තම භාර්යාවට මෙන්ම දූ දරුවන්ටද සැලකීම විශේෂයෙන්ම ස්වාමියාගේ යුතුකමකි. බොහෝ විට නිවසෙහි ආර්ථිකය ශක්තිමත් කරන්නේ ස්වාමියාය. බිරිඳ එය කළමනාකරණය කරමින් විය පැහැදම් කළ යුතුය.තම ස්වාමියා මහන්සියෙන් උපයන ධනය නිකරුණේ වියදම් නොකොට අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතුය. එය බිරිඳ සිය ස්වාමියාට කරන සංග්‍රහයකි. ස්වාමියා ද මිළ මුදල් උපයා දීමෙන් පමණක් නොව ආදරයෙන්, සෙනෙහසින් තම බිරිඳ රැකබලා ගත යුතුය. විශේෂයෙන් දූ දරුවන්ගේ අධ්‍යාපනාදී අවශ්‍යතාවයන් සපුරා දෙමින් නිසි මග පෙන්වමින් පෝෂණය කළ යුතුය
ගියවර අපගේ අවධානය යොමු වූයේ යොවුන්විය හා විවාහය පිළිබඳ බුදුදහම ඇසුරින් විමසා බැලීමටයි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ සාර්ථක විවාහ දිවියට මහා මංගල සූත්‍රයෙන් ගත හැකි උපදේශයන් පිළිබඳ විමසා බැලීමටයි.
මහා මංගල සූත්‍රය අප කවුරුත් දන්නා සූත්‍රයකි. ත්‍රිපිටක වර්ගී කරණයේ දී සුත්ත නිපාතයට ඇතුළත් කොට ඇති මෙම සූත්‍රය බොහෝ දෙනෙක් දැන හඳුනා ගන්නේ පිරිත් පොතෙනි. එමෙන් අප නිතර භාවිත කරන ඇසෙන තුන් සූත්‍රයේද පළමු සූත්‍රය මෙය බැවින් පාසල් යන දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා කවුරුත් හොඳින් දන්නා සම්බුද්ධ දේශනාවකි.
මෙහි ඉදිරිපත් කරන මංගල සම්මත කාරණා , අතුරින් අතර බොහෝමයක් ලෞකික දිවිය සාර්ථක කරගැනීම සඳහා හේතුවන උපදේශයන්ය. එයිනුත් බොහෝමයක් සාර්ථක විවාහ දිවියකට ලබාදෙන උපදේශයන් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. එබැවින් මෙම කරුණු පිළිබඳ විවාහ දිවියට එළඹෙන යුවතිපතීන් දැනුවත් වීම ඉතා වැදගත් වේ.මෙහි දී එම කාරණා පිළිවෙළින් විස්තර කරනු ලැබේ.
1. මාතාපිතූ උපට්ඨානං - දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම
2. පුත්තදාරස්ස සංගහෝ - අඹු දරුවන්ට මනාව සැලකීම
3. අනාකුලාච කම්මන්තා - තම වැඩකටයුතු නිරවුල්ව සිදු කිරීම
4. දානං - දන්දීම
5. ධම්මචරියා - දැහැමි හැසිරීම
6. ඤාතකානඤ්ච සංගහෝ - ඥාතීන් විෂයෙහි යුතුකම් ඉටුකිරීම
7. අනවජ්ජානි කම්මානි – නිවැරදි ක්‍රියා ඇත්තෙකු වීම
8. ආරති විරති –අකුශලයන්ගේ සිත නොඇලීම හා වරදින් වෙන්වීම
9. මජ්ජපානා ච සඤ්ඤමෝ - මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම
10. අප්පමාදෝ ච ධම්මේසු - කුසල් දහමෙහි අප්‍රමාදීව කටයුතු කිරීම
11. ගාරවෝ - නිසි ගරුසරු දැක්වීම
12. නිවාතෝ - යටහත් පහත් පැවැත්ම
13. සන්තුට්ඨි – ලද දෙයින් සතුටුව සැහැල්ලු දිවියක් ගතකිරීම
14. කාලේන ධම්මසවණං - ඉඩ ලද අයුරින් ධර්මය ඇසීම
15. ඛන්ති – ඉවසීම
16. සුවච – අන්‍යන්ට සවන්දීම
17. සමණානං ච දස්සනං - ශ්‍රමණයන් වහන්සේලා දැකීමට පි‍්‍රය කිරීම
18. ධම්ම සාකච්ඡා - දහම් කරුණූ සාකච්ඡා කිරීම
මාතාපිතූ උපට්ඨානං -දෙමාපියන්ට ඇප – උපස්ථාන කිරීම
තමා ස්වකීය ප්‍රාණය සේ සලකමින් ඇති දැඩිකළ දෙමාපියන්ට සැලකීම බුදුදහම තුළ ඉතා ඉහළින් උගන්වන්නකි. විශේෂයෙන් දෙමාපියන් වයෝවෘද්ධ වූ කල දරුවන්ගේ ඇප උපස්ථාන සැළකිලි සම්මාන අවශ්‍යම වේ. මෙම කාරණය මහා මංගල සූත්‍රයේ මංගල සම්මත කරුණක් වශයෙන් සලකන අතර විවාහයට පත් වූවන් දෙමාපියන්ට උපස්ථාන කිරීමේ දී හෙවත් සැලකීමේදී අදහස් කරන්නේ අඹු - සැමි දෙදෙනා දෙපාර්ශ්වයේම දෙමාපියන් එකසේ සිතා සැලකිය යුතු බවයි. මෙසේ නොවන තැන බොහෝ විට ඇතිවන්නේ පවුල් ආරවුල්ය. දෙමාපියන්ට සැළකීමේදී එක් පැත්තකට අඩු වැඩි වශයෙන් සැලකීම මෙයට ප්‍රධාන හේතුව වේ.
බිරිඳ තම දෙමාපියන්ට වැඩියෙන් සැලකීමට උත්සාහ කරන අතර ස්වාමියාගේ දෙමාපියන්ට නොසලකා හැරීමට කටයුතු කරන අවස්ථා අපට සමාජයෙන් දැක ගත හැක. මෙහි අනික් පැත්තද සිදුවිය හැක. එනම් ස්වාමියා බිරිඳගේ දෙමාපියන්ට නොසලකා හැර තම දෙමාපියන්ට වැඩියෙන් සැලකීම, මෙම තත්ත්වයන් නිතැතින්ම හේතු වනුයේ පවුල් තුළ ගැටුම් ඇති කිරීමටය. බුදුදහම විවාහයට පත් යුවතිපතීන්ට අවධාරණය කරණුයේ දෙපාර්ශයේම දෙමාපියන්ට ස්වකීය දෙමාපියන් ලෙසම සිතා කටයුතු කිරීමටයි. මෙසේ කටයුතු කරන පවුල් ද අප සමාජයේ නැතුවා නොවේ. එවැනි පවුල් කලාතුරකින් සොයා ගත හැක.සෑම විවාහක පවුලක්ම මෙම තත්ත්වයට පත් වන්නේ නම් හෙවත් මෙම එක මංගල කරුණක් වුවත් පිළිපදින්නේ නම් වුවද සාර්ථක විවාහ දිවියකට මග පෙන්වා දෙන බව පැහැදිලිය.
පුත්තදාරස්ස සංගහෝ - අඹුදරුවන්ට මනාව සැලකීම
මෙහි දී තම භාර්යාවට මෙන්ම දූ දරුවන්ටද සැලකීම විශේෂයෙන්ම ස්වාමියාගේ යුතුකමකි. බොහෝ විට නිවසෙහි ආර්ථිකය ශක්තිමත් කරන්නේ ස්වාමියාය. බිරිඳ එය කළමනාකරණය කරමින් විය පැහැදම් කළ යුතුය.තම ස්වාමියා මහන්සියෙන් උපයන ධනය නිකරුණේ වියදම් නොකොට අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතුය. එය බිරිඳ සිය ස්වාමියාට කරන සංග්‍රහයකි. ස්වාමියා ද මිළ මුදල් උපයා දීමෙන් පමණක් නොව ආදරයෙන්, සෙනෙහසින් තම බිරිඳ රැකබලා ගත යුතුය. විශේෂයෙන් දූ දරුවන්ගේ අධ්‍යාපනාදී අවශ්‍යතාවයන් සපුරා දෙමින් නිසි මග පෙන්වමින් පෝෂණය කළ යුතුය . මහා මංගල සූත්‍රයේ පුත්තදාරස්ස සංගහෝ යන්න අර්ථවත් වන්නේ එවිටය.
අනාකුලාච කම්මන්තා :- තම වැඩකටයුතු නිරවුල්ව සිදු කිරීම
තමාගේ ධනෝපායන මාර්ගයන් නිරවුල්ව සිදුකරගෙන යා යුතු බව මින් අවධාරණය කරන අතර ඒවා ධාර්මික කටයුතු ද විය යුතුය. ගොවිතැන, ගවපාලනය රාජ්‍ය සේවය (පෞද්ගලික අංශවල සේවාවන්) දැහැමි වෙළෙඳාම්, ස්වයං රැකියා ආදිය නිවැරදි කර්මාන්ත ලෙස පිළිගන්නා අතර මීට අමතර අනුන්ට කරදරයක් නොවන අයුරින් සිදුකරන දැහැමි වෘත්තීන්ද අනුමත කළ හැක. සොරකම, බොරුව, වංචාව කිසිසේත් අනුමත නොකරන අතර ඒ මාර්ගයෙන් සිදුකරන වෘත්තීන්ද අනාකුලා ච කම්මන්තා ගණයට අයත් නොවේ. තම දෛනික කටයුතු නිවැරදිව, නිරවුල්ව සිදුකරගෙන යෑම මෙන්ම යහපත් ධනෝපායන මාර්ගයන්ද අනුගමනය කිරීම තුළින් විවාහ ජීවිතය අර්ථවත් කරගත හැකි බව මින් අවධාරණය කරයි.
දානං - දන්දීම
අප දෛනික ජීවිතයේ දී පරිත්‍යාගශීලි විය යුතුය. එය කුශල කර්මයක්ද වන අතර ජීවිතයට සතුටක්, අර්ථයක් එක්කිරීමට සමත්වෙයි. විවාහ ජීවිතයේ දී ඔවුනොවුන් වෙනුවෙන් සිදුකරන කැපකිරීම්ද දාන යන්නෙන් අර්ථවත් වන අතර විශේෂයෙන් සුදුසු පුද්ගලයන්ට පරිත්‍යාගශීලීව යම් යම් දේ දීම, ප්‍රදානය මෙහි දී දානය යන්නෙන් අර්ථවත් වේ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන්දීම උසස්ම දානයලෙස සලකන අතර වර්තමානයේ බොහෝ බෞද්ධයන් මාසිකව විහාරස්ථානයන්ට දන්දීම නොකඩවාම සිදු කරන්නකි.
එය වැදගත් කටයුත්තකි. දන්දීම නිවන් මාර්ගයේ පළමු පියවරයි. තම නිවසට පැමිණෙන දුගීමගී යාචකාදීන්ට ද තමාට හැකි අයුරින් යම් යම් දේ දීම ප්‍රදානය සිදුකළ හැකිය. විශේෂයෙන් විවාහ ජීවිතයේ දී දෙදෙනාම සම දානාධ්‍යාෂයෙන් යුක්තවිය යුතුය. බිරිඳ යම් දානයක්, ප්‍රදානයක් කළ විට ස්වාමියා එය අගය කළ යුතුය. ස්වාමියා ද යම් දානයක්, ප්‍රදානයක් කළ විට බිරිඳ විසින්ද අගය කළ යුතුය. මෙසේ දෙදෙනාම එකසේ දාන සිතිවිල්ලෙන් යුක්තව කටයුතු කළ විට එම විවාහ දිවියට අර්ථයක්ම වනවා මිස අනර්ථයක් කිසි කලක සිදු නොවේ.
ශාස්ත්‍රපති රාජකීය
පණ්ඩිත මහරැඹෑවැවේ පාලිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජනවාරි 30 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment