අපේ පියවි ඇසට පේන දේ බොහොම ටිකයි. නොපෙනෙන දේ ගොඩක් තියෙනව. හැමකෙනෙක්ම වගේ ගනු දෙනු කරන්නෙ පෙනෙන දේ එක්ක විතරයි. තමන් ගැනම හිතල බලන්න. ඔබ වැඩි අවධානයක් යොමු කරන්නෙ ඔබේ ඇසට පෙනෙන ශරීර කොටස් ගැනද, නැත්නම් ඇසට නොපෙනෙන සිත ගැනද කියල. ඇසට පෙනෙන ශරීරය ගැන නේද? මතු පිටින් නොපෙනුනත්, ඇඟ ඇතුලෙ තිබුණත්, ස්කෑන් කරල හරි බලන්න පුළුවන් ශරීර කොටස් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනව. ඒත් ඒ ශරීරය මේ භවයෙ පරිහරණයට පමණක් ලැබුණ එකක්. සිත ගැන අවධානය කරන කෙනා ඊට වඩා ඉහළින් ඉන්න බුද්ධිමතෙක්. මොකද එයා අවධානයට යොමු කරන්නෙ මේ භවයට පමණක් නෙවෙයි අනාගත බව වලටත් අපට වැදගත් වන කරුණක් පිළිබඳව නිසා.
මාගන්දියා කියන්නේ රූපය ලස්සන තරුණියකි. ඒ නිසාම ඇය ඒ වසරේ ජනපදයේ රූප සුන්දරිය බවටත් පත්වුණා. ප්‍රඥාව නොවැඩුණු ඇයට, පෙර පිනකින් ලැබුණු ලස්සන රූපයම දෙලොව විනාශය උදා කළ හැටි අපේ බණ පොතේ කියවෙන්නෙ මෙහෙමයි.
දවසේ වැඩි කාලයක් මාගන්දියා රූපය රැක ගැනීමේ කටයුතුවල තමයි යෙදී සිටියෙ.
ඒ විතරක් නෙවෙයි. ඇය ඒ රූපය නිසාම මත් වෙලයි කටයුතු කළේ. ඇයගෙ අම්ම තාත්ත දෙන්නත් ලොකු සතුටකින් තමයි ජීවත් වුණේ. මොකද රුව ඇති දුවක් ඉන්න නිසා. කාගෙ කාගෙත් නෙත් වසඟ කරන ඒ රූමත් දෝණි ගැන මව්පියන්ට තිබුණෙත් ලොකු ආඩම්බරයක්. ඒ වගේම ඇයගෙ විවාහය ගැනත් අසීමිත ප්‍රාර්ථනා පුරවා ගත්තු ඒ මව්පියන් සුදුසු රූමත් තරුණයෙක් සොයන්නත් වෙහෙසුණා. ඒ සඳහා එකම සුදුසුකම වශයෙන් බැලුවෙ ලස්සන රූපය විතරයි.
එසේ වුවත් මාගන්දිය බමුණයි, බැමිණියයි දියණියට වඩා ප්‍රඥාව වැඩී තිබුණු අය. ඒ නිසා යමක් බුද්ධිමත්ව හිතන්නත් හැකියාව ඔවුන් සතුව තිබුණා. ඒත් මේ දෙතිස් කුණපයන්ගෙන් පිරුණු ‘ශරීරයයම ජීවිතය’යි කියල හිතන ව්‍යවහාරික ලෝකයේ ජීවත් වන අය නිසා ඒ දෙන්නත් ඊට වැඩි යමක් හිතන්න පෙළඹුනේ නැහැ. ඒත් මාගන්දිය බමුණටයි, බැමිණියටයි මහා වාසනා ගුණයක් තිබුණා සකෘදාගාමී මාර්ග ඵල ලාභින් වෙන්න.
කුරු රටේ කම්මාස්සදම්ම කියන නගරයෙ තමයි ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියෙ. බුදු රජාණන් වහන්සේ හිමිදිරි පාන්දර මහා කරුණා සමවතට සමවැදී ලෝකය දෙස බලා වදාරන කොට උන් වහන්සේගේ කරුණා ඇසට යොමු වුනේ ඒ දිනයේදීම ධර්මාවබෝධය ලැබීමට තරම් බලවත් වාසනා ගුණ ඇති මාගන්දිය යුවල ගැන.
මාගන්දිය බ්‍රාහ්මණය සුපුරුදු ලෙස ගිනි පුදන තැනට යනකොට එතන හොඳට අතු ඉති විහිදුනු නුග ගහක් යට හරිම ලස්සන ශ්‍රමණයෙක් වැඩ ඉන්නව දැක්ක. සිරුරෙ කඩවසම් බවයි. හමේ පැහැබර බවයි, මූණෙ ප්‍රසන්නතාවයයි දැක්කම බමුණට මතක් වුණේ තම රූමත් දියණිය. ‘මගේ දෝණිට ගැලපෙන ලස්සන තරුණයෙක්’ කියල එක් වරම ඔහුට හිතුන. තමා සොයන්නෙ දියණියට කසාදයක් නිසා, ශ්‍රමණයෙක් ගැන එහෙම හිතන්නත් ටිකක් උදාසීන වුණා. ඒත් ‘පමාව ඒ තරම් හොඳ දෙයක් නොවෙයි’ . කියල හිතල ඔහු ආපස්සට හැරුණා. ඉතාම ඉක්මණින් ගෙදර ගියා.
බිරිඳටයි දියණියටයි කතා කළා. ‘අපේ දෝණි හරිම වාසනාවන්තයි හරිම වාසනාවන්තයි දූටම ගැලපෙන රූමත් තරුණයෙක්. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. පමා වුනොත් එතනින් පිටවේවි’ ඔහු වේගෙන් කියාගෙන ගියා. වැඩි විස්තර පැහැදිළි කරන්න. ඔහුට වෙලාවක් නෑ. රූමත් දෝණි තවත් ලස්සන කරන්න පුළුවන් හැමදේම අඟ පසඟවල ගැල්ලුව. රන් අබරණ පැළැන්දුව. ලස්සනට දු කුමරිය සරසගෙන මේ අම්ම තාත්ත දෙන්න නුග සෙවණට ගියා.
එතැන සිටිය රූමත් තරුණ ශ්‍රමණයන් වහන්සේ ඒ වන විට පේන්න හිටියෙ නැහැ. ඒත් බිම තියෙනව පා සටහනක්. බැමිණිය ඒ පා සටහන දැක්ක. දේහ ලක්ෂණ විද්‍යාව ගැන අවබෝධයක් තිබුණ බැමිණිය එය හොඳින් පරීක්ෂා කළා. ‘මේ නම් කාම ලෝකෙට ඇලෙන කෙනෙක්ගෙ පා සටහනක් වෙන්න බෑ’ කියල ඇයට තේරුණා. ඒත් බමුණා ඇයට ඒ ගැන කතා කරන්නවත් ඉඩ දුන්නෙ නෑ. කලබලෙන් ඔහු හැම තැනම විමසන්න පටන් ගත්ත. බුදුරජාණන් වහන්සේ මඳක් දුරින් වෙනත් ගසක් යට වැඩ සිටිනව ඔහුට පෙනුන. තිදෙනාම බුදුන් ඉදිරියෙ පිරුණු සිනාවෙන් යුතුව බලා සිටිනව. බුදුරජාණන් වහන්සේ දෙනෙත් පියාගෙන සාන්තව වැඩ සිටිනව. දූ කුමරිය ආඩම්බරයෙන් වුනත් ආසාවෙන් නෙතු අගින් බුදු රුව දෙස බලා සිටින්නෙ.
බමුණ උගුර පෑදුව. බුදුරජාණන් වහන්සේ කරුණා නෙත් විවර කරල බමුණ දිහා බැලුව. බමුණ ඉක්මණින් කතාව පටන් ගත්ත. තම දියණිය ගැන මහා වර්ණනාවක් කළා. ඒත් එක්කම බුදු සිරුරෙ තමා දුටු රූප ශෝභාවත් වර්ණනා කළා. අන්තිමට මංගල යෝජනාව ඉදිරිපත් කළා.
මාගන්දිය දියණිය නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ‘මේ රූමත් තරුණය දැන් මා දෙස බලයි දැන් මා දෙස බලයි’ කියල. ඒත් උන් වහන්සේ ඇය දෙස බලන්නෙවත් නැහැ. බමුණ දෙස බලාගෙන, තමන් වහන්සේ සිත ජය ගත්ත හැටි පැහැදිළි කළා.තණ්හා රතී රඟා කියන මර දූතියන් තමා රාගයෙන් මුසපත් කරන්න ගත්තු වෑයම විස්තර කළා. එවන් රූපයන් ළඟ වසඟ නොවුන සිත මාගන්දියා ගැන කාම රාග හට නොගන්නා බව අවධාරණය කළා. ඒත් එක්කම නව දොරකින් දුගඳ වෑහෙන අසූචි කළයක් වැනි රූපයකට වශී වෙන්නෙ මොන තරම් අනුවණයන්ද කියලත් ප්‍රශ්නයක් ඇහුව. රූපයේ අනිත්‍යතාවය ගැන වටිනා බණකුත් දේශනා කළා.
එකම බුදු රුව ළඟ, එකම බුදු හඬ ළඟ දෙදෙනෙක් දෙවිදියකට වෙනස් වෙන හැටි බලන්න. අම්ම තාත්ත දෙන්නට ඒ වචන ඇහුණම හිතුනේ මේ තරුණයගෙ ගත වගේම හිතත් කොපමණ ලස්සනද කියල. ඒත් දියණියට ඇති වුණේ වෛරයක්. තමාගෙ සුන්දර රූපය අසුචි ගොඩකට උපමා කළා කියලයි ඇයට හොඳටම කේන්ති ගියේ. දත්මිටි කමින් ගස්සගෙන ආපහු හැරිල ගෙදර ගියේ ඒ නිසයි. ඒත් දෙමව්පියන්ගේ අවධානය දියණිය ගැන නොවෙයි. බුදු මුවින් භාෂිත අමාදම් ස්වරයටත් අරුතටත් ඒ සිත් නැමී තිබුණ. රූපයේ ආස්වාදයට වඩා ආදීනවය අවබෝධ කරගෙන තිසරණයෙහි පිහිටි මව්පිය දෙපළ බුදු සිරිපා වන්දනා කළා. ධර්මාවබෝධය නිසා සිතත් ආලෝකමත් වී තිබුණා.
කොසැඹෑ නුවර උදේන රජුගේ මෙහෙසියක් වෙන්න මාගන්දියා දියණියට පිළිවන්වුණා. ඒත් එදා බුදුන් වහන්සේ ඉදිරියෙහි දී ඇති වූ වෛරය කැකෑරෙමින් තිබූ ඇගේ හිතට රජ ගෙදරදිවත් අස්වැසිල්ලක් ලැබුණෙ නැහැ. ‘මගේ රූපයට නිගා කළ ඒ ශ්‍රමණයගෙන් කොහොමද පළිගන්නේ කියන රුදුරු සිතිවිල්ලමයි ඇගේ සිතේ පැසවන්නෙ. තම ස්වාමියාගේ රාජ්‍ය බලය පාවිච්චි කරමින් බුදුන්ට අපහාස කෙරෙව්ව. ගල් මුල් ගැස්සෙව්ව. ඒ වෛරය කෙතරම් බිහිසුණුද කීවොත් තෙරුවන් සරණ ලබන අයට පවා වෛර කරන්න පෙළඹුණා. මහා රූමත් ගැහැණියක් වුනත් ඇගේ අවලස්සන ගඳ ගහන සිත හැසිරුණේ එහෙමයි.
උදේන රජුගේම බිසවක් වූ සාමාවති බිසව තෙරුවන් සරණ ගිය අචල ශ්‍රද්ධාවේ පිහිටි කෙනෙක්. ඇයට මල් රැගෙන එන කුජ්ජුත්තරා සේවිකාව සෝවාන් වූ කාන්තාවක්. ඇය නිසාම සාමාවති බිසවත් ඇයගේ පරිවාර ස්ත්‍රීන් පිරිසත් ධර්මාවබෝධය කළ අය බවට පත් වුණා. දුගතියෙන් සදහටම අතමිදෙන්න සාමාවතියට මෙන්ම ඇගේ පරිවාර පිරිසටත් භාග්‍යය ලැබුණ. මාගන්දියාගෙ වෛරය තෙරුවන් සරණ ගිය සාමාවතිය කෙරෙහිත් ඇදී ගියා.
දවසක් මාගන්දියාගෙ නෑ පිරිසක් යොදාගෙන සාමාවතී බිසවත් පරිවාර ස්ත්‍රීනුත් සිටි මාලිගාවට ගිනි තිබ්බ. කිසිවෙකුට එළියට එන්න බැරිවෙන්න දොරටුවලට පිටතින් අගුලු ලා තිබුණ නිසා පන්සියයක් පිරිවර සමග සාමාවතී ගින්නෙන් පිළිස්සී මිය ගියා. ඒ්ත් ධර්මාවබෝධය නිසා මෛත්‍රී සිතින් ගිනිබත් වූ ඔවුන් නිදා පිබිදුනා වගේ දෙව් ලොවෙහිත් බඹ ලොවෙහිත් උපදින්න තරම් භාග්‍යවන්ත වුණා.
රූප මදයෙන් මත් වී සිටි මාගන්දියා විසින් කරන ලද විනාශය දැනගත් උදේනි රජතුමා ඇය පිළිකුල් කළා. රාජ උදහසට ලක් වූ ඇයත් ඒ අපරාධයට සම්බන්ධ සියලු නෑයන් සමඟ වද දී මරා දැමුව. පරලොව ලෙස ඇය උරුම කර ගත්තෙත් නිරයයි. අද වෙන කොටත් මාගන්දියා අපා දුක් විඳිමින් ඒ කර්ම ගෙවනව ඇති.
සතර මහා භූත කොටස් වලින් හැදී තිබෙන අපේ රූපයත් බාහිරින් අපට පේන අනෙක් සියලුම රූපත් වෙනස් වෙවි ගිහිල්ල කවද හරි ඒ කොටස් වලටම එකතු වෙනව. ඒක වළක්වන්න කිසිවෙකුටත් හැකියාවක් නැහැ. ඒත් අදෘෂ්‍යමාන සිත නුවණින් දකිමින් ඒ සිතේ හටගන්න අකුසල් දුරු කරන්න වෑයම් කරන කෙනා ලෞකික ලෝකයේදිත් දුක් අඩුවෙන් සැප වැඩියෙන් ලබන කෙනෙකු වෙනව. සසර ජය ගන්න පුළුවන් වෙන්නෙත් ඒ අයට පමණයි.
මේ සිදුවීම් අරමුණු කරගෙන බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළා.
“එළඹ සිටි සිහියෙන් නොපමාව කුසල් දහම්හි යෙදෙන පුද්ගලයන් අමරණීය වූ නිවනට පත් වෙනව. ඒත් පමා වූ අය භවයෙන් භවයට උරුම වන මරණයම දායාද කොට පවතිනව. ඒ බව දැනගන්න ප්‍රඥාවන්තයන් වීර්යය ඇති කරගෙන සීල සමාධි ප්‍රඥා වඩන්න පටන් ගන්නව. නොපමාවම ආර්ය මාර්ගය වඩා අමරණීය වූ නිවන සාක්ෂාත් කර ගන්නව”.
මේ උතුම් ධර්මය මුණගැසීම අපට ලැබුණ මහා භාග්‍යයක්. ඒ නිසා පමා වෙන්න එපා මොහොතක්වත් . අපේ බාහිර රූපයට වඩා රැක ගන්න ඕන අභ්‍යන්තර සිතයි. එහෙම වුනොත් සාමාවතියට වගේ ගැලවීමක් අපට තියෙනව. එහෙම නොවුනොත් මාගන්දියා වගේ ඇතුළත ගින්නෙන් දැවි දැවී ඉඳල අපා ගින්නට වැටෙන්න වේවි. එදාට අපට කිසිම ගැලවුම්කාරයෙකු හමු වෙන්නෙ නැහැ.
කැලණිය, වේවැල්දූව,
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිපති
සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක
මොරවක සෝරත නා හිමි
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිපති
සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක
මොරවක සෝරත නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ නොවැම්බර් 29 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment