ප්‍රශ්නය - පිනක් කරල හැමවිටම අනුන්ටත් පින් අනුමෝදන් කිරිම බොහෝ බොදුනුවන්ගේ සිරිතයි. පිනක් කිරීමේදී එසේ සිදු කරන වා නම් අකුසලයක් සිදු කර අනුන් වෙත අනුමෝදන් කළ නොහැකි ද?
පිළිතුර - අනුමෝදන්වීම යනු අනුව සතුටු වීමයි. අනුව සතුටු වේවි.අකුසලයක් කරලත් එසේ අනුමෝදන් වෙන්න කැමැති වෙයි ද? අකුසලයක් කරල අනුන් වෙත එය අනුමෝදන් කලත් සිතින්, කයින්, වචනයෙන් ඒක හොඳීන් කියල ඊට හවුල්කාරයෙක් වෙන්න කවුද? කැමැති?
ප්‍රශ්නය - බොදුනුවන්ගේ නිවෙස්වල බොහෝදුරට කුඩා හෝ බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කර ගෞරව දැක්වීම සාමාන්‍ය සිරිතක්.
එහෙත් කලාතුරකින් නිවැසියකුට කුමන හෝ කරදරයක් ඇති වූ විට ඒ පිළිමවහන්සේ තැන්පත් කැර තැබීමෙන් එසේ සිදුවන බවට වරින්වර සමහර අය අදහස් පළ කරනවා. මෙසේ නිවසක බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කැර තැබීමෙන් එසේ සිදුවන බවට වරින්වර සමහර අය අදහස් පළ කරනවා. මෙසේ නිවසක බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කැර ගෞරව දැක්වීම එවැන්නකට බලපානවද?
පිළිතුර - බුදුහාමුදුරුවෝ වැඩ හිඳිනවා යැයි සිතා එසේ ගෞරව කළ හැකි නම් එය කෙතරම් වටිනා දෙයක් ද?
ගෞරව සත්කාර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිවසක තබාගෙන ගෞරව දැක්වීමෙන් කිසි වරදක් සිදුවන්නේ නෑ. බුරුමය වගේ රටවල සෑම නිවසකම බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරගෙන ගෞරව දක්වනවා. ඒ මිනිස්සුන්ට නම් ඔය කියන කිසි කරදරයක් ඇතිවෙලා නෑ.
ප්‍රශ්නය - ශාරීරික, පාරිභෝගික , හා උද්දේශික යන චෛත්‍යවලට පිළිවෙළ වෙනස් කර වැඳීමෙන් පවක් සිදු වෙනවාද?
පිළිතුර - තමන්ගේ කැමැත්ත හැටියට ලැබෙන විදිහට වැඳුම් කළාට පවක් සිදුවන්න හේතුවක් නෑ.
ප්‍රශ්නය -කුඩා ළමයකු නොදැන කරන අකුසලයට විපාක ලැබෙනවාද?
පිළිතුර - සිතේ ඇතිවුණ කිළිටි වීමේ ප්‍රමාණයට යි අකුසලය අඩු වැඩි වන්නේ.
ප්‍රශ්නය - සමහර විට අංගසම්පූර්ණ කාය ශක්තියක් ලැබ දුර්වලව බිහි වී සුළු කලකින් ශරීරාංග දුර්වල හෝ අංග විකල තත්ත්වයට පත්ව වුවහොත් එවැනි අවස්ථාවකදී ඒ අසරණ පුද්ගලයා වෙනුවෙන් ආගමික වශයෙන් කළ හැකි ප්‍රතිකර්ම තිබෙනවාද?
පිළිතුර - ආගමික වශයෙන් යම් යම් ප්‍රතිකාර කර එසේ සුව කර ගත හැකි සමහර අවස්ථා තියෙනවා. ශක්තිමත් දෙනෙතක් ලැබී එය දුර්වල වුණොත් පහන් පූජා කිරීමෙන් දෙනෙතෙහි දුර්වල තත්ත්වය මඟ හැරෙන්න පුළුවන්. දුර්වල තත්ත්වය බලා ඒ ඒ තත්ත්වයට අනුව ගැළපෙන පින්දහම් කළ හැකි වෙනවා. එසේ ගැළපෙන පින්දහම් කිරීමේදී සමහර විටක දුර්වල අංග ශක්තිමත් කර ගත හැකියි.ඔහුගේ අතීත අකුසල කර්මය එම ආගමික කටයුතුවලින් දුර්වල වුවොත් ප්‍රතිඵල ලැබෙනවා.
ප්‍රශ්නය - ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් තිබෙනවා ද?
පිළිතුර - තමා සුවපත් වෙලා අනුන් සුවපත් කරන්නේ, තමා ලෙඩෙක් වෙලා ඉඳගෙන කොහොමද අනුන් සනීප කරන්නේ?
ප්‍රශ්නය – බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ හාමුදුරුනමකට වැඳුම් කිරීමෙන් අයහපතක් සිදුවෙනවා ද?
පිළිතුර – බුද්ධ ප්‍රතිමා වහන්සේ හෝ විහාර මන්දිරය තුළදී කාටවත් වඳීන එක සුදුසු නෑ. බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේදී තෙරුවන් වඳීන විට පුද්ගල වශයෙන් භික්ෂුවකට වඳීන එක සුදුසු නෑ. භික්ෂුන් වහන්සේ නමක් ප්‍රතිමා වහන්සේ ළඟ ඉඳගෙන පන්සිල් දෙනවා නම් පන්සිල් සමාදන් වන අය එසේ කළ යුත්තේ ප්‍රතිමා වහන්සේ දෙස බලාගෙනයි.
ප්‍රශ්නය - සිව්වනක් පිරිස සංවර කර ගැනීමෙහිලා බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ක්‍රියමාර්ග මොනවාද?
පිළිතුර - බුදුරජාණන් වහන්සේගේ ශාන්ත ස්වරූපය දකින ඕනෑම අයෙක් උන්වහන්සේට අවනත වෙනවා. උන්වහන්සේගේ කතාව ඇසීමෙන් ස්වභාවයෙන් සංවර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් ආදර්ශයෙන් ඉරියව් පැවැත්මෙන් ඇසුරු කිරීමෙන් ඒ සංවරය ඇති වෙනවා.මෙසේ ඒ පිරිසේ හිත, කය, වචනය යන තිදොර සංවර වෙනවා. හිත සංවර කර ගන්නා විට වචනයත්, ශරීරයත් සංවර වුනා. ප්‍රධාන වූයේ හිතයි. බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයේ බලපෑම කවුරුත් අනුගමනය කළා. අනුගමනය යනු උන්වහන්සේ ආදර්ශයට ගැනීමයි.
මිය යාමෙන් පසු තත්ත්වය
ප්‍රශ්නය – පුද්ගලයා මිය යාමෙන් පසු ඇතිවන ස්වරූපය කෙබඳුද?
පිළිතුර - මැරෙන මොහොතේ දී අරමුණක් පෙනේ නම් ඒ අරමුණට අනුව උපතක් සිදුවේ.එය කාටවත් කියන්නට බෑ. පුද්ගලයා මරණයට පත්වන විට ඒ පුද්ගලයාට මේ රටේ හෝ පිට රටක ඒ පුද්ගලයාට පේන සිත ඇලෙන බැෙඳන කර්මයක් බලපාන අතර ඒ අනුව ඊළඟ ආත්මය සිදු වෙනවා. ඒක බෞද්ධ රටය, අබෞද්ධ රටය කියල වෙනසක් සිදුවන්නේ නෑ.මිනිසාට පමණක් නොව සතුන්ට වුවත් ඒ අවසාන මොහොතේ ඇතිවන චේතනා හා කර්ම අනුව උපත සිදුවෙනවා.
පින්කර සම්පත් පැතිය යුතු නෑ
ප්‍රශ්නය - පුණ්‍යකර්මවල අපේක්ෂාව දිවසැපත් ලබා ගැනීම නම් එය නිවන් පරමාර්ථයට එකඟ ද?
පිිළිතුර – දිව්‍ය සම්පත් ප්‍රාර්ථනා කර ගෙන පින්කම කරනවා නම් එය බෞද්ධ පරමාර්ථ නොවෙයි. සියලු කෙලෙස් දුරු කිරීමට, නැසීමට මේ පින්කම පුරුද්දක් වේවා කියල සිතලා දානාදි පින්කම් කරනවා නම් එය නිවන් අතට හුරුවී කරන පින්කමකි. පැතුවත් නොපැතුවත් පින්කම කළාම එහි විපාක වශයෙන් සැප සම්පත් ලැබෙනවා. ඒවා විශේෂයෙන් පැතීමෙන් සිදුවන්නේ තණ්හාව වැඩිවීමයි. ඒ නිසා එය බෞද්ධ පරමාර්ථය නොවෙයි. පින්කම් කර නිවන් පැතූවිට තණ්හාවත් අඩුවෙනවා.ලෞකික වශයෙනුත් හොඳයි. නිවනටත් සමීප වෙනවා.ලෝභ, දේවේශ මෝහ සහමුලින්ම දුරුවීමට මේ පින්කම හේතු වේවා යැයි සලකා කරන පින්කම්වලින් නිවනට මඟ සැලසෙනවා. යම් කෙනෙක් දිව්‍ය සම්පත් ප්‍රාර්ථනා කරල පින්කම කළොත් දිව්‍ය සැප විඳලම එහි විපාකය ඉවර වෙනවා.ඒවා සීමා සහිතයි. ඉන් එහාට යන්නේ නෑ. පින්කම කරල සම්පත් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නෑ. නිරායාසයෙන් ලැබෙන්න තියෙන දේ ලැබෙනවා. පින්කමක් කරලා ප්‍රාර්ථනා කළ යුතු වන්නේ අපේ අරමුණු වන නිවන ලබා ගැනීමයි. ඒ නිසා නිවන ලබා ගැනීමට මේ පින උපකාර වේවා කියල ප්‍රාර්ථනා කළ යුතුයි.
සියලු කෙලෙස් නැති කිරීමට නැතිවීමට මෙය පුරුද්දක් වේවායි නිවන් පැතිය යුතුයි. නිවන් සැපත අරමුණූ කර ගෙන කරන පින්කම්වලට කියන්නෙ පාරමී ධර්ම කියලයි. එසේ නොවන ඒවා පුණ්‍ය කර්මයි.
ප්‍රශ්නය - නිවන අපේක්‍ෂා කරන සියලු දෙනාම පැවිදි විය යුතු ද?
පිළිතුර - අනේපිඬු සිටුතුමා සෝවාන් වුණා. ඒ කියන්නේ නිවන් දුටුවා. විශාඛාව සෝවාන් වුණා. නිවන් දුටුවා. යත්වාලෝක රජු අනාගාමී වුණා. ඒ අයත් පැවිදි වුණා ද?
ප්‍රශ්නය - කාන්තාවට පැවිද්ද ලබාදීමෙන් ශාසනයේ දිගුකලක් පැවැත්මට බාධාවක් සිදුවුණා ද?
පිළිතුර - බුදුහාමුදුරුවෝ නීති තදින් පැනවීම නිසා උවදුරුවලින් වැළැක්වුණා. භික්‍ෂූණ්ට හා භික්‍ෂුණීන්ට සිදුවීමට ඉඩ තිබූූ බොහෝ කරදරවලින් බේරීමට බුදුහාමුදුරුවී නීතිරීති පැනෙව්වා. ශාසනය බොහෝ කල් පැවතීමටයි එසේ නීති රීති පැනෙව්වේ.
කාන්තාවට පැවිද්ද දීමට පමාකළේ ඇයි?
ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ විසින් කාන්තාවට පැවිද්ද ලබාදීමට අවස්ථා කීපයකදීම පසුබට වූවා ද?
පිළිතුර –මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලුවා. බුදුරජාණන්වහන්සේ එහිදී කරුණු කීපයක් සලකා බැලුවා. මහා ප්‍රජාපති ගෝතමිය පැවිද්ද ඉල්ලන විට සුදොවුන් රජතුමා ජීවත්ව සිටියා. ඉතින් රජතුමාට ඇය විසින් ඇප උපස්ථාන කළ යුතුව තිබුණා. ඒ නිසා ඒ වෙලාවේදි එය පසුවට කල් දැම්මා. සුදොවුන් රජු පිරිවෙන් පෑ පසු මහා ප්‍රජාපතී ගෝතමිය නැවත බුදුහාමුදුරුවො වෙත ගොස් පැවිද්ද ඉල්ලා සිටියා. බුදුහාමුදුරුවො මෙසේ ප්‍රජාපතී ගෝතමියගේ පැවිද්ද කල් දැම්මේ ඇයට පැවිද්ද නොදීමට නොවෙයි. පැවිද්දෙහි තිබෙන බරපතළ තත්ත්වය ඇයට අවබෝධවීමට කල් අවශ්‍ය නිසා. ප්‍රජාපති ගෝතමියට පැවිද්ද දිය යුතුය කියල බුදුහාමුදුරුවො තීරණය කරලයි තිබුණෙ. ආනන්ද හිමියන්ගේ ආයාචනය අනුව පොරොන්දු මත කාන්තාවට පැවිද්ද ලබා දුන්නා. ස්ත්‍රීන්ට පැවිද්ද දිය යුතු ආකාරය බුදුහාමුදුරුවො දුටුවා. ඒ නිසා උන්වහන්සේ එසේ ක්‍රියා කළා.
ප්‍රශ්නය - බුදුහාමුදුරුවී පිරිනිවන් පෑමට පෙර බොහෝ රහතන් වහන්සේ පිරිනිවන් පෑවා.ඊට විශේෂ හේතුවක් තිබෙනවාද?
පිළිතුර – රහතන් වහන්සේ වුවත් ආයුෂය ගෙවී අවසන් වූ විට පිරිනිවන් පානවා. පරමායුෂ ප්‍රමාණය ඉවර වෙන කොට ලෝකයේ ඉන්න වුවමනාවක් නෑ. ලෝකයේ ඉන්න වුවමනා නම් එය තණ්හාවයි.
ප්‍රශ්නය - බුදුහාමුදුරුවන්ට අවනත නොවූ අය සිටියේ ඇයි?
පිළිතුර - නුවණ මද මිනිසුන්ගේ සිරිත තමා ඒ.බුදුහාමුදුරුවන්ටත් ඊර්ෂ්‍යා කරපු අයත් ටික දෙනෙක් හිටියා.නමුත් වැඩි දෙනා බුදුහාමුදුරුවො සරණ ගිය අය.උන්වහන්සේ අනුගමනය කළ අය.අන්‍ය ලබ්ධිකයන් අනුව ගිය අයත් හිටියා. එසේ ගිය සමහරුන්ගෙන් නැවත බුදුහාමුදුරුවො සොයාගෙන පැමිණි අයත් හිටියා. දෙව්දත් වැනි අය ඊර්ෂ්‍යාව නිසා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා උන්වහන්සේ අනුගමනය කළ අයයි.
ප්‍රශ්නය - මෙරට බුදුදහම පහසුවෙන් චිරස්ථායි වූයේ ඇයි?
පිළිතුර - බුදුදහම පහළ වූ කාලයේ හික්මීමෙන් යුත් යහපත් මිනිස්සු ලොව ජීවත් වුණා.
මෙරට දේවානම්පියතිස්ස රජතුමාගේ කාලය වනවිට අහිංසක චාම් ජීවිත ගත කරන මිනිසුන් මෙහි වාසය කළා. ඔවුන් ලෙහෙසියෙන් බුදුදහමට ඉක්මනින් අවනත වුණා. දැන් වගේ බාහිර රටවලින් විවිධ සිරිත් පැමිණ ඒවාට පුරුදු වී සිටියේ නෑ.
ප්‍රශ්නය - මුගලන් මහරහතන් වහන්සේ රහත් වීමට පෙර උන්වහන්සේ කළ කර්ම ඵලනුදුන්නේ ඇයි?
පිළිතුර -අතීතයෙහි කළ කර්මයක ඵලවිපාක මතු වුණා. ඉහත ආත්මයක මව්පියන්ට කරදර හිරිහැර කරපු එකක විපාකයි ඒ අධර්මයක් කළොත් ඒකෙ විපාකයත් කවද හෝ ලැබෙනවා. ධර්මයෙහි හැසිරෙන තැනැත්තා ධර්මය විසින් ආරක්‍ෂා කරනු ලබනවා.
ප්‍රශ්නය - පුද්ගලයකු හදිසියේම මරණයට පත් වුවහොත් ඔහුට ඇතිවන තත්ත්වය කුමක් ද?
පිළිතුර – බලාපොරොත්තු නොවූ වෙලාවක පුද්ගලයකු හදිසියේම මරණයට පත්වන්න ඉඩ තිබෙනවා. එහෙත් ඔහුගේ සිත ස්වල්ප වේලාවක් වැඩ කරනවා. අවසාන මොහොතේ ක්‍ෂණ කීපයක් සිත වැඩ කරනවා. එසේ පවතින්නේ බොහොම ටික වෙලාවයි.අවසාන සිත හෙවත් චුති සිත ඊළඟට ඇති වෙනවා. සිත් පරම්පරාව තැනින් තැන මාරු වෙනවා.
ප්‍රශ්නය - කෙතරම් බුදුවරු පහළ වුවත් ජගද් සංසාරය අවසන් නොවන්නේ එයට නිතරම අලුතින් සත්ත්වයන් එක්වන බැවින් ද?
පිළිතුර –ලෝකය, විශ්වය අනන්තයි. කොයිතරම් එහාට ගියත් තවත් ලෝක තියෙනවා. මෙහෙම යන්න යන්න ඒ තත්ත්වයන් එසේම පවතිනවා. අන්තයක් පටන්ගන්නා තැනක් හෝ ඉවරයක් නෑ.අන්තයක් සීමාවක් නොමැති බව අපේ පොත්වලින් පෙනෙන ථෙරවාද මතයයි. නව සත්ථු භාවය ථෙරවාදය බාර ගන්නේ නෑ.
සන්තති පරිණාමයෙන් අලුත් තත්ත්වයන් බිහිවනවා. ඩාවින්ගේ මතය නම් කල්ප ගණන් යනවිට කුඩා කෘමින් පවා මනුෂ්‍ය තත්ත්වයට පත්වෙනවා. අප් ථෙරවාදය එය බාරගන්නේ නෑ. එය නව සන්ථුපාත දෘෂ්ටියයි.
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ බක් පුරඅටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ අප්‍රේල්
18 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment