Labels

Saturday, August 13, 2016

බුද්ධ ප්‍රතිමා තැනීම ආරම්භ වූයේ කවර කලෙක ද?


බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් බුද්ධ ප්‍රතිමා තිබුණේ ද?



බුද්ධ ප්‍රතිමා තැනීම ආරම්භ කළේ කවදා ද? යන බව ත්‍රිපිටකයේ හෝ අටුවාවල සඳහන් වී නැත. අතීතයේ වූ සෑම කරුණක් ම මේ පොත්වල සඳහන් වී නැත. පොත්වල සඳහන් නො වන අද ජීවත් වන කිසිවකු නො දන්නා බොහෝ අතීත සිද්ධීන් ඇතුවාට සැකයක් නැත.
“අප බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වැඩම කර වස් එළඹුණු කාලයේ උන්වහන්සේ නො දැක සිටිය නුහුණු උදේනි රජ මුගලන් මහතෙරුන් වහන්සේ ගේ උපකාරයෙන් දෙව්ලොවට ශිල්පියකු යවා බුද්ධ ශරීරය හොඳින් බලවා ඔහු ලවා සඳුන් හරයෙන් බුද්ධ ප්‍රතිමාවක් කරවූ බවත් බුදුන් වහන්සේ නැවත පොළෝ තලයට බට කල්හි ඒ බුදුරුව නැගිට උන්වහන්සේට නමස්කාර කළ බවත් ඒ ප්‍රතිමාව අමතා බුදුන් වහන්සේ මිසදිටුවන් සම්‍යක් දෘෂ්ටිකයන් කිරීමත් අනාගයෙහි සස්න රැක ගැනීමත් ඔබට බාරය යි වදාළ බවත් “හියුං සියං” චීන තෙරුන් වහන්සේ ගේ ගමන් විස්තරයෙහි සඳහන් කර තිබේ.

මහජනයා උත්තම පුද්ගලයන් ගේ පිළිරූ තැනවීමට බොහෝ සෙයින් උත්සාහ කරන්නේ ඒ පුද්ගලයන්ගෙ අභාවයෙන් පසුව ය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ ගේ ශ්‍රී දේහය දැක ගත හැකි බැවින් බුද්ධ ප්‍රතිමා කරවන්නට එතරම් උත්සාහ කරන්නට නැත. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමට සමීප කාලය වන ඇත අතීත කාලය එතරම් ප්‍රතිමා ශිල්පය දියුණුව තුබූ කාලයක් නො වේ. එබැවින් ඈත අතීතයේ සංඝාරාමවල බොහෝ සෙයින් තුබුණේ දැගැබක් බෝධියක් පමණෙකි. බුද්ධ ප්‍රතිමා තැනීමේ ශිල්පය සෙමින් දියුණු වූවකි. දැන් ඒ ශිල්පය ඉතා දියුණුවට පත්ව ඇති බැවින් බෞද්ධ ගිහි ගෙවලට පවා බුද්ධ රූප පැමිණ ඇත්තේ ය. ඈත අතීතයේ එතරම් සුලභව බුද්ධ ප්‍රතිමා නො තුබුණත් ඒවා තුබුණු බව අටුවා පොත්වලින් පෙනේ. අටුවා ද බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන් ම පැවැත්තේ ය.
මිහිදු මාහිමියන් විසින් මේ දිවයිනට ගෙනා අටුවා සිංහලට නඟා තුබුණේ ය. කල් යාමෙන් දඹදිව තුබූ අටුවා අභාවප්‍රාප්ත විය. එබැවින් බුදුගොස් මාහිමියෝ මේ දිවයිනට පැමිණ සකල ලෝකයාගේ ම ප්‍රයෝජනය සලකා නැවත ඒ හෙළ අටුවා පාළි භාෂාවට පරිවර්තනය කළහ. ඒවා විදේශවලට ගිය බැවින් අද දක්වා නො නැසී පවතී. විදේශවලට නො ගිය බැවින් හෙළ අටුවා මෙහි ම අභාවප්‍රාප්ත විය. දැනට පවත්නා පාලි අටුවා පසු කලෙක දී බුදුගොස් හිමියන් විසින් ලියන ලද ඒවා වුවත් බුද්ධ කාලයේ පටන් ම පැවැති පැරණි අටුවා බව කිය යුතු ය. රහතන් වහන්සේලා වැඩ විසූ ඈත අතීත කාලයේ බුදු පිළිම නො තිබුණා නම් අටුවාවල බුදු පිළිම ගැන සඳහන් නො විය හැකි ය.
“තථාගතෙ පන පරිනිබ්බුතෙ උභතො සංඝස්ස ප්‍රමුඛෙ සධාතුකං බුද්ධපටිමං ආසනෙ ඨපෙත්වා පත්තං ආධාරකෙ ඨපෙත්වා දක්ඛණොදකමාදිං කත්වා සබ්බං සත්ථු පඨමං දක්වා උභතො සංඝස්ස දාතබ්බං”
මෙය දක්ෂිණාවිභංග සූත්‍ර අටුවාවේ එන වගන්තියකි. එයින් කියන්නේ බුදුන් වහන්සේ පිරිනිවි කල්හි උභතෝ සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා පළමුවන සාංඝිකදානය දිය යුතු බව ය. ඒ පාඨයෙහි සධාතුක ප්‍රතිමාවක් ගැන කියා තිබීමෙන් එකල නිර්ධාතුක බුද්ධ ප්‍රතිමා ද තුබූ බව පැහැදිලි වේ.
මනෝරථපූරණි අටුවාවෙහි ද “සධාතුකං පන ථූපං වා පටිමං වා බාධමානං බොධිසාඛං ජින්දිතූං වට්ටති” යි බුද්ධ ප්‍රතිමාව ගැන සඳහන් කොට තිබේ. සධාතුක ප්‍රතිමාවට බාධා පැමිණෙන බෝධි සාඛා සිඳ දැමීමට වටනා බව දක්වා තිබීමෙන් අටුවා ලියූ කාලයටත් පෙර පන්සල්වල බුද්ධ ප්‍රතිමාත් තුබූ බව දත හැකි ය. මේ කරුණ සම්මෝහවිනෝදනී නම් විභංග අටුවාවෙහි ද ඇත්තේ ය. මේ කරුණු අනුව බුදුරදුන් ජීවමාන කාලයේ පටන් හෝ සිවුපිළිසිඹියා පත් මහරහතන් වහන්සේලා විසූ ඈත අතීත කාලයේ පටන් හෝ බුද්ධ ප්‍රතිමා තුබුණ බවත් ඒවාට බෞද්ධයන් වැදුම් පිදුම් කළ බවත් කිය යුතු ය.

ශාරීරික පාරිභෝගික උද්දේශික වස්තූන්ගෙන් කවරකට වැඳුම් පිදුම් කිරීමෙන් වඩා පින් ලැබේ ද?


උද්දේශික වස්තුවට වඩා පාරිභෝගික වස්තුවක්, පාරිභෝගික වස්තුවට වඩා ශාරීරික ධාතුත් උසස් බව කිය යුතු ය. වැඳුම් පිදුම් කරන්නහුට ලැබෙන පිනෙහි උසස් පහත් බව, ප්‍රතිග්‍රාහකයා ගේ ගුණසම්පත්තිය හා පූජා කරන්නහු ගේ චේතනා සම්පත්තිය අනුව කිය යුතු ය. ශාරීරික පාරිභෝගික උද්දේශික වස්තු විෂයෙහි පුද පූජා පවත්වන්නේ තථාගතයන් වහන්සේ නමැති එක ම ප්‍රතිග්‍රාහකයාට ය. එබැවින් ශාරීරිකාදි වස්තූන් අනුව කුශලයේ වෙනස්කමක් නො කිය හැකි ය.


අතීතයේ විසූ සියලුම ධර්‍මධරයන් විසින් ප්‍රතිමා වන්දනාව අවිවාදයෙන් පිළිගන්නා ලද්දක් ද?


අතීතයෙහි ද භික්ෂූන් වහන්සේලා අතර ඇතැම් කරුණු පිළිබඳ මත භේද ඇති විය. එබඳු කරුණු බොහෝ ගණනක් බුදගොස් හිමියන් විසින් ලියූ අටුවා පොත්වල සඳහන් කොට තිබේ. ඒ ඒ ආචාර්යවරයන් ගේ මත ද වෙන වෙන ම දක්වා තිබේ. අභිධර්ම පිටකයට අයත් කථාවත්ථුප්පකරණය ඇති වූයේ එකල පැවැති නා නා වාද නිසා ය. වාදයට හේතු වූ කරුණු දෙසියයකට වැඩි ගණනක් කථාවත්ථූප්පකරණයෙහි සඳහන් වී තිබේ. ප්‍රතිමා වන්දනාව ගැන වාදයක් ඒ පොත්වල කිසි තැනක සඳහන් වී නැත. එයින් පිළිගත යුත්තේ මහරහතන් වහන්සේලා ඇතුළු අතීතයෙහි විසූ සියලුම ධර්මධරයන් විසින් ප්‍රතිමා වන්දනාව අවිවාදයෙන් පිළිගන්නා ලද බව ය.


2014 ජූලි මස 23 වැනිදා බදාදා   දින    ආලෝකේා උදපාදි  පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment