Labels

Saturday, August 20, 2016

වහා ගැලවියන් ලෝකෙන් කර්මය එනවා පස්‌සෙන් (තර්කයට හසු නොවේමය ඔබ ක්‍රියාවට නංවනු මැනේ )

කර්මය... කර්යම... කර්මය... මා පසු පස්‌සෙන් කර්මය ලුහු බඳිනවා. පසු පස්‌සෙන් පන්නනවා. මොනතරම් අසරණද මං. පන්නන දිසාවට දුවනවා. ගැලවෙන්න නම් බැහැ. විටෙක මනුලොව දෙසට. විටෙක දෙව් ලොව දෙසට.

නිතර නරකය දෙසට. සෑම තැනටම පන්නාගෙන යන්නේ ඔය කර්මය විසින්මයි.

බඹ ලොව යන්නෙත් එලෙසමයි. අපායට නොයා ඉන්නත් බැහැ.

යන්න වෙනවාමයි. මම ස්‌වභා දහමේ නියමයට යටයි නේ.

ඒකයි. ඉතින් මොනවා කරන්නද? කම්ම නියාමයේ හැටි ඔහොම තමයි. තමන්ට කැමති කැමති තැන් වලට යන්න එන්න බැහැ. රැවටෙන්න එපා.


මමත්වයෙන් මුළා වුණාම මේ සියලුම නීති වලට යටත් වෙන්න සිදු වෙනවා. නුමුළා වුණොත් නම් ගැලවෙනවාමයි. කියලා බුදුපියාණෝ සොයාගත්තානේ. සම්මා සම්බුද්ධත්වය කෙතරම් අපූරුද?

කෙලෙසද මුළාව නැති කර ගන්නේ? දහමෙහි මනාලෙස හැසිරෙන විටනේ. ධම්මානු ධම්ම ප්‍රතිපත්තියේ යෙදෙන විටනේ.. එහෙනම් සුළඟේ මම බොහෝ බණ දන්නවා. බණ කියවනවා. බණ කියනවා. මම ත්‍රිපිටකය පරිශීලනය කරනවා. මම එලෙසයි දහමෙහි හැසිරෙන්නේ. ඉතින් මම සසරෙන් ගැලවෙනවාද?

නැහැ... නැහැ... අහල දැනගත්තාට කියවලා දැනගත්තාට නම් මදි. දහමේ හැසිරෙන්න ඕනැනෙ කර්මස්‌ථාන වල නියෑළෙන්න ඕනැනෙ ඇත්ත දකින්න නම්. එහෙමයි බුදු පියාණෝ ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙන ආකාරය ගැන කියන්නේ..

සමහර වෙලාවල අද ඇහෙනවා අසා දැනගැනීම සහ කියවා දැනගැනීම එකක්‌මයි කියලා. නැහැ. නැහැ. කියවා දැනගැනීමයි.

පරතෝ ඝෝෂාවයි දෙකක්‌ බව හොඳින් මතක තබා ගන්න. ඒ ඝෝෂාව ශ්‍රවණය කරන්න නම් ඉතින් සත් පුරුෂයකු ඇසුරු කළ යුතු බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. ඔය කාරණාව ගැන ත්‍රිපිටකය කෑ ගසා කියනවානේ. සත් පුරුෂයෙක්‌ කියන්නේ අටඟි මඟේ නිවැරදිව ගමන් කරපු කෙනෙක්‌. ඔය ගමන් විලාසය කලින් කලට සැඟවෙනවා. ඔතනයි ප්‍ර්‍ර්‍රශ්නේ තියෙන්නේ.. අවබෝධ වූ සැණින්මයි මුළාව නැති වන්නේ. දැනගත්තාට විතරක්‌ මදි. සත්පුරුෂයෙක්‌ කියන්නෙ දහම දැකපු කෙනෙක්‌මයි. තමා ගිය පාර ගැන ගිය ආකාරය ගැන ලබා ගත් අවබෝධය ගැන අනෙකාට තේරුම් යන සේ සරළව පෙන්වා දීමත් ප්‍රශ්නයක්‌යෑ එයාට.. නොදුටු දේවල් ගැන පවසන්න යනවා නොවෙයිනේ. හැබැයි සිව්පිළි සිඹියාවත සහිත වෙන්න ඕනෑ. මෙතන තමයි අද අවුල. බුදු පියාණන් ජීවමාන කළත් ඒ ශක්‌තිය තිබුණේ කීදෙනාටද?

ලෝකෝත්තර ලෞකික වශයෙන් දෙපාර්ශවයක සත්පුරුෂයෝ ඉන්නවා. ඒ ශාසන බ්‍රහ්ම චර්යාවේ සහ මාර්ග බ්‍රහ්ම චර්යාවේ නිරත වන්නන් ලෙසින්නේ. බුද්ධ කාලයනෙ මේ. ඇයි නොසලකා හරින්නේ.

ලොවෙන් එතෙරට යන මග හිස ඔසවලානේ යළිත් වරක්‌. ඒත් ඔබ නිදි. වහා අවදි වන්න.

ඉතින් සුළඟේ චිත්ත වේගය හෙවත් විඤ්ඤාණය ඒ ඒ ලෝකයේ හටගන්නා ආධ්‍යාත්මික ලෝකය හෙවත් කය නැමති නවාතැන්පලට කර්මය අනුව චුති සිතේ ආධාරයෙන් පිටත්ව යනවා.

ගිහින් මොකද දන්නවාද කරන්නේ? නාමයි රූපයි ඇසුරු කරගෙන ආධ්‍යාත්මික ලෝකයයි බාහිර ලෝකයයි ආයතන හරහා එකතු කරමින් ලෝකය මවාගන්නවා.

කය නමැති නවාතැන්පලවල් ලැබෙන්නේ කර්මය අනුවමයි. විටෙක දිව්‍ය ලෝකයෙන් කය ලැබෙනවා.

විටෙක බ්‍රහ්ම ලෝකයෙන් කය ලැබෙනවා.

කලාතුරකින් මනුලොවින් කය ලැබෙනවා.

නිතර අපායෙන් කය ලැබෙනවා. කය හෙවත් සිතේ තාවකාලික නවාතැන් පළ කර්ම වේගයේ දායාදයක්‌ මයි. පවතින ලෝකයක්‌ නැහැනේ. ඒ ඒ ආධ්‍යාත්මික ආයතන වල ඔපය නිසා ඉදිරිපත් වන බාහිර රූප.

නාම සමඟ මුසු කරමින් මායාකාරී විඤ්ඤාණය ඒ මොහොතේමයි ලෝකය මවන්නේ. නමුත් අධික වේගය නිසා සත්‍ය වැහෙනවා. සත්‍ය හසු නොවුණාම. පවතින ලෝකයක ජීවත් වෙනවා කියලා රැවටෙනවා. ඉතින් අනාත්ම භාවය සැඟවෙනවා.

ඒ ඒ තැන තියෙන රූප සමඟ නාම මුසු වුණාම.

දිව්‍ය බ්‍රහ්ම ආදී ලෝකවල බාහිර දර්ශනය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මවා ගන්නවා. ඉතින් පවතින දිව්‍ය ලෝකයේ.

පවතින මිනිස්‌ ලෝකයේ ඉන්නවා කියල රැවටිලා ජීවිතය ගෙනියනවා. නාමයි රූපයි එකතු වෙලයි මේ මායාමය කර්තව්‍ය කරන්නේ. චරාත හෙවත් චතුර්ත ධ්‍යානමය උපේක්‌ෂා ශක්‌තිය පාදක කරගෙන දහමෙහි හැසිරිලා ලබා ගන්නා නුවණැසට පමණයි මේ සත්‍ය හසු වන්නේ. ඔබ නිදා වැටෙනවා. ඇයි මේ... අවධිවන්න තරහ වෙන්න නම් එපා. මම යහළු කමටනේ එහෙම කියන්නේ.

බුදු සසුන පවතින මෙවන් යුගයක මිනිසුන් අසරණ වන්නේ නැහැ. සරණක්‌ තියෙනවා. සත්‍ය ලෝක තත්ත්වය දැක බලාගෙන වහා ගැලවෙමු. එසේ නොකළහොත් කර්මය පසු පස්‌සෙන් පන්නනවා. අසරණයි කියා සිතන්න නම් එපා.

ඇස කණ නාසය දිව කය ඇසුරෙන්... බාහිරින් ගන්නා රූප අරමුණු නාම සමඟ මුසු වුනාම දැනෙනවා. සිත සැකසීම ආරම්භ වන්නේ දැනෙන ඒ සියලුම ධම්මාරම්මන මනස වෙත ඉදිරිපත් වීමෙනි. ලැබෙන අරමුණු භාර ගැනීම හෙවත් විතක්‌කය නමැති සිතේ මුල් අවස්‌ථාව ඉතාමත් ප්‍රභාෂ්වර බව දැනගන්න. විතක්‌කය දැන් ඉවරයි. දැන් තියෙන්නේ විචාරයයි. විතක්‌ක වූදේ ඉවර වූ බව හෙවත් ලෝකයේ සත්‍ය තාවය වන තිලකුණු විචාරයේදී නොදකින නිසා වින්දනයට හසුවී සත්ත්වයා ඇලෙනවා. සිත කිළිටි කරගන්නේ එහෙමයි. ඒ ප්‍රභාශ්වර සිතේ තියෙන වේදනාව හෙවත් කැමති බව හෝ අකමැති බව අනුව වින්දනයට වැටෙනවා.

මනසිකාරය නමැති නාම ධර්මයේ ස්‌වභාවය වන්නේ සිහිපත් වීමයි. ඉතින් ඉවර වුණු දේ සිහි වෙනවා. ඉවර වෙච්ච විතක්‌කයේ මොනවා විචාරන්නද? මොනවා විඳින්නද? ඒක ඉවරයිනේ. අනිත්‍යයි කියන ඇත්ත ගැන හැඟීමක්‌ නොමැතිව ඔබ බොරු ගමනක්‌ යනවා.. මේක බොරුවක්‌ බව දැනගෙන කෙළවර කරගන්න දුක.

චිත්ත වීර්යක්‌නෙ මෙතන තියෙන්නේ. මුලිsන් අරමුණ භාර ගන්නවා. සිතේ ඊළඟ අවස්‌ථාව විචාරයයි. ගත්ත අරමුණ දැන් ඉවරයිනෙ. විචාරය කළ යුතු මූලික අවස්‌ථාව එයයි. නමුත් ඒ ඇත්ත හසු නොවී වින්දනයට වැටෙන නිසා භවගාමී වෙනවා. ඕකයි සුළඟේ සත්‍යයේ කථාව. කැමති දේ විමසීමේදී විඳලා රාගයත් අකැමැති දේ විමසීමේදී විඳලා ද්වේශයත් පැන නැඟී මෝහයට පත්වෙනවා නොහොත් මම කියලා මුළා වෙනවා. ඇත්ත වැසෙනවා. ඔය මම කියන ව්‍යාජමය සංකල්පය සත්‍ය දැකීම තුළින් ඉවත් කරගන්නා තුරා ඔබ සසරේ. ස්‌වභාවය ස්‌වභාවය - මෙයයි ලොව ස්‌වභාවය - මිනිසුනේ දකිනු මැන - ලෝකයේ ස්‌වභාවය

පබස්‌වරමිදං භික්‌ඛවේ චිත්තං ත්‍රචඛෝ ආගන්තුකේහි උපක්‌කිලෙසේහි උපක්‌කිලිට්‌ඨං. මෙහෙම සිත කෙලෙසෙන නිසා සත්‍ය සැඟවෙනවා. සත්‍ය සැඟවෙන නිසා කෙලෙසෙනවා. කෙළෙසෙන නිසා සත්‍ය සැඟවෙනවා. කුමක්‌ද මුල කුමක්‌ද අග පෙනෙන්නෙ නෑ. ඒ තමයි ස්‌වභාව දහම. පුද්ගලයෙක්‌ මවන්න නම් යන්න එපා. ඒ ස්‌වභාව දහම ස්‌වභාව දහම ලෙසටම දකිමින් වාසය කරන්න.

ඔබ දන්නවාද මේ උපක්‌ලේශ වලින් ගැලවෙන්න අවස්‌ථාවකුත් තිබෙන බව. පබස්‌වරමිදං භික්‌ඛවේ චිත්තං ත්‍රචඛෝ ආගන්තුකේහි උපක්‌කිලෙසේහි විප්ප මුත්තං - දැනගන්නකෝ මේ බන්ධනයෙන් ගැලවීම සඳහා බුදු පියාණන්ගෙන් ලැබෙන මනරම් කර්මස්‌ථාන තිබෙන බව.

සුළඟේ. සුළඟේ. අද අපි ටිකක්‌ ගැඹුරටම කතා කළා නේද? මට දැනගන්න ඕනෙ සංඛාර පච්චයා විඤ්ඤාණං - කොහොමද මේ සකස්‌වුණු කෙළෙස්‌ නිසා මායාකාරී විඤ්ඤාණය ඇතිවන්නේ කියන එකයි. කෙළෙස්‌ කෙළෙස්‌ - කෙළෙස්‌ කෙළෙස්‌ - හිත මඟේ කෙළෙසෙනවා - මනසට ලැබෙනා අරමුණු විඳ විඳ - සසරෙහි මම යනවා

හිතන්නකෝ සුළඟේ මෙහෙම. අපි සිතමු මෙලොවින් චුත වන අවස්‌ථාවේ දී කර්මය අනුව සංස්‌කරණය වෙලා පිට වී යන්න සූදානම් වන මේ සිත වාහනයක්‌ කියලා. විඤ්ඤාණය හෙවත් චිත්ත වේගය මේ මොහොතේ වැජඹෙන්නේ නාමයි රූපයි එකතු කරලා හදාගත්තු ඒ චුති සිත නමැති වාහනය තුළයි. මේ අවස්‌ථාවේ විඤ්ඤාණය හඳුන්වන්නේ කර්ම විඤ්ඤාණය කියලා. මෙතනදී මායාකාරී විඤ්ඤාණය මේ සිත සකස්‌ කළේ කර්ම නිමිත්ත අරමුණු කරගෙනනේ.

ඉතින් දැන් වෙන්නේ කුමක්‌ද දන්නවාද? චුති සිත නමැති වාහනේ මඟින් ඒ සිතේ තියන කර්මය ගතිය හෝ ගති නිමිත්තට අනුව සුදුසු තැනට විඤ්ඤාණය ගෙනියනවා. තාවකාලික නවාතැන්පල හෙවත් ආධ්‍යාත්මික ලෝකය තුළට විඤ්ඤාණය හෙවත් චිත්ත වේගය ඇතුළු වන්නේ ප්‍රතිසන්ධි සිතෙන්මයි. දැන් ඉතින් විඤ්ඤාණය මොකද දන්නවාද කරන්නෙ? කර්මය අනුව ලැබුණු අධ්‍යාත්මය වටා තිබෙන බාහිර ලෝකයේ අරමුණු

ඔපවත් සලායතන වලිsන් රැගෙන නාම හා එක්‌කරමින් ලෝකය හදාගනිමින් කාලය නිමවන තුරා ගත කරනවා. කාලය නිම වුණාම නැවතත් කර්මය අනුව සිත චුත වෙනවා. ඉතින් මෙලෙස සසර කතරේ අතරමං වෙන්න නම් එපා සුළඟේ. ගැලවෙන්න නැවතත් අද පාර මතුවෙලා තියෙනවානේ.

ධ්‍යාන ශක්‌තිය පාදක කරගෙන ලෝකයේ ඇත්ත තත්ත්වය වටහාගැනීම තුළින් මේ මායා බන්ධනයෙන් ගැලවී යන්න උත්සාහ ගැනීම හැර වෙනත් සැපතක්‌ කොයින්ද? නොකළ හැකි දේවල් ගැන බුදුවරු පවසයිද?


කම්මට්‌ඨානාචාරිනී පද්මාවෝ රාජපක්‌ෂ
ශ්‍රී අමත ගවේෂී ධම්ම සමාජයේ අනුශාසිකා


2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment