Labels

Thursday, August 25, 2016

සාමා මහරහත් තෙරණින් වහන්සේ

ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක්. ජීවිතයේ යථා ස්වභාවය හඳුනාගැනීමේ සත්‍යතාව ලැබෙනුයේ ධර්මය ජීවිතයට සම්බන්ධ කරගත් අයෙකුට පමණයි. තෘෂ්ණාව නමැති බලවේගය නිසාවෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්හි අරමුණු ලබමින් මේ සංසාර චක්‍රයේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. තෘෂ්ණාව නමැති දුක්ඛ සමුදය සත්‍යය බිඳ දැමූ කළ මේ සසර ගමනේ චාරිකාව බිඳී යන්නේ ය.
දුර්ලභ වූ මිනිස් ජීවිතයෙන් නියමාකාර වූ ඵලයක් නොලදහොත් අතිභයානක දුක්ඛ දෝමනස්සයන්හි කෙළවරක් නොමැති ප්‍රේත,
තිරිසන්, අසුර, නරකය යන සතර අපායට වැටී අනන්ත දුක්විඳිති. ‘දුල්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මිං’ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබීම දුර්ලභයි. එවන් වූ බුදු සමිඳුන් වහන්සේ නමක් පහළ වූ සමයක රහත් තෙරණියක ලෙස පිරිනිවන් පාන්නට ලැබෙන්නේ නම් මහත් වූ භාග්‍යයකි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් සැනසී සංසාර දුක්ඛයෙන් නිදහස් වූ තෘෂ්ණාව ප්‍රහාණය කළා වූ මහරහත් තෙරණියක ලෙස නිවී සැනසුණු සාමා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව සිත පහදවා ගනිමු. එවන් වූ රහත් සිතක ප්‍රභාෂ්වරය දකිමු.
සාමා තෙරණියෝ පෙර බුදුපියාණන් වහන්සේලා පහළ වූ සමයෙහි මහත් වූ අධිකාර්යය ඇතිව මහත් වූ පින් දහම්කොට දිව්‍යලෝක සම්පත් ලැබ සැප වින්දාය. අප ගෞතම බුදුපියාණන් වහන්සේ පහළ වූ සමයෙහි ගැහැවි මහසල්කුලයක උපත ලැබුවා ය. නමින් සාමා නම් විය. සාමා එකල කොසඹෑ නුවර වාසය කළ සාමාවතී නම් උපාසිකාවගේ යෙහෙළියක වූවා ය. සාමාවතී බිසව කලුරිය කළ පසු හටගත් සංවේගයෙන් සාමාද යෙහෙළියද පැවිදි වූවාය.
සාමාවතී බිසවට සිදුවූ ඛේදවාචකය පිළිබඳ සාමා තෙරණිය මහත්වූ ශෝකයට පත්ව සිටි අතර හටගත් ශෝකය දුරුකරනු නොහැකිවීමෙන් ආර්යමාර්ගයට පිවිසීමට නොහැකිවිය. පසුකාලයකදී ආසනශාලාවෙහි වැඩවාසය කරන කල්හි ආනන්ද තෙරුන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෙකුව සාමා තෙරණිය අවවාද අසා විදර්ශනා වැඩීමට වීර්යය ගත්තාය. විදසුන් වඩා සත්වන දවසෙහි අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව් පිළිසිඹියා සහිත මහරහත් භාවයට පත්වූ සේක. උදාරතර තත්ත්වයට පත් වූවාය. නැවත සසරෙහි නූපදින වීරවත් තෙරණියක බවට පත් වූවා ය. සියලු කෙලෙස් බිඳහල වීතරාගී උත්තමාවියක වූවා ය. රහත් සිතක ස්පර්ශලාභය ලද ඕ තොමෝ තමන්වහන්සේගේ ගමන් මාර්ගය පිළිබඳ ආපසු බලා උදානයකින් ඒ නිරාමිය පී‍්‍රති සුඛය උද්දීප්ත කළේ විරාගී සිතක අසිරිය ගෙන හැර පාමිනි.
“සිතෙහි සන්සුන් බව නොලැබූ සිත වසඟකර ගැනීමට නොහැකිව සතරවරක් පස්වරක් විහාරයෙන් පිටත්ව ගියෙමි.”
“එයින් අටවන රාත්‍රියෙහි තෘෂ්ණාව නැතිකරගතිමි. බොහෝ දුක්විඳ අප්‍රමාදයෙහි නියැලී තෘෂ්ණාව ක්ෂය කරගැනීමට පැමිණියෙමි. බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිපැදිමි.
සාමා තෙරණිය තෘෂ්ණාව දුරුකිරීම උදෙසා වීර්යය වැඩූ ආකාරය ප්‍රකට කරනු ලබයි. භාවනාවට වාඩි වූ තන්හි විවිධ විතර්කයන්ගෙන් සිත පිරීගිය ආකාරය, සෘතුවට අනුකූල නොවන හෙයින් භාවනා මාර්ගයට අවනත නොවන හෙයින් සතර, පස්වතාව අවසානයේ නවවතාවක් ඕ තොමෝ විහාරයෙන් පිටත්ව ගොස් ඇත.
මහත් වීර්යය වඩා අනඳ තෙරුන්ගේ අවවාද පිළිගෙන අටවන රැයෙහි විර්යාධිෂ්ඨානය ලබා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අරි අටඟි මඟට පිවිසිසේක. සෝවාන්, සකෘදගාමී, අනාගාමී, අර්හත් යන සතර මඟ සතර ඵල පිළිවෙළින් “තස්සා මේ අට්ඨමි යතො තණ්හා සමුහතා” යනුවෙන් සියලු තණ්හාවෝ ප්‍රහාණය කළ වීර උත්තමාවියක බවට පත්වූයේ සාමා මහරහත් තෙරණිය විලසිනි.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සීලයක පිහිටා සමාධිය වැඩිය යුතු බවයි. මේ සංසාර දුක්ඛයෙන් මිදීමට සිතද, නුවණ ද වැඩිය යුතු ය. සසරේ ඇලී ගැලී වසන්නේ රාග, ද්වේෂ, මෝහාදී කෙලෙසුන් නිසාවෙනි. එයින් මිදීම එතරම් පහසු කටයුත්තක්ද නොවේ. තෘෂ්ණාව එහි හේතුකාරකය වේ.
තෘෂ්ණාව යන්න විවිධ අරුත් ගන්වයි. පඤ්චස්කන්ධය පළමු කොට ඇති සියලු සංස්කාර දුක්ඛය පැවැත්වීම කරනු ලබන හෙයින් තෘෂ්ණාව ‘ආයුහනට්ඨො’ නම්වේ. යළි යළිත් පඤ්චස්කන්ධ දුක්ඛය පුනර්භව වශයෙන් ඇතිකර දෙන බැවින් දුක්ඛයට නිදානය හෙවත් මූල හේතුව වේය යන අදහසින් තෘෂ්ණාව ‘නිදානට්ඨො’ නම් වේ. (නිදහති දුක්ඛන්ති නිදානං) තෘෂ්ණාවෙන් සත්ත්වයා කෙලෙස් සමඟ ද දුක් සමඟ ද එකට බැඳ දමන්නේ ය. මේ අදහසින් ‘සංයොගට්ඨො’ නම් වේ. සෝතාපත්ති ආදී මාර්ගාවබෝධයට අවහිර කරන්නේය යන අදහසින් තෘෂ්ණාව පලිබෝධාර්ථ නම් වේ.
පුනර්භවය ඇති කරන්නාවූ, රැහැනක් බඳුව අරමුණෙහි බැඳෙන්නා වූ, ලැබෙන ලැබෙන භවයට ඇල්ම ඇති කරන්නාවූ ස්වභාවය ඇති තෘෂ්ණාව භාග්‍යවතුන් වහන්සේ දුක්ඛ සමුදය වශයෙන් මැනවින් දේශනා කොට වදාළ සේක. රූප තණ්හා, සද්දතණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී වශයෙන් තණ්හා වන්හි ඇලී ගැලී වාසයෙන් සසරෙහි දිගු ගමනක් යති.
ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි දුක්ඛයන්හි නිමග්න වෙති. චතුස් සත්‍යය අවබෝධයට පත්නොකොට නිරතුරුව අනන්ත දුක් විඳිති. අනේකවිධ දුක්ඛයන්ගේ නිවීම ලද හැක්කේ නිර්මල වූ නිවනේ සැනසීම ලැබීම තුළිනිය.
මිනිස් ජීවිතයක සියලු සැප තිබියදී සසර ගමන පිළිබඳව සිත යොමු කිරීම ඉතා අල්පය. මන්ද මෙලොව වශයෙන් සැපවත් ජීවිතයක් ගත කරන නිසාය . නමුදු ප්‍රඥාවන්තයෝ නුවණ මෝදු කොටගෙන ධර්මයට අනුගත සිතක් සකස් කොටගෙන සසරේ භයංකාර ස්වභාවය හඳුනා ගනිති. එම හඳුනාගැනීම තුළින් වීර්යය වඩනුයේ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි පිළිවෙත අනුගමනය කිරීමටයි.

පෘථග්ජන සිත මෝහයෙන් කොපමණ මුලා වී යත් බුදුරජාණන් වහන්සේ නිවැරදිව දේශනා කොට වදාළ නිවැරදි ධර්මය අසා දරා ගැනීමට සමත් නොවෙති. ඒ පිළිබඳ අවධාය යොමු නොකරති. සම්බුදු සසුනක අගය වටිනාකම හඳුනා නොගනිති. ඒ සම්බුදු සසුනෙන් නිවී සැනසුනු මහරහතුන් හඳුනා නොගනිති. එවන් සමයක සාමා තෙරණින් වහන්සේ වැනි උත්තරීතර වීර්යවන්ත උතුමන්ගේ සිංහනාදයන් මහත් වූ ශ්‍රේෂ්ඨඵල වන්නීය. වීර්යවන්ත සිතක් ඇති කිරීමට සමත් වන්නීය. එවන් වූ සිතක් සැමට ලැබේවා.!









ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment