Labels

Saturday, August 20, 2016

ශ්‍රී කාන්තාවට හෝ සිරි කාලකණ්ණියට ඇරයුම්

ශ්‍රී කාන්තාව සහ කාලකණ්ණිය යනු අප ජීවත්වන සමාජයේ නිතර අසන්නට ලැබෙන පද දෙකක් බව අපි දනිමු. සමාජ විද්‍යාත්මක වශයෙන් බැලූ විට මෙයින් පැවසෙන්නේ සමාජ සංස්ථාවේ පුළුල් පැතිකඩ දෙකකි. ආගමික වශයෙන් පෙනෙනුයේ ආචාරවිද්‍යාත්මක පැතිකඩකි. ‘කාලකණ්ණි ගෑණියක්’, කාලකණ්ණි මිනිහෙක්’, ‘කාලකණ්ණි වැඩක්’, ‘කාලකණ්ණි සිතිවිල්ලක්’ යනාදී වශයෙන් පැවසෙන අවස්ථා මෙන්ම ශ්‍රී කාන්තාව වගේ, සිරියා කාන්තාව වැඩ ඉන්නව වගේ, සිරියාවන්ත මනුස්සයා වැනි ප්‍රකාශ ද අසන්නට ලැබේ. කෙසේ වෙතත් ශ්‍රී කාන්තාව සහ කාලකණ්ණිය යන පද ස්ත්‍රීවාචක පද දෙකකි.
කාන්තාව සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සාහිත්‍යකරුවන් හඳුනාගෙන ඇත්තේ ඉතා ඈත ඉතිහාසයක දී බව අපි දනිමු. බිත්ති සතරකින් වට වූ ගෙයක් නිවසක් බවට පත්කළ හැක්කේ කාන්තාවකට පමණකැයි එක්තරා පෙරදිග පඬිවරයෙකු විසින් පවසා ඇත. ඒ නිසා ස්ත්‍රිය සෞභාග්‍යය හා සබැඳි වස්තුවක් වේ. අනෙක් අතින් ස්ත්‍රිත්වයේ ලක්ෂණයක් වන්නේ පුරුෂ පක්ෂය වෙත ළඟා වීමයි. එමඟින් ඇය ඇයට ද පවුල් ඒකකය තුළ අනෙක් සාමාජිකයන්ටද බලපෑම් ඇති කරන්නියකි. ඇය යහපත් වුවහොත් සශ්‍රීකත්වය ද අයහපත් වුවහොත් අභාග්‍යය ද උදා කරවිය හැකිය.
එබැවින් ද ගුණ ස්වභාව විසින් ද කාලකණ්ණි සහ ශ්‍රී කාන්තාව යන පද දෙකට ස්ත්‍රිත්ව ආරෝපණයක් සිදුවන්නට ඇත. අනෙක් අතින් මෙම නම්වලින් පෙර කාලයේ දෙව් දූවරුන් දෙදෙනෙකු ද වාසය කොට ඇති බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
බෞද්ධ සාහිත්‍යයට අනුව කාලකණ්ණියා යනු සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකු වන විරූපාක්ෂ දෙවියන්ගේ දියණියයි. එසේම ශ්‍රී කාන්තාව වූ කලී ධෘතරාෂ්ට්‍ර දෙවියන්ගේ දියණිය වේ. වරක් අනෝතත්ත විලෙහි දිය නෑම සඳහා යාමේ දී මේ දෙදෙනා අතර ගැටුමක් ඇතිවිය. අනෝතත්ත විලෙහි වූ කලී සර්වඥයන් වහන්සේට, පසේ බුදුවරුන්ට, රහතුන්ට, තවුසන්ට සහ සදෙව් ලෝ දෙවියන්ට නෑම සඳහා වෙන වෙනම නාන තොටවල් ඇති තැනෙකි. දිනක් මෙහි ස්නානය සඳහා පැමිණි කාලකණ්ණිය හා ශ්‍රී කාන්තාව අතර පළමුව දිය නෑම සඳහා කවරෙක් බැසිය යුතු ද යන ගැටලුව පැන නැගුණි. සිරි කාලකණ්ණිය පවසා සිටියේ තමා මනුෂ්‍ය වර්ගයා විෂයෙහි ආඥාව පවත්වා සිටින හෙයින් තමා පළමුව ස්නානය කළයුතු බවය. එවිට ශ්‍රී කාන්තාව කියා සිටියේ මිනිස් වර්ගයාගේ සෞභාග්‍ය උදාකරනුයේ තමා බැවින් තමා පළමුව ස්නානය කළයුතු බවය. ගැටලුව උග්‍ර වූ හෙයින් සතර වරම් දෙවියන්ගෙන් ගැටලුවට විසඳුම් සෙවූ නමුත් ඔවුන්ගේ උපදෙස් පරිදි ශක්‍රයා වෙත ගොස් අප දෙදෙනාගෙන් වඩා උතුම් කවරෙක් දැයි විමසූහ. එවිට ශක්‍ර දේවේන්ද්‍රයා පවසා සිටියේ එවකට සුවිසාර සිටාණන් නමින් ඉපිද සිටි අප බෝසතාණන් වහන්සේ තමාට වඩා උසස් කෙනෙකු පැමිණියහොත් හිඳගැනීම සඳහා පනවා තිබූ අස්නෙහි හිඳගෙන වඩාත් උතුම් කවරෙක්දැයි තීරණය කරගන්නා ලෙසය. ඒ අනුව සුවිසාර සිටුතුමා වෙත පැමිණි සිරි කාලකණ්ණි සහ ශ්‍රියා කාන්තාව යන දෙදෙනා එහි රැයක් ගෙවීමට ඉඩ ඉල්ලූහ. එවිට සුවිසාර සිටාණෝ එහි හිඳීමට තම තමන් සතු ගුණ කවරේදැයි ප්‍රකාශ කරන ලෙස දැන්වීය. මෙහිදී කාලකණ්ණිය සහ ශ්‍රී කාන්තාව තමන්ගේ ස්වභාවය පිළිබඳව දක්වන අදහස් අපට ඉතා වැදගත් වේ.

කළු පැහැති වස්ත්‍ර හා අබරණ පැළඳ සිටි සිරි කාලකණ්ණිය තමන් කෙළෙහි ගුණ නො දන්නා වූ, පාපකාරී, මිත්‍රදෝහී, කිසිවෙකු කෙරෙහි දයාවක් නැති, කේළාම් කියන, තද මසුරු ,ඊර්ෂ්‍යා සහගතව සහ මුළාවෙන් ඉබාගාතේ යමින් යමෙක කල් ගෙවත් නම් ඔවුන් තුළ වෙසෙන බව දක්වයි. එවිට සිටුතුමා පවසන්නේ එබඳු කෙනෙකුට තමන් සිටිනා තැනක විසීමකට ඉඩ නොමැති බවයි. පුණ්‍යවන්ත කෙනෙකු වූ සිටුතුමා සමීපයෙහි තමාට විසීමේ හැකියාවක් නොමැති බව දත් කාලකණ්ණිය එකෙණෙහිම අතුරුදන් වූවා ය.
රන්වන් පැහැති ශෝභාවෙන් හා අබරණ පැළඳි ශ්‍රී කාන්තාව බෝසත් සිටුතුමාට ඉදිරියෙහි පෙනී සිට තමන් පිළිබඳව හඳුන්වා දෙනුයේ මීට හාත්පසින් ප්‍රතිවිරුද්ධ ලෙසය. ඒ අනුව ඇය පවසන්නේ තමා ධෘතරාෂ්ට්‍ර දෙවියන්ගේ දියණිය බවත් තමාට ශ්‍රී කාන්තාව, ලක්ෂ්මී සහ භූරිපඤ්ඤ යනාදී නම්වලින් හඳුන්වනු ලබන බවය. තවද අව්, වැසි, මැසි, මදුරු සර්පාදීන්ගෙන් වන ගැහැට මඳකුදු නොතකා වැඩ කරන මිනිසුන්ට තමා පි‍්‍රය කරන බවය. තවද දන් දෙන, සිල් රකින, ක්‍රෝධ නොකරන, ත්‍යාගශීලී හා ආචාරශීලී, සෘජු කාය වාග් සමාචාර ඇති, මිත්‍ර සම්පත්තිය සහිත, මාන්නක්කාර සහ ශඨ කපට නොවන, සංග්‍රහශීලී හා මෘදු මොළොක් මිනිසුන්ට තමා ඉතා පි‍්‍රය කරන බවත් ඔවුන් සමඟ වාසය කරන බවත් ය.

මේ අනුව පෙනෙනුයේ විශ්වයේ බලවේග දෙකක් අපගේ ජීවිත කෙරෙහි බලපෑම් කරන ආකාරයයි. විශ්ව ශක්තිය හා විශ්ව නියමය තේරුම් පිළිගැනීමට අකැමැති අයට මෙය වැටහෙනුයේ වාසනාව සහ අවාසනාව, භාග්‍යය හෝ අභාග්‍යය යන පද දෙකයි. සැබැවින්ම මෙම ශ්‍රී කාන්තාව හා කාලකණ්ණිය විශ්ව ධර්මතා දෙකක් තේරුම් ගැනීමට බෞද්ධ සාහිත්‍යය දැක්වූ සංකේත දෙකක් ලෙස සැලකුවද එහි වරදක් නැත. එහෙත් තේරුම් ගත යුත්තේ අපගේ යහගුණ හා නීච පැවතුම් විශ්ව ශක්තිය ඔස්සේ අපගේ දියුණුව හෝ පිරිහීම උදෙසා ඉවහල් වන ආකාරයයි. සිරි කාලකණ්ණි ජාතකයෙහි පෙන්වා දෙන පරිදි එක් කෙනෙකු තුළ ශ්‍රී කාන්තාවට සහ කාලකණ්ණිය යන දෙදෙනාටම වාසය කිරීමට නොහැකිය. එසේම ඇය දිනෙන් දින ගුණ වනසා ගන්නා මිනිසුන් අශුචි වළක් මෙන් දුරින්ම දුරු කරනා බවද පවසන්නීය. අපට අවශ්‍ය වන්නේ ශ්‍රී කාන්තාව ළඟා කර ගැනීමට මිස කාලකණ්ණිය සමඟ වාසයක් නොවේ. එබැවින් යහපත් ගති සිරිත් විරිත් තුළ වැඩිදියුණු කර ගැනීම ශ්‍රී කාන්තාව තමා වෙත පැමිණීමට හේතුවක් වෙයි.

අප වෙසෙන සමාජයේ යම් යම් අයට නිග්‍රහ කිරීම සඳහා කාලකණ්ණියා යන වචනය යොදන බව අපට හුරු පුරුදුය. එහෙත් කෙනෙකු උපත, ධනය, කුලය ආදී කරුණක් නිසා කාලකණ්ණියෙකු වන්නේ නැත. පොදු සමාජයේ සුන්දර පැවැත්මට හානිකර යම් යම් අපචාරී ක්‍රියාවන්හි යෙදෙන්නෝම කාලකණ්ණියෝ වෙති. වන පෙත් හා ජල මූලාශ්‍රය කෙළෙසීම, ප්‍රාණඝාත, ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර, අල්ලස් දූෂණ හා බලහත්කාරකම් කිරීම්, සේවා ආයතනවල නිසි සේවය නොකොට වැටුප් ලැබීම්, පොදු දේපළ වැනසීම්, ආගමික ශ්‍රද්ධා භක්තිය හා කුසලයට අවමන් කිරීම්, වස විෂ යෙදූ ආහාර පාන අනුභවයට දීම්, පහත් වෙළෙඳාම් වැනි නිහීන වෘත්තීන් මඟින් ධනය ඉපදීම් වැනි අනේකවිධ සමාජ හිංසන කටයුතුවල යෙදෙන්නෝම කාලකණ්ණියගේ ඇසුරින් ජීවත් වන්නෝ වෙති. සිරිකාලකණ්ණි ජාතකයෙහි අනාවරණය කරන පරිදි යහපත් මිනිසා ජීවත් වෙද්දී පමණක් නොව මළ කල්හි ද ශ්‍රී කාන්තාව ඔහු අත් නොහරී.

දුප්පත්කම, කුලහීන බව ආදී කරුණු හේතුවෙන් යමෙක් කාලකණ්ණියෙකු ලෙස සැලකීමෙහි බලවත් වැරැදීමක් ඇති බව කාලකණ්ණි ජාතකයෙහි පෙන්වා දී ඇත. මහත් ධන සිටුවරයෙකු ලෙස ප්‍රකට අනේපිඬු සිටුවරයාගේ පාසල්වියේ සිට යහළුවෙකු වූ නමින් කාලකණ්ණි නම් වූ පුද්ගලයෙකු තරුණ වියේදී දුප්පත්කම නිසා වරක් අනේපිඬු සිටුතුමා ළඟ සේවයට පැමිණියේ ය. ඔහුගේ නම කාලකණ්ණි වීමත් දුප්පත්කමත් නිසා ඔහු පිළිකුල් කළ සෙසු අය විසින් ඔහු සේවයෙන් පළවා හරින ලෙස බලපෑම් කරද්දීත් සිටුතුමා ඔහුගේ සේවය ලබා ගත්තේ ය. අවංක සේවකයෙකු වූ ඔහු දිනක් සිටු මැඳුරට පැමිණි මංකොල්ලකරුවන්ගෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වළකාලීය. ශාරීරික අවලස්සන, දිළිඳුකම, නූගත්කම ආදී කරුණු මිනිසුන් මැනීමේ නිර්ණායකයක් නොවන බව එහි මැනවින් පෙන්වා දී ඇත.

නිවැරැදි වූ ඔබට යමෙක් කාලකණ්ණියෙකැයි කිවහොත් ඔබ ඔහු සමඟ උරණ නොවන්න. කුමක් නිසා ද යත්, ඔබ තුළ එවැන්නක් සිදුවීමට අවකාශ නොමැති හෙයිනි. සෑම මිනිසෙකුටම ආධ්‍යාත්මයක් ඇත. ශ්‍රී කාන්තාවට හෝ කාලකණ්ණියට වාසස්ථානයක් වන්නේ එකී ආධ්‍යාත්මයයි. ඔබගේ ආධ්‍යාත්මය පවිත්‍ර නම්, එය පවිත්‍රව තබා ගැනීමට ඔබට දෛනික වැඩ පිළිවෙළක් යොදා ඇත්නම්, ඔබ ඔබගේ අධ්‍යාත්මය නමැති මන්දිරයෙහි පවිත්‍රත්වය කෙරෙහි විමසිලිමත් නම් එහි ශ්‍රී කාන්තාවට මිස විපතෙහි සලකුණ වන කාලකණ්ණියට ලැගුම් ගත නොහැකිය. ඔබගේ බිරිඳ දරුවන් නිති පන්සිල් අටසිල් රකින, දන් පින්කම් කෙරෙහි ලැදි පිරිසක් බවට පත් කරවන්න. එවිට ඔබගේ නිවස සිරිකතගේ වාසස්ථානය වනු ඇත. එහි දියුණුව කිසිවෙකුටත් වැළකිය නොහැකිය. විශ්ව ශක්තිය එයයි. එය දිව්‍යමය ශක්තියකි. සිරි කාලකණ්ණිය මෙන්ම ශ්‍රී කාන්තාව ද දිව්‍යමය දියණියන් දෙදෙනකු බව මුලින් කියන ලදී. එය සංකේතවත් කරනුයේ අදෘශ්‍යමාන බලයකි. අභේද්‍ය වූ විශ්ව ශක්තියකි. එබැවින් තම ආධ්‍යාත්මය වාසස්ථානයක් කිරීමට අවශ්‍ය කුසලමය පාරිශුද්ධිය ඇතිකරගැනීම ජයග්‍රහණයේ මාවතක් වේ. එය අපිරිසුදු කර ගැනීම දිනෙන් දින පිරිහීම ඇති කරවන ශාපයේ දේවතාවිය වන කාලකණ්ණියට වාසස්ථනයක් කිරීමකි.


කාලකණ්ණි යන්නෙහි අරුත පින් නැති, වාසනාව හෝ ලැබීම් නැති, අවාසනාවන්ත හෝ දුර්භාග්‍ය සම්පන්න තැනැත්තා යන්නයි. කෙනෙකුට දක්වන ලැදියාව නිසා මේ ලෝකයෙහි වාසනාව හෝ සම්පත් හෝ බලෙන් ලබාදිය නොහැකි ය. මෙයට ඉතා සුදුසු නිදසුන හමුවන්නේ උම්මග්ග ජාතකයේ සිරි කාලකණ්ණි ප්‍රශ්නයෙහිය. උගත් එහෙත් පින්මඳ ‘පිංගුත්තර’ නම් තැනැත්තාට බිරිඳ වශයෙන් ලැබුණේ ශ්‍රී කාන්තාව බඳු රුවැති ළඳකි. එහෙත් ඔහුට ඇයගේ කිසිදු අවශ්‍යතාවක් ගැන නො දැණුනි. පි‍්‍රය මුසු බස් නො දෙඩුවේය. ඔහුට ඇය බරක් විය. තම සැමියාගෙන් පිළිසරණ නො ලබන ධෛර්යවත් ගැහැනිය අහර පිණිස ගෙඩියක් කඩා ගැනීමට දිඹුල් ගසට නැගි පසු ඔහු ගස වටේ කටු ගසා කාලකණ්ණිගෙන් මිදුනෙමියි කියමින් පළා ගියේ ය. වාසනාව දරාගත නොහැකි පුද්ගලයන්ට කාලකණ්ණියා යන ව්‍යවහාරය පැමිණියේ එලෙසිනි. එබැවින් ශ්‍රී කාන්තාව සහ සිරි කාලකණ්ණිය හඳුනා ගැනීම ඔබගේ ජීවිතය දුකින් මුදවා වාසනාවන්ත කරවා ගැනීමට ඉවහල් කර ගැනීමට උපස්තම්භක වේ.





කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 
මහාචාර්ය රාජකීය පණ්ඩිත, 
මකුරුප්පේ ධම්මානන්ද හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ  2016 ක් වූ අගෝස්තු 17 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment