු මස්‌ නිසා ද, ලූණු නැති නිසා ද, දුරු මිරිස්‌ ආදිය නැති නිසා ද, ඔවුන්ට එම මස්‌ පිළිකුල් සහගත විය. ඔවුන් හොඳ මාංස කොටස්‌ තෝරා නොගනිති. කුස පිරෙන තෙක්‌ අනුභව නොකරති. තිත්ත බෙහෙත් මෙන් ඉතා ස්‌වල්පයක්‌ අනුභව කරති. අනෙකාට පෙර හොඳ මස්‌ කොටස්‌ තෝරා ගනිමි'යි කියන හැඟීමක්‌ ද නැත. පසුව හොඳින් උයා පිහා ගෙන අනුභව කරමි'යි කියන හැඟීමක්‌ ද නැත. හොඳ ආහාරයක්‌ අපට ලැබුනාය'යි කියන හැඟීමක්‌ ද නැත. මෙම කොටස්‌ මට, මේවා ඔබට ය'යි හැඟීමක්‌ ද නැත. මෙම නීරස ආහාරය අනුභව කිරීමට නොහැකිය කියන ද්වේෂ සහගත හැඟීමක්‌ ද නැත. මෙලෙස මෙම උපමාව මගින් බුදු හිමියන්a පෙන්නුම් කොට වදාළේ ආහාර කෙරෙහි තෘෂ්ණා හැඟීම, ද්වේෂ සහගත හැඟීම, උඩඟු හැඟීම, නොමැතිව, මධ්‍යස්‌ථ හැඟීමෙන්ම ආහාර ගත යුතු බව යි.

විශේෂයෙන් භික්‌ෂූන් වහන්සේලා ආහාර ගත යුතු වන්නේ ප්‍රත්‍යවේක්‌ෂා කිරීමෙන් පසුව ය. එනම් මා මෙම ආහාරය වළඳන්නේ විනෝදාශ්වාදය පිණිස නොවේ. සිරුර තර කර ගැනීමට ද නොවේ. ශරීරයත්, ජීවිතයත් පවත්වා ගැනීම සඳහා ය. කුසගිනි දුරු කර ගැනීම සඳහා ය. සසුන් පිළිවෙත් පිරීමට ය. ජීවිතය චිරාත් කාලයක්‌ පවත්වා ගැනීමට ය. මෙසේ මෙනෙහි කිරීම මගින් තෘෂ්ණාදී හැඟීම් මැඩ පවත්වා ගැනීමට හැකියාව ලැබෙයි.

ආහාරයෙහි පටික්‌කුල සංඥා භාවනාව වැඩීමට අදහස්‌ කරන පිංවතුන් උසස්‌ සීලයක පිහිටා, රත්නත්‍රයට ගරු බුහුමන් දක්‌වා, ආචාර්ය උපාධ්‍යාය වත් සපුරා, මෙත් වඩා එම පූර්ව කෘත්‍යයන් නිම කළ යුතු ය. අනුතුරුව ඉහත සඳහන් කරන ලද කාද්‍ය, බෝජ්‍යය ලෙය පෙය ආදී සිව් ආකාරයේ ආහාර වර්ග පිළිබඳ දස ආකාරයකට පිළිකුල් බව මෙනෙහි කළ යුතු ය.

 එම දස ආකාරය නම්, 

1. ගමනාගමන වශයෙන් 

2. ගෙයක්‌ පාසා සෙවීම් වශයෙන් 

3. පරිභෝග වශයෙන් 

4. පිත්තාදීන්ට ආශ්‍රය වශයෙන් 

5. තැන්පත් වන ස්‌ථාන වශයෙන් 

6. නොපැසීම් වශයෙන් 

7. පැසීම් වශයෙන් 
8. ප්‍රධාන ඵල වශයෙන් 

9. අප්‍රධාන ඵල වශයෙන් 
10. ගැල්වීම් වශයෙන් යන මෙම ආකාර දසය යි. 


මෙම ආකාර දසය එක එකක්‌ පාසා කෙටියෙන් විමසා බලමු. ගමනා ගමන වශයෙන් පිළිකුල් කිරීම නම්, අප උදෑසන අවදි වූ මොහොතේ පටන් ආහාර පිණිස යන ගමනේ දී අනේක විධ පිළිකුල් සහගත දේවල් දැක ගත හැකි ය. මළ, මුත්‍ර, සෙම් සොටු, මළකුණු දැකීමට පිළිවන.

ඒවායෙහි දුර්ගන්ධය ආඝ්‍රාණය කිරීමට ද සිදු වෙයි. මෙම පිළිකුල් සහගත දෙය දැකීමට, පෑගීමට, ආඝ්‍රාණය කිරීමට සිදු වන්නේ ආහාර නිසා ය. එබැවින් ඒකාන්තයෙන් ආහාර පිළිකුල් වන්නේ ය. පිණ්‌ඩපාතය පිණිස යන අතර වර්ෂා කාලයේ නම් ගොහොරු මඩෙහිත්, ඉඩෝරය කාලයේ නම් දුහුවිළි කුණු මිශ්‍ර සුළඟත්, නිලමැස්‌සන් පණුවන් ගහන කුණු වලවල් වැනි දෑ දකිමින් ඒවා පාගමින්, දුර්ගන්ධය ආඝ්‍රාණය කරමින් ගියත් ඇතැම් විට කිසිවක්‌ නොලැබෙයි. ඇතැම් විට පිළිනු වූ නරක්‌ වූ දෙය ලැබෙයි. ඇතැම් විට දොස්‌ පරොස්‌ ඇසීමට සිදු වෙයි. මෙසේ ආහාර නිසා දුක්‌ ගැහැට විඳීමට සිදුවන බැවින් ඒකාන්තයෙන් ආහාර පිළිකුල් ය.

අනුභව කිරීමට ලැබුන ආහාරය අනුභව කිරීමේදී ඇතිවන තත්ත්වය මෙනෙහි කළ යුතු ය. එනම් ආහාර මිශ්‍ර කරන විට (අනන විට) අත දිගේ ඩහදිය ගලා ඒමට ද පිළිවන. එසේම සැපීමේ දී කෙළ සමග මිශ්‍ර වෙයි. දත් වලින් ඇඹරෙයි. ආහාර භාජන වල තිබියදී පැවති වර්ණයත් සුවඳත් දැන් නොමැත. මුඛය තුළින් එලියට ගෙන බැලුවහොත් බලු වමනයක්‌ මෙන් අතිශය පිළිකුල් ය. මෙසේ පරිභෝග වශයෙන් පිළිකුල් කළ යුතු ය. වැළදූ ආහාර ආමාශයට ගිය පසු එහි දී පිත සමගත්, සැරව, ලෙය, සෙම හා සමගත් මිශ්‍ර වෙයි. එවිට විවිධ වර්ණයන් ගෙන් දැකිය හැක. ඒවා දැකීම අතිශය පිළිකුල් සහගත ය. මෙසේ ආශ්‍රය වශයෙන් පිළිකුල් කළ යුතු ය.

අනුභව කළ ආහාරය කුස තුළට ගිය පසු රන් රිදී වැනි වටිනා බදුන් වල තැන්පත් නොවේ. අසූචි වලින් පිරුණ, වැසිකිළි වලක්‌ බදු ආමාශයෙහි තැන්පත් වෙයි. මෙසේ තැන්පත් වන ස්‌ථාන වශයෙන් පිළිකුල් කළ යුතු ය. කුස තුළට පිවිසි ආහාර එයට පෙර දිනවල අනුභව කළ ආහාර සමඟ මිශ්‍ර වෙයි. එවිට දුර්ගන්ධයෙන් යුක්‌ත ය. සෙම් පටලයෙන් ගැවසී ඇත. ජටරාග්නිය නිසා පෙන බුබුලූ ද නගියි. මෙසේ නොපැසීම් වශයෙන් සළකා පිළිකුල් කළ යුතු ය. කුස තුළට ගිය ආහාර රන් හෝ රිදී බවට පත් නොවේ. පෙන බුබුලූ නංවමින් ඇඹරුම් ගලක ඇඹරූ මැටි පිඩක්‌ සෙයින් කහ පැහැයක්‌ ගනියි. මෙසේ පැසීම් වශයෙන් පිළිකුල් කළ යුතු ය. කුස තුළට වන් ආහාර නිසා කෙස්‌ ලොම් නිය දත් ආදී කුණපයන් නිපදවයි. ඇතැම් විට ආහාර නිසා දද කුෂ්ඨ පාණ්‌ඩු කාශ අතීසාර ආදී රෝග උපදවයි. ඒ නිසා ආහාරයෙහි ඵල වශයෙන් පිළිකුල් කළ යුතු ය.

ආහාර අනුභව කළ පසු ඇස්‌ වලින් කබ වශයෙනුත්, කන් වලින් කර්ණ ගුථ වශයෙනුත්, නාසයෙන් සෙම් සොටු වශයෙනුත්, මේ අයුරින් පිළිකුල් සහගත ලෙස නව දොරකින් අසූචි වශයෙන් පිට වෙයි. ආහාර අනුභව කරන විට බොහෝ දෙනා සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින්, සතුටින් අනුභව කරයි. ඒවා මළ මුත්‍ර වශයෙන් පිට කරන විට හුදෙකළාව පහ කරයි. වළඳන විට රස නහර පිනා යනසේ සුවඳ හමයි. එහෙත් පිට කරන විට අතිශයින් දුගඳ හමයි. අනුභව කළ පළමු දින සතුටක්‌ ලබයි. එහෙත් ඒවා පහ කරන විට ඇල්මෙන් තොරව, දුකෙන් සහ පිළිකුලෙන් පහ කරයි. මෙසේ අප්‍රධාන ඵල වශයෙන් පිළිකුල් සංඥාව ඇති කර ගත යුතු ය.

ආහාර අනුභව කළ පසු අත් සේදිය යුතු ය. එසේ නොකලොත් දුගඳ පහව නොයයි. ආහාර පිසින විට බදුන් වල තැවරෙන්නාක්‌ මෙන් අනුභව කළ පසු දත් වල දත් මල වශයෙනුත්, දිව තලූ ආදියෙහි සෙම් සොටු වශයෙනුත්, ඇස්‌, කන්, නාසා, අධෝ මාර්ග ආදියෙහි කබ, කළාදුරු, සෙම්, සොටු, මල, මුත්‍ර වශයෙනුත් ගල්වයි. එම ස්‌ථාන දින පතා ධෝවනය කළත්, පිරිසිදු කළත් සිත් ගන්නා සුලූ බවක්‌ ඇති නොවේ. වරක්‌ ධෝවනය කළ ද ප්‍රමාණවත් නොවේ. දෙතුන් වරක්‌ ධෝවනය කිරීමට සිදු වෙයි. මෙසේ ගැල්වීම් වශයෙන් පිළිකුල් සංඥාව උපදවා ගත යුතු ය.

ආහාර... මෙලෙස ආහාර පිළිබඳ දස ආකාරයකට මෙනෙහි කරන යෝගාවචරයාට කබලිංකාහාරය පිළිකුල් වශයෙන් ප්‍රත්‍යක්‌ෂ වෙයි. ඔහු එම නිමිත්ත යළි යළිත් මෙනෙහි කරයි. බහුල වශයෙන් භාවිතා කරන විට, වඩන විට පංච නීවරණයන් ක්‍රමයෙන් පහව යයි. කෙළෙස්‌ යටපත් වෙයි. සමාධියෙන් සිත එකඟ වෙයි. මෙම යෝගාවචරයාගේ රස තෘෂ්ණාව දුරු වෙයි. හෙතෙම ආහාර ගන්නේ ජීවිතය පවත්වා ගැනීම සඳහාම පමණකි. ඔහු පංච කාම සම්පත් පිළිබඳ තෘෂ්ණාව දුරු කර ගනියි. පිළිකුල් සංඥාව ඇති කර ගනියි. එයින් කායගතා සති භාවනාව ද දියුණු වෙයි. පිළිකුල් වශයෙන් සිතන බැවින් අසුභ භාවනාව ද සම්පූර්ණ වෙයි. හෙතෙම විදර්ශනා භාවනාව වැඩීම මගින් සතර මග, සතර ඵල ප්‍රත්‍යක්‌ෂ කර ගනියි. එසේ නොවුනත් මරණින් මතු දුගතිගාමී නොවී, සුගතියෙහි ඉපැදීමට හේතු වෙයි. මෙය වඩන ඕනෑම අයකු ඉවසන සුලු නිවුන පුද්ගලයකු බවට පත් වේ. එබැවින් ආහාරයෙහි පතිකුල සංඥා භාවනාව වැඩීමට උත්සාහ කිරීම දෙලොවටම වැඩදායක බව පැහැදිළි ය.

(මෙම ලිපිය සැකසීමේ දී 'විසුද්ධිමාර්ගය' ග්‍රන්ථය උපයෝගි කර ගන්නා ලදී. )


බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,
නාලන්දේ විමලවංශ හිමි


2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment