Labels

Thursday, August 4, 2016

ජීවත්වීම යනු කුමක්ද?

අධ්‍යාපනය සඳහා හඹා යන තැනදී බොහෝ වැරදි කරන්නට නොහොඹිනා දේ කරන්නට ඒ වගේම නොයෙක් අවස්ථාවන්හිදී මුසා දොඩන්නට අනෙකා පරයා තමන් ඉදිරියට යන්නට අනෙකාට ඉදිරියට එන්නට තියන ඉඩ කඩ අහුරා දමන්නට මෙසේ නොයෙකුත් නොමනා කම් කරමින් මනුෂ්‍යකම පවා කෙලෙසන තැනට පත් වෙලා තියෙන්නේඅධ්‍යාපනය කුමක් සඳහාද කියන නිවැරැදි ආකල්පය මිනිසුන්ගෙන් ගිලිහී ගිහින් තියෙන නිසයි. මෙයින් අපි අදහස් කරන්නේ අධ්‍යාපනය අවශ්‍ය නැහැයි කියන එක නෙමෙයි, අධ්‍යාපනය අවශ්‍යයි. නමුත් එය කුමක් සඳහාද කියන නිවැරැදි ආකල්පය මත පිහිටා ගොඩ නගනවානම් මනුෂ්‍යකම් ඇති සත්පුරුෂයින් බිහිකරන්න ඒ අධ්‍යාපනය දායක කර ගන්නට පුළුවන්.

අවශ්‍යතා සහ හැඟීම්

අතීත කාලයේ විශේෂයෙන්ම මේ කාරණය නිවැරැදිව හඳුනා ගෙනයි දරුවන්ගෙ අධ්‍යාපන අවශ්‍යතා සපුරා දුන්නේ. ඒ වගේම මූලික අවශ්‍යතා පිළිබඳව නිවැරැදි ආකල්පය මොකක්ද කියන එක බොහෝ අවස්ථාවන්හිදී භික්ෂූන් වහන්සේලා විසින් පැහැදිලි කරලා දුන්නා. අතීතයේ ලංකාවේ අරියවංශ දේශනාව මාසයකට වතාවක් හෝ අඩමසකට වතාවක් රැය පහන් වනතුරැ දේශනා කළාය කියලා ඉතිහාසයෙ සඳහන් වෙනවා.
මේ අරියවංශ දේශනාව තුළ ගැබ්වෙලා තියෙන්නේ මිනිසෙකු සතු මූලික අවශ්‍යතා වන ආහාර නිවාස ඇඳුම් කියන මේවා කෙලෙස් නොවැඩෙන ආකාරයට කොහොමද පරිහරණය කරන්නේ යන්නයි. හැඟීම් වලට වහල් නොවී අවශ්‍යතාවය පිළිබඳව තේරුම් අරගෙන කොහොමද ඒවා පරිහරණය කරන්නේ කියලා ඒ දේශනාවෙන් පැහැදිලි කර දෙනවා. ආහාරපානාදිය නැතුව කෙනෙකුට ජීවත් වෙන්න බැහැ. ඒවා මනුෂ්‍ය අවශ්‍යතාවයන්.
නමුත් අද කාලේ බොහෝ දෙනා අවශ්‍යතාවය පරයා හැඟීම් වලට වහල් වෙලයි කටයුතු කරන්නේ කය පෝෂණය කරන්නට ආහාර ගත්තත් එතැනදී දැනෙන රසය පිළිබඳව බැඳිලා ඒ රස තෘෂ්ණාවට වහල් වෙන නිසා කයටත් අන්තරායකර වූ ජීවිතයටත් අන්තරාය කර වූ නීරෝගී කමටත් අන්තරායකර වූ තමන්ගේ වත් පොහොසත් කම් වලටත් සරිලන්නේ නැති ආකාරයේ ආහාර පාන රටාවකට අද මහජනයා හුරු පුරුදු වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ආහාරය පිළිබඳ නිවැරැදි ආකල්පය මත පිහිටා සිටින්නට බැරි වෙලා තියෙන්නේ ඒ ආහාරයෙන් තමන්ගේ මනසෙහි කෙලෙස් නොවැඩෙන ආකාරයට පරිහරණය කරන්න අවශ්‍ය දැනුම මිනිස් මනසින් ගිලිහිලා ගිහින් තියෙන නිසයි.

ඒ වගේම බාහිර ඇඳුම් පැලඳුම් නිවාසස්ථාන ආදි මේ හැම එකක්ම පරිහරණය කරද්දී අපි කොහොමද අපේ මනස කෙලෙසෙන්නේ නැතුව මේ සියල්ලක්ම පරිහරණය කරන්නේ. අන්න ඒ පිළිබඳවයි අරියවංශ දේශනාව තුළ ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ. මූලික අවශ්‍යතාවයන් පරිහරණය කරමින් කෙලෙස් වඩවා නොගෙන ටිකෙන් ටික කෙලෙස් අඩු කරගෙන භාවනාවට හෙවත් ගුණ දහම් දියුණුවට තමන්ගේ සිත් සතන් නැඹුරු කරන ආකාරය පියවර හතරක් ඔස්සේ අරියවංශ දේශනාවේ පැහැදිලි කරනවා. අද එබඳු දේශනා විටින් විට සමාජය තුළ ඇහෙන්නට තියනවා.

නමුත් මිනිසුන් එක්තරා සමාජමය ප්‍රවාහයකට හසුවෙලා ගසාගෙන යන නිසා, එහෙම නැත්නම් සමාජය විසින් තමන් පොළඹවන්නා වූ යම්කිසි ඉලක්කයක් හඹායන්නට වෙහෙසෙන නිසා තමන්ට තමන් දිහා ආපසු හැරිලා බලලා ආකල්පයන් නිවැරැදි කර ගන්නට තරම් ඉඩ කඩක් නැතිව ගිහින් තියනවා. ඒ නිසා අපි ටිකක් අවදියෙන් හිතන්නට ඕන, අපි ටිකක් නිසොල්මන්ව හිතන්නට ඕන අපි මේ කියන කරන දේවල් වලින් ඇත්තටම අපේ ජීවිතය තුළ නිවැරැදි ආකල්පයක් ගොඩ නැගෙනවද? අපට ජීවිතය කියලා කියන්නේ සාමාන්‍ය විදිහෙන් කාලා බීලා ඇඳලා සතුටු වෙලා විතරක් ගතකළ යුත්තක් නොවෙයි. එහෙම ගත කරනව නම් ඒක නිරශ්චීන ජීවිතයක්යෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
තිරිසන් / මිනිස් කඩඉම

සාමාන්‍යයෙන් තිරිසන් සතුන් සහ මිනිසුන් අතර බොහෝ සමාන කම් තියනවා. තිරිසන් සතෙක් මව්පියන්ට දාව උපදිනවා. මනුෂ්‍ය දරුවෙකුත් ඒ විදිහෙන් උපදිනවා. තිරිසන් සතෙක් කුඩා කාලයේ මව්පියන් ඇසුරේ පෝෂණය වෙනවා. මනුෂ්‍ය දරුවෙකුත් මව්පියන් ඇසුරේ කුඩා කාලයේ පෝෂණය වෙනවා. ලොකු මහත් වෙනකොට තිරිසන් සත්ත්වයෙක් තමන් ස්වෛරීව හොයා සපයාගෙන කාලා බීලා ජීවත් වෙනවා. මනුෂ්‍ය දරුවෙකුත් ලොකු මහත් වෙනකොට තමන් විසින් රැකියාවක් කරලා යමක් සොයා සපයාගෙන කාලා ජීවත් වෙනවා.

ඒ වගේම තරුණ වියට පත්වෙනකොට තිරිසන් සතෙක් තමන්ගේ වර්ගයා සමග මුසු වෙලා වර්ගයා ලෝකයට ජනිත කරනවා. මනුෂ්‍ය දරුවෙකුත් ලොකු මහත් වෙලා තරුණ වියට පත්වෙනකොට තමන්ට සුදුසු කෙනෙක් සමග ආවාහ විවාහ වෙලා තමන්ගේ පරම්පරාව ලෝකයට ජනිත කරනවා. තිරිසන් සත්ත්වයා සතුටු වෙන්නට යමක් ලැබුන තැන සතුටු වෙනවා. ඇලෙනවා. බැඳෙනවා. දුක් වෙන්නට කරුණක් පැමිණි තැන දුක් වෙනවා හඬා වැලපෙනවා. මෙසේ කලක් ගත වෙලා තමන්ගේ පරම්පරාව ලෝකයට ඉතිරි කරලා තමන් හුදෙකලාව මිය යනවා. සාමාන්‍ය මනුෂ්‍යයොත් සතුටු වෙන්නට කරුණු පැමිණි තැන දුක් වෙනවා හඬා වැලපෙනවා. මෙසේ කාලයක් ජීවත් වෙලා තමන්ගේ වර්ගයා ලෝකයට ඉතිරි කරලා අභාවයට යනවා.

මේ ටික විතරක් නම් ජීවිතයක සිද්ධ වෙන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මනුෂ්‍ය ජීවිතයක් නෙමෙයි – තිරස්චීන ජීවිතයක්. ඒ කුමක් නිසාද? තිරිසන් සත්ත්වයකු විසින් කරන්නාවූ කටයුතු ටික පමණයි. ඒ තැනැත්තා විසින් කරලා තියෙන්නේ. එහෙම නම් මනුෂ්‍යයාය කියන කෙනා තුළ ඊට වඩා යමක් තිබිය යුතුයි. උසස් වූ මනසක් තියන උසස්වූ ආකල්ප සම්පත්තියක් තියන උසස්වූ හැඟීම් සමුදායක් තියන යමක් නිවැරැදිව දකින්නට නිවැරදිව උපකල්පනය කරන්නට නිවැරැදිව වටහා ගන්නට හැකියාව තියන, හොඳ නරක හඳුනාගෙන නරක ඉවත් කර යහපත ක්‍රියාවෙහි යොදවන්නට පුළුවන් විදිහේ ශක්තිමත් මනසක් ඇති පුද්ගලයෙකුටයි මනුෂ්‍යයයා කියන්නේ. අන්න එයිනුයි තිරිසනා සහ මිනිසා වෙන් වෙන්නේ. පංච ශීල ප්‍රතිපදාව මේ කඩඉම වෙන් කරන මූලික පදනම හැටියටයි අතීතයේ පටන් මනුෂ්‍යයො පුරුදු පුහුණු කරලා තියෙන්නේ

අන්ත දෙක!

නමුත් අද සමාජය දිහා බලන කොට බොහෝ වෙලාවට මිනිසුන් තුළ පවතින්නේ ඒ ආත්ම අවබෝධය වෙනුවට ඇලීම සහ ගැටීම පමණයි. තරුණ වියේදී මිනිසුන්ට ඇති වෙන්නේ මේ ජීවිතය මහා සුන්දර දෙයක් කියන සුබවාදී ආකල්පයක්. තමන්ගේ සිතැඟි ඉටු කර ගනිමින් නොයෙක් ආහාර පාන භුක්ති විඳිමින් නොයෙක් ආකාරයෙන් සතුටු වෙමින් ඉන්ද්‍රිය පිනවමින් ජීවත් වෙන්න තමන්ට ලැබුනේ මහා ලාභයක්ය, මහා වාසනාවක්ය කියන ආකාරයේ සුබවාදී ආකල්පයකින් මේ ජීවිතය දිහා දකින්නට පුරුදු වෙනවා. එහෙම දකිමින් පසිඳුරන්ම පිනවමින් හැකිතාක් ලෝකය භුක්ති විඳින්නට උත්සාහ කරනවා විනා ජීවිතය කුමක් සඳහාද කියන නිවැරැදි අවබෝධයකට පැමිණෙන්නට ඒ අය අපොහොසත් වෙනවා. ඒ වගේම මැදිවිය ඉක්මිලා තරමක් වයස් ගත වෙනකොට දෑස තරමක් නොපෙනී යන කොට කන්දෙක තරමක් නෙඇසී යනකොට දෑත දෙපය තමන්ට වලංගු නැති වෙන කොට ඇඟේ පතේ නොයෙක් තැන වේදනා කැක්කුම් මතුවෙන කොට මිනිසුන් තමන්ගේ ජීවිතය ගැනම මහා කළකිරීමකට පත් වෙනවා. තමන්ට අවශ්‍ය විදිහට දේවල් පවත්වන්න බැරි වෙන කොට ඒවා පිළිබඳව නොසතුටක් අමනාපයක් අකමැත්තක් ඇති කරගන්නවා. සියුම් විදිහේ ද්වේශයක් මනස තුළ ගොඩ නැගෙනවා. ඒ ද්වේශය නිසාම තමන්ගේ ඉන්ද්‍රියන්ට තමන් ද්වේශ කරන තැනට, ඒවා සමග ගැටෙන තැනට මනසේ යම්කිසි විරුද්ධවාදී ආකල්පයක් ගොඩ නගා ගන්නවා. ඒ කාල වකවානුවට ජීවිතය මහා දුකක්ය, සසරින් කවදාද එතෙර වෙන්නේ, මේ දුකනම් මට විදින්න බැහැ ආදී වශයෙන් මේ ජීවිතය පිළිබඳව එක්තරා අශුභවාදී ආකල්පයක් ඇතිකර ගන්නවා.

තරුණ වියේදී පසිඳුරන් පිනවමින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ආරම්මණයන් විඳිමින් ෂඩේන්ද්‍රියන්ගෙන්ම ලෝකය භුක්ති විඳින්නට උත්සාහ කරන කාලයේ ජීවිතය මහා ආස්වාදයක් හැටියට ශුභවාදීව දකිනවා. ඒවා කරකියා ගන්නට බැරිව පසිඳුරන් දුබල වෙනකොට, තමන්ගේ පරිපාලනයෙන් තොර වෙනකොට ජීවිතයම අශුභවාදීව දකිනවා. මෙන්න මේ අන්ත දෙකේ තමයි බොහෝ දුරට මනුෂ්‍යයො ජීවත් වෙන්නේ. කුඩා කාලයේ ශුභවාදී හෝ අශුභවාදී අන්තයකට නොවැටී අනුන් කියන හැටියට, අනුන්ගෙන් ලැබෙන හැටියට දිවි පවත්වන්නේ ලෝකය පිළිබඳව ඉගෙන ගන්න මූලික අවදිය නිසයි. නමුත් වැඩි වියට පත්වෙද්දී, ඉන්ද්‍රිය යම් ප්‍රමාණයකින් මනුෂ්‍යයින්ගේ සිතුම් පැතුම් ආකල්ප පටලවා ගන්නවා. මේ විදිහට තරුණ වියේදී ශුභවාදීව පසිඳුරන් පිනවීම නිසා ඔවුන්ට මේ මනුෂ්‍ය ජීවිතයෙන් ගතයුතු උසස් ප්‍රයෝජන ලබන්නට, මනස වැඩිදියුණු කරගන්නට මනුෂ්‍යත්වය ගොඩනගා ගන්නට ඉඩ කඩ අහිමිවෙලා යනවා. ඒ වගේම වයෝවෘද්ධ කාල වකවානුවේ තමන්ගේ පසිඳුරන් දුබල වෙනකොට ඒ සමගම ගැටි ගැටී ජීවත් වෙන නිසා පිළිබඳව අමනාපයක් අප්‍රසාදයක් ඇති කරගෙන මෙයින් ගැලවී ගන්නට පහසු මං සොයන නිසා ඔවුන් මනස වඩවා ගන්නවා වෙනුවට නොයෙක් දෙනාගේ ප්‍රලාපයන්හි පැටලිලා අන්ධකාරයෙ අතපත ගාමින් මං මුලා වෙනවා. මේ දෙපැත්තම අන්ත දෙකක්.



මිනිසත්බවේ අරුත

නමුත් බුදුරජාණන් වහන්සේ ජීවිතය පිළිබඳව දේශනා කළේ මීට වඩා වෙනස් වූ දර්ශනයක්. මනුෂ්‍ය ජීවිතයයි කියන්නේ ශුභවාදීව දෝතින් ගෙන භුක්ති විඳින්නට දේකුත් නෙමෙයි. ඒ වගේම අශුභවාදීව හැපෙමින් ගැටෙමින් අන්තවාදීව ප්‍රතික්ෂේප කරන්නට දේකුත් නෙමෙයි. මනුෂ්‍ය ජීවිතය යනු හොඳ නරක සියල්ලක්ම එක් තැන්වූ තවත් එක් නවාතැනක්. මේ අනන්ත සසර ගමනෙහි නැවත නැවත මෙබඳු ආත්මභාවයන් අපි බොහෝ ලබලා තියනවා. එයින් තවත් එකක් පමණයි. නමුත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ මනුෂ්‍ය ආත්ම භාවය තුළ අපට අන්‍ය ආත්ම භාවයන්ට වඩා මනස වඩවා ගන්නට සුදුසු කම් ලැබිලා තියනවා. හොඳ සංවේදී කයක් ලැබිලා තියනවා. ඒ වගේම හොඳ ඉන්ද්‍රිය පද්ධතියක් සහ ස්නායු පද්ධතියක් ලැබිලා තියනවා. දියුණු කරන්නට පුළුවන් වඩවන්නට පුළුවන් හොඳ මනසක් ඇතුව අපි ඉපදිලා තියනවා.

එහෙමනම් මේ නවාතැන් පොළේ ජීවත් වෙන කාලය තුළ අපි ගතයුතු ප්‍රයෝජනය තමයි ශුභවාදීව හෝ අශුභවාදීව දේවල් වෙන්කරමින් පොදිබඳිනවා වෙනුවට ශුභ වුනත් අශුභ වුනත් ලැබෙන දේ භුක්ති විඳිමින්, ලැබෙන දේ පරිහරණය කරමින් මනස දියුණු කරගන්නට යම්කිසි නිවැරැදි ආකල්පයක්, යථාර්ථවාදී ආකල්පයක් ඇති කර ගත් කෙනෙක්ය කියලා හඳුනා ගන්නට පුළුවන්.
ඒ නිසා අපට, අපි ජීවත් වෙන්නේ කුමක් සඳහාද කියන කාරණය අමතක වුනොත්, ඒ පිළිබඳව නිවැරැදි වැටහීමක් නිවැරැදි අවබෝධයක් අපි තුළ නැතිවුනොත් අපට මේ ලැබූ මනුෂ්‍යත්වයෙන් ගතයුතු ප්‍රයෝජන ගන්නට බැරිව යනවා. ඒ නිසාම ජීවිතයෙ බොහෝ දුක් පීඩාවලට හැල හැප්පීම් වලට භාජනය වෙන්නට සිද්ධ වෙනවා. බිරිඳ පිළිබඳව සැමියා පිළිබඳව දරුවන් පිළිබඳව ඤාතීන් පිළිබඳව මේ කොයි කව්රුන් පිළිබඳව වුණත් මනුෂ්‍යයෝ ගැටලු ඇති කර ගන්නේ මේ ආකල්ප වල තියෙන වැරදි නිසයි. තමන්ගේ සැමියා තමන්ට ඕනෑ හැටියටම පැවතිය යුතුයි කියන ආකල්පයක් බිරිඳ තුළ ඇති වෙනවා. තමන්ගේ බිරිඳ තමන්ගේ සිතුම් පැතුම් අනුවම පැවතිය යුතුයි කියන ආකල්පයක් සැමියා තුළ ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ දරුවො තමන්ට ඕන හැටියටම පවතින්නට ඕන කියන ආකල්පයක් මව්පියො තුළ ඇතිවෙනවා. මෙන්න මේ වැරදි ආකල්ප නිසා මව්පියොත් භාර්යාවොත් ස්වාමි පුරුෂයොත් සියලු කල්හි දුක් විඳිනවා

කුකුල්පනේ සුදස්සි හිමි


2014 ජූලි මස 23 වැනිදා බදාදා   දින    ආලෝකේා උදපාදි  පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment