Labels

Monday, August 31, 2015

සොබාදහමේ මිහිරියාවෙන් මතුවන අවබෝධය


බුදුදහම සුන්දරත්වය, රසාස්වාදය දකින්නේ කාමය උපදවා ගෙන නොවේ. නැත්නම් එහි ඇලී ගැලී නොවේ. සත්‍ය අවබෝධ කරගත් ආර්ය උතුමන් වහන්සේ සියලු දෙයෙහිම සුන්දරත්වය දකින්නේ නිකෙලෙස් ඇසින්. පරිසරයේ ඇති සුන්දරත්වය පවා අප විඳගත යුත්තේ එහි ඇලී ගැලී නොවන බව තේරුම් ගත යුතු වනවා.


බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර වදාළ ධර්මය සසරින් මිදීමට පෙන්වන ලද ගමන් මාර්ගයක්. බුදුදහම විරාගී දර්ශනයක්. සසරින් ගැලවීමට මිස සසරෙහි ඇලීමට එහි උගන්වා නැහැ.
එවන් දහමක් දර්ශනයක් තුළ සාහිත්‍ය කලාවකට ඉඩක් තිබේද යන ප්‍රශ්නය යම් අයකුට ඇතිවිය හැකියි. රසාස්වාදය, රසවින්දනය හා සෞන්දර්යය වැනි සංකල්ප කරා විරාගී දර්ශනයක් ඇති අයකුට යෑමට පුළුවන් ද?

සෞන්දර්යාත්මකව ලෝකය දකින්නට අනිත්‍ය, දුක්ඛ,අනාත්ම අවබෝධ කරගැනීමට වෙර දරන අයකුට දැක්මක් ඇතිවේද?

එමෙන්ම සසර දුක් සහිතය, ඉන් මිදීමට නම් අත්හැරීම හුරු කළ යුතුයි යනුවෙන් උගන්වන දහමක කලා රසාස්වාදයක්, සාහිත්‍යයක් තිබේද යන්න යම් අයකුට ප්‍රශ්නයක් විය හැකියි.
එහෙත් විමසිල්ලෙන් බැලූවිට අපට පෙනෙන කරුණක් වන්නේ බුදුදහම අසුබවාදයක් නොවන බවයි. බුදුදහම නිරතුරුවම යථාර්ථය පෙන්වා දෙන දහමක්. අපගේ ඇස් ඉදිරිපිටම දැක ගතහැකි සියලු සිද්ධීන්ගේ යථාර්ථය පෙන්වා දීම බුදුදහමින් සිදු කර තිබෙනවා. මේ දුක් සහිත සසර තුළ පුද්ගලයාට ලැබිය හැකි සුවය, සන්තුට්ඨිය ගැන බුදුදහමේ පැහැදිලිව දක්වා තිබෙනවා.
‘සන්තුට්ඨි පරමං ධනං’ යනුවෙන් බුදුදහමේ උගන්වා තිබෙනවා. අත්ථී සැප, භෝග සැප, අණන සැප සහ අනවජ්ජ සැප යනාදී සැප පිළිබඳව බුදුදහමේ හොඳින් විවරණය කෙරෙනවා.
අත්ථී සැප යනුවෙන් දක්වා ඇත්තේ යම් අයකුට වස්තුව භව භෝග යනාදිය ඇතිවිට තමාට එසේ වස්තුව ඇත යනුවෙන් සිතා ලබන සතුටයි. භෝග සැප නම් එම වස්තුව පරිහරණයෙන් ලබන සතුටයි. අණන සැප නම් කිසිවකුට ණය නොවී සිටීමේ සැපයයි. අනවජ්ජ සැප නම් ධාර්මිකව යහපත්ව තමන් ඉපැයූ දේ පිළිබඳව ඇති කර ගන්නා සතුටයි.

මෙලොව සන්තුෂ්ටියක් නැති පරලොව සන්තුෂ්ටියක් ගැන බුදුදහමේ දැක්වෙන්නේ නැහැ. මෙලොවදී තෘප්තිමත් බවක් නැතිව සතුටක් නොමැතිව දිවි ගෙවන අයකුට පරලොව සැපයක් ඇති වේ යැයි බුදුදහමේ දැක්වෙන්නේ නැහැ. බුදුදහම මෙලොව දියුණුව මැනැවින් අගය කර තිබෙනවා.
පස්කම් සැප විඳීමට ගිහියකුට බාධාවක් ඇතැයි බුදුදහමේ දක්වා නැහැ. එහෙත් පංචශීල ප්‍රතිපදාව රැකීම අනිවාර්යයෙන් කළයුතු බව මෙහිදී හොඳින් මතක තබා ගත යුතුවනවා.
සිඟාලෝවාද සූත්‍රය, මංගල සූත්‍රය ගෙන බලන්න. පුද්ගලයකුට මෙලොව දිවි ගෙවීමට ,මෙලොව සැප විඳීමට අඩංගු කරුණු රැසක් එහි දක්වා තිබෙනවා.
මෙයින් අප මැනැවින් තේරුම් ගත යුතු වන්නේ බුදුදහම අසුබවාදී දහමක් නොවන අතර එය ජීවිතයේ යථාර්ථය පෙන්වා දෙන දර්ශනයක් බවයි.
එමෙන්ම අප හොඳින් සිහි තබා ගත යුතු තවත් කරුණක් තිබෙනවා. බුදුදහම සුන්දරත්වය, රසාස්වාදය දකින්නේ කාමය උපදවා ගෙන නොවේ. නැත්නම් එහි ඇලී ගැලී නොවේ. සත්‍ය අවබෝධ කරගත් ආර්ය උතුමන් වහන්සේ සියලු දෙයහිම සුන්දරත්වය දකින්නේ නිකෙලෙස් ඇසින්. පරිසරයේ ඇති සුන්දරත්වය පවා අප විඳගත යුත්තේ එහි ඇලී ගැලී නොවන බව තේරුම් ගත යුතු වනවා.
බුදුරජාණන් වහන්සේද තමන් වහන්සේගේ සිත් ගත් ස්ථාන ගැන ආනන්ද හිමියන්ට දන්වා තිබෙනවා. ‘චාපාල චෛත්‍යය, ගෝතමක චෛත්‍යය’ තම සිත් ගත් ස්ථාන බව උන්වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ පමණක් නොවෙයි රහතන්වහන්සේද නොයෙක් අවස්ථාවල සොබාදහම වර්ණනා කර තිබෙනවා. සබ්බක රහතන් වහන්සේ තම ලෙනෙහි වාසය කරමින් සිටියදී අහස ගුගුරවමින් මහා වර්ෂාවක ලකුණු පහළ වුණා. උන්වහන්සේ තම සිතුවිල්ල කවියට නැඟුවා.

සුදු පියාපත් ඇති කෙකිණී
දැක කළු මේකුළා
තැතිගත්තී බියෙන් සොයන්නී සැඟවෙන තැන්
නදියාජකරණී ගලායයි අතිරමණි


සුදු පැහැති පියාපත් ඇති කෙකණිය කළු මහා වළාකුළ දැක තැතිගෙන සැඟවීමට තැනක් සොයයි. මේ සියල්ල අතර කිසිවක් නොදත්තකු මෙන් අජකරණී නදිය රමණීය ලෙස ගලායයි.
මේ ස්වභාව ධර්මයේ සැබෑ ස්වභාවයයි. ස්වභාවධර්මය තුළින්ම අපට අවබෝධය ඇති කරගත හැකියි. ඉපදීම, මරණය, ලෙඩවීම ලෝකයේ සැබෑ ස්වරූපයයි. එහෙත් අනෙක් ඕනෑම සිදුවීමකට මුහුණදීමට අපට යම් හැකියාවක් තිබුනද ජරා, මරණ උදෙසා මුහුණදීමට අපට හැකියාවක් නැහැ. අප උත්සාහ කරන්නෙත් නැහැ. බොහෝ විට අප දිවි ගෙවන්නේ නොමැරෙන අය ලෙසින්. මරණයට අප කිසිදු සූදානමක් නැහැ. සච්ච විභංග සූත්‍රයේ දැක්වෙන්නේ තමන් ජරාවට, ව්‍යාධියට පැමිණෙනවාට පුද්ගලයෝ අකැමැති බවයි. අනෙක් අයට එසේ වූවාට තමන්ට එසේ නොවන බව සිතමින් කල් ගෙවීමට උත්සාහ දරන බවයි.
අප උත්සාහ කරන්නේ තමාගේ වෙනස්වීමට මුහුණ නොදී මඟ හැර යාමටයි. වයසට යන විට තරුණ වීමට ක්‍රම සොයා යන්නේ එම නිසයි.
ස්වභාව ධර්මයට මෙසේ වැරැදි ප්‍රතිචාර දක්වා ඵලක් නැහැ.
ධම්මපදයේ එන මේ ගාථාව බලන්න.

රමණීයානි අරඤ්ඤානි
යත්‍ථ න රමතී ජනො
වීත රාගා රමෙස්සන්ති
න තෙ කාමගවේසිනො


වනාන්තරය රමණීයයි, අලංකාරයි. එහෙත් ජනතාව වනාන්තරයට කැමැති නැහැ. එහෙත් රාගයෙන් ඈත් වූ රහතන් වහන්සේ ඒ සඳහා තම මනැස මෙහෙයවනවා .උන්වහන්සේ සුන්දරත්වය දැහැමි මනැසින් දැකීමයි ඊට හේතුව.
බුදුරජාණන් වහන්සේ මෙන්ම රහතන් වහන්සේත් සියලු සුන්දරත්වයන් විඳ ගත්තේ නිකෙලෙස් ඇසින්. බෞද්ධ සාහිත්‍යයක් නිර්මාණය වී ඇත්තේ ඒ නිකෙලෙස් සුන්දරත්වයේ ප්‍රතිඵලයක් ලෙසින්. සූත්‍ර පිටකයට ගද්‍ය පද්‍යයන් නිර්මාණය වී තිබෙනවා. සූත්‍ර පිටකයට පස්වන සියවසේ රචනා කළ අටුවාවන්හි කතා වස්තු රැසක් දක්නට තිබෙනවා.
ධම්ම පදට්ඨ කතා පදනම් කරගෙන දඹදෙණි යුගයේදී ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කළා. සද්ධර්මරත්නාවලියේ කතාන්දර සිංහලට පරිවර්තනය කළා පමණක් නොවෙයි එම කතා විචිත්‍රවත් කළා. විශේෂයෙන්ම ගැමියන්ගේ හදවතට සමීප වන අයුරින් උපමා රූපක යොදා ගැමියාට බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කළා.
එමෙන්ම ජාතකට්ඨ කතාවත් කුරුණෑගල යුගයේදී සිංහල බසට හරවා ගැමියන්ගේ හදවතට සමීප කරවන්නට සමත් වුණා. පසු කාලයේදී මාර්ටින් වික්‍රමසිංහ වගේ ගත්කතුවරුන් ජාතක කතා විශ්ව සාහිත්‍යයට එකතු කරන්නත් කටයුතු කළා. බටහිර නවකතා හැටක් හැත්තෑවක් කියැවීමෙන් ලබා ගන්නා අත්දැකීම්වලට වඩා දැනුමක් ජාතක කතා දෙකක් කියැවීමෙන් ලබා ගැනීමට පුළුවන් බව මාර්ටින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

අපේ ගැමියාගේ හදවතට ළංවී ගැමියාට ජීවන අවබෝධයක් ලබාදී සාරධර්ම උගන්වමින් සාහිත්‍ය රසාස්වාදයක් ලබාදීමට බෞද්ධ සාහිත්‍ය සමත් වුණා. මෙහි විශේෂත්වය වන්නේ ගැමියා නොදැනීම සාරධර්ම සහ යහපත් ජීවන මාර්ග ගැන හැඟීමක් ඔහුගේ හදවතට සමීපවීමයි.
සමස්ත ත්‍රිපිටකයම කතා වස්තුවලින් පිරිලා. ඒ සියලු කතාවලින් හොඳ පණිවුඩයක් ජනතාවට ලබා දුන්නා. අපේ සිංහල සාහිත්‍ය වසර 2500 ක් තිස්සේ පෝෂණය වූයේ බෞද්ධ සංස්කෘතියෙන් .
එමෙන්ම අපේ ගද්‍ය පද්‍ය සාහිත්‍ය අතීතයේ සිටම පෝෂණය වුණේ බෞද්ධ හුරුවක් ගනිමින්, බෞද්ධ කතා වස්තු බීජ කරගනිමින්.
ගුත්තිල ඇදුරුතුමාගේ කතාව ඇතුළත් කර ගුත්තිල කාව්‍ය බිහිවුණා. කුස ජාතකය ඇසුරෙන් කව් සිළුමිණ බිහිවුණා. මඛාදේව ජාතකය ඇසුරින් මුවදෙව්දාවත් සස ජාතකය ඇසුරින් සසදාවතත් බිහිවුණා. බොහෝ විට ජාතක කතා මේ ගද්‍ය පද්‍ය කෘතින්ට ඉවහල් වුණා.
තරුණ බිරිඳක් ආවාහ කරගත් මහලු බමුණකුට විඳීමට සිදුවූ දුක් ගැහැට විස්තර වන සත්තුභත්ත ජාතකය කාව්‍යශේඛරයට කතා වස්තුව වුණා. කිදුරියක සිය පතිවත දහමේ බලයෙන්, මිය ගිය ඇගේ සැමියාට යළි ජීවය ලබා දුන් අයුරු විස්තර වන චන්දකින්නර ජාතකය සඳ කිඳුරු දෑ කවට හේතු වුණා.
එමෙන්ම පොදු ජනයා යහමඟට හැරවීමට තමන් උත්සාහ ගත් බව ධර්මසේන හිමියන් පූජාවලියේ පැහැදිලිව දක්වා තිබෙනවා.
“.....එසේ හෙයින් යම් කෙනෙක් නුවණ මඳවත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභීයෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම් හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලි නම් ග්‍රන්ථයක් කරම්හ”
මිථ්‍යා කථා ආදි ඵල රහිත දේ ඉගෙනීමෙන් වළකින ලෙස උන්වහන්සේ මේ කෘතියේ දක්වා තිබෙනවා.
බෞද්ධ සාහිත්‍යයෙන් තොර සිංහල සාහිත්‍යයක් අපට නොමැති බව මෙයින් පැහැදිලියි. අප සැම විටම තේරුම් ගත යුත්තේ සාරධර්ම අපට ලබාදීමට ඉවහල් වු සාහිත්‍ය කලාවක් බිහිවූයේ බුදුදහමින් ලත් ආභාෂයෙන් බවයි. පිරිපුන් මිනිසුන් එදා බිහිවූයේ මේ උසස් සාහිත්‍ය රස විඳිමින් ජීවන මාර්ගය සකසා ගත් නිසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 09 වන බ්‍රහස්පතින්දා   දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment