අනුන් විසින් අඩුපාඩුකම් දක්වමින් සිදු කරනු ලබන ඇනුම් බැණුම් ආදියෙන් වැඩක් නැත. අනුන් විසින් කළනොකළ දෑ සෙවීම අනර්ථකරය. සෑම විටම තමාවිසින් කළයුතු නොකළ යුතු දෑ සෙවීම වැදගත්ය. ධම්ම පදයේ පුප්ඵවග්ගයේ දී සිව්වනක් පිරිසම අමතා බුදුරදුන් මෙසේ දේශනා කරනුයේ දෙලොව දියුණුව සලසා ගැනීමේ වුවමනාව පැහැදිලි කර දීම සඳහාය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නපරේසං විලෝමානි
නපරේසං කතාකතං
අත්තනෝව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානිච
ධම්මපදය පුප්ඵවග්ගය
පින්වත්නි,
අනුන් විසින් අඩුපාඩුකම් දක්වමින් සිදු කරනු ලබන ඇනුම් බැණුම් ආදියෙන් වැඩක් නැත. අනුන් විසින් කළනොකළ දෑ සෙවීම අනර්ථකරය. සෑම විටම තමාවිසින් කළයුතු නොකළ යුතු දෑ සෙවීම වැදගත්ය. ධම්ම පදයේ පුප්ඵවග්ගයේ දී සිව්වනක් පිරිසම අමතා බුදුරදුන් මෙසේ දේශනා කරනුයේ දෙලොව දියුණුව සලසා ගැනීමේ වුවමනාව පැහැදිලි කර දීම සඳහාය.
මේ අප ගත කරන්නේ වස් සමයයි. වස්කාලසීමාව තුළ පැවිද්දා මෙන්ම ගිහියාද ඉහත ගුණය තුළ වෙනදාට වඩා පිහිටිය යුතු ය. වස් කාලසීමාව සිව්වතාවක් පිරිසෙහිම උභයාර්ථ සාධනය ඇති කරගැනීමට වෙහෙස විය යුතු කාල සීමාවයි. පෙරවස් හා පසුවස් සමාදන්වීමෙන් අපේක්ෂා කරනුයේ භික්ෂුව මෙන්ම ගිහියාද සන්තානගත සංවර්ධනය මෙන්ම සමාජගත සංවර්ධනය ඇතිකිරීම කළයුතු බවයි.
වස්සූපානයිඛන්ධකයට අනුව බුදුරදුන් භික්ෂූන්ට වස් විසීමට අනුදැන වදාළහ. එනම් “අනුජානාමි භික්ඛවේ වස්සානෙවස්සං උපගන්තුං” වශයෙනි. මෙම නියමයට අනුව වස් විසින කාලය පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගුණි.
එහිදී උන්වහන්සේ වස් විසීමට සුදුසු අවස්ථා දෙකක් අනුදැන වදාරන්ට යෙදුණි. එනම් පෙරවස් හා පසුවස් වශයෙනි. සෑම උපසම්පදා භික්ෂුවක්ම පෙර වස් සමාදන්වීමට නොහැකි වන්නේ නම් පසුවස් සමාදන් විය යුතු ය. පෙරවස යනු ඇසළ පොහොයට පසුදින වන අතර පසුවස යනු නිකිණි පොහොයට පසුදින සමාදන්වන වස් ශික්ෂාවය එම ශික්ෂාව වනුයේ,
“ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධවස්සං උපේමි”
සාමාන්‍යයෙන් උපසපන් භික්ෂුවක් ශික්ෂාවන් 227 ක් සමාදන්වන අතර මේ කාල සීමාවට පමණක් සුවිශේෂී ශික්ෂාව වස් ශික්ෂා පදයයි. මෙසේ බුදුරදුන් භික්ෂූන් අමතා වස් ශික්ෂාවක් අනුදැන වදාරන්නේද කරුණු කිහිපයක් මතය. ස්වභාව දහමට ඇති මෛත්‍රිය, භික්ෂුවගේ ප්‍රසාදය වැඩිවීමෙන්ම ගිහි පැවිදි දෙපක්ෂය වෙනකාලවලට වඩා ආධ්‍යාත්මික සංවර්ධනයට යොමු කිරීම සඳහාය.
ුදුරදුන් නිරන්තරව භික්ෂූන් වහන්සේට අනුදැන වදාළේ කෙලෙස් වනය සිඳින්න. එහෙත් ගස්වැල් වලට හානි නොකරන්න. එසේම නොපැහැදුණු ඇත්තන් පහදවන්න. පැහැදුණු පිරිස්හි ප්‍රසාදය වර්ධනය කරන්න යනුවෙනි. වස් කාල සීමා තුළත් භික්ෂුව සංචාරය කිරීම තුළ මෙම අරමුණු ඉටු නොවනු බැවින් වස්විසීම අනුදැන වදාළහ.
වස් ආරාධනා කරනගිහියා මෙන්ම සමාදන්වන භික්ෂුව ආධ්‍යාත්මය ගොඩනැගීමට අවශ්‍ය කාරණාවන්ගෙන් යුක්ත වීම පෙර මාතෘකා කළ ගාථාවෙන් අවධාරණය කරයි. එනම් දැහැත් ගොටුවක් පූජා කර ආරාධනා කිරීම හා බාරගත් භික්ෂුව කඨිනයෙහි අනුසස් ලැබෙන පරිදි චරිත සංවර්ධනය කළ යුතු ය.
මේ කාල සීමාවේ දී වැඩි වැඩියෙන් නිර්මාණය කළ යුත්තේ යහපත් සංකල්ප ක්‍රියාකාරකම් මිස ගොඩනැඟිලි නොවේ.
අනුන්විසින් කළ නොකළ දේ ගැන කතා කිරීම හෝ තරගයට පින්කම්කොට කෙලෙස් වැඩෙනවා වෙනුවට කුසල් වැඩෙන ක්‍රියා සිදුකිරීම අවශ්‍යය. විශේෂයෙන් පන්සල් මුල්කොට ගනිමින් ශ්‍රද්ධාව ප්‍රඥාව වැඩෙන ක්‍රියාවන්ම සිදුකළ යුතු ය. මල් පූජා ධර්ම දේශනා, භාවනා වැඩසටහන් මෙන්ම දෙපාර්ශයම සම්මා සංකප්පයෙන් යුක්ත විය යුතු ය. කුසල් සිදුකළ යුතු ය.
තමා තුළින් වෙනදා සිදුවන කායික වාචසික අකුසල් නොවීමට දෙපාර්ශ්වයම අදිටන් කරගත යුතු ය. මේ කාල සීමාවම ආරම්භ වන්නේ උතුම් බුද්ධෝපස්ථානයක් මූලික කොටගෙනය. එනම් දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන ඇසළ පෙරහර ඇතුළු පූජාවන් සමඟිනි. තම හදවත තුළ මෙන්ම තම විහාරස්ථාන මූලිකකොට එවන් බුද්ධෝපස්ථාන ගිලානෝපස්ථාන, පරාර්ථ චර්යාවන් සිදු කිරීමට මෙම කාලය කැප කළ හැකිය. තම ක්‍රියාවන් පිළිබඳ නැවත නැවත සිතමින් ආයති සංවරය ඇති කරගනිමින් ආධ්‍යාත්මය ගොඩනගා ගැනීමට කටයුතු කළ යුතු ය.
සිව්වණක් පිරිසම අමතා බුදුරදුන් විශේෂයෙන් දේශනා කරනුයේ මෙම කාලසීමාවේදී කෙලෙස් වැඩෙන දේ නොව කෙලෙස් නැතිවන දෑ කළ යුතු බවය. ඒ සඳහා දෙතිස් කථාවෙන් යුක්ත නොවී සුදුසු දශවිධ කතාවෙන් යුක්ත වීම වැදගත්ය. කෙලෙස් වැඩෙන අපාගතවීමට මග කියන රාජ කථා, සොරුන් ගැන කතා, ආහාර, ඇඳුම්, මල් මාලා, සුවඳවර්ග, රථවාහන, ගම්, නියම් ගම් ස්ත්‍රීන්, මත්පැන්, යුද්ධ ආදී කථාවන්ගෙන් ඉවත්වීම වැදගත්ය. එසේම රථවිනීත සූත්‍රයෙහි දක්වන ලද සීල, චිත්ත, දිට්ඨි, කංඛාවිතරණ මග්ගාමග්ගඤාණ දස්සන, පටිපදාඤාන දස්සන, ඤාන දස්සන විශුද්ධි පිළිබඳ කතාවෙන් යුක්තවීම වැදගත්ය. පිරිසක් වශයෙන් පන්සලේ දී හෝ තම නිවස තුළ දැහැමිව දෙලොව වැඩදායි සංකල්ප සාකච්ඡා කිරීමට මෙම කාලය මිඩංගු කළයුතුය.
වස් අවසානයේ කඨිනයක ආනිසංස හා එය ලබන භික්ෂුවට ශාසනික වරප්‍රසාද කැප එවන් පසුබිමක පමණි. මන්දයත් ඇසළ පොහොය දින පෙර වස් සමාදන්වීම වස් ආරාධනාව ස්තූපයක පදනම දැමීම හා සමානය. කොත පැළඳීම යනු කඨින චීවර පූජාවයි. කොතක් පැළඳීමට නම් අංගසම්පූර්ණ ස්ථූපයක් අවශ්‍යය. වස් තුන්මාසය පුරාවටම ගිහියා හා පැවිද්දා විසින් මෙම ස්තූපයේ ආසනය පේසාවළලු, ගර්භය, හතරැස්කොටුව, දේවතා කොටුව සැකසිය යුතු ය. එම සැකසීම යනු දෙපාර්ශවයේම ආධ්‍යාත්මික දියුණුව හා විනය පැනවීම් උල්ලංඝනය නොකිරීමයි. ආධ්‍යාත්මික සංවරය ඇති කර ගැනීම සඳහා කය වචන සිත සංවරවීම හොඳ බවත් පංචේන්ද්‍රියන්ගේ පාලනය තිබීම හොඳ යහපත් බවත් ‘කායේන සංවරෝ සාධු’ ලෙස දක්වයි. මෙම සංවරය නිසාම සියලු දුක් නැතිකොට නිවණ සාධනය කරගත හැකිබව දක්වයි.
වස් සීමාව අවසානයේ දී මහා පවාරණයෙන් පවාරණවීම තුළ කඨින පින්කමට සුදුසුකම් ඇතිවේ. එහිදී ද සිදුවනුයේ තම වැරදි පිළිබඳ ස්වයං විවේචනයක් සිදුකරගනිමින් ආයති සංවරය සකසා ගැනීමයි. වස් ආරාධනා කරන ලද දායකයන්ට වස් පින්කමට පෙර අඩුපාඩුකම් කල්පනාකර නැවත එවැනි දෙයක් සිදු නොවන තැනට වගබලා ගත හැකිය. දෙපිරිසම එසේ සිදුකරන්නේ නම් අටමහකුසල්හි පළමු කුසලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුසලයක් ලෙස සිදු කිරීමේ හැකියාව පවතී. අන්‍යයන් නිවැරදි කිරීමට පෙර තමා නිවැරදිව ධර්මාවබෝධයෙන් යුතුව තරගයට නොව කුසල් ලැබීමේ අවබෝධයෙන් සිදු කළ යුතු ය. ඒ සඳහා මෙම ධර්ම මහඟු ඔසුවක් වේවා.
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
සියඹලාගොඩ ධම්මින්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 29 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment