තමන්ගෙ සිත ද්වේශයට කාමයට පෙලඹෙන පොලඹවන මාර්ගවලින් පුළුවන් තරම් වෙන්වී ඈත් කර ගන්න ඕන. ඒ වගේ ශරීර සෞඛ්‍යයත් වැදගත් වෙනවා. ශරීරයට අවශ්‍ය ආහාර හැකිතාක් පිරිසුදුව ම පාවිච්චි කරන්න ඕන. ඒ විදිහට ශරීර පෝෂණය තුළින් පමණක් දීර්ඝායුෂ ලබන්න බෑ. සිතත් පෝෂණය කළ යුතුම යි. සිතේ පෝෂණයත් අත්‍යවශ්‍යය යි. ජීවිතය ආගමානුකූල නම් සිත පෝෂණය වෙනවා. පෘෂ්ටිමත් වෙනවා
ප්‍රශ්නය - පුද්ගලයකු මිය ගිය පසු හත් දවසේ දානය සඟරුවනට පිරිනැමීමේ සිරිතක් බොදුනුවන් තුළ තිබෙනවා. එවැනි හත්දවසේ දානයකට සධාතුක කරඬුව ඒ නිවසට වැඩම කිරීම සුදුසු ද?
පිළිතුර - හත්දවසේ නොව කවර දිනකින් දානය දුන්නත්, පළමු කොට බුද්ධ පූජාව තැබීම කළ යුතුයි. ඒ නිසා එම බුද්ධ පූජාව තැබීමට සධාතුක කරඬුව වැඩම කරවනවා. ඉතින් එය පුරාතනයේ සිට පැවත එන සිරිතක්.
ප්‍රශ්නය - බුද්ධෝත්පාද කාලය තුළ විශේෂයෙන් වර්තමානයේ හා අනාගතයේ රහතන් වහන්සේ පහළ විය හැකිද? වර්තමානයේ පින්දහම් කරන සමහර තැනැත්තන් මෛත්‍රී බුදුහාමුදුරුවන් දකින්නට ප්‍රාර්ථනා කරන්නේ ඇයි?
පිළිතුර - නිවන් ලබන්න ඕනෑ යැයි සිතා ඒ සඳහා කවුරු හෝ උත්සාහ කරනවා නම් ඒ සඳහා, විපස්සනා භාවනාව වඩන්න ඕනෑ. බුදුදහමෙහි මෙසේකළ යුතුයැ’ යි කියා කාටවත් කවර කෙනෙකු ගෙන් හෝ බලපෑමක් නෑ. අවධාරණය කරල, බල කරන්නත් බෑ. බුදුදහමෙහි බලකිරීමක් හෝ බලපෑමක් කොහෙත්ම නෑ.
කෙලෙස් නසා පාරමී පිරීමෙහි නිරත වූ අය ඉන්නවා. පද පරම පුද්ගලයන් කෙතරම් භාවනා කළත් මේ ආත්මයේදී නිවන් ලබන්න බෑ. මනුෂ්‍ය ආත්මයක් ලබා පාරමී ධර්ම සම්පූර්ණ කළොත් මේ වසර පන්දහස තුළ රහත් වන්න බැරි නෑ. ඒකත් හරි නොගියොත් මෛත්‍රී බුදු සසුන ගැනයි බලාපොරොත්තු වෙන්න ඕනෑ.
මේ ආත්මයේදි මාර්ග ඵල ලබන්න බැරි අය මීළඟ ආත්මභාවයේ අකුසල් හෙම කළොත් තවදුරටත් සසර ගමන දීර්ඝ වෙනවා. ඒ නිසා බොහෝ දෙනා මනුලොවින් ඈත් වෙනකොට කල්පායුෂ්ක දෙවියෙක් වෙලා උපදින්න බලනවා. ඒ අර සසර ගමන දිගු කරන අකුසල් නොවැඩෙන නිසයි. මෛත්‍රී බුදුහාමුදුරුවො දැකීමේ ප්‍රාර්ථනාව පෙර සිටම තිබිල තියෙනවා.මොකද තමන්ගේ ආරක්‍ෂාවටයි ඒ. කල්පායුෂ්ක භූමාටු දෙවියෙක් වුවොත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකිනවා. ඒ ඇත්තෝ අපායෙ වැටෙන්නේ නෑ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකීමට පෙර රජවරු පවා කළ ප්‍රාර්ථනා තිබෙනවා. එය මෙසේයි. ඉතෝ චුතෝහං වර ජම්බුදීපේ හිමාලයේ හේමමයම්හි කුටේ කප්පායිනෝ දේවපතීච හුත්වා මෛතෙය්‍ය නාථස්ඪ සුණාමි ධම්මං
මම මෙහෙම මැරෙන විට දඹදිව හිමාලය පර්වතයේ කඳු මුදුනක කල්පායුෂ්ක දේවතාවෙක්ව ඉපදිලා මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් බණ අසම්වා යන පැතුමයි ඒ ප්‍රාර්ථනාව.
ප්‍රශ්නය - යම් පුද්ගලයකු මිය පරාලොව ගිය විට ඒ තැනැත්තා වෙනුවෙන් දන්දිය යුත්තේ මිය යාමෙන් පසු හත්වැනි දිනයේ ද? නැතිනම් අටවැනි දිනයේ ද?
පිළිතුර - දානය කවදා දුන්නත් හොඳයි. දන්දීමට නම් දින නියමයන් නෑ. තමන් කැමැති ඕනෑම දවසක දන්දෙන්න පුළුවනි.මෙතැනදී ඒ මරණකාරයා පින් ලබා ගැනීමට සුදුසු තැනක ඉපදී සිටිය යුතුයි. ඒ බව තිරෝකුඩ්ඩ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා.
භූතාත්මයක උපන්නොත්
ප්‍රශ්නය - සමහර කෙනෙක් මෙලොව ජීවත්ව සිටියදී විශේෂ ඇල්මක් දක්වන අයෙකුට ඔහු මිය යාමෙන් පසුව යම් යම් කරදර සිදුවෙනවා ද?පිළිතුර - සමහර විට මෙලොවින් තුරන්වීමෙන් පසු භූතාත්මයක උපන් අයකුට තමන් අර කියූ විශේෂ ඇල්මක් දැක්වූ අයට ආවේශ වෙන්නත් පුළුවක්.එවැනි දේවල් වත්මන් සමාජයේ වුවත් සිදුවෙනවා. ඒ ගැන අත්දැකීමෙන් මුහුණ පෑ අය ගැන දැනගන්න ලැබෙනවා.
මරණයෙන් පසු භූ®ත ලෝකයෙහි උපන්නොත් සමහර විටක සති කීපයකින් නැතිනම් මාස කීපයකින් වුවත් මෙලොව සිටින අර ඇල්මක් දක්වන තැනැත්තාට යම් යම් බලපෑම් කිරීමට ඉඩ තිබෙනවා.
ප්‍රශ්නය - බෞද්ධයකු වීමට තිසරණ සරණ යා යුතුයි. මෙසේ තිසරණ සරණ යාමේ අදහස කුමක්ද?
පිළිතුර - නිවන් මඟ පසක් කර ගැනීමට මඟපෙන්වන එකම උතුමන් වහන්සේ බුදුහාමුදුරුවෝ. ඒ බුදුරජාණන් වහන්සේ ආචාර්යවරයකු වශයෙන් මඟ කියා දෙන උතුමන් වහන්සේ නමක් වශයෙන් මට පිහිට වෙනවා.
තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා කියලා ධර්මයෙහි සඳහන් වන්නේ එයයි. ඔබ කවුරුනුත් ස¼ගමොක් සැප පිණිස උත්සාහ කළ යුතුයි. බුදුහාමුදුරුවො මඟ පෙන්වන්නෙ. එසේ මඟ පෙන්වීම වශයෙන් තමා පිහිටවෙන්නෙ.
ධර්මය පිහිටවීම යනු ධර්ම මාර්ගයේ යෙදීමයි. කොළඹට යන්න මාර්ගයක් නැතිනම් කොළඹ යන්න බෑ. මාර්ගය තිබේ නම් ඒ මාර්ගයේ යනවා නම් ගමන යාමට ඒ මාර්ගය පිහිට වෙනවා. නිවන් මගේ යන පුද්ගලයාටත් එලෙසම ධර්මය පිහිට වෙනවා.
කෙලෙස් නැසූ ආර්ය පුද්ගලයා ආදර්ශමත් නිසා බුදුරජාණන් වහන්සේගේ පිහිට ඇතිව ආදර්ශය දීමෙන් ඒ මඟ යනවා. සාමාන්‍ය මහජනයාට පින් කෙතක් වූ මහ සඟරුවන ආදර්ශයට ගනිමින් නිවන් මඟ යාමට තවදුරටත් ශක්තිය ලැබෙනවා.
මෙසේ සංඝරත්නය සරණ යාම නිවන් මඟට පිවිසීමට ශක්තියක් කර ගනී.
දියුණුවීමට සිතේ ධෛර්ය ඕනෑ
ප්‍රශ්නය - තරගකාරී ලෝකයක ආර්ථික හා සමාජීය වශයෙන් දියුණුවීම සඳහා කරන උත්සාහයේදී ආධ්‍යාත්මික වශයෙන් පිරිහීමට පත් වෙනවා ද?පිළිතුර – තරගයකට ලෑස්ති නොවී තමාගේ දියුණුවට උත්සාහ කළ යුතුයි. බෞද්ධ ක්‍රමය එයයි. ලෞකික වශයෙන් දියුණවීමට සිතේ ධෛර්ය තිබෙනවා නම් පිරිහීමක් ඇතිවන්නේ නෑ. සිතේ ඇති ධෛර්ය තුළින් ලෞකික දියුණුව සැපත උදාකර ගත හැකියි. තරගකාරීව දියුණු වී ගොස් අන්තිමේදී ඊර්ෂ්‍යාව ඇතිවී කළකෝලාහල හට ගෙන විවිධ විපත් පවා සිදුවෙනවා. සමහර විට යුද්ධ පවා ඇතිවීමට ඉඩ තිබෙනවා.
තරගය බලවත් වෙනවිට තවත් පුද්ගලයකු ඊර්ෂ්‍යා කරනවා. තරගය ඊර්ෂ්‍යාවට හේතුවෙයි. ඊර්ෂ්‍යාව නිසා තරගය ඇතිවෙනවා. අනුන් දියුණුවීමට කැමැති බව මුදිතා ගුණයයි. මමත් දියුණු වෙන්න ඕනෑ. අනිත් අයටත් දියුණුවෙන්න උදව්දෙන්න ඕනෑ යැයි කල්පනා කළ යුතුයි.
ප්‍රශ්නය – සමහර අයගේ මතයක් තිබෙනවා . තමන්ගේ නිවස තුළම බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පහනක් දැල්වීම හොඳ නෑ කියල ඒ ගැන මහානායක හාමුදුරුවන්ගේ අදහස....
පිළිතුර – එහි කිසියම් වරදක් නෑ. යම් යම් මතවලට එළඹෙන විට හොඳ ද? නරක ද? කියල සිතා බලා කටයුතු කිරීම හොඳයි. මෙතැන චේතනාව මූලික විය යුතුයි.
දිගාසිරි ලබන්න සිතේ පෝෂණය ඕනෑ
ප්‍රශ්නය –මේ සමාජයේ දීර්ඝ ආයුෂ ලබන්න කැමැති අයට ඔබ වහන්සේ දෙන උපදේශය කුමක් ද?පිළිතුර - තමන්ගෙ සිත ද්වේශයට කාමයට පෙලඹෙන පොලඹවන මාර්ගවලින් පුළුවන් තරම් වෙන්වී ඈත් කර ගන්න ඕන. ඒ වගේ ශරීර සෞඛ්‍යයත් වැදගත් වෙනවා. ශරීරයට අවශ්‍ය ආහාර හැකිතාක් පිරිසුදුව ම පාවිච්චි කරන්න ඕන. ඒ විදිහට ශරීර පෝෂණය තුළින් පමණක් දීර්ඝායුෂ ලබන්න බෑ. සිතත් පෝෂණය කළ යුතුමයි. සිතේ පෝෂණයත් අත්‍යවශ්‍යයයි. ජීවිතය ආගමානුකූල නම් සිත පෝෂණය වෙනවා. පෘෂ්ටිමත් වෙනවා.
ප්‍රශ්නය – දානයක් සඟසතුව පූජා කර භික්‍ෂූන් වහන්සේ එම දානය වැළඳීමෙන් පසු ඉතිරි ආහාර ගිහියන් ප්‍රයෝජනයට ගැනීමෙන් පවක් සිදුවේ ද?
පිළිතුර – සංඝයා වහන්සේට දානය පූජා කර එම දානය වැළඳීමෙන් පසු ඉතිරි ආහාර හිරු අවරට යෑමත් සමඟ භික්‍ෂූන් වහන්සේට අයිති වන්නේ නෑ. ඉතින් එවැනි වෙලාවට ඒ ආහාර ප්‍රයෝජනයට නොගැනීමෙන් ඇති පලයක් නෑ. හිරු අවරට ගිය පසු ඒ ආහාර වෙනත් කෙනෙක් ප්‍රයෝජනයට ගත්තායැයි අවැඩක් සිදුවන්නේ නැ.
ප්‍රශ්නය - භාවනා කිරීමේදී නිවන් අවබෝධය සඳහා වඩා වැදගත් වනුයේ සමථ භාවනාව ද? විදර්ශනා භාවනාව ද?
පිළිතුර - සමථ භාවනාව පදනම් කරගෙන විපස්සනාව වඩලා නිවන් අවබෝධ කර ගන්නත් පුළුවන්. එසේ බවුන් වඩා නිවන් අවබෝධ කර ගන්නා අයට සමථයානික යැයි කියනවා. විපස්සනාව වැඩීමේදි යමක් ගැන විදසුන් වඩනවා. ඒ මොහොතේදි ක්‍ෂණික සමාධිය ඇතිවෙනවා. එහෙත් සමථ හා විදර්ශනා දෙකම එකට යනවා. ඒ විදිහට විපස්සනාව වඩන පුද්ගලයාට ශුද්ධ විපස්සක කියනවා. ඉතින් ස්වභාවයෙන්ම එහිදී සමාධිය වැඩෙන නිසා සමාධියෙන් තොර විපස්සනාවක් නැත. බවුන් වඩන්නන්ට මෙම භාවනා දෙකින්ම යහපතක්ම වේ.
ප්‍රශ්නය – වස් කාලය තුළ උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් වසවා සිව් පසයෙන් එවන් උත්තමයන්ට ගිහි පින්වතුන් උපස්ථාන කරති. ඇතැම් විහාරස්ථානවල සම්බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේටද වස් වසන ලෙස ආරාධනා කර සිවුරු පූජා කැරෙනවා. මෙසේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වස් සමාදන් කරවා ගැනීම ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
පිළිතුර – සමහර විහාරස්ථානවල දායක පින්වතුන් එසේ සිදු කරනවා. එය ශ්‍රද්ධාව භක්තිය අනුව සිදු කැරෙන්නක්. බුදුහාමුදුරුවන් වහන්සේට පූජා සත්කාර කිරීමේ මහඟු ගුණය පෙරදැරි කරගෙන සිදු කැරෙන ක්‍රියාවක්. මෙසේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සිදු කැරෙන පූජාවෙන් සිදුවන්නෙ අප්‍රමාණ පිනක්. සියලු උතුමන්ට වඩා බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ බව බොදුනුවන් දන්නවා.
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ
අප්‍රේල් 03 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment