අපගේ තථාගතයන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයේ කණ්ණමුණ්ඩ (කණ් සිදුණු) එක් පේ‍්‍රතියක් සඳහා මෙම දේශනාව වදාළා.
කාශ්‍යප බුදුන් වහන්සේගේ සමයේ කිම්බිල නම් නගරයක් තිබුණා. එහි සෝවාන් වූ එක්තරා උපාසකයෙක් හා ඔහුට සමාන අදහස් ඇති යහලුවන් පන්සිය දෙනෙක් ඉතාමත් ශ්‍රද්ධාවන්තව තෙරුවන් සරණ ගොස් ජීවත් වුණා. ඔවුන් සංඝයා වහන්සේලා වැඩවසන ස්ථාන මල්වතු, ඒ දඬු දැමීම සක්මන්මලු ඉදිකිරීම ආදිය නිරන්තරයෙන් සාදා පූජා කළා. භික්ෂූන් උදෙසා විහාරයක් කරවා එය පූජාකොට නිතර නිතර එහි යමින් උන්වහන්සේලාට උපස්ථාන කළා. ඒ උපාසකවරුන්ගේ බිරියන්ද ශ්‍රද්ධාවන්ත උපාසිකාවෝ යි.
ඔවුනොවුන් හා සමගිව දන්පැන් පූජා කරමින් තෙල් මල් පහන් සුවඳ පූජා ගෙන කලින් කලට විහාරයට ගියා. ඒ යන අතර තුරදී අතරමග තිබෙන විශ්‍රාම ශාලාවෙහි නවාතැන් ගෙන විහාරයට යාමට පුරුදුව සිටියා.
එක් දිනක් පුරුෂයන් කීප දෙනෙක් ඒ ස්තී‍්‍රන් දැක ඔවුන්ගේ රූපය කෙරෙහි සිත බැඳ ගත්තා. ඒ ස්ත්‍රින් ඉතා ශීලාචාරසම්පන්න බැවින් මේ ස්ත්‍රින්ගෙන් එක් අයකුගේ හෝ සිල් බිඳින්නට කවුරුන් හෝ සමත් වේදැයි කියා විමසුවා. ඔවුන් අතරෙන් එක් පුරුෂයෙක් ඉදිරිපත් වී “මම මේ කාන්තාවන්ගෙන් එක් අයෙකුගේ හෝ සිල් බිඳිමියි” කීවා. එය ඇසු අනෙක් පුරුෂයෝ පුදුමයට පත් වී “ඔබ එසේ කරනවානම් අප ඔබට මසුරන් දහසක් දෙමි. ඔබ පැරදුනහොත් අපට මසුරන් දහසක් දිය යුතුයි” ඔවුන් ඔට්ටුවක් ඇල්ලුවා. ඔබලා පුදුම නොවන්න. මම එසේ කරමියි රන් මසුරන් වලට කෑදරව ඔහු කියා සිටියා.
එක් දිනක් වස්තු ලෝභයෙන් හා බියෙන් යුතුව ඔහු නොයෙක් ආකාරයට සුමියුරු වී වාදනය කොට මිහිරි හඬින් සරාගි ගීතයක් ගායනා කළා. ඒ ගීත රාවයට ඒ ස්ත්‍රින්ගෙන් එක් ස්ත්‍රියක සිත ඇදුනා. ඇයගේ සිල් බිඳවා ඇය සමඟ වැරැදිකාම සේවනයේ යෙදීමට මේ පුරුෂයා සමත් වූ හෙයින් ඔහු ඔට්ටුව දිනුවා. ඔට්ටුව පැරදුණු පිරිස මේ කාරණය අර කාන්තාවගේ ස්වාමියාට කියා සිටියා. ඔහු තම බිරිදගෙන් ඇසුවේ, “නුඹ වරදෙහි හැසුරුණු තැනැත්තියක් බව අර පුරුෂයෝ කියනවා. එය සැබෑවක් ද?”
“මා එහෙම වරදක් කළේ නැහැ. මා මේ පිළිබඳව කිසිවක් දන්නෙත් නැහැ. ස්වාමියා ඒ වචන විශ්වාස නොකළ හෙයින් ඇය ළඟ සිටි බල්ලා පෙන්වා කියා සිටියා “මා එසේ වරදක් කළානම් මේ කණ් සිදුණු බල්ලා මම උපන් භවයක් පාසා කා දමාවි” යැයි සාප කර ගත්තා.
එතැන සිටි සෙසු අන් ස්ත්‍රින් පන්සියද මැය අනාචාරයේ යෙදුන බව දනියි. ඔවුන්ගේ ස්වාමිවරු ඒ බව ඇසූ විට “අප එහෙම දෙයක් දන්නේ නැහැ. අපි බොරු කියනවානම් මැයගේ දාසියෝ වේවායි” කියා ඔවුන්ද සාප කර ගත්තා.
වරදෙහි හැසුරුණු ඒ ස්ත්‍රිය සිතේ හට ගත් පසුතැවිල්ල නිසා ටික කලකින් මිය ගොස් හිමාලයේ මහවිල් සතෙන් එකක් වු “කණ්ණමුණ්ඩ” නම් විල් ඉවුර සමීපයෙහි විමාන පේ‍්‍රතියක්ව ඉපදුනවා. ඇගේ විමානය සමීපයේ ඇයගේ කර්ම විපාක විඳීමට සුදුසු එක් පොකුණක්ද පහළ වුණා. සෙසු ස්ත්‍රින් සමග කළ බොරු දිවිරීම නිසා ඇගේ දාසියන්ව උපන්නා.
ඒ පේ‍්‍රතිය පෙර කරන ලද පුණ්‍ය විපාක නිසා දවල් කාලයේ දිව්‍ය සම්පත් ද අනුභව කොට රාත්‍රි කාලයේ පාප කර්ම බලයෙන් යහනෙන් නැගිට පොකුණ අසලට යනවා. එවිට ඒ පොකුණේ ඇත් නාම්බෙක් විතර වූ කළු බල්ලෙක් එළියට එනවා. ඒ බල්ලාගේ රූපය ඉතා බියකරුයි. කණ් සිදුණු තියුණු වූත් දැඩි වූත් දිලිසෙන අඟුරු මෙන් ඇස් ඇති තියුණු නියපොතු ඇති රළු දිග දුර්වර්ණ ලෝම ඇති කළු බල්ලෙක් ඒ පොකුණෙන් ඇවිත් අර පේ‍්‍රතියව බිම දමා මස් කා ඇටසැකිල්ල පමණක් ඉතිරි කොට දත් වලින් ඇදගෙන ඇවිත් පොකුණට දමා අතුරුදන් වෙනවා. ඒ පේ‍්‍රතිය පොකුණට වැටුණ පසු නැවත ප්‍රකෘති රූපය ලබා විමානයට පැමිණෙනවා. අනෙක් ස්ත්‍රින්ද දාසියන්ව විවිධ දුක් විඳිනවා. මෙසේ දුක් විඳීමින් අවුරුදු පන්සිය පනහක් ගෙවුණා.
මේ පේ‍්‍රතියන් පිරිසද පුරුෂයන්ගෙන් වෙන්ව දිවි සැප විඳිමින් කාලය ගතකළා. කර්ණමුණ්ඩ නම් විලෙන් ආරම්භ වන පර්වතයේ ඇති සිදුරකින් ගංගානම් ගඟට වැටෙන එක් ගඟක් තිබුණා. මේ පේ‍්‍රතියන් වසන විමානයට කිට්ටුව දිව රස ඵල ඇති අඹ, දෙල්, කොස් ආදි ගස්වලින් යුත් උයනක් සහ සමාන කැළෑ ප්‍රදේශයක්ද තිබුණා.
ඒ ස්ත්‍රින් දිනක් සිතුවා අපි මේ ඉදුනු අඹ ගසෙන් ගෙඩි ගෙන එය මේ ගඟට දමමු. පාවී යන මේ අඹ ගෙඩි දැක අඹ ලෝභයෙන් යම් පුරුෂයෙක් මෙහි පැමිණියේ නම් අපි ඔහු සමග කම්සුව විඳිමුයි කතිකාකරගෙන අඹ කඩා ගඟට දැමුවා. ඒ අඹ වතුරේ පාවී ගියා. සමහර ඒවා තාපසයන්ද, වැද්දන්ද ගත්තා. සමහර අඹ කවුඩෝ රැගෙන ගියා. සමහර අඹ ජලයේම රැදුණා. එක අඹ ගෙඩියක් ජල පහරට හසු වී බරණැස් නුවරට ගියා.
බරණැස් රජතුමා ලෝහ දැලකින් ගඟේ යම් ප්‍රමාණයක් වටකරගෙන ඒ තුළ දිය නාමින් සිටියා. දියේ ගසාගෙන ආ ඒ අඹ ගෙඩිය ලෝහ දැලේ රැදුණා. වර්ණයෙන් හා සුවඳීන් යුත් ඒ අඹ ගෙඩිය රාජ පුරුෂයෝ රජතුමාට දුන්නා. රජ ඒ අඹ ගෙඩියෙන් කෑල්ලක් ගෙන ඒ කුමක්ද කියා දැන ගැනීමට සිර දඬුවම් විඳින සොරෙකුට දුන්නා. ඔහු ඒක කා මේ අඹ ගෙඩිය ඉතා මිහිරි රසයි. මෙය දිව්‍යමය අඹ ගෙඩියක් යැයි කියා සිටියා. රජු ඔහුට තව අඹ කෑල්ලක් දුන්නා. එය කෑ පසු ඔහුගේ ශරීරයේ තිබු රැළි ගතිය නැතිවුණා. පැසුනු කෙස් නැති වී අතිශය මනහර රූපයෙන් යුත් තරුණයෙක් ලෙස පෙනුණා. රජතුමා පුදුමයට පත්ව මෙවැනි අඹ ගෙඩි කොහේ හැදෙන්නේ දැයි විමසුවා. මිනිසුන් කියා සිටියේ දේවයන් වහන්ස, හිමවත් පර්වත ප්‍රාන්තයේ ඒ අඹ ඇති බවයි. රජතුමා එහි යාමට පාර දන්නා වැද්දන් ගෙන්වා එක් වැද්දෙකුට කහවනු දහසක් දී මේ අඹ ගෙඩියක් ගෙන එන්නැයි පවසා පිටත් කළා.
ඒ වැද්දා කහවනු අඹු දරුවන්ට දී කර්ණාමුණ්ඩ විලට යාම පිණිස මනුස්ස වාසය ද ඉක්මවා ගමන් කළා. කර්ණමුණ්ඩ විලෙන් මෙහා හැට යොදුනක් පමණ ප්‍රදේශයේදී එක් තාපසයෙක් දැක ඔහුගෙන් ගමන් මාර්ගය අසා තවත් යොදුන් තිහක් දුර ගියා. තවත් තාපසයන් කීප දෙනෙකුගෙන් පාර අසාගෙන බොහෝ දුර ගොස් අවසානයේ හමු වූ තාපසයාගෙන් පාර ඇසුවා. ඔහු කියා සිටියේ යම් තැනක පර්වත සිදුරක් දක්කොත් රාත්‍රීයේදී පමණක් හුලු අත්තක් ගෙන ඇතුලුවන ලෙසයි. මේ ගංගාව රෑ කාලයේ නැති බවත් ඔහු ඒ වැද්දට කියා සිටියා. එහිදී යොදුන් කීපයක් ගිය තැන අඹ වත්තක් දකින්නට ලැබෙන බවද පැවසුවා. ඵලබරින් යුත් ගස් ද නා නා විධ පක්ෂීන්ද ඇති ඉති සිත්කළු අඹ වනයකට ඔහු පැමිණියා.
ඒ විමානයේ පේ‍්‍රතියෝ මොහුව දුරදීම දැක මොහු මට අයිතිය, මට අයිතියි යනුවෙන් කියමින් ඔහු ලඟට ආවා. ඔහුට දිවි සැප විඳීන්නට පිනක් නොතිබු නිසා ස්ත්‍රින් දැක බිය වී නැවතත් බරණැසට දුව ගියා. රජතුමාට සියලු විස්තර කියා සිටියා. රජු අඹ කෑමටත් ස්ත්‍රින් දැකීමටත් ආශාවක් ඉපදුන නිසා රාජ්‍ය පාලනය ඇමැතියන්ට බාරකර මුව දඩයමේ යන අයෙකු මෙන් දුනු හීතල අරගෙන වැද්දා සමග පිටත් වුණා. දින කීපයක් ගොස් වැද්දා මග නවතා හිරු උදාවීමට පෙර අඹ වනයට ආවා.
ඒ ස්ත්‍රින් අලුත උපන් දෙවියකු සේ රජතුමා දැක පෙරමගට ගොස් ආදර ගරුබුහුමන් ඇතිව පිළිගෙන නහවා දිවි සළු අන්දවා මල් පලඳවා රජතුමා මැනවින් සරසා විමානයට කැඳවාගෙන ගොස් නොයෙක් නොයෙක් මිහිරි ආහාර රස දිව බොජුන් වළදන්නට දුන්නා.
මෙසේ අවුරුදු 150 ඉක්ම ගිය පසු එක් දිනක් පේ‍්‍රත ස්ත්‍රිය පොකුණ තෙරට යනු දැක කුමක් සඳහා මේ මහ රෑ මැය යන්නේදැයි විමසනු පිණිස රජ පිටුපසින් ගියා. පොකුණට ගිය විට බල්ලා ඈ කා දමනු දැක මේ නම් මැගේ සතුරෙක් වන්නේ යැයි සිතා විෂ පෙව් හීයක් විඳ අර බල්ලා මරා දමනු ලැබුවා. ස්ත්‍රිය පොකුණට බස්සවා නැවත රූපය තිබූ පරිදිම ලැබීමෙන් පසු ගාථා දහයකින් ඇයගෙන් මේ විස්තරය විමසා සිටියා.
රනින් කළ පඩි පේලි තියෙනවා පෝරු තියෙනවා. රන්වැලි තමයි අතුරල තිබෙන්නේ. මිහිරි සුවඳ හමන මනෝරම්‍ය වු සුදු නෙළුම් පිපිල තිබෙනවා. ඒ පොකුණ වටේටම ගස් තිබෙනවා. නා-නා සුවඳ වර්ග හැම තැනම හමනවා. හංසයන් කොස්වාළිහිණියන් මිහිරි නාද පතුරවනවා. සක්වා ලිහිණියනුත් මිහිරි නාද පතුරනවා. නොයෙක් කුරුලු කොබෙයින්ගෙන් පිරිලා තිබෙන්නේ. නානා කුරුලු නාදයෙන් යුක්තයි.
දිසාවම බබුළවාගෙන එන දිව්‍ය දාසියන් පන්සියයක් ඉන්නවා. ඒ සියලු දෙනාම ඔබේ පිරිවර සේනාවයි.ඔබ වෙනුවෙන් තිබෙන රනින් කළ යහන් රාශියක් තිබෙනවා. දිග් ලොම් ඇති කොඳු පලස් අතුරලා තියෙනවා. ඒ යහන්වල වාසය කරන කොට ඔබට සියලු සැප සමෘද්ධිමත් වෙනවා.
මැදියම් රැයෙහි දී ඔබ අවදි වෙනවා. අවදි වෙලා උද්‍යානයේ භූමියට යනවා. ඔබ එතැන එක්තරා පොකුණක් ළඟට යනවා. ඒ නිල් තණ ඇති සුන්දර පොකුණු තිරයේ ඔබ හිටගෙන ඉන්නවා. එතකොට මුඩුකණ් ඇති බල්ලෙක් ඇවිත් ඔබේ සියලු අඟපසඟ කා දානවා. ඒ බල්ලා කාපු ඔබේ ඇගේ ඉතිරි වෙන්නේ ඇට සැකිල්ල විතරයි. ඉතින් ඔබ කරන්නේ පොකුණට බහින එක. හරි පුදුමයි. එතකොට ආයෙමත් ඔබේ කය පැරැණි විදිහට හැදෙනවා.
දැන් ඔබ සියලු ඇඟ පසඟින් පිරිපුන් සුන්දර පි‍්‍රය දැකුම් ඇති තැනැත්තියක්. රෙද්දකින් ඇඟ පොරෝගෙන ඔබ මා ළඟට පැමිණෙනවා.
ඔබ කයින් වචනයෙන් මනසින් මොනවගේ පාප කර්මයක්ද කළේ? මොන කර්ම විපාකයක් නිසාද ඔබේ ඇඟ මේ මුඩු කණ් ඇති බල්ලෙක් කාලා දමන්නේ.
කිම්බිලා කියලා නගරයක් තිබුණා. ඒ නගරයේ ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් හිටියා. ඒ ගෘහපතියාගේ බිරිඳ මමයි. මම ඒ ස්වාමියා ඉක්මවා ගියා. දුස්සිල වුණා. මගේ ස්වාමියා කියා සිටියා “ඔබ දුරාචාරයේ හැසිරෙනවා. ඒක සුදුසු දෙයක් නෙමෙයි කියා. එතකොට මම මහ දරුණු විදිහට දිවුරලා බොරු කිව්වා. අනේ මම නම් කයින්වත් සිතින්වත් ඔබව ඉක්මවා ගියේ නැහැ’ කියලා. මම යම් හෙයකින් කයෙන් සිතෙන් හරි ඔබව ඉක්මවා යනවා නම් මේ මුඩු කණ් ඇති බල්ලෙක් ඇවිදින් මගේ අඟපසඟ කාලා දමාපුවාවේ කියලා.
ඒ දුරාචාර කර්මයේ විපාකයත් බොරු කියපු කර්මයේ විපාකයත් යන කර්ම විපාක දෙක නිසා දැන් අවුරුදු හත්සියයක් මුළුල්ලේ මම මේ දුක් විඳිනවා. මුඩු කණ් ඇති බල්ලෙක් ඇවිදින් මගේ ඇඟ පසඟ කාලා දමනවා. රජතුමනි, ඔබ මට බොහෝ උපකාර කළා. මගේ හිතසුව පිණිසමයි ඔබ මෙහි ආවේ. දැන් මට අර කණ්මුඩු බල්ලාගෙන් නිදහස් වුණා. දැන් මට සෝකයක් නැහැ. භයකුත් නැහැ.
රජතුමනි, මම ඔබට නමස්කාර කරමි. ඇඳිලි බැඳගෙන මම ආයාචනා කරන්නේ ඔබ මාත් සමඟ දිව්‍ය වූ කම්සුව විඳින්න එන්න.
සොඳුර මා ඔබත් සමඟ දිව්‍ය වු කම්සුව වින්දා. දැන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඉක්මණින්ම මාව බරණැස් නුවරට ඇරලවන්න කියලයි.
පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 අගෝස්තු 24 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment