Labels

Sunday, August 30, 2015

යොවුන්විය සහ විවාහය


 කායික වාචසික මෙන්ම මානසික විපර්යාසයක් වන ‘යොබ්බන මදය’ පිළිබඳ විමසා බැලීමට යි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ යොවුන්විය හා විවාහය පිළිබඳ බුදුදහම ඇසුරින් විමසා බැලීමටයි. සෑම සමාජයකම මානව සබඳතාවන්ගේ ප්‍රාථමික ලක්‍ෂණ අඩංගු වන්නේ පවුල වශයෙන් ව්‍යවහාර කරන සමාජ සංස්ථාවේය. ඒ අතර විවාහයට හිමිවන්නේ තිරසාර වටිනාකමකි. පෙරදිග රටවල විවාහයට විශේෂ තැනක් හිමිවන අතර අවිවාහක ජීවිතය පිළිකුලට ලක්කරයි. ගිහිව සිටින්නේ නම් අනිවාර්යයෙන් විවාහ විය යුතුය යන්න ඒ සංස්කෘතීන්ගේ පිළිගත් මතයකි. විවාහ නොවී සිටින්නේ නම් තපස් දිවියක් ගත කළ යුතුය. නො එසේ නම් පැවිදි විය යුතුය යන්න පිළිගෙන ඇත. විවාහය කාල, දීප, දේශ, සංස්කෘති හා ආගම් අනුව විවිධාකාර වෙනස්කම්වලට භාජනය වුවද සමස්ත සමාජය තුළම දක්නට ලැබෙන විශේෂ බැඳීමකි.

 
විවාහය යනුවෙන් සරලව අදහස් කරන්නේ ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර ඇතිවන නීත්‍යානුකූල හා ආචාරශීලී ලිංගික සබඳතාවයි. මෙයින් ස්වභාව ධර්මය අපේක්ෂා කරන්නේ සමාජ පැවැත්ම සඳහා දරුවන් ලැබීමයි. එය විවාහ ජීවිතයේ උපරිම සතුට ලෙස විවාහකයන් සලකයි. ඒ අනුව බලනවිට විවාහ ජීවිතයේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ දරුවන් ලැබීම බව ප්‍රකට වෙයි. එය සමාජයේ ප්‍රගමනයට ද හේතු වෙයි.
විවාහය, ආවාහ හා විවාහ යනුවෙන් කොටස් දෙකක් වේ. ආවාහ යන්නෙන් තම සහකාරිය සහකාරයා විසින් තම නිවසට කැන්දාගෙන ඒමත්, විවාහ යන්නෙන් සහකාරයා සහකාරියගේ නිවසේ පදිංචියට යෑමත් අදහස් වන නමුත් වර්තමානය වනවිට විවාහය යන්න පොදුවේ මේ දෙකටම භාවිත කරනු ලැබේ. පොදුජන වහරට අනුව විවාහය යන්න අර්ථ ගැන්වී ඇත්තේ ඉතා වටිනා අදහසකිනි. එනම්,

වි – විශ්වාසය
වා - වාසනාව
හ – හදවත් බැඳීම
ය – යහපැවැත්ම



විශ්වාසයෙන් වාසනාවත් සමග හදවත් දෙකක බැඳීමෙන් අනතුරුව යහපැවැත්මෙන් ජීවත්වීම විවාහය යන්නෙහි අර්ථය බව අපේ පැරැන්නන් විසින් විශ්වාස කොට ඇත. සැබවින්ම එය සත්‍යයකි. අපේ පැරැණි සමාජයේ විවාහය දේවත්වයෙන් සලකා ඇත. ධර්මය තුළද මෙසේ යහපත්ව ගත කරන යුගදිවිය හඳුන්වා ඇත්තේ දෙවියෙක් දෙවඟනක් සමග කරන වාසයක් ලෙසය.
සිදුහත් කුමරා යශෝධරා කුමරියත් සමඟ යුගදිවියට එළඹෙන්නේ වයස අවුරුදු දාසයේ දී ය. එය එකල එම සමාජය තුළ තිබූ චාරිත්‍රයකි. අවුරුදු දාසය වනවිට සිප්සතර හැදෑරීම අවසන් කරන කුමරුවන්ට සුදුසු කුමරියක් විවාහ කර දීම දෙමාපියන් සතු වගකීම විය. සුදුසු කාලය පැමිණි කළ දූදරුවන්ගේ ආවාහ – විවාහ කටයුතු සිදුකර දීම දෙමාපියන්ගේ යුතුකමක් ලෙස සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. වර්තමානයේ ඇති නීති, රීති අනුව නීත්‍යානුකූ®ල විවාහයක් සඳහා අවුරුදු දහඅටක් සම්පූර්ණවීම ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශවයටම අවශ්‍ය වේ.

මෙසේ තරුණ වියේ දී යුගදිවියට පත්වන තරුණයාට මෙන්ම තරුණියට ද තම යුගදිවිය සාර්ථක කර ගැනීම සඳහා වැදගත් වන උපදෙස් රාශියක් බෞද්ධ සාහිත්‍යයෙන් ලබා දී ඇත. මෙම ලිපි මාලාවෙන් අප බලාපොරොත්තු වන්නේ යුග දිවියට එළඹි දම්පතීන්ට බෞද්ධ සාහිත්‍යයෙන් ලබා දී ඇති උපදෙස් ක්‍රමානුකූ®ලව ඉදිරිපත් කොට ඔබ යුගදිවිය සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ලබා දීමයි.
යුග දිවියට එළෙඹෙන තරුණයා මෙන්ම තරුණියද සමත්විය යුතු වැදගත් ගුණාංග තුනක් පිළිබඳව බුදු දහම අවධාරණය කරයි. එනම්, සමසීල, සමසද්ධා හා සමපඤ්ඤා යන ගුණාංග තුනයි.
‘සමසීල’ යනු යුගදිවියට එළෙඹෙන තරුණයා මෙන්ම තරුණියත් සමාන සීලයෙන් යුක්ත විය යුතුය. එනම් දෙදෙනාම එක හා සමාන යහපත් චර්යාවෙන් සමන්විතවිය යුතුය. දෙදෙනාම ප්‍රාණඝාතයෙන් වෙන් විය යුතුය. දෙදෙනාම සොරකමින් වෙන් විය යුතුය. දෙදෙනාම කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකිය යුතුය. දෙදෙනාම බොරුකීමෙන් වැළකිය යුතුය. දෙදෙනාම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිය යුතුය. මෙසේ පස් වැදෑරුම් වූ සීලයෙන් දෙදෙනාම යුක්තවන විට විශ්වාසවන්ත යුගදිවියක් ගත කිරීමට වාසනාව උදාවේ. එම යුගදිවියෙහි ගැටලු නැතිවන අතර ඔවුනට ලැබෙන දරුවන් ද වාසනාවන්ත ගුණවත් මෙන්ම බුද්ධිමත් දරුවන් වේ.

සමසද්ධා යනු දෙදෙනාම එකම විශ්වාසයකින් යුක්ත විය යුතු බවයි. එනම් බිරිඳ මෙන්ම සැමියා ද තම ආගම – දහම විශ්වාස කළ යුතුය. දෙදෙනාම ඔවුනොවුන් කෙරෙහි ආදරයෙන් මෙන්ම ගෞරවයෙන් කටයුතු කළ යුතුය. සැමියා බිරිඳ කෙරෙහි ගෞරව දැක්විය යුතුය. පැහැදීමෙන් කටයුතු කළයුතුය.
හිත රිදෙන කතා නොකළ යුතුය. ක්‍රියා නොකළ යුතුය. කයින් වචනයෙන් මෙන්ම සිතින් ද සිය බිරිඳ කෙරෙහි ස්නේහයෙන් කටයුතු කළ යුතුය. බිරිඳ ද සිය ස්වාමියා කෙරෙහි මෙලෙසින් ම කටයුතු කළ යුතුය. දෙදෙනාගෙන් කෙනෙක් යහපත් යෝජනාවක් කළ කල්හි අනෙක් තැනැත්තා එයට උදවු කළ යුතුය. සැමියාට දාන චේතනාවක් පහළව එය බිරිඳට දැන් වූ කල්හි බිරිඳ එය සතුටින් පිළිගෙන එය අගය කොට ඒ සඳහා උපරිම කැපකිරීම් කළ යුතුය. බිරිඳ වැදගත් යෝජනාවක් කළ කල්හි ද සැමියා එය පිළිගෙන, අගයකොට තම උපරිමයෙන් ඒ සඳහා උදවු කළ යුතුය. එකිනෙකාගේ අවශ්‍යතාවන් දැන හඳුනාගෙන එය සපුරාලීම සඳහා කැපවීම දෙදෙනා තුළම ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය වර්ධනය වීමට හේතු වේ.
අද අපට දක්නට ලැබෙන බොහෝ පවුල් අවුල්වලට හේතු වී ඇත්තේ මේ එකිනෙකා අතර ඇති විශ්වාසය පළුදු වීමයි. බොහෝ විට සැමියා ගෙනෙන වැදගත් යෝජනාවලට බිරිඳ අකැමැති වෙයි. එසේත් නැතිනම් බිරිඳ ගෙනෙන වැදගත් යෝජනාවලට ස්වාමියා අකැමැති වෙයි. මේ තුළින් දෙදෙනා අතර අවිශ්වාසය හා කලකිරීම ඇති වන අතර එය පවුල තුළ ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවීමට හේතු වෙයි. එබැවින් සමසද්ධා යන්න යහපත් යුගදිවියක් ගතකිරීම සඳහා අඹුසැමියන් අතර තිබිය යුතු වැදගත් ගුණාංගයක් බව මින් පැහැදිලි වෙයි.
සමපඤ්ඤා යනුවෙන් අදහස් කරන්නේ යුග දිවියට එළඹෙන දෙදෙනාම එක හා සමාන බුද්ධි මට්ටමකින් යුක්ත විය යුතු බවයි. එනම් ස්වාමියා මෙන්ම බිරිඳ ද දැනුමින් සමාන විය යුතුය යන්නයි. කායික වශයෙන් ස්වාමියා බිරිඳට වඩා ශක්තිමත් වුව ද බුද්ධියෙන් ස්ත්‍රියත් පුරුෂයත් යන දෙදෙනාම සමවන බව බුදුදහම අවධාරණය කරයි. එබැවින් යුග දිවියට එළඹෙන දෙදෙනාගේම අවබෝධය හා දැනුම සම වේ නම් එය යුගදිවිය සාර්ථක වීමට මහෝපකාරී වෙයි. සැමියා බුද්ධිමත්ව බිරිඳ මෝඩ වුවහොත් නිවස තුළ නිසි කළමනාකාරීත්වයක් ගෙන යෑමට නොහැකි වෙයි. ස්වාමියා උපයන දේ නිකරුණේ විනාශයට පත් කරයි. එය නිවසේ දියුණුවට මෙන්ම යුගදිවියේ යහපැවැත්මට ද මහත් බාධාවකි. එමෙන්ම බිරිඳ බුද්්ධිමත්ව ස්වාමියා මෝඩ වුව හොත් එයද පවුලේ ගැටලු ඇතිවීමට ඍජුව බලපායි.
ධනෝපායන මාර්ගයන් නිසි අයුරින් පවත්වාගෙන යෑමට එවැනි ස්වාමියන්ට නොහැකි වන අතර බිරිඳ විසින් දෙනු ලබන උපදෙස් ලබා ගැනීමට ද මැළිකමක් දක්වයි. එය මදිකමක් ලෙස සිතයි. නිතර බිරිඳ සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කරයි. දරුවන් කෙරෙහි නොරුස්සන ගතියක් ඇති වේ. නිසි අයුරින් තම වෘත්තිය සිදු කරගෙන යෑමට නොහැකිවන අතර ඒ තුළින් ඇතිවන ආතතිය නිසා විවිධ අසනීප තත්ත්වයන්ට ද පත් වේ. මෙය යහපත් යුග දිවියක් ගෙනයෑමට මහත් බාධාවකි. ඒ නිසාමය බුදුදහම යුගදිවියට එළඹෙන දෙදෙනා අතර සමපඤ්ඤා යන ගුණාංගය තිබිය යුතු බව අවධාරණය කරනුයේ’
මේ අනුව බලනවිට සමසීල, සමසද්දා හා සමපඤ්ඤා යන ගුණාංග යුගදිවියට එළඹෙන දම්පතීන් තුළ පැවතීමෙන් හා අනුගමනය කිරීමෙන් වාසනාවන්ත මෙන්ම යහපත් යුගදිවියකට මගපාදන බව පැහැදිලි වෙයි.

 ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ජනවාරි 24 වන සිකුරාදා   දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment