Labels

Saturday, August 13, 2016

කෙලෙසුන්ට බැඳි වැට නිවන් මඟ සුව සදයි

කෙලෙස් ඇත්තා ඇතිබව දනීනම්. නැත්තා නැතිබව දනීනම් තිබෙන රාග, ද්වේශ, මෝහාදී පව් නැතිකර ගැනීමටත්, නැති පව් නූපදවා ගැනීමටත් උත්සාහ ගනී. එය හරියට අපවිත්‍ර හා පවිත්‍ර බඳුන් දෙකක් නිතර භාවිතයට ගැනීමෙන් එකක තිබෙන කුණු නැතිවී ඔප වැටේ. අනික තවත් ඔප වැටී බැබලීමට පත්වේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
”අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති. නත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං නප්පජානාති අත්ථි මේ අජ්ඣත්තං අංගණන්ති යථාභූතං පජානාති” (ම.නි. අංගණ සූත්‍රය)
සුපින්වත්නි,

අද ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ එන අංගණ සූත්‍රයයි. මෙම සූත්‍රය ශ්‍රාවක භාෂිත සූත්‍රයකි. එනම් සැවැත්නුවර ජේතවනාරාමයේදී සැරියුත් මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට දේශනා කරන ලද්දකි.
සැරියුත් හාමුදුරුවන්ගේ මෙම දේශනාව හඳුන්වන්නේ අංගණ සූත්‍ර දේශනාව කියායි. “අංගණ” යනු කෙලෙස් වලට කියන නමකි. මෙහිදී සැරියුත් හැමුදුරුවන් වහන්සේ මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් කොටස් හතරකට බෙදා දක්වා ඇත.

කෙලෙස් තිබෙන එහෙත් කෙලෙස් තිබෙන බව නොදන්නා මිනිස්සු පළමු කොටසටත් , කෙලෙස් තිබෙන , එසේ තිබෙන බව දන්නා මිනිස්සු දෙවන කොටසටත්, කෙලෙස් නැති, නැති බව නොදන්නා මිනිස්සු තෙවෙනි කොටසටත්, කෙලෙස් නැති, නැති බව දන්නා මිනිස්සු සිවුවන කොටසටත් දක්වා වදාළහ. තවද මේ සතර දෙනාගෙන් කෙලෙස් ඇතිව ඇතිබව නොදන්නාත්, කෙලෙස් නැතිව නැති බව නොදන්නාත් පහත් උදවිය හැටියටත් කෙලෙස් ඇතිව ඇති බව දන්නාත්, නැතිව නැති බව දන්නාත් උසස් උදවිය හැටියටත් වදාළහ.
සැරියුත් තෙරනුවන්ගේ මේ පුද්ගල බෙදිල්ලට මුගලන් තෙරනුවන් වහන්සේ හරස් ප්‍රශ්නයක් මතු කළා. සැරියුත් හිමියනි, කෙලෙස් ඇති පුද්ගලයන්ගෙන් කෙනෙක් පහත් වන්නේත්, කෙනෙක් උසස් වන්නේත්, කෙලෙස් නැති අයගෙන් කෙනෙක් උසස් වන්නේත්, කෙනෙක් පහත් වන්නේත් කෙසේදැයි විමසීය.
එහිදී සැරියුත් තෙරුන්වහන්සේ මෙසේ වදාළහ. කෙලෙස් ඇත්තා ඇති බවත්, නැත්තා නැති බවත් නොදනීනම් ඔහුට තවත් රාග, ද්වේශ, මෝහ එකතු වී අපාගත වේ. නැත්තාට නැති පව් උපදී. එය මනාව වටහා ගැනීමට මෙසේ නිදසුනක් දැක්වීය.
අපවිත්‍ර හා පවිත්‍ර රන් භාජන දෙකක් ගෙනැවිත් ප්‍රයෝජනයට නොගෙන තවත් කුණු බැඳෙන්නට පැත්තකට දමා තිබුණොත් සිදුවන්නේ කුමක්ද? අපවිත්‍ර බඳුන තවත් අපවිත්‍ර වීමයි. පවිත්‍ර බඳුන කුණුමල බැඳී අපවිත්‍ර වේ. ඒ නිසයි ඉහත කී දෙන්නාටත් ඇත්තාට ඇති පව් වැඩි වීමක්, නැත්තාට නැති පව් ඇති වීමත් සිදුවේ.
කෙලෙස් ඇත්තා ඇතිබව දනීනම්. නැත්තා නැතිබව දනීනම් තිබෙන රාග, ද්වේශ, මෝහාදී පව් නැතිකර ගැනීමටත්, නැති පව් නූපදවා ගැනීමටත් උත්සාහ ගනී. එය හරියට අපවිත්‍ර හා පවිත්‍ර බඳුන් දෙකක් නිතර භාවිතයට ගැනීමෙන් එකක තිබෙන කුණු නැතිවී ඔප වැටේ. අනික තවත් ඔප වැටී බැබලීමට පත්වේ. ඒ නිසයි පුද්ගලයන් දෙකොටසකට වෙන් කළේ යැයි වදාළහ.
පින්වත්නි, මෙම සූත්‍ර දේශනාව ඉතා දිගු ධර්ම දේශනාවකි. ගිහි, පැවිදි අප කොයි කාටත් අපේ ජීවිත සාර්ථකකර ගැනීම සඳහා අවශ්‍යම දහම් කරුණු ටික පමණක් ඉතා සංක්ෂේපයෙන් මෙහි දැක්වීමි. එහෙයින් ඔබ, අප සැමගේ දැඩි අවධානය මේ සඳහා යොමුවීම මැනවි. තිබෙන කෙලෙස් අඩුකරගෙන නූපන් කෙලෙස් නොඉපදීමටත් වෙර විරිය දරා ශාන්ත නිවනින් සැනසීමට සිත දිරිමත් කර ගනිමු.


සියලු දෙනාටම තෙරුවන් සරණයි

දොඩන්දූව, කුමාර මහා විහාරයේ විශ්‍රාමලත් පරිවෙණාධිපති
ගාලු පළාත් උප ප්‍රධාන අධිකරණ සංඝ නායක
ගන්තලාවේ ශ්‍රී ගුණානන්ද නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 10 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment