Labels

Saturday, August 29, 2015

සැනසීම උදාකරන ඉවසීම


අප සමාජය දෙස මතුපිටින් බලනවිට එහි සන්සුන්බවක්, හෝ සාමකාමීබවක් දැකිය හැකිවුවත් කොයි මොහොතක කවරකෙනෙක් නොසන්සුන්ව ගැටුමක් ඇතිකර ගනීදැයි කිවනොහැක. මඟුල් තුලාවකදී හෝ අවමඟුල් නිවසකදී පුද්ගලයන් පුද්ගලයන් අතරත් සමූහයක් අතරත් හටගන්නා ගැටුම්වලට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිස් සිතෙහි සැඟවී සිටින ක්‍රෝධය නම් වූ ක්ලේෂ ධර්මයයි. ඒ ඒ පුද්ගලයන් අතර තිබෙන ක්‍රෝධයේ අඩුවැඩිකම් ද දැකිය හැක. ක්‍රෝධය බහුල තැනැත්තා ක්‍රෝධ රිතයා ලෙස හඳුන්වනු ලැබේ.

ක්‍රෝධය මිනිස් සිතේ නිදාසිටින සර්පයකු වැනිය. එහෙත් සර්පයා කිසිවකු පසුපස හඹාගොස් දෂ්ට නොකරන අතර ඌට හිරිහැරයක් වන අවස්ථාවේ පමණක් දෂ්ට කරයි. මේ සර්පයන් අතර සතර වර්ගයක් ඇති බව පෙන්වාදෙන බුදුන් වහන්සේ එය මිනිසුන්ගේ ක්‍රෝධයේ ස්වභාවය සතර ආකාරයට සම්බන්ධකොට දක්වයි. ඒ මෙසේ ය.

1. දෂ්ට කළත් විස නැති සර්පයා
2. දෂ්ට කළ මොහොතේ පමණක් විස ඇති සර්පයා
3. දෂ්ට කළ මොහොතේ විස නැතත් පසුව මාරාන්තික විසගෙනෙන සර්පයා
4. දෂ්ටකළ මොහොතේත්, පසුවත් විස ඇති සර්පයා

පළමු සර්පයා දෂ්ට කළත් විසක් නැතිවාසේ අප සමාජයේ ඇතමෙක් ක්ෂණිකව තරහවෙයි. කෝපවෙයි. එහෙත් එම මොහොතේම ඔහුගේ කෝපය නිවෙයි. එබඳු කෙනෙකුගෙන් කිසිවකුට හිරිහැරයක් නොවෙයි. දෙවෙනි සර්පයා දෂ්ට කරයි. එහෙත් උගේ විස මාරාන්තික නොවේ. ඒ මොහොතේ පමණක් විස දැනේ. මෙසේ සමාජයේ කෙනෙක් කිසියම් හේතුවක් නිසා කුපිත වී ක්‍රියා කරයි. ඒ මොහොතේදීම ඔහුගේ කෝපය නිවී ප්‍රකෘති තත්ත්වයට පත්වෙයි. ඔහු පළිගැනීම් නොකරයි. තුන්වෙනි සර්පයා දෂ්ටකළ විට ඒ මොහොතේ විස නැතත් ඒ විස ශරීරගතවී පසුව මරු කැඳවයි. මෙබඳු භයානක මිනිසුන් හඳුනාගැනීමට අපහසුය. ඔහුගේ කෝපය සැණෙකින් ප්‍රකට නොවේ. ඒ මොහොතේ නිහඬව සිටින ඔහු කිසිවකුට නොදැනෙන අයුරින් මාරාන්තික පහර එල්ල කරයි. මෙලෙස පලිගන්නා ක්‍රෝධ චරිතයක් ඇති තැනැත්තේ තුන්වෙනි සර්ප කුලයට අයත් වේ. සතරවෙනි සර්පයා පැන පැන දෂ්ට කරයි. දෂ්ට කළ මොහොතේත් මරණයට පත්වන තුරාත් ඔහුගේ ක්‍රෝධය නිම නොවෙයි. බුදුරජාණන් වහන්සේ මිනිස් සිතේ හටගන්නා ක්‍රෝධයේ ස්වරූපය මෙසේ සර්ප වර්ග සතරකින් දක්වා ඇති අතර ක්‍රෝධය කෙසේවත් යහපත් එකක් නොවන බව වටහා ගත යුතු ය. පළමු තැනැත්තා කිසිවකුට අනතුරක් නොකරන ක්‍රෝධය ඇති කෙනෙකි. එහෙත් යමෙක් මොහොතකටවත් ක්‍රෝධයෙන් යුක්තනම් ඔහුගේ මුහුණ කට පවා ඒ මොහොතේම වෙනසකට ලක්වෙයි. හදවත් ගැස්ම වැඩිවෙයි. සැණෙකින් ඇතිවන ක්‍රෝධය යළි නූපදින ලෙස දියුණු කර ගැනීමට බුදුදහම මඟ පෙන්වා දෙයි.

සියලු සතුන්වෙත මෙත් කරුණා සිතිවිලි පැතිරවීම ක්‍රෝධය නසාලීමේ ප්‍රතිකර්මයයි. ඉවසීමේ ගුණය වර්ධනය කරගැනීමට ලෝකයේ යථා ස්වරූපය නිතර නිතරම මෙනෙහි කළ යුතුය. කෝපය නම් වූ සර්පයා මතුවන්නේ සමාජගත පුද්ගලයන්ගෙන් සිදුවන පාඩු හිංසා ආදිය නිසා පමණක් නොවේ. අව්වැසි, සුළං, ලෙඩ රෝග, අඩු පාඩු, මැසි මදුරු පීඩා සා පිපාසා වැනි කරුණු නිසාද මිනිසා ක්‍රෝධය කෝපය වර්ධනය කරගනියි. මෙසේ කෝපයට පත්වන තැනැත්තා නොසිතූ ආකාරයෙන් ප්‍රතික්‍රියා දක්වයි. ඔහු අතට හසුවන දේ පොළවේ ගසයි. නපුරු වචනයෙන් බැනවදියි. තලා පෙළා අනිකා මරණයටද පත් කරයි. කෝප වූ විට දෙමාපියන් සහෝදරයන් අඹු දරුවන් ගුරුවරුන් කියා ඔහුට වෙනසක් නැත. කවරෙකු වුවද නසා දැමීමට තරම් මේ ක්‍රෝධය දරුණුය. මෙතරම් භයානක ප්‍රතිඵල ගෙන දෙන කෝපය සිතතුළ දීර්ඝ කාලයක් තිස්සේ සැඟවී තිබීම හඳුන්වනු ලබන්නේ “උපනාහය” යනුවෙනි. බද්ධ වෛරය ලෙසද හඳුන්වන්නේ ක්‍රෝධයේ උපරිම අවස්ථාවයි. මෙය භවය පුරා සිත තුළ සැඟව සිටිනා තත්ත්වයකි.
ක්‍රෝධයෙන් කෙනෙක් කළ වරදකට එකිනෙක කිරීම දෙපිරිසටම විනාශය ගෙන දෙන වෛරය නම් වේ. මෙසේ කනට කනක්, ඇහැට ඇහැක්, වශයෙන් වෛරයෙන් වෛරය සංසිඳෙයයි. යමෙක් විශ්වාස කරත්නම් එබඳු සංසිඳීමෙක් කිසි කලෙක නොවන්නේමය. කවුරුත් අසා ඇති ‘වෛරයෙන් වෛරය නොසංසිෙඳ්' යන බුදු වදන හුදෙක් වචන ගැළපීමක් නොව සනාතනික පරම සත්‍යයකි. ඔබ සිත පතුළේ යමෙකු ගැන වෛරයක් තිබේනම් මේ මොහොතේම එය දුරුකර ගැනීම කළ යුතු ය. එමඟින් ඔබට මේ මොහොතේම සැනසිල්ල උදාවනු ඇත. උදාහරණයක් ගනිමු. ඔබේ කකුලෙහි කටුවක් ඇනී තිබේනම් එම කටුව තිබෙනතාක්කල් ඔබට රිදුම් දෙන්නේ ය. එය ඉවත් කිරීමෙන් ඔබට සහනයක් ලැබෙනු ඇත. ක්‍රෝධය ඉවත් කළ හැක්කේ, ඔබට කරදර කළ තැනැත්තා ගැන ඔබ සිතින් වධ විඳීමෙන් නොව ඔහුට මෛත්‍රිය වැඩීමෙන් පමණි.

ඔබට ඔබෙන් සිදුවූ වරදකට යමෙක් චෝදනා කළවිට ඔබ කෝපගන්නේ නම් එය ඔබේ දුර්වලකමකි. අනෙකාගේ චෝදනාවෙන් ඔබ කෝපවුවහොත් ඔබට කිසිදා ඔබේ වරද නිවැරදි කරගනු නොහැක. එබඳු කටුක වදනකින් කුපිත නොවී ඔබේ වැරැදි හදාගැනීමට එය අවස්ථාවක් කරගන්න. කෙනෙක් ඔබට හෝ අනෙකෙකුට යම් වරදක් අසාධාරණයක් කරන්නේ නම් ඔබ කෝප විය යුතු නැත. එසේ කෝපවීමෙන් අනෙකාගේ වරද නිවැරැදි කළ නොහැක. එබඳු වරදක් අනෙකෙකු කළේ නම් නිසි කල්බලා කරුණා මෛත්‍රීය පෙරදැරිකරගෙන එම වරද ඔහුට හෝ ඇයට පෙන්වා දීමට ඔබට හැකියාවක් තිබේනම් ඔබ හොඳ කල්‍යාණ මිත්‍රයෙකි.

මහ මඟ ගමන් කරන ඔබ අප බහුලව දකින දෙයක්නම් බොහෝ දෙනාගේ නොසන්සුන්කමයි. කෙනෙක් මාර්ග නීතියක් උල්ලංඝනය කරමින් ඔබට අවහිර කරනවිට ඔබ අනෙකාට ප්‍රතිචාර දක්වන්නේ කෝපයෙනි. වැරැදියට පාර පනින මඟියාට, ඔබ ඉක්මවා යන අනෙක් රියදුරාට ඔබ වාහන පදවන ගමන් දරුණු ලෙස බැණවදියි. කෙනෙක් කරන වරදකට කුපිත වීමෙන් ඔහුට බැණවැදීමෙන් ඔබට ලැබෙන වාසිය කුමක්ද? මෙබඳු චරිතයක් ඇති කවරෙකු වුවද දවස ගෙවන්නේ කෝපයෙනි. ඔහුගේ ජීවිතය අසහනයෙන් පිරුණකි. නිතර රෝගයන්ට ගොදුරු වන්නේ මෙබඳු ‘අනුන්ගේ වැරැදි පෙන්නන්න බැරි’ ක්‍රෝධ චරිතයක් ඇති තැනැත්තාය.
මහ මඟෙහි හෝ නිවසේ දී හෝ කිසිවෙක් කිසිවකු කෙරෙහි ඉක්මන් කෝපය කෙනෙකුට අහිත කරයි. ඔබේ දරුවාගේ වරදකට ඔබ ඉක්මන් ප්‍රතිචාර නොදැක්විය යුතුය. ඔබ කෝපයෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමෙන් වරද නිවැරදි කළ නොහැක. කෝපවීමෙන් ඔබටත් අනෙකාටත් දෙදෙනාටම යහපතක් නොවන්නේ ය.

අනත්ථ ජනතො කොධො
කොධො චිත්ත පකොපනො
භය මන්තරතො ජාතං
තං ජනො නාව බුජඣති 

 
ක්‍රෝධය විනාශය ඇතිකරයි. ක්‍රෝධය සිත කෝපකරවයි. ක්‍රෝධ ඇතුළතින් හටගන්නා බියක් වන අතර එය සත්ත්වයා නොදකී. එසේම කෝපයට පත් වූ තැනැත්තා කළයුතු දෙයත් නොකළ යුතු දෙයත් නොදකී. ඔහු ධර්මය නොදකී. ක්‍රෝධය මිනිසා යටත්කරගෙන සිටිමින් මහත් අඳුරකට මිනිසා ඇදදමයි.

කුධො අත්ථං න ජානාති
කුධො ධම්මං න පස්සති
අන්ධ මන්තච තදා හොති
යං කොධො සහතෙ නරං 

 
සමාජයේ බොහෝ අසාධාරණකම් දකිනවිට ඔබටත් මටත් මහත් අසහනයක් දැනෙනු ඇත. නොසන්සුන් බවක්ද ඇතිවේ. කෝපය බුර බුරා නැඟීමටද ඉඩ ඇත. අනෙකාට වන අසාධාරණයකදී අධිසංවේදී වන ඔබ කෝපවනු ඇත. මඳක් ඔබ කල්පනා කරන්න. එසේ කුපිතවීමෙන් ඔබට ඒ සමාජ අසාධාරණය පහකළ හැකිද? එබඳු අසාධාරණයදී ඔබට කුපිත නොවී ඉවසීමට උපදෙස් දීමෙන් අදහස් කරන්නේ ඔබට දුර්වලයකු ලෙස මීගවයකු ලෙස සියල්ල විඳදරා ගැනීමට නොවේ. කුපිතවීම දුර්වලකමක් මිස ඉවසීම දුර්වලකමක් නොවේ. එබඳු අසාධාරණ අවස්ථාවකදී ඒ සඳහා නිවැරැදි විසඳුමක් ලබාදීමට ඔබට හැකිවන්නේ කෝපනොවීමෙනි. කුපිතව ලබාදෙන විසඳුමක් සැබෑ විසඳුමක් නොවන්නේ ය.
කෙනෙකුගෙන් සිදුවන වරදක් ඔබට නිවැරැදි කළ නොහැකිනම් එය ඔබේ ඉවසීම පුරුදු කර ගැනීමට අවස්ථාවක් කරගන්න. සමාජයේ හැම කෙනෙකුම එක හා සමානව නිවැරැදි අය බවට පත් කළ නොහැක. ඒ නිසා අනුන්ගේ දොස් ඔබට ඉවසීම පුරුදු කිරීමට පැමිණි වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සැළකීමට උත්සාහ දරන්න.

බලවත් ක්‍රෝධය මිනිසා උමතු කරවයි. කෝපයෙන් උමතුවූ තැනැත්තාට කිසිවක් නොපෙනේ. ගෙදර දොරේ බඩු භාණ්ඩ පොළොවේ ගසා අඹු දරුවන්, මව්පියන් මරාදැමීමට තරම් ක්‍රෝධය සාහසික වෙයි. මව්පියන් මැරීම වැනි ආනන්තරීය පාපකර්මයක් හැරෙන්නට ක්‍රෝධයෙන් සිදුකළ අපරාධ ක්ෂාන්තියෙන් ඉවසීමෙන් පිරිසුදු කළ හැක. අපරාධ කරුවා කෙරෙහි පවා දඬුවම් නොදී මෛත්‍රියෙන් යුතුව පිළියම් කළේ නම් ඔහු පුනරුත්ථාපනය කිරීමට තරම් බුදුදහම පොහොසත්ය. වෛරය ජනිතවන්නේ සත්‍ය නොපෙනීම නිසාය. ප්‍රඥාවන්තයා කෝප නොවී සැනසුම උදාකරගනී. අන්‍යයාටද සැනසුම උදාකරයි.
කෙනෙක් ඔබට කෙනෙහිලිකම් කරද්දී ඔබ ඉවසා සිටින්නේ නම් එයින් ඔබ නිවටයකු වන්නේ නැත. සැබෑ ඉවසීම වන්නේ ඔබට වැරැදි කරන තැනැත්තාට පරහරදීමට ඔබට හැකිවුවත් ඉවසා සිටීමයි. බොහෝ දෙනෙක් ඉවසා සිටින්නේ අනෙකාට ඇති බිය නිසයි. යමෙක් තමාට වඩා දුර්වලයකුගේ කරදර ඉවසා සිටින්නේනම් ඔහු පවු දුරුකළ කෙනෙකි.

යො හවෙ බලවා සතෙතා
දුබ්බලස්ස කිතිකඛති
තමානු පරමං ඛන්තිං
නිච්චං ඛමති දුබ්බලො 

 
වත්මන් ලෝකයෙහි එබඳු ඉවසීමක් ප්‍රායෝගික නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඉවසීම සනාතන අගයකින් යුක්ත වේ. ඉවසීමේද සීමාවක් තිබිය යුතුයයි කෙනෙක් කියනු අසන්නට ලැබේ. එය සාවද්‍යය. සීමාවක් නැති එකම දෙය ඉවසීමයි. ඉවසීමෙන් තොර සැනසීමක් නොමැත්තේ ය.


 මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 29 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment