Labels

Tuesday, August 23, 2016

සිතෙහි ස්‌වභාවය පිළිබඳ බෞද්ධ විග්‍රහය

බුදුදහමේ දී සිතට ලබා දී ඇත්තේ ප්‍රමුඛස්‌ථානයකි. එයට හේතුව නම් සත්ත්වයාගේ සසර ගමන දීර්ඝ වන්නේ ද යම් භවයක උපත ලද විටෙක එහි පැවැත්ම තහවුරු වන්නේ රඳා පවතින්නේ සිතේ ක්‍රියාකාරිත්වය මත නිසාය. සසරෙහි දිගුව උදෙසා කර්ම රැස්‌ කරන්නේ ද සසර කෙටි කිරීමට ප්‍රමුඛ වන්නේ ද සිත යි. බුදු දහමේ හඳුන්වා දෙන්නේ සිත පියවි ඇසට විද්‍යමාන නොවන සිරුරක්‌ නොමැති හදවත ඇසුරෙහි පවත්නා සජීවි වස්‌තුවක්‌ ලෙසය.
සිත යනු මෙලොව පවතින අසහායතම වස්‌තුව යෑයි හැඳිනීම සාවද්‍ය නොවේ. සිත පිළිබඳ පරිපූර්ණ විමර්ශනයක්‌ මුලින්ම සිදුකරන ලද්දේ සිදුහත් බෝසතාණන් වහන්සේ විසිනි. බුද්ධත්වයට පත්වීමෙන් පසු වුව උන්වහන්සේ දේශනා කළේ සිතට සම කළ හැකි අන් එක ද වස්‌තුවක්‌ හෝ ලොව නැති බවයි (නාහං භික්‌ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි

සමනුපස්‌සාමි යථයිදං චිත්තං). මුළු සංසාරයම පවත්නේ සිත නිසා බැව් මෙහි දී ප්‍රකාශිත ය. විටෙක සිත ප්‍රභාස්‌වර වන බවත් (පභස්‌සරමිදං භික්‌ඛවේ චිත්තං) තවත් විටෙක ආගන්තුකව පැමිණෙන උපක්‌කිලේස නිසා කිළුටට පත් වන බවත් (තඤ්ච ඛෝ අගන්තුකේහි උපක්‌කිලේසේහි උපක්‌කිලිට්‌ඨන්ති) වැඩි දුරටත් පෙන්වා දී ඇත.

සිත පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ සිත වහා පෙරළෙන සුළු ලක්‌ෂණයෙන් යුක්‌ත බව (ලහුපරිවත්තං චිත්තංති) පෙන්වා දී ඇත. අන් සියලු වස්‌තු පිළිබඳ උපමා ප්‍රකාශ කළ ද සිත පිළිබඳ එසේ නිශ්චිත උපමාවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව (උපමාපි නසුකරා) බුදුහිමියන් දේශනා කළ සේක. මේ පිළිබඳ වැදගත් ම නිදසුන් සපයන්නේ ධම්මපදයේ චිත්ත වර්ගයේ ඇති පහත ගාථාවයි.

''දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්‌සන්ති මොක්‌ඛන්ති මාර බන්ධනා''

මේ ගාථාවෙන් පෙන්වා දී ඇත්තේ ද සිතෙහි ඇති ස්‌වභාවය පිළිබඳවය. සිතට රූපයක්‌ නොමැති බවත් ඉතා සියුම් බවත් ඉන් ප්‍රකාශිත අදහසයි. සිත කෙතරම් වටනේ දැයි සඳහන් කරන්නේ නම් අප ඇසුරු කරන ශරීරයේ පැවැත්ම රඳා පවතින්නේ සිත එහි ඇති තාක්‌ පමණි. ශරීරයෙන් සිත ඉවත් වූ විගස සිරුර වහා විනාශ වී පොළොවෙහි පස්‌ වේ. යම් හෙයකින් සිත ගෝපනය නොකරන ලද්දාහු නම් එය පුද්ගලයාගේ අනර්ථය පිණිස පවතින බව අංගුත්තර නිකායේ අදාන්ත වර්ගයේ (යං ඒවං අදන්තං අගුත්තං අරක්‌තං අසංවුතං මහතෝ අනත්ථාය සංවත්තති) සඳහන් වේ. මේ නිසා සිත දමනය කර ගැනීමේ වැදගත්කම ඉහත ගාථා පාඨයෙන් පෙන්වා දෙන අතර ම එසේ නොකර ගන්නේ නම් එයින් සිදුවන විපත/පරිහානිය පිළිබඳව ද කදිම නිදසුන් බුද්ධ සමාජය ඇසුරින් ම ප්‍රකට වේ. සිත නපුරට පෙළඹවීමෙන් ඇති කර ගන්නා වූ විනාශය පිළිබඳව පැහැදිලි කරන බුදුහිමියෝ සිත තරම්ම තමන්ට වෙනත් සතුරෙකු නැතැයි ව¹ළ සේක. සිත දමනය කිරීමට කෙතෙක්‌ උත්සාහ කළ ද එය දියෙන් ගොඩ දැමූ මත්සයෙකු දියට නැවත පැනීමට දඟලන්නාක්‌ මෙන් සිතට තමන් ප්‍රිය කරන අරමුණු ඔස්‌සේ දිවයැමට, ඇසුරු කිරීමට දඟලන බව පෙන්වා දී ඇත. එහි දී නුවණැත්තා ක්‍රියා කළ යුතු වන්නේ ඉතා සූක්‍ෂම අයුරින් බව පෙන්වා දෙන බුදුහිමියෝ හීවඩුවා හීයෙහි ඇද හැර Rජු තත්ත්වයට පත්කිරීමට වෙහෙසෙන්නේ යම් සේ ද ඒ ආකාරයට වෙහෙසිය යුතු බව දේශනා කරති.

යම් හෙයකින් ඉහත සඳහන් කළ පරිද්දෙන් තම සිත මනාලෙස පිහිටුවා ගැනීමට හැකි වන්නේ නම්, සමත් වන්නේ නම් තමා උසස්‌ බවට පමුණුවන බව පෙන්වා දුන් සේක. එම උත්තරීතර ස්‌වභාවය තමන්ගේ දෙමාපියන්ට හෝ ඤාතීන්ට හෝ අසල්වාසීන්ට ලබා දිය හැකි උසස්‌ තත්ත්වයක්‌ නොව තමන් විසින්ම උපදවා ගත යුත්තකි. නුවණැති තැනැත්තා සිත මනාව සංවර කරගන්නා අතර එහි ප්‍රතිඵල ලෙස සැප විපාක වින්දනය කරයි. බුදුසසුන තුළ අර්හත් මාර්ගඵල ලැබූ භික්‌ෂූන් වහන්සේලා හා භික්‌ෂුණීන් වහන්සේලා බොහෝ විට එම උසස්‌ තත්ත්වයන්ට පත්ව ඇත්තේ තත් ස්‌වභාවික පරිසරයෙන් ලබාගත් උපමාවන් ආශ්‍රය කරගෙන ධෛර්ය සම්ප්‍රයුක්‌තව වීර්යය වැඩීමෙනි. විජිතසේන හිමියන් පිළිබඳව සඳහන් කිරීමේ දී උන්වහන්සේ දක්‌ෂ ඇතරුවෙක්‌ අලුත අල්වාගත් නොදැමුණු ඇතෙක්‌ දමනය කරන්නට සමත් වන්නේ ද එපරිද්දෙනි. මීට අමතරව පටාචාරා භික්‌ෂුණිය ද අර්හත් භාවයට පත්වන්නේ එවන් වූ ම සිතුවිල්ලක්‌ පහළ කරගැනීමෙනි. ඇය දක්‌ෂ අස්‌ගොව්වෙක්‌ අජානීය අශ්වයෙකු දමනය කිරීමට සමත් වන්නේ යම් සේ ද මිනිසාට ද තමන්ගේ සිත එපරිද්දෙන් දමනය කර ගැනීමට හැකි බව ප්‍රකට කරමින් අර්හත්වයට පත්වූවාය. ඇය ධෛර්යය වඩා පහන අතින්ගෙන සයනයෙහි හිඳ විදසුන් වඩා පහන්සිළ නිවෙනවාත් සම`ගම අර්හත්වයට පත් වූ බව සඳහන් සාසන ඉතිහාසයේ වේ.

වේදේහිකාගේ කතාපුවතින් පෙන්වා දෙන්නේ ද සිත දමනය කර නොගැනීම නිසා ඇති වූ විපතක්‌ පිළිබඳව ය. වේදේහිකාව සමාජයේ ප්‍රකටව සිටියේ මෛත්‍රී සහගත සිතිවිල්ලෙන් යුක්‌ත උත්තරීතර තැනැත්තියක ලෙස ය. නමුදු ඇගේ සේවිකාව ඇගේ මේ මෛත්‍රී සහගත සිතුවිල්ල අභියෝගයට ලක්‌ කරමින් එය සත්‍යය වූ මෛත්‍රියක්‌ දැයි පරීක්‌ෂා කිරීමට කටයුතු කළාය. එහි දී ඇගේ එම පරික්‌ෂාවේ ප්‍රතිඵලයක වූයේ වේදේහිකාවගේ මෛත්‍රී සිතිවිලි ක්‌ෂණිකව වෙනස්‌ වන්නක්‌ වන බවයි. ඇගේ කීර්ති රාවය වෙනුවට ඉන් පසු සමාජයේ ව්‍යාප්ත වූයේ ඇගේ නපුරු සහගත ක්‍රියාකාරකම් පිළිබඳව ය.

මිනිස්‌ සිතෙහි ක්‍රියාකාරිතාව ප්‍රකට කෙරෙන ජාතක කතා රාශියක්‌ ද හමු වේ. පුරුෂයින්ගේ සිතිවිලි දිගහැරෙන අන්දම හා කාන්තාවන්ගේ සිතෙහි ස්‌වභාවයන් පිළිබඳවත් සමාජයේ නොයෙකුත් පුද්ගලයින්ගේ සිතිවිලි ක්‍රියාත්මක වන අන්දමත් පිළිබඳව සියලූම ජාතකකතාවන් ආශ්‍රය කර ගැනීමෙන් අවබෝධ කරගත හැකිවන්නේය. එහි සමහර කතාපුවත් මගින් සිත මනාව සංවර කරගැනීමෙන් ලබාගත් ජීවිත සාර්ථකත්වය පිළිබඳ විස්‌තර කර ඇති අතර ඇතැම් ජාතකකතාවලින් පෙන්වා දෙන්නේ සිත හික්‌මවා නොගැනීම හේතුවෙන් ජීවිත විනාශයට පමුණුවා ගත් ආකාරය පිළිබඳව ය.

අක්‌කෝසක භාරද්වාජ බුදුන් සරණ යැමට පළමුව බමුණුමත ගරු කළ අයෙකි. එසේම බුදුන් කෙරෙහි දැඩි කිපුනු බවින් ක්‍රියා කළ අයෙකි. බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න කාන්තාවක වූ ඔහුගේ භාර්යාවගේ ක්‍රියාකලාපය ගැන කිපුනු ඔහු බුදුන් හමුවට ගොස්‌ කිසිදු ගරු සරු බවක්‌ නොපෙන්වා දිගින් දිගටම දෝෂාරෝපණය කළේය. බැනීමෙන් වෙහෙසට පත් ඔහු බුදුරදුන් ඔහුගේ දෝෂාරෝපණය ගැන කම්පා නොවී සිටීමෙන් මහත් පුදුමයට පත්විය. එහි දී බුදුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත් ඔහු බුදුන් දේශනා කළ උපදේශය ඇසීමෙන් තවත් චිත්ත ප්‍රසාදයට පත්විය. එහි දී බුදුන් වහන්සේ ඔහුට පෙන්වා දුන්නේ ඔහුගේ දෝෂාරෝපණයන් තමන් භාර නොගත් බවත් යම් සේ නිවසට ආගන්තුක පිරිසක්‌ පැමිණි විටෙක හෝ ඤාතීන් පිරිසක්‌ පැමිණි විට ඔවුන් උදෙසා පිරිනමක භෝජනයක්‌ යම් සේ ඔවුන් සුහදව ප්‍රතික්‌ෂේප කරන්නේ ද ඔවුන් නිවසින් ගිය විට තමන් එය අනුභව කරන්නේ කෙසේ ද එසේම භාරද්වාජගේ දෝෂාරෝපණයන් තමන් සුහදව ප්‍රතික්‌ෂේප කළ බවත් එය නැවත ඔහුටම පිරිනැමූ බවයි. උන්වහන්සේගේ ශාන්ත ස්‌වරූපයෙන් භාරද්වාජ වඩාත් ප්‍රසාදයට පත්විය. අවසානයේ දී සසුනේ පැවිදිව අර්හත්වයට ද පත්විය.

තමන්ගේ නැතිවුණු ගවයෙක්‌ සොයා වනයේ සැරිසැරූ එක්‌ බමුණෙක්‌ ගසක්‌ මුල ශාන්ත ලීලාවෙන් වැඩ සිටි බුදුන් වෙත පැමිණ තමාගේ දුක්‌ ගැනවිල්ල ප්‍රකාශ කළේය. ඒ දෙස සාවදානව අසාසිටි උන්වහන්සේ නිසා ගිනිගෙන දැවෙනා වනයක්‌ ක්‍රමයෙන් නිවී යන්නාක්‌ මෙන් ඔහුගේ ඇවිලෙමින් තිබූ ශෝකය සහ දුක බුදුරදුන් ඉදිරියේ කියා පෑම නිසා මහත් සැනසිල්ලක්‌ ලැබුවේ ය. දැවෙන මිනිස්‌ සිත නිවා ගැනීම උදෙසා බුදුරදුන් දේශනා කර ඇති දේශනාවන් ඇසුරු කිරීමෙන් ශාන්තිය උදා කර ගත හැකි අන්දම මේ කතා පුවත් තුළින් මනාව ප්‍රකට වේ. බුදුරදුන් ඒ සඳහා අනුගමනය උපාය මාර්ගයන් අති ශ්‍රේෂ්ඨ ය. අනෙක්‌ ආගමික නායකයින්ට වඩා උන්වහන්සේ සුවිශේෂ වීමට ප්‍රබල සාධකයක්‌ වූයේ අන්‍යයන් කෙරෙහි උන්වහන්සේ සතුව පැවති මහාකරුණාවයි. එය සම කිරීමට හැකි තැනැත්තෙක්‌ මේ පොළෝ තලයේ නොසිටියේ ය.

මිනිසාගේ සිත දමනය කර ගැනීමට වෙහෙසීමෙන් පවිත්‍රත්වයට පත්විය හැකි අතර ම සමාධිය කරා යොමුවීමේ දී ද වැදගත් වේ. කෙළෙස්‌වලින් සංසිඳීමට යමෙක්‌ සිත දමනය කිරීම උදෙසා වෙහෙස වේ ද අධිෂ්ඨානශීලීව කටයුතු කරයි ද ඒ මිනිස්‌ සිතෙහි සුන්දරත්වය ස්‌වභාව සුන්දරත්වය අභිබවා සිටීමට සමත් ය. සිත විමුක්‌තිය කෙරෙහි මෙහෙය වූ භික්‌ෂූන් වහන්සේලා අර්හත්වයට පත්වීමේ අනතුරුව ලොව ස්‌වභාව සුන්දරත්වය දෙස බලා ඇත්තේ නිරාමිෂ ප්‍රීතියෙනි. උතුම් අර්හත්වයට පත්වීමෙන් අනතුරුව උන්වහන්සේලා දේශනා කළ උදානයන් ආශ්‍රයෙන් ද ඒ බව මනාව ප්‍රකට වේ. ඛුද්දක නිකායේ ථේරගාථා හා ථේරිගාථා ආශ්‍රයෙන් මේ බව තවදුරටත් අවබෝධ කරගත හැකිය. මොහොතින් මොහොත වෙනස්‌ වන සිත නිසා ඇති වන බොහෝ විනාශයන් වළක්‌වා ගැනීමේ නිවැරදි මාර්ගය වන්නේ මිනිස්‌ සිත පිවිතුරු කර ගැනීමයි. පිරිසිදු සිතකින් අනර්ථයක්‌ කිසිලෙසකින් හෝ තමන්ටත් අනුන්ටත් සිදු නොවන බව බුදුහිමියන් දේශනා කර ඇත. මිනිස්‌ සිත සොඳුරු පරිසරය හා බද්ධ වීමෙන් පරිසරයේ ද සොඳුරු බව ඇති කරන නිසා බෞද්ධ ප්‍රතිපත්තීන්හි නියුක්‌ත අප ද සොදුරු සිතක්‌ ඇති කර ගැනීම උදෙසා අධිෂ්ඨානශීලී විය යුතුම ය


බිබිල, යල්කුඹුර, මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය
පදියතලාවේ ඤාණවිමල හිමි


2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment