දියුණු වෙන්න බලාපොරොත්තු සහිත ගමනක් යන පුද්ගලයකු තුළ මනස දුර්වල වන හේතු කාරණාවලින් මුදාගැනීමත් මනස ප්‍රබල වන හේතු කාරණාවල යෙදවීමත් ඉතාම වැදගත් වෙයි.
කුමන හැකියාවන්, දක්ෂතාවයන් තිබුණත් තමන්ගේ මනස තුළින් ලබන මානසික ශක්තිය වඩාත් වැදගත්
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන කාලය තුළ අචිරවතී ගංගාව අසබඩ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් වැඩ වාසය කළා. එම ස්වාමීන් වහන්සේලා පැවිදි වීමට පෙර විවිධ රැකියා වෘත්තීන්හි යෙදෙමින් වාසය කළ පිරිසක්.
එම ස්වාමීන් වහන්සේලා අතර සිටි එක ස්වාමීන් වහන්සේ නමක් පැවිදි වීමට පෙර ඇත්ගොව්වෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක්. ඇත්ගොව්වෙක් ලෙස කටයුතු කරන විට ඇතකු හීලෑ කරන ආකාරය,ඇතකු දමනය කරන ආකාරය, ඇතකු ගේ අවශ්‍යතා, ඇතාට යා හැකි දුර, ආදිය ඇතා පිළිබඳව හැඟීමි දැනීම් සහිත අවබෝධ පූර්වක විය යුතුයි.
එවැනි හැකියා සම්පන්න පුද්ගලයකුට ඇත්ගොවිවා ලෙස කිව හැකියි. ඇතා සමීපයෙහි සිට ඇතා හෙණ්ඩුවෙන් හික්මවමින් ඇතාගෙන් අවශ්‍ය වැඩ කටයුතු ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඇත්ගොවිවකු ලෙස කටයුතු කළ එම පුද්ගලයා පසු කාලය තුළ ගිහි ජීවිතය අතහැර දමා පැවිදි බවට පත්වුණා. සංසාර මඟ කෙටි කර ගැනීමට පැවිදි බවට පත්වුණත් , බුදුරජාණන් වහන්සේගේ දහමි මඟ ඔස්සේ කායික මානසික සංවරය සකස් කරමින් භික්ෂුනමක් ලෙස වැඩ වාසය කළා. මෙම භික්ෂූන් වහන්සේ නම වැඩ වාසය කළෙත් අචිරවතී නදිය අසබඩ විවේකීව ජීවත්වුණ භික්ෂූන් වහන්සේලා කණ්ඩායම තුළයි. එක දවසක් මෙම භික්ෂූන් වහන්සේලා පිරිස පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළා. උන්වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරන විට මීට පෙර ඇත්ගොවිවෙකු ලෙස ජීවත් වෙලා සිට පැවිදි වුණ ස්වාමීන් වහන්සේට දක්නට ලැබුණේ කිසියම් ඇත්ගොවිවෙකු තමන් ගේ ඇතාව හීලෑ කරගැනීමට නොහැකිව ඇතා හීලෑකර ගැනීමට ගන්නාවූ උත්සාහය. ඇතා හීලෑ නොවී ඇතා දඟලමින් සිටින විට ඇත්ගොවිවා ඇතා හීලෑ කරගැනීමට උත්සාහ කළා. පිණ්ඩපාතයේ වඩින මේ ස්වාමීන් වහන්සේ මෙම සිදුවීම දැක අනෙකුත් ස්වාමීන් වහන්සේ සමඟ ප්‍රකාශ කරනු ලැබුවේ , මෙම ඇතා දමනය කිරීමට නමි මෙවැනි ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි. හෙණ්ඩුවෙන් අසවල් අසවල් ප්‍රදේශවලට ඇන්නොත් පමණයි මෙම ඇතා දමනය කරගත හැකිවන්නේ. ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කරන මෙම ප්‍රකාශය ඇත් ගොවිවාට ඇසුනාට පසුව ඇත්ගොවිවා එම ස්වාමීන් වහන්සේ දේශනා කළ ආකාරයට හෙණ්ඩුව භාවිතා කර ඇතාගේ අදාළ ප්‍රදේශවලට අනින්න පටන් ගත්තා. එම ඇනීමත් සමඟ දරඬුව, චණ්ඩව, ප්‍රචණ්ඩව සිටි හස්ති රාජයා කීකරු හුරුබුහුටි පොඩි දරුවකු ලෙස එම පුද්ගලයා සමීපයෙහි හීලෑ වුණා එතරමි ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරුණ හස්තිරාජයා කීකරු දරුවකු ලෙස හීලෑ වීමට බලපානු ලැබුවේ එම ස්වාමීන් වහන්සේගේ වචන සහ අදහස්. එම අදහසින් ඉගෙන ගෙන ඇත්ගොවිවා එම කටයුත්ත කළා. එසැනින් සිදුවුණ මෙම හස්ති රාජයාගේ වෙනස දකින ස්වාමීන් වහන්සේ හරිම පුදුමයට පත්වුණා. මෙම ස්වාමීන් වහන්සේ නමි හරිම පුදුම දක්ෂ ස්වාමීන් වහන්සේ නමක්. ඇත්ගොවිවාටත් හීලෑ කර ගැනීමට නොහැකි වුණ ඇතා මෙම ස්වාමීන් වහන්සේ හීලෑ කළා. හස්තී ශිල්පය පිළිබඳව උන්වහන්සේ තුළ තිබෙන ඥානය අසීමිතයි නේද ?
කියලා මෙම ස්වාමීන් වහන්සේ පිළිබඳව පුදුම වුණා. දහවල් පිණ්ඩපාතය වඩින අවස්ථාවේ සිද්ධවුණ මෙම සිද්ධිිය එම භික්ෂූන් වහන්සේලා හැන්දෑවන විට දමිසභා මණ්ඩපයට රැස්වුණ අවස්ථාෙවිදීත් කතා කරකර සිටියා. එම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දහමි සභා මණ්ඩපයට වැඩම කළා. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසා සිටිනු ලැබුවේ මහණෙනි, මම මෙතැනට වැඩම කිරීමට පෙර ඔබවහන්සේලා කිනම් තකාබහක නිරත වූවාද? යන්න පිළිබඳව යි. භික්ෂූන් වහන්සේලා දහවල වූ සිද්ධියත් ඒ පිළිබඳව කතා කර කර සිටි ආකාරයත් බුදුරජාණන් වහන්සේට නොවලහා කරුණු කාරණා පැහැදිලි කළා. එම සිදුවීම එදා මැනවින් අසාගෙන සිටි බුදුරජාණන් වහන්සේ එම සිද්ධි දාමය නිමිති කරගෙන භික්ෂූන් වහන්සේලා සියලුම දෙනාට අවවාදයක් ලෙස මෙම කාරණාව පැහැදිළි කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ කිසියම් පුද්ගලයකු තමන්ගේ මනස හොඳින් දමනය කරගෙන සිටිනවා නමි,එම පුද්ගලයාට ඇත් අස් යානාවලින් යන්නට නොහැකි විවිධ ආකාරයේ ගමන් බිමන් යන්නට හැකිය යනුවෙන්. වඩාත් වැදගත් වන්නේ කිසියම් පුද්ගලයකුගේ මනස හික්මවීමයි. ඇතා හික්මවීම වෙනත් සතුන් හික්මවීම හීලෑ කිරීම ආදිය හොඳ දක්ෂ ශිල්පීය ඥන වුවත්,එම සියලුම ශිල්පීය ඤාණයන් විශිෂ්ට ඤාණයන් වුවත් එම සියල්ලටම වඩා වැදගත් වන්නේ කිසියම් පුද්ගලයකු තමන්ගේ මනස හික්මවාගැනීම යි කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේගේ මෙම පැහැදිලි කිරීමත් සමඟ බොහෝ භික්ෂූන් වහන්සේලා තමන්ගේ මනස පිළිබඳ අවධානය යොමූ කිරීම ආරම්භ කළා.
බුදුරජාණන් වහන්සේ උගන්වනු ලැබූ දහමෙහි පැහැදිළි කරදෙනු ලබනුයේ සෑම පුද්ගලගයෙක්ම තමන්ගේ සිත තමන්ගේ කය තමන්ගේ කට කියන ආයතන තුනෙන් සමාජය හා සම්බන්ධ වන බවයි. එම සම්බන්ධතාවයන් විවිධ හැකියාවන් දක්ෂතාවයන් ශීල්පීය ඥනයන් පෙන්වනු ලබයි. කිසියම් පුද්ගලයකු වාග් චාතූර්ය අනුව වචන හැසිරවීමේ හැකියාව දක්ෂතාවය ඇතිකර ගත් පුද්ගලයකු විය හැකියි. ඒ වගේම විවිධ ශිල්පීය ඥාන කායික වශයෙන් තමන්ගේ කයෙන් දක්ෂතා පෙන්වන ශීල්පීය ඤාණ වර්ධනය කරගත් පුද්ගලයෙක් විය හැකියි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කායික වාචසික සියලු දක්ෂතාවයන් මෙහෙය වනු ලබන්නේ මනස කියන දොරටුව අනුව බවයි. ඒ අනුව කිසියම් පුද්ගලයකු තමන්ගේ සිත පාලනය කරගැනීම මනස පාලනය කරගැනීම මානසික වශයෙන් කිසියමි දියුණුවක් ඇතිකර ගැනීම පුද්ගලයකුට ඉතාම වැදගත් වෙයි. සිත දුර්වල වෙන කෝපය, වෛරය, කේන්තිය ,ක්‍රෝධය, මානය වැනි කාරණා වඩන්න යන්නේ නැහැ. ඒවා වැඩීමෙන් තමන්ගේ සිත, තමන්ගේ මනස දුර්වල භාවයට පත්වන නිසා.තමන්ගේ සිත දුර්වල තාවයට පත්වන දේවල් වලින් මිදීම එක කාරණාවක් . ඒවගේම සිත ප්‍රබල තාවයට හේතුවන සිතේ හයිය ශක්තිය වැඩි දියුණු වන ගුණ ධර්ම වැඩීම වෙනත් කාරණාවක් . දියුණු වෙන්න බලාපොරොත්තු සහිත ගමනක් යන පුද්ගලයකු තුළ මනස දුර්වල වන හේතු කාරණාවලින් මුදාගැනීමත් මනස ප්‍රබල වන හේතු කාරණා වල යෙදවීමත් ඉතාම වැදගත් වෙයි. මෙම කතාවෙන් අපට දෙන ආදර්ශය එයයි. ස්වාමීන් වහන්සේ නමක් ලෙස ඇතෙක් දමනය කරන්න යනවාය කියන කාර ණාව සාමාන්‍ය ගිහි සමාජයට අලුත් අත්දැකීමක් . එය එම භික්ෂූන් වහන්සේ තුළ තිබුණ විශේෂ හැකියාවක් වුණාට භික්ෂුවකගෙන් බලාපොරොත්තු වෙන හැකියාවන් සමාජය භික්ෂුන් වහන්සේ නමකගෙන් බලාපොරොත්තු වන හැකියාවන් එම හැකියාවට වඩා වෙනස් වූ ඒවා. එම නිසා කිසියම් ස්වාමීන් වහන්සේ නමක් සිත දියුණු කර ධ්‍යාන භාවනා වඩල යමියමි අධිගමයන්ට ලක්වෙන්න හැකිනමි,එය උන්වහන්සේ තුළ තිබෙන විශිෂ්ට ජයග්‍රහණයක්. ගිහි සමාජය තුළ වුවත් එම කාරණාව එලෙසමයි. කුමන හැකියාවන් දක්ෂතාවයන් තිබුණත් තමන්ගේ මනස තුළින් ලබන මානසික ශක්තිය වඩාත් වැදගත් වන කාරණාව මෙහිදී අවධාරණය කර ගත යුතුයි.
මහාචාර්ය
පාතේගම ඤාාණිස්සර හිමි
පාතේගම ඤාාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 17 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment