Labels

Saturday, August 20, 2016

චින්තන නිදහස අගය කළ අසිරිමත් බුදු සිරිත

බුදුරදුන් තුළ තිබූ නායකත්ව ගුණ සමුදාය අතර ස්වච්ඡන්දතාවය විශේෂ ගුණයකි. ස්වකැමැත්ත මත විනය සීමාවන් උල්ලංඝනය නොකර කටයුතු කිරීමේ හැකියාව තම ශ්‍රාවකයන් වෙනුවෙන් ඇතිකිරීමට උන්වහන්සේ වගබලා ගත්හ. මෙහිදී තම ක්‍රියාවන්හි වගකීම තම තමන් දැරිය යුතු ය. බුදු හිමියෝ තම ශ්‍රාවකයන් අනුගාමිකයන් ඔවුන්ගේ හැකියාවන් අනුව නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සලසා දුන්හ. එසේ වුවද මූලික අභිමාර්ථයන්ට විරුද්ධවීම කළ නොහැකිය. එනම් විනයට අනුකූල තමන්ට ගැළපෙන ක්‍රියාකාරකම් පමණක් සිදු කිරීමට උන්වහන්සේ නිදහස ලබා දුන්හ. ශ්‍රාවකයන්ද එය අනවශ්‍ය ලෙස යොදා නොගත්හ.

චින්තන නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව තම යටත් පිරිසට ලබා දෙන්නේ යහපත් නායකයාය. එසේ නොමැතිව බිය උපදවා ඔවුන්ගේ එම ස්වභාවයට අකුල් හෙළන්නේ නියම නායකයා නොවේ. බුදුරදුන් තමන්ගේ අනුගාමිකයන්ට පැහැදිලි කළේ මම මඟ පෙන්වන්නෙක් පමණක් බවත් නුඹලා ක්‍රියා කරන්න යනුවෙනි. ඇතැම්විට කමටහන් ලබාගන්නා භික්ෂූහු තමන්ගේ මව් රටට යාමට අවසර ඉල්ලූ විට දෙපාරක් නොසිතා එයට අවස්ථාව සලසා දුන්හ. කාශ්‍යප හිමියන් වනගතව සිටීමට අවසර ඉල්ලූ විට එයට බුදුන් වහන්සේ අවසර ලබා දුන්හ. එසේම පූර්වාරාමය සැලැසුම් කිරීමේ දී වැඩි වැඩ කොටසක් සිදු කළේ මුගලන් හිමියන් ය. උන්වහන්සේගේ සංකල්පනාවට බුදු හිමියෝ කිසිවිටෙක බාධා නොකළහ.
පිරිස මෙහෙයවා ඔවුන්ගේ හැකියාවන්වලට වටිනාකමක් ලබා දෙයි. ඔවුන්ගේ අදහස් චින්තනයට අවස්ථාව දීමට මැළි නොවෙයි. ඒ තුළ සමස්තයට ලැබෙනුයේ මහත් ආශිර්වාදයකි. බොහෝ රාජ්‍ය දියුණුවට පත්වූයේ මෙම කැමැත්ත අගය කිරීම සහ තම සීමාවන් තුළ එයට අවස්ථාව සලසා දීම නිසාවෙනි. ධර්මයට වඳින තැනදී ‘ඒහිපස්සිකෝ’ යනුවෙන් දේශනා කරන්නේ ද එහෙයිනි. එනම් ඇවිත් (බලන්න යනුවෙනි, ඒ තුළ අකැමැතිනම් ඉවත්වීමට නිදහස ලබාදී ඇත. වඩා නිවහල් මානසිකත්වයක් ඇති නායකයන් මෙම ගුණයෙන් යුක්තය. සෑම කෙනෙකු තුළම යම් හැකියාවක් දැක්මක් ඇත. එනිසා මූලික මූලධර්මවලට හානියක් නොවනසේ ස්වච්ඡන්දතාවයට ගරු කළ යුතුමය. බුදුරදුන්ගේ මෙම ගුණය ආයතනයක රටක සංවිධානයක යහපත පිණිසම පවතී, එහෙයින් නායකයන් ආදර්ශවත්වීම විෂයෙහිලා, මෙම ගුණය පිළිබඳ වඩා සැලකිලිමත් වීම අවශ්‍ය වේ.
බුද්ධත්වය ලැබූ අවස්ථාවේ සිටම උන්වහන්සේගේ හතළිස් පස්වසරක් කාලය මුළුල්ලෙහිම සමස්ත ජීවිතය පුරාවටම ආදර්ශවත් බව දැකිය හැකිය. කලගුණ සලකන්න යනුවෙන් උන්වහන්සේ දේශනා කළා පමණක් නොව එය ක්‍රියාවෙන් පෙන්නුම් කළහ. තමන්ට බුදුවීමට උපකාර කළා වූ ඇසතු බෝරුකට පවා උන්වහන්සේ අනිමිස ලෝචන පූජාව සිදුකළේ එහෙයිනි. එසේම පස්වග මහණුන් සොයා යාමත් කළගුණ සැලකීමේ ආදර්ශයයි. ඔවුන්ගේ යහපත් අභිලාශ ඉටු කළ යුතු ය. බුදුන් වහන්සේ තුළ මෙය ඉතා පැහැදිලිව දැකිය හැකි වූහ. මව්පියන්ට සංග්‍රහ කිරීම ඉතා උතුම් ක්‍රියාවක් බව පෙන්වා වදාළා පමණක් නොව තම දෙමාපියන්ට සැලකීම තුළින් එය ආදර්ශයෙන්ම පෙන්වූහ.
පළමු රහත් හැටනම අමතා ජනපද චාරිකාවේ හැසිරෙන ලෙස සඳහන් කර තමන් වහන්සේද ඌරුවේලාවට වැඩම කළහ. නායකයා යනු අති සුඛෝපභෝගීව සිටිය යුතු කෙනෙක් නොව තම කණ්ඩායමේ අරමුණු වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට වෙහෙසවීම අවශ්‍ය සාධකයක් කොට සැලකූහ. ඒ වෙනුවෙන් යටත් පිරිස පමණක් වෙහෙසවිය යුතුය යන්න උන්වහන්සේ නොසිතූහ. නායකයාගේ හැසිරීම, මෙබඳු විය යුතු ය. වෛරය, ක්‍රෝධය අත්හැර මෛත්‍රිය ඇතිකරගත යුතු බව උන්වහන්සේගේ දේශනාවයි. එය ආදර්ශයෙන් පෙන්වා වදාළහ. දෙව්දත් හිමියන්ට පවා බුදුහිමියෝ මෛත්‍රිය කළහ. පිණ්ඩපාතය සඳහා වැඩම කිරීමේ දී බුදුරදුන් ද භික්ෂූන් මෙන් පිඬු සිඟා වැඩියහ. නායකයා යනු මෙවැන්නෙකි. ඇතැම් ලෝක පූජිත නායකයන් පවා තම කාර්යාලය පිරිසුදු කර ගන්නේ තමා විසින්මය. ඒ මහඟු ආදර්ශය නායකයන් විසින් ලබාදිය යුතුමය.
බුදුරදුන් යැපුණේ සිව්පසයෙන් පමණි. එයද ලැබෙන පමණිනි. තමා රාජකුලයක වුවද රාජ භෝජන ලබාගත්තේ නැත. තමා අනුගාමිකයන්ට පැහැදිලි කරන යම් යම් කාරණා තමන් තුළද ගොඩනංවාගත යුතු ය. එසේ නොමැතිවීම ඕනෑම ක්ෂේත්‍රයක පරිහානියට හේතු වේ. යම් නීතියක් ප්‍රඥප්තියක් පනවා ඇත්නම් එය ප්‍රධානියාටද පොදු විය යුතු ය. ඔහු හැර අනෙක් පිරිසට එය බලපාන ලෙස සැකසීම නොකළ යුතු ය. එය යහපත් නායකයෙකුගේ ලක්ෂණයක් නොවේ. නායකයන්ට ආදර්ශමත්භාවය පිළිබඳ සිතිය යුත්තේ නායකත්ව බලතල ඇති අවස්ථාවේ මිස නැති අවස්ථාවේ නොවේ.
නායකත්වය දැකිය හැකි උදාරතම ලක්ෂණය කැප කිරීම් කළ හැකි බවයි. බුදුරදුන් තුළ මෙය දැකිය හැකි ය. උන්වහන්සේ බලය, කුලය, ඥාතිකම්, රජකම්, කාලය, ශ්‍රමය මේ සසුන වෙනුවෙන් කැපකළහ. කැපකිරීම් කළ නොහැක්කෙකුට නායකයෙකු විය නොහැක. නායකයා යනු කැපකිරීම්වල ප්‍රතිමූර්තියකි. බුදුරදුන් තරම් කැපකිරීම් කළ නායකයෙකු නැති තරම්ය. පියරජුගෙන් පසු තමන් වහන්සේට උරුම වන රාජ්‍යත්වය, සැපපහසු මාළිගා, ගිහි කළ බිරිඳ, පුතණුවන් මේසියල්ල උන්වහන්සේ ඉවත දැමූහ. තම කුලය නිසා බැබලෙන්නට උත්සාහ කරන්නවුන් අතර උන්වහන්සේ කුලය අනවශ්‍ය ලෙස සලකා බැහැර කළහ. නායකත්වය ලැබූ පසු නැති සම්පත් එකතුකරගැනීම නම්බුනාම සම්මාන පසුපස හඹායාම කිසිවිටෙක නොකළ යුතුමය.

බුදුරදුන් ශ්‍රමය, කාලය කැපකර ලෝකසත්වයාට මහත් සේවාවක් සිදුකළහ. තමන් වහන්සේ සැතපුණේ ඉතා සීමිත කාලයකි. අනෙක් සෑම අවස්ථාවකදීම අනෙකාට පිහිටවූහ. සුවපහසු ආරාම තුළ සැතපීමට කාලය ගතකළ හැකිව තිබුණද උන්වහන්සේ එසේ සිදු නොකළහ. නායකත්වය යනු වගකීම් ඉටුකිරීමයි. ඒ සඳහා කැපකිරීම් අත්‍යවශ්‍ය වේ. තම කාර්යාවලිය සඳහා ඥාතිකම් පට ලවා ගැනීමද යෝග්‍ය නොවේ. දෙව්දතුන් ගිහිකල තම මස්සිනා වුවද එම ඥාතිකම් බුදුරදුන් කැපකළහ. ඒ තුළ සංඝ සමාජයේ ඉදිරි ගමනක් ඇති වූහ.





කොළඹ මහානාම විද්‍යාලයේ, ආචාර්ය 
කොලොන්නාව පුරාණ විහාරවාසී 
සියඹලාගොඩ ධම්මින්ද හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ  2016 ක් වූ අගෝස්තු 17 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment