Labels

Tuesday, August 25, 2015

මෝහය


සිගාල සිටු පුත් මුල්කරගෙන ගිහි සමාජයට ආචාර ධර්ම පද්ධතියක් දේශනා කරන බුදුන් වහන්සේ පුද්ගලයා අන්තගාමී නොවිය යුතු අගතිගාමී නොවිය යුතු කරුණු හතරක් දේශනා කරයි. ඉන් එක් අගතිගාමී කරුණකි මෝහය, හෙවත් මුලාව. මෝඩකම යනු ද එයම ය. මෝඩකම මැනිය හැකි එක් මිනුම් දණ්ඩකි පුද්ගල ක්‍රියාකාරීත්වය.

යම් ක්‍රියාවක් තමාට අවඩ පිණිස දුක පිණිස හේතු වේද? (අත්තෙවෟ බාදබාදායපි සංවත්තේයිය) එම ක්‍රියාව තමන්ගෙන් පරිබාහිරව සමාජයට අවඩ පිණිස දුක පිණිස බාදා පිණිස පවතීද? තමාටත් අනුන්ටත් බාදා පිණිස අවඩ පිණිස (උභයවු්‍යබාදායපි සංවත්තේය්‍ය) එබඳු ක්‍රියාවක් යමෙක් කරයි ද එය අනුවණ ක්‍රියාවකි. මෝඩ ක්‍රියාවකි. අයහපත ගෙන දෙන්නෙකි.
පුද්ගලයා මෝහය හෙවත් මුලාවෙන් අගතියට පත් වූ විට කම්පල ද? නොදැකි (කම්මානං පලං විපාකො) ඒ අනුව නරක ක්‍රියාවට නංවා හොඳ ප්‍රතිඵලයක් හොඳ ක්‍රියාවට නංවා නරක ප්‍රතිඵලත් බලාපොරොත්තු වීම මෝහයේ ස්වභාවයයි. මෝහයෙන් අගතියට පත් පුද්ගලයා දුක්ක, සමුදය, නිරෝධ, මාර්ග යන සිව්සස් දහම් නොදකී.

“දුක්ඛ”

දුක මත ලෝව පිහිටියේද සන්තානගත දුක ද? සමාජ ගත දුක ද? මෝහයෙන් අගතියට පත් පුද්ගලයා වටහා නොගනී. හේතුවද? නොදකි. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ද නොදකි. දුකත්, දුක්ඛ සමුදයත්, දුත්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධ ප්‍රතිපදාවත් නොදකි.
මෝහයෙන් අගතියට පත් පුද්ගලයා තමාත් තමන්ගෙන් පරිබාහිර වූ ලෝකයත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් නොදකි. සන්තානගත වශයෙන් ද සමාජගත වශයෙන් ද තමන් ගැනවත් සමාජය ගැනවත් නොසිතයි. එසේ නොසිතන මෝඩ පුද්ගලයා තම ක්‍රියාව මනා ලෙස සිදුකරයි. එම ක්‍රියාව කුසලමය අකුසලමය වශයෙන් නොදකී.
එය වඩාත් සනාථ කරමින් මෝහයෙන් අගතිගාමී නොවුණු පුද්ගලයා නුවණැත්තා සන්තානගත වශයෙන් ද? සමාජගත වශයෙන් ද? සව්සස් දහමට අනුවත් ත්‍රිලක්‍ෂණ ධර්මයට අනුවත් තම ක්‍රියාවන් කුසලමය අකුසලමය වශයෙන් තේරුම් බේරුම් කරගෙන ක්‍රියාවට නඟයි. එය තමාටත්, සමාජයටත් යහපතක්මය. සැප පිණිසමය. ඒ අනුව මෝහයෙන් අගතියට පත් පුහු දුන් ලෝකයා තම තමන්ගේ පංචකාම සම්පත් භුක්ති විඳීම අරගලයක්, ගැටුමක් කර ගනියි. පංචකාම හෙවත් පස ඉඳුරන් පිනවීම. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම. ගැටුමක් කර ගනියි. මෙකී අගතියෙන් තොර වූ පුද්ගලයා “ආර්ය ශ්‍රාවකයකි”, “සැබෑ බෞද්ධයෙකි”.... මෝහයෙන් අගතියට පත් පුද්ගලයා ස්වසන්තානගත සියලු බලාපොරොත්තු, සමාජගත බලාපොරොත්තු, මුදුන්පත් කර ගැනීමේදී හොඳ, නරක, කුසල්, අකුසල් වශයෙන් නොදකී. ක්‍රියාවට නංවයි. කම් ඵල ගොඩනඟයි. සසර ගමන දිගු කර ගනියි.
මෝහයෙන් තොර පුද්ගලයා, ස්වසන්තානගත බලාපොරොත්තුත්, සමාජගත බලාපොරොත්තුත් මුදුන්පත් කර ගැනීමේදී හොඳ, නරක, කුසල්, අකුසල් වශයෙන් දකී. ක්‍රියාවට නන්වයි. කම්පල ගොඩනඟයි. සසර ගමන කෙටි කර ගනියි. සසර ජය ගනියි... නිවන් අවබෝධය කර ගනියි.
මෝහයෙන් මංමුලාවට පත්වුණු පුද්ගලයා තම මෝඩකම ප්‍රකාශ කරමින් ඒ අනුවට ම ක්‍රියා කරයි. තමන් අඳුරේ ඉඳගෙන අඳුරටම අත වනා ගැනීමක් කර ගනියි. යම්කිසි ක්‍රියාක් කිරීමට කලින් එය හොඳ ද, නරක ද අනුවණ හෙවත් මෝඩ ක්‍රියාවක් ද? නුවණැති ක්‍රියාවක් ද? යන්න හොඳින් විමසීම සොයා බැලීම සිද්ධ කළ යුතුය.
තමන් පව් වැඩක් කිරීමේදී එහි අග මුල සොයා බැලිය යුතුය. තමන් පිං වැඩන පිංකම් කරනවා නම් මනා සංයමයකින් යුක්තව එහි හොඳ පැත්ත දෙස බලා මෝහය දුරලා අමෝහය හෙවත් නුවණ දෙස බලා 
වැඩ කටයුතු කළ යුතුය.











 දිනමින පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment