Labels

Wednesday, August 3, 2016

ඇලීම අඩු වීම තුළ ගැටීම ද අඩු වේ

සියල්ල කැඩී බිඳී ගිය විට ශූන්‍යතාවය හෙවත් හිස් ගොඩක් බවට පත්වෙයි. සියලු කොටස් සම්බන්ධ වී තිබෙන තාක්කල් තිබෙනවා යනුවෙන් පෙනුණාට සම්බන්ධතාවය ඛණ්ඩනය වූ විට එවැනි කිසිවක් නැහැ.
කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ සහ පායාසරාජා තෙරුන් වහන්සේ අතර ඇතිවුණ සාකච්ජාවේදීත් , නාගසේන හාමුදුරුවන් සහ මිළිඳු රජතුමා සමඟ ඇතිවුණ සාකච්ජාවෙදීත් කය හෙවත් රූපය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? යනුවෙන් රූපය කියන්නේ කුමක්ද කියා පෙන්වන්න හැකිද? යනුවෙන් මිළිඳු රජතුමා නාගසේන හාමුදුරුවන්ගෙන් විමසූ විට ඔව් පෙන්වන්න පුළුවන් බවට නාගසේන තෙරුන් පිළිතුරු ලබාදුන්නා. නාගසේන හාමුදුරුවන්ගෙන් මිළිඳු රජතුමා නැවතත් ප්‍රශ්න කරනුයේ ස්වාමීනි, එසේ නම් රූපය යනු කනටද? රූපය කියන්නේ ඇස් දෙකටද? රූපය කියන්නේ නාසයටද? රූපය කියන්නේ කුමකටද? යනුවෙන් නාගසේන හාමුදුරුවන්ගෙන් මිළිඳු රජතුමා ප්‍රශ්න කරනවා. රජතුමා බුද්ධිමත් නිසාම හාමුදුරුවන් එයට පිළිතුරු ලබානොදී නැවතත් රජතුමාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. රජතුමනි අද හරියට රස්නෙයි නේද? අද මෙතනට පැමිණුනේ කොහොමද?
කරත්තයක නැගලයි මෙතනට පැමිණුනේ ස්වාමීනී, යනුවෙන් රජතුමා ද පිළිතුරු ලබාදෙයි. රජතුමනි, කරත්තය කියලා කියන්නේ රෝද දෙකටද?කරත්තය කියන්නේ ගරාදියටද? කරත්තය කියන්නේ වියගහටද? නැහැ ස්වාමීනී, මේ සියල්ලම එක්කාසු වූ විට කරත්තය කියල කිව හැකියි. රජතුමනි, රූපයත් ඒ වගේමයි. කරත්තය වෙන් කළහොත් ඔබට කරත්තය පෙන්නන්න බැහැ වගේම රූපය වෙන් කරනු ලැබුවහොත් මටත් රූපය පෙන්වන්න බැහැ. ඔබට කරත්තය එක්කාසුවී තිබෙන විට කරත්තය පෙන්වන්න පුළුවන් වගේම රූපයත් එසේමයි .කරත්තය කියලා කරත්තයට කියන්න පුඵවන් වන්නේම එය එක්කාසු වු විටයි. හේතුඵල

සම්බන්ධයක් නැත්නම් රථ ශබ්දය කොහොම උපදින්නද? ඇලෙමින් ගැටෙමින් රණ්ඩුවෙමින් යහළුවෙමින් මේ වගේ ගමනක් යන්නේම හේතුඵල සම්බන්ධයක් තිබෙන නිසයි. එම හේතුඵල සම්බන්ධය කැඩුණ ගමන් අපට රණ්ඩුවීමට තිබෙන එම සම්මුති සම්බන්ධය නැතිවෙලා යනවා. අපට යහළුවෙලා සිටීමට එම සම්මුතිය තුළ එය තවදුරටත් පවතින්නේ නැහැ. නමුත් සම්මුතිය නැතිව වැඩකරන්න බැහැ. ජීවත් වීමේදී සම්මුතිය තේරුම් ගෙන අවබෝධ කරගෙන එය තුළ සිටිය යුතුයි. අවබෝධ කරගෙන සිටිය යුතුයි. සම්මුතිය අවබෝධ කරගත් පුද්ගලයා ඇලෙන ප්‍රමාණය අඩුයි. අවබෝධය වැඩිවෙන්න වැඩිවෙන්න ඇලීම අඩුවෙනවා. දැඩිලෙස ග්‍රහණය කරගෙන තදින් අල්වාගෙන මගේ කියමින් උපාදානය කරගෙන සිටීම ක්‍රමයෙන් කැඩිලා බිඳිලා යනවා. ඇලීම අඩුවෙනවිට ගැටීම අඩුවෙයි. සියලුම රණ්ඩු ඇතිවන්නේත් යහළුකම් නිසයි. තණ්හාව අවසන්වන විට මට, මම පිළිබඳවත් තමන්ගේ ශරීරය පිළිබඳවත් අනුන්ගේ ශරීරය පිළිබඳවත් හරියටම කායානුපස්සනාවෙන් අප කටයුතු කරනවා නම් ,කය දෙස නුවණින් බලමින් කයේ ඇතිවීම නැතිවීම නුවණින් මෙනෙහි කරමින් අනුන්ගේ කය පිළිබඳව හෝ තමන්ගේ කය පිළිබඳව දැඩි උපාදානයකින් ඇලීමකින් තොරව ජීවත්වීමට පුර්ණ අවබෝධයකින් අප තුළ තිබිය යුතුයි. අපගේ කය පිළිබඳව හා මෙරමාගේ කය පිළිබඳව දෘෂ්ටියකි. අප විසින් දැඩි ග්‍රහණය කරගනු ලැබූ යම් යම් ස්ථාවාරයන් තිබෙනවා. ඇය සුදුයි, ඔහු කළුයි, කෙට්ටුයි, මහතයි යනුවෙන් කය පිළිබඳව ස්ථාවර දෘෂ්ටී හදාගෙන සිටිනවා. කය පිළිබඳව අප තුළ විශාල දෘෂ්ටි ගොඩනඟා ගෙන ඇත. උපනූපන් සංසාරවලදී නැවත අප හමුවෙමු යනුවෙන් ප්‍රකාශ කරනු මෙම කයට තිබෙන්නාවූ කැමැත්ත නිසාම අපට එය නැවතත් හම්බවෙයි කියලා අප සිතනවා . මෙම කයට තිබෙන්නාවූ කැමැත්ත නිසාම නැවතත් මෙම කය ම අපට හම්බවෙන බවටත් අපට එය රැගෙන යා හැකි බවටත් විශ්වාස කරනවා. මෙම කය පිළිබඳව අප තුළ හටගන්නාවූ අධික තෘෂ්ණාව නිසාම අපට එය අරගෙන යා හැකි බවට අප විශ්වාස කරනවා.

අප අතහැරීම පුරුදු පුහුණු වන්නේම දානය තුළිනුයි. බෝධිසත්වවරුන් තම ශරීරය අවයව අහිමි වුවත්, අත්හැරීම නවත්වන්නේ නැහැ. එය උප පාරමී වෙයි. ශරීර අවයව දන්දීම උප පාරමී ලෙස අප කල්පනා කරනු ලැබුවත්, දන්දීම එහි එක දෙයක් වූවාට එහිදී සිදුවනු ලබන්නේ ශරීරය නැති වුවත් දානය නම් වූ පාරමිතාව නවත්වන්නේ නැහැ කියන කාරණාවයි.බෝධිසත්වවරුන් සැම විටම යකුන්ගේ කටට පැන ජීවිතය දන් දීම කියන කාරණාව දාන පරමත්ථ පාරමිතාව නොවෙයි. බෙල්ල කපා කාගේ හෝ අතට දීම පාරමිතාව නොවෙයි.
ජීවිතය නැති වුණත් දානයදීම නැවැත්වුයේ නැහැ. එය එහි අදහස බව අප අබබෝධ කොට ගත යුතුයි. අප සියල්ල දන් දුන්නත් අප දුන් දෙය නැවත වතාවක් අවශ්‍ය වෙනවා නම්, එය දීමක් මිස අතහැරීමක් වෙලා නැහැ. අප කළ යුත්තේ ඒ සඳහා තිබූ තෘෂ්ණාව ඛණ්ඩනය කිරීමයි. දාන පාරමී , උප පාරමී, පරමත්ථ පාරමී යන පාරමී ධර්ම තුනෙන් උප පාරමී සහ පරමත්ථ පාරමී කියන දෙකම සක්ඛාය දිට්ඨිය කඩා ගැනීමට අවශ්‍යයි කියල සිතන්න පුළුවන්. මගේ ශරීරයේ අවයව නැති වුණත් මම, මගේ, අවබෝධය කරා යන ගමන නවත්වන්නේ නැහැ කියන තැනට පැමිණීමට හැකි නම්, මගේ කය පිළිබඳව තිබෙන්නාවූ දෘෂ්ටි ටිකවත් ඉවත් කරගත හැකියි. මගේ ජීවිතය අහිමි වුවත් , මම මගේ අවබෝධය ලබාගැනීමට අවශ්‍ය වීර්යය නැති කරගන්නේ නැහැ, කියන මානසිකත්වය තුළ සක්කාය දිට්ඨිය කැඩීමට හැකිවෙයි. දාන පාරමිතාව සක්කායදිට්ඨිය කඩන්න හෙවත් රූපස්කන්ධය තුළ තිබෙන සංකල්ප කැඩීමට උපකාර වෙයි. සංසාරය තුළ මේ වගේ දීම් අතහැරීම් පුරුදු පුහුණු කර නැති පුද්ගලයකුට කය පිළිබඳව දැන ගැනීමට කයේ පැවැත්මට අවශ්‍ය කාරණා අතහැර කය පිළිබඳව තිබෙන තෘෂ්ණාව අතහැරීමට කෙතරම් වීර්යයක් ගත යුතුද? කය තුළ තිබෙන්නාවූ කොටස්වලට ඇති තෘෂ්ණාව ටික ටික හෝ ඉවත් කරගෙන ඇසක් දන් දීම තුළින්, හෝ වෙනත් අවයවයක් දන්දීම තුළින් හෝ එවැනි කාරණා පුහුණුවී තිබෙන විට කය පිළිබඳව තෘෂ්ණාව මඳක් හෝ ඉවත්වෙලා යයි. කිසිම පුද්ගලයකු ලේ බිංදුවක් නොදී සිටියදී කවුරු හෝ අයෙකු ලේ බිංදුවක් දෙනවා නම්, එය කය පිළිබඳව තිබෙන්නාවු තෘෂ්ණාව ටිකක් හෝ ඛණ්ඩණය කිරීමක්.

අප රූපස්කන්ධය පිළිබඳව අවබෝධ කරගතහොත් දාන පාරමී පූර්ණය කිරීමක් ඇතුළත සීල, නෙක්ඛම්ම ආදී පාරමිතා පුරද්දී කය පිළිබඳව, රූපය පිළිබඳව උපාදානය ටිකෙන් ටික අඩුවෙලා උපරිම තලයට පැමිණියාට පසු සක්ඛාය දිට්ඨිය ක්‍රමයෙන් අඩුවෙලා යයි. සෝතාපන්න වීමට මූලික වන ආරම්භක අදියරට ප්‍රවේශ වුණ අය බවට පරිවර්තනය වෙයි.

රූපයක් තුළ දක්නට තිබෙන ඉන්ද්‍රියයන් පහ නිතරම තව තව රූප සමඟ ගණුදෙනු කරයි. ඇසෙන් රූපය සමඟ, කනෙන් ශබ්දය සමඟ, නාසයෙන් ගන්ධය සමඟ, ශරීරයෙන් ස්පර්ශය සමඟ ගණුදෙනු කරයි. එම ගණුදෙනුව තුළ සංකල්පීයව අපට සම්මුතිය තුළ කියා දී තිබෙන්නේම ඇය හෝ ඔහු ලස්සනයි, නැතහොත් මේ ආකාරයට ලස්සනයි. මේ ආකාරයට තිබුණොත් කැතයි




හෝමාගම මුල්ලේගම 
ශ්‍රී සීලාලංකාර මාවත ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 02 වන අඟහරුවාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment