Labels

Tuesday, August 23, 2016

සක්‌මන් භාවනාවේ අනුහස්‌

ධර්මානුකූල නොවන සාවද්‍ය ක්‍රම නිසා ආර්ය මාර්ගයෙන් ප්‍රතිඵල නොලැබෙන තත්ත්වයක්‌ වර්තමානයේ උදාවෙලා තියෙනවා. භික්‌ෂුන් නිවැරැදිව මාර්ගය වඩන තාක්‌ ලොව අරිහතුන් වහන්සේලාගෙන් හිස්‌ නොවන බව බුද්ධ දේශනාවේ සඳහන්ව තිබුණත්. වර්තමානයේ අරිහතුන් වහන්සේලාගෙන් නොවෙයි, ඉන් මෙහා මගඵලවලිනුත් සසුන බෙහෝකොටම හිස්‌ වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්න ඕන, වරදවා අනුගමනය කරන මාර්ග ප්‍රතිපදාව මිසක්‌ වෙන දෙයක්‌ නොවෙයි. වරදවා

පිහිටුවන ලද හැල් නන්ඩුව පාදයේ ඇනී තුවාල සිද්ධ වෙන්නේ නෑ වගේ, ධර්මානුකූල නොවන ප්‍රතිපදාවක්‌ අනුගමනය කිරීමෙන් ධ්‍යාන, මගපල නිවන් සාක්‌ෂාත් කරන්න බෑ.

සක්‌මන් භවනාව අයිති වෙන්නෙ යැමේ ඉරියව්වට.

'ගතේ සම්පජානකාරී හෝති. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති' යන සතිපට්‌ඨාන සූත්‍ර දේශනා පාඨවලින්, ගමන් කරන ඉරියව්ව සතියෙන් කළ යුතු ආකාරය පැහැදිලි කරල තියෙනවා.

සක්‌මන් භාවනාව සතිපට්‌ඨාන සූත්‍රය ඇතුළු තවත් බුද්ධ දේශනාවල සඳහන් වුණත්, වර්තමානයේ ඒක සිද්ධ කරන ආකාරය කොහෙත්ම ධර්මානුකූල නෑ. ඉහතින් විස්‌තර කළ ආකාරයට සම්පජානකාරී, පජානාති යන වචනවල නිවැරැදි දහම් අර්ථය යටපත් වීම නිසා ක්‍රියාවලිය සිහි කරමින් දැනට සක්‌මක්‌ භාවනාව කරන බව පෙනී යනවා. වර්තමානයේ ඒ විදියට කරන භාවනා ක්‍රම කීපයක්‌ මේ විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

'ඔසවමි තබමි' යන ක්‍රමය තමයි දැනට කරන සක්‌මන් භාවනාවල පළමු පියවර. සක්‌මන් කරනකොට පාදය එසෙවනකොට 'ඔසවමි' කියලත් බිම තබද්දි 'තබමි' කියලත් සිහි කරමින් භාවනා කරනවා. දෙවැනි පියවර විදිහට 'ඔසවමි', ගෙන යමි, තබමි' යන ක්‍රමය අනුගමනය කරනවා. පාදය ඉස්‌සෙනකොට 'ඔසවමි' කියලත් පාදය ඔසවා බිම තැබීමට පෙර ඉදිරියට යැම 'ගෙනයමි' කියලත්, බිම තබද්දි 'තබමි' කියලත් සිහිකරමින් සක්‌මන් කරනවා.

තුන්වැනි පියවර වශයෙන් 'තද කරමි, ඔසවමි, ගෙන යමි. පහත් කරමි, තබමි' යන ක්‍රමය භාවිත කරනවා. පාදය එසවීමට පෙර පාදය බිමට තදවීමත්, උඩට එසවීමත්, ඉදිරියට ගෙන යැමත් පහතට පහත් කිරීමත්, බිම තැබීමත් සිහි කරමින් මේ ක්‍රමයට සක්‌මන් කරනවා. සරඹ සංදර්ශනවලදී වම - දකුණ කියමින් පාදවලට අවධානය යොමු කරමින් ගමන් කිරීමත්, ඉහත ක්‍රම අනුගමනය කිරීමත් අතර වෙනසක්‌ නෑ.

ඉරියව් සිහි කරමින් සක්‌මනේ එහාට මෙහාට ගියාට සතිය, ප්‍රඥව වැඩෙන්නේ නෑ. බුද්ධ දේශනාවට අනුකූලව දැනගෙන සක්‌මන් භාවනාව නිවැරැදිව වැඩුවොත් සති, සමාධි, ප්‍රඥා වැඩී මගඵල අවබෝධ කර ගන්න පුළුවන්.

සක්‌මන් කිරීම ආර්ය මාර්ගය පූර්ණ කර ගන්න උපකාර වෙනව වගේම විමුක්‌තිය සාක්‌ෂාත් කළ බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාත් සක්‌මන් ඉරියව්ව පවත්වා තියෙනවා. තථාගතයන් වහන්සේලාත් සක්‌මන් ඉරියව්ව පවත්වා තියෙනවා. තථාගතයන් වහන්සේ කොතැනක වැඩ සිටියත් දවස කොටස්‌ පහකට බෙදා ඒ කාල පහේ හැටියට පෙර බත් කිස, පසු බත් කිස, ප්‍රථම යාම කෘත්‍යය, මධ්‍යම යාම කෘත්‍යය, පශ්චිම යාම කෘත්‍යය කියල බුද්ධ කෘත්‍යය පස්‌ වැදැරුම් ආකාරයට සිදුකරනවා.

පශ්චිම යාමය කොටස්‌ තුනකට බෙදා ඒකෙන් ප්‍රථම කොටසේ තථාගතයන් වහන්සේ සක්‌මනේ යෙදීම අනිවාර්ය කාර්යයක්‌. එහෙම කරන්නේ ශරීර විඩාව සංසිඳුවා ගන්න. රහතන් වහන්සේලාත් සක්‌මන් ඉරියව්ව පවත්වනවා. ඒ බව සංයුත්ත නිකායේ ධාතු සංයුත්තයේ චංකම සූත්‍රයේ මේ විදිහට සඳහන් වෙනවා.

'තථාගතයන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වේ වැඩ වාසය කරද්දි සැරියුත් මහ රහතන් වහන්සේ බොහෝ භික්‌ෂුන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේට නුදුරින් සක්‌මන් කරනවා. මහා මොග්ගල්ලාන, මහා කාශ්‍යප, අනුරුද්ධ, පුණ්‌ණ මන්තානි, උපාලි, ආනන්ද, දේවදත්ත තෙරුන් වහන්සේලාත් බොහෝ භික්‌ෂුන් වහන්සේලා සමඟ තථාගතයන් වහන්සේට නුදුරෙන් සක්‌මන් කරනවා.

බුදුපියාණන් වහන්සේ භික්‌ෂුන් අමතා මහණෙනි, ඔබලා බොහෝ භික්‌ෂුන් සමග සක්‌මන් කරන සාරිපුත්ත දැක්‌කද? කියල විමසනවා. එහෙමයි ස්‌වාමීනි කියල උත්තර දුන්නම, මහණෙනි, ඔබලා බොහෝ භික්‌ෂු සමග සක්‌මන් කරන මහා මොග්ගල්ලාන දැක්‌කද කියල අහල, ඒ සියලු භික්‌ෂුන් මහත් සෘද්ධි ඇති අය බව වදාරනවා. ඊළඟට බොහෝ භික්‌ෂුන් සමග සක්‌මන් කරන කස්‌සප දැක්‌කද කියල අහල, ඒ සියලු භික්‌ෂුන් ධූතාංගධාරී කියල පෙන්වනවා.

මහණෙනි බොහෝ භික්‌ෂුන් සමග සක්‌මන් කරන අනුරුද්ධ දැක්‌කද කියල අහල, ඒ සියලු භික්‌ෂුන් දිවැස්‌ ඇත්තන් බව පෙන්වනවා. බොහෝ භික්‌ෂුන් සමග සක්‌මන් කරන පුණ්‌ණ මන්තානි පුත්ත දැක්‌කද කියල අහල, ඒ සියලු භික්‌ෂුන් ධර්ම කථිකයෝ බව පෙන්වනවා. බොහෝ භික්‌ෂුන් සමග සක්‌මන් කරන උපාලි දැක්‌කද කියල අහල, ඒ සියලු භික්‌ෂුන් විනයධරයන් බව ප්‍රකාශ කරනවා. මහණෙනි, බොහෝ භික්‌ෂුන් සමග සක්‌මන් කරන ආනන්ද දැක්‌කද කියල අහල, ඒ සියලු භික්‌ෂුන් බහුශ්‍රැතයෝ කියල දේශනා කරනවා. මහණෙනි, බොහෝ භික්‌ෂුන් සමග සක්‌මන් කරන දේවදත්ත දැක්‌කද කියල අහල, ඒ සියලු භික්‌ෂුන් පාපී අදහස්‌ ඇති අය කියල දේශනා කරනවා.

මහණෙනි, සත්ත්වයෝ අදහස්‌ වශයෙන්ම ගැළපෙනවා. එකතුවෙනවා. අතීතයේත්, අනාගතයේත්, වර්තමානයේත් සත්ත්වයෝ අදහස්‌ වශයෙන්ම එකතු වෙනවා. පහත් අදහස්‌ ඇති අය පහත් අදහස්‌ ඇත්තන් සමඟ උසස්‌ අදහස්‌ ඇති අය උසස්‌ අදහස්‌ ඇති අය සමගත් එකතු වෙනවා.'

චක්‌ඛුපාල හාමුදුරුවො අරිහත්වයට පත්වෙනවත් එක්‌කම පෙර සංසාරික කර්ම විපාකයක්‌ අනුව ඇස්‌ දෙක අන්ධ වුණා. උන්වහන්සේට සෘද්ධි බල දිවැස්‌ ආදී අභිඥ බල තිබුණේ නෑ. දවසක්‌ වැසි කාලයේ සක්‌මනේ යෙදෙද්දී පොළොවේ පණුවන් මතුවෙලා ඉන්න අවස්‌ථාවක සක්‌මනේ සතුන් ඉන්න බව නොදැක උන්වහන්සේ සක්‌මන් කළා. මතුවෙලා හිටපු සතුන් පෑගිලා මරණයට පත්වෙලා සක්‌මන පුරා ලේ තැවරී ගියා. චක්‌ඛුපාල රහතන් වහන්සේ ඇන් අන්ධ වෙලා හිටපු නිසා සතුන් ඉන්න බව හෝ සක්‌මන් කිරීමෙන් සතුන් මැරුණ බව දැනගෙන හිටියේ නෑ. සක්‌මනේ බෙහෝ සතුන් මැරිල ඉන්නව දැකපු භික්‌ෂුන් වහන්සේලා, චක්‌ඛුපාල හාමුදුරුවන්ට දොaෂාරෝපණය කරමින් ඒ බව තථාගතයන් වහන්සේටත් දන්වා සිටියා. චක්‌ඛුපාල තෙරුන් සක්‌මනේ සතුන් සිටින බව නොදන්නා නිසාත්, ෙච්තනාත්මකව සත්ව ඝාතනයක්‌ සිදුනොකළ නිසාත් පාපයක්‌ නොවන බව බුදුරජාණන් වහන්සේ භික්‌ෂුන්ට කරුණු පැහැදිලි කර දුන්නා.

එක්‌ අවස්‌ථාවක මුගලන් හාමුදුරුවො අරිහත් වෙන්න පෙර සක්‌මන් භාවනාවේ යෙදිල ඉන්න කෙට නිදිමත අධික වෙලා සක්‌මනේ ඇදවැටුණ බවත්, ඒ දැනගත් බුදුරජාණන් වහන්සේ, භාවනා කරනකොට නිදිමත නැතිකරගන්න ක්‍රම කීපයක්‌ මුගලන් හිමියන්ට පැහැදිලි කර දුන් බවත් සඳහන් වෙනවා.

අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සක්‌මන් කිරීමේ ආනිශංස පහක්‌ ඇති බව 'චංකමානිශංස්‌ සූත්‍රයේ පැහැදිලි කරල තියෙනවා.

මහණෙනි, සක්‌මන් කිරීමෙහි ආනිශංස පහකි. එයින් පළමුවැනි එක 'අද්ධානක්‌ඛමෝ හෝති'. දුර ගමන් ඉවසිය හැකි කෙනෙක්‌ වෙනවා. නිතර සක්‌මන් කරන භික්‌ෂුවට බොහෝ දුර ගමනක්‌ පයින් ගියත් සක්‌මන් නෙකරන අයට වගේ වෙහෙසට පත්වීම අඩුයි. දෙවැනි ආනිශංසය විදිහට සඳහන් වෙන්නෙ 'පධානක්‌ඛමෝ හෝති' ප්‍රධන් වීර්ය වැඩීමට දක්‌ෂයෙක්‌ වීම. වීර්ය කියන්නේ නිවන් දැකීමට අත්‍යවශ්‍ය ධර්මතාවක්‌. සම්මා වායාමය, විරිය සම්බොඡ්Cධංගය, විරිය ඉන්ද්‍රිය, විරිය බල... ආදී වශයෙන් වීර්ය වැඩීම ගැන බෝධි පාක්‌ෂික ධර්මවල අනිවාර්ය අංගයක්‌ විදිහට දක්‌වා තියෙනවා. වීර්යය අඩුවෙලා නිදිමත, අලස ගති ඇතිවීම ලෞකික ජීවිතය දියුණු කර ගැනීමටත් බාධාවක්‌. ඒ නිසා සක්‌මන් භාවනාව වීර්යය දියුණු කරගෙන නිර්වාණාවබෝධයට අතිශය උපකාරී ධර්මයක්‌.

ලෙඩ රෝග අඩු කෙනෙක්‌ වීම සක්‌මන් භාවනාවේ එන තුන්වැනි ආනිශංසය. ඒ කාරණය 'අප්පාබාධෝ' කියල ඉහත සූත්‍රයේ සඳහන් වෙනවා. ලෙඩ රෝග අඩුවීම ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම මහත් උපකාරයක්‌. ලෙඩ රෝග බහුල වෙච්ච කෙනකුට ලෞකික ජීවිතයේ කටයුතු කරගන්න බාධාවක්‌ වෙනවා වගේම, නිවන් අවබෝධය කරා යන ගමනටත් මහත් බාධාවක්‌. ඒ නිසා කායික මානසික දෙකෙන්ම නිරෝගී වීම උතුම් ලාභයක්‌.

සක්‌මන් කිරීමේ ඊළඟට ලැබෙන ආනිශංසය තමයි 'අසිත පිත ඛායිත සායිතං සම්මා පරිනාමං ගච්ඡති'. ඒ කියන්නේ කන බොන ආහාර පාන පහසුවෙන් ජීර්ණය වෙනවා. ආහාර ගත්තු හැටියෙම වාඩිවෙලා සිටීම, නිදා ගැනීම වගේ දේවල් ශරීර සෞඛ්‍යයට එච්චර හොඳ දේවල් නොවෙයි. ආහාර ගැනීමෙන් පසු ටික වේලාවක්‌ හරි සක්‌මනේ යෙදෙනව නම් ඒක භාවනාවක්‌ වගේම ආහාර් ජීර්ණයටත් පහසුවක්‌.

සක්‌මන් කිරීමේ පස්‌වැනි ආනිශංසය විදිහට චංකමානිශංස සූත්‍රයේ දක්‌වා තියෙන්නේ 'චංකමාධිගතෝ සමාධිස්‌ස චිට්‌ඨිතිකෝ හෝති'. සක්‌මනෙන් ලැබෙන සමාධිය බොහෝ කාලයක්‌ පවතින බව. සමාධිය දියුණු කර ගැනීම ධ්‍යාන මගඵල අවබෝධයට අත්‍යවශ්‍ය කාරණයක්‌. සම්මා සමාධිය, සම්මා සම්බොඡ්Cධංගය, සමාධි ඉන්aද්‍රිය, සමාධි බල ආදී වශයෙන් බෝධි පාක්‌ෂිත ධර්මවල ප්‍රධාන අංගයක්‌ විදිහට දේශනා කරල තියෙනවා.

මඡ්Cධිම නිකායේ චුල්ල වේදල්ල සූත්‍රයේ විසාඛ උපාසකතුමා, ධම්මදින්නා රහත් මෙහෙණියගෙන් සමාධිය පිළිබඳ මේ විදිහට ප්‍රශ්න කීපයක්‌ අහනවා.

ආර්යාවෙනි, සමාධිය යනු කුමක්‌ද? සමාධියට ඇති නිමිති මොනවාද? සමාධි පරිෂ්කාරකයෝ කවරෙක්‌ද? සමාධි භාවනාව යනු කුමක්‌ද? මේවාට පිළිතුරු පැහැදිලි කරන ධම්මදින්නා මෙහෙණිය, ඇවැත්නි කුසල් සිතේ ඇතිවන ඒකාග්‍රතාව, එකඟ බව සමාධියයි. සතර සතිsපට්‌ඨානය සමාධි ලැබීමට නිමිතියි. සතර සම්‍යක්‌ ප්‍රධාන වීර්ය සමාධියට පරිෂ්කාරයි. මේ ධර්මතාවන්ම ඇසුරු කිරීම, දියුණු කිරීම, බහුල වශයෙන් වැඩීම සමාධි භාවනාවයි කියල උත්තර දෙනවා. සමාධියේ තියෙන වටිනාකම කොච්චරද කියල මේ චුල්ල වේදල්ල සූත්‍රයෙන් මනාකොට පැහැදිලිවෙනවා. සමාධිය දියුණු කර ගන්න සක්‌මන් භාවනාව අතිශයින් උපකාරී වෙනවා.

සක්‌මන් කරන අවස්‌ථාවල බොහෝ භික්‌ෂුන් මගඵල නිවන් සාක්‌ෂාත් කරගෙන තියෙනවා. ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ, බුදුහාමුදුරුවො පිරිනිවන් පාන කල් අරිහත්වයට පත්වෙලා හිටියේ නෑ. තථාගතයන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේදී 'කත පුඤ්ෙඤාaසි ත්වං ආනන්ද' - ආනන්දය ඔබ බොහෝ කුසල් දහම් ඇති කෙනෙකි. කල් නොයවාම අරිහත්වයට පත්විය හැකිය කියල වදාරනවා.

ආනන්ද හාමුදුරුවො තථාගත පරිනිර්වාණයෙන් පස්‌සෙ පළමුවැනි ධර්ම සංඝායනාවට පෙර දින රාත්‍රියෙහි අරිහත්වයට පත්වුණ බව සඳහන් වෙනවා. එදා රාත්‍රියේ බොහෝ වෙලාවක්‌ සක්‌මන් භාවනාවේ යෙදිල, කයේ වෙහෙස නිවාගන්න සැතපෙන්න ගිහින් සයනයට ඇල වෙන අතරතුර සතර ඉරියව්වෙන් තොරව අරිහත්වයට පත්වුණා. බොහෝ වේලාවක්‌ සක්‌මන් භාවනාවේ යෙදිල ලැබුණ සමාධිය ආනන්ද හිමියන්ට අරිහත්වය ලබන්න උපනිශ්‍රය වෙලා තියෙන බව මෙයින් පැහැදිලි වෙනවා. ඒ නිසා සක්‌මන් භාවනාවේ යෙදීම සමාධිය දියුණු කරගන්නත්, සමාධිය බොහෝ කලක්‌ නොකැඩී පවත්වා ගන්නත් හේතුවෙනවා. මේ ආකාරයට සක්‌මන් භාවනාවේ ආනිශංස පහක්‌ ලැබෙන බව චංකමානිශංස සූත්‍ර දේශනාවෙන් පෙන්වා තියෙනවා.

සක්‌මන් භාවනාව ඕනෑම කර්මස්‌ථානයක්‌ වඩමිනුත් සිද්ධ කරන්න පුළුවන්. බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ වගේ කර්මස්‌ථානයක්‌ හෝ ලෝකයේ අසාරත්වය හා නිවනේ ශාන්තිය සිහි කරමින් විදර්ශනා වඩමිනුත් සක්‌මන් භාවනාවේ යෙදෙන්න පුළුවන්. මේ විදිහට බොහෝ ආනිශංස ලැබිය හැකි සක්‌මන් භාවනාවේ වටිනාකම වටහාගෙන ආර්ය මාර්ගය වඩන සියලු දෙනාම තමන්ට පුළුවන් විදිහට සක්‌මන් භාවනාවේ යෙදීමට අදිටන් කර ගන්න.

පූජ්‍ය කිවුල්දෙණියේ විජිතනන්ද හිමි,
නිසලවිල වන අරණ, මාළිගාතැන්න, කහතිලගම, පොල්පිතිගම

2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment