මහත් වූ බැතියෙන් ඒ අනගි ධර්ම දේශනය ශ්‍රවණය කළෙමි.
එය සැබැවින්ම සිතට ශාන්තියක් විය. “රහතුන් වැඩි මග ඔස්සේ ගමන් කරන උන්වහන්සේ දකින්නට
ලැබීමද භාග්‍යයකි. මට අසන්නට ලැබුණු ඒ අසිරිමත් ධර්ම දේශනය හුදී ජන ප්‍රසාදය සඳහා
රට පුරා බෙදා හැරිය හැකිනම් කෙතරම් අගනේදැයි සිතක් පහළ විය. අවසානයේ මම උන්වහන්සේ
හමුවට ගියෙමි.“ස්වාමීන්
වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනය ඉතාම භක්තියෙන් ශ්‍රවණය කළා. මේ ධර්මය ඒ අයුරින්ම
බෙදා හරින්නට ඉඩ ලබා දෙනවා ද?“මොකක්ද පුතේ ඒ කියන්නේ?” යනුවෙන්
උන්වහන්සේ කරුණාභරිතව විමසූහ.“මේ ධර්ම කරුණු කැටිකර ලිපි පෙළක් පළ කිරීම ගැනයි
ස්වාමීන් වහන්ස” මම
පිළිතුරු දුනිමි.හොඳයි පුතේ,
ඒ හිමියෝ පිළිතුරු දුන්හ. බුදුන් වහන්සේගේ ශ්‍රී
සද්ධර්මයට නමස්කාර කරමින් මේ ලිපි පෙළ ඔබ වෙතට ඉදිරිපත් කිරීමට ලැබීම සැබැවින්ම
සතුටට කරුණකි. මේ දහම් හඬ දස දෙස පැතිරේවා යන්න මගේ ඒකායන පැතුමයි.
පෙර කළ පින නිසා ලැබූ වා වූ ලස්සන ශරීරය, අනුන් තුළ කාමච්ඡන්දයන් ඇති කිරීම උදෙසා
යොමු වූ බව මීට පෙර ඉදිරිපත් කළ ලිපිවලින් අවබෝධ වුනා. ඒ වගේ ම පායාස නිරයේ ජීවත්
වන තවත් නිරිසතෙක් ඉන්නවා. ඒ නිරි සතා හම ගහපු නිරි සතෙක්. ඔබ ශක්තිමත් මනුෂ්‍ය
රූපයක් හිතින් මවා ගන්න. ඒ ශක්තිමත් මනුෂ්‍යාගේ රූපය මේ කුඩුහම සම්පූර්ණයෙන් ම
ගලවලා අයින් කරන්න. මේ මුළු ශරීරයෙ ම කුඩුහම සම්පූර්ණයෙන් ම ගලවලා අයින් කළාම
පස්සෙ මේ රතුපාට මස් මතුවෙලා තියෙන, ලේ නහර මතුවෙලා තියන,
හම ගහපු මනුෂ්‍යාගෙ රූපය හිතින් මවාගන්න. ඒ විදිහෙ හම ගහපු නිරි
සතෙක්, මසම පීඩාවට පත්කරනව.
පෙර පින නිසා ලැබුණා වූ මේ ලස්සන රූපය අනුන් තුළ
කාම්ච්ඡන්දයන් ඇති කිරීමට උදව් කළා. ඒ නිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න, ඒ අතීතයේ සිටියාවූ උපාසක උපාසිකාවන් යම් සේ
ජීවිතයක් ගත කළා ද ඒ උතුම් පරමාදර්ශයන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. බුදු රජාණන්
වහන්සේ දේශනා කරනව, ඔබ පුතෙක් ප්‍රාර්ථනා කරනව නම් ඒ පුතා
උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා.
ඔබ දුවෙක් ප්‍රාර්ථනා
කරනව නම් එම දුව වේළුකණ්ඨිගී නන්ද මාතාව වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියල.
නමුත් වර්තමානයේ අම්ම කෙනෙක් අපේ ළඟට ආවොත්, අපි ඒ අම්මට කිව්වොත්, අම්මේ, ඔය ප්‍රාර්ථනා, ඔය දරුවා වේළු කණ්ඨිගී නන්දමාතාව වගේ, උග්‍ර
ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියල, ඒ අම්ම
අපට හිනා වෙයි. නමුත් ලොව්තුරා බුදු රජාණන් වහන්සේ යම් අර්ථයක් ඇතිවයි මේ ධර්මය
අපට දේශනා කරල තියෙන්නෙ. මොකද ඔබ ප්‍රාර්ථනා කරන දරුවා වේළුකණ්ඨිගී නන්ද මාතාව,
උග්‍ර ගෘහපතිවරයා වේවා කියල ප්‍රාර්ථනා කළොත් ඒ දරුවා තබන තබන
පියවරක් පාසා සුගතිය දිහාවටයි ගමන් කරන්නෙ.
ඔබ ප්‍රාර්ථනා කරන දරුවා, වර්තමාන සමාජය මතු කරල පෙන්වන ජනප්‍රිය
චරිතයන් වගේ වේවා කියල ප්‍රාර්ථනා කළොතින් තබන තබන පියවරක් පාසා අකුසලය දිශාවටයි,දුගතිය දිශාවටයි, ගමන් කරන්නෙ. ඒ නිසා
නිරතුරුවම මේ අවදානමෙන් ජීවිතය ගැන සිතන්න. මුලින් ම ඔබ චිත්තයක් ඇති කර ගන්න
උතුම් සෝවාන් ඵලයට පත් වෙනව කියල. දෙවනුව විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. තුන්වනුව මේ
උතුම් පරමාදර්ශී ජීවිත ඔබේ ජීවිතයේ පරමාදර්ශය බවට පත් කරගන්න. සතරවනුව මාන්නය
ජීවිතයේ ඉස්සරහටම එන්න දෙන්න එපා. මොක ද මේ ධර්ම මාර්ගය තුළ ගමන් ගනිද්දී අපි ශීලය
නිසා මාන්නයට පත් වෙනවා. සමාධිය නිසා මාන්නයට පත්වෙනවා, භාවනාව
නිසා මාන්නයට පත්වෙනවා. දානය නිසා මාන්නයට පත්වෙනවා. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුළදී
අපි මේ තබන පියවරක් පියවරක් පාසා හිස් කරමින් යන්නෙ.
හිස් කරමින් හිස් කරමින් යන්නා වූ ගමනක් මේ
යන්නෙ. මොනවද මේ හිස් කරමින් යන්නෙ. මුලින්ම අපි අකුසලය හිස් කරනවා. ඊළඟට අපි
සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, හිස් කරනව. ඊළඟට අපි කාම රාග
පටිඝයන් හිස් කරනවා. හිස් කරමින් හිස් කරමින් යන ගමනෙදී මාන්නය නමැති කාරණය
වැඩෙන්න බැහැ. නිහතමානී බාවයමයි අපි තුළ වැඩෙන්න ඕන. මොකද අපි ගිහි ජීවිතය අපේ
ගොඩක් දේවල් වලින් අපේ ජීවිතය පුරවා ගන්නව. දැනුමෙන් කීර්තියෙන් නිලතලවලින් මේ සෑම
දෙයකින්ම අපේ ජීවිතය පුරව ගන්නව. මේවා කෙරෙන්න කෙරෙන්න තමයි ජීවිතයෙ වටිනාකම
දකින්නෙ. දැන් මටත් ගිහි ජීවිතයක් තිබ්බ, ඒ ගිහි ජීවිතයෙ
අපි අප්‍රමාණ දේවලින් ගිහි ජීවිතය පුරව ගත්තා. මේවා කෙරෙන්න කෙරෙන්න තමා ජීවිතය
වටිනාකම දැක්කෙ. නමුත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබනකොට සද්ධර්මය ශ්‍රවණය කරන කොට,
ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරනකොට අන්න අපි තේරුම්
ගත්තා මේ පුරවා ගත්තා වූ දෙය අන්තරාකාරී දෙයක් කියල. අපි දවසක මේ පැවිදි භාවය ලබල
වනගත වුනා ද අපිට කරන්න ඉතුරු වෙලා තිබ්බෙ එක දෙයයි.
මොකක් ද ඒ, මම ම පුරවාගත්තා වූ දෙය මමම හිස් කරා. මේ ඇස නිත්‍ය භාවය දැකීම තුළ
පුරවා ගත්තා වූ දෙය මේ ඇසේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා. මේ කන, මේ දිව, මේ ශරීරය, මේ
මනස නිත්‍යභාවය තුළ දැකීම තුළ පුරවා ගත්තා වූ දෙය මේවායේ අනිත්‍යභාවය දකිමින් හිස්
කළා. මෙහෙම හිස් කරමින් හිස්කරමින් යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනව තමාට තමා
අත හැරෙන තැනක් එනව කියල. පටිච්ච සමුප්පන්නව එය ජීවිතය දකිනව කියනවා. හේතුඵල
ධර්මයන්ට යටත් ව එයා ජීවිතය දකිනව කියනවා. එහෙනං බලන්න අපි මේ යන්න හදන්නෙ
එතැනටයි. එතැනට යන ගමනෙදි නිහතමානීබාවයමයි වැඩෙන්න ඕන. මාන්නය ජීවිතයට එන්න දෙන්න
එපා. මේ ගමනෙදි තමා තමාට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. තමා තමාට කල්‍යාණ මිත්‍රයෙක්
වෙනවා කියන්නෙ, තමා නිහතමානීබාවය ඇති කරගන්නවා, කියන කාරණයයි. ඊළඟ කාරණය තමයි, නිරතුරුව ම මේ
ධර්ම මාර්ගය තුළ මේ ජීවිතය මේ උතුම් ඵලයන් කරා යද්දී, මේ
ජීවිතයේ අපි කරන්නා වූ පිං කම් තුළින් කුසල් දහම් තුළින් විතරක් මේක මතු කරගන්න
බැහැ, ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕන අතීතයේ විපාක නොදුන්නා වූ
කුසල් ශක්තිය මතු කරල ගන්න.
රාජගිරියේ අරියඤාණ හිමි
2014 ජූලි මස 23 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment