නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
කිච්ඡො මනුස්ස පටිලාභො
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවණං
කිච්ඡො බුද්ධානං උප්පාදො
කාරුණික පින්වත!
මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම දුෂ්කර වූවකි. සත්වයන්ගේ ජීවිත පැවැත්වීමද දුකසේ කටයුතුයි. සද්ධර්ම ශ්‍රවණයද දුර්ලභය. බුද්ධෝත්පාද කාලය අතිශයින් දුර්ලභය.\
ඇස, කන ආදී අවයව විකල බවක් නැති මිනිස් ජීවිතයක් ලැබෙන්නේ සහේතුක කාමාවචර කුසල හේතුවෙනි. නිතර රූප, ශබ්ද ආදී වූ පස්කම් රසයෙන් ඉඳුරන් පිනවීමෙහි නියැළී පාප විතර්ක බහුලව වාසය කරන පෘථග්ජන සත්වයෙකුගේ මරණාසන්නයෙහිදී එබඳු කුසලයක් සිතට අරමුණුවීම ඉතාමත්ම දුෂ්කර වූ කරුණකි. මිනිස් ආත්මභාවයක් ලැබීම දුෂ්කර බව වදාළේ එහෙයිනි.
ධාර්මිකව ජීවිතය පවත්වාගෙන යාමට දැඩි උනන්දුවක් වෙහෙසක් ගත යුතු ය. ස්වල්පමාත්‍ර කාලයක් පවත්නා හෙයින් ද සත්වයාගේ ජීවිතය දුක් වෙයි.
මිනිස් ජීවිතය දෙස කල්පනා කර බලන විට ආයුෂය ස්වල්පය. ඉතා දිගු කලක් ජීවත්වුවද, ජීවත්වන කාලය අවුරුදු සියයකට අඩු හෝ ඊට වඩා මදක් වැඩි විය හැකි ය. ඒ නිසා ජීවිතය ස්වල්පය. සත්වයන්ගේ ජීවිතක්ෂණය පරමාර්ථ වශයෙන් චින්තක්ෂණ සතළොසකින් පමණ වූ එක් චිත්තවීථියක් පවත්නා තෙක් ය. ඒ චිත්තවීථිය නිරුද්ධවීමෙන් පසු සත්වයා මරණයට පත්වූයේ යැයි කියනු ලැබේ.
මේ නිසා මනුෂ්‍යයකු වශයෙන් උපත ලද විට බුද්ධිමත් මනුෂ්‍යයකු ලෙස ජීවත්වීමට කල්පනා කළ යුතු ය. බුද්ධිමත්වීම යනු මේ ලෝකයෙහි ජීවත්වන්නේ කෙටි කලක් නම් ඒ කෙටි කාලය තුළ තමන්ගේ ජීවිතය මඟින් තමාට ද අනුන් වෙතද හැකිතාක් යහපතක් ම කළ යුතු ය.
කා, බී සතුටුවීම පමණක් යහපත් ජීවිතයක් නොවන්නේ ය. තමන් ඉතා දැහැමෙන් ධනය උපයා සපයා ගන්නා අතර ඒ ධාර්මික ධනය වැය කර තමන්ගේ මෙලොව ජීවිතය සුවපත් කර ගැනීමට, සාර්ථක කර ගැනීමට උත්සාහ කළ යුතු ය. මෙලොව සතුටින් ජීවත්වීම පමණක් නොව පරලොව ජීවිතයද සුවපත්කර ගැනීමේ හැකියාව පවතින්නේ ද තමා සතුවය.
ජීවිතේන්ද්‍රිය පවත්නා ක්‍ෂණය ස්වල්ප බැවින් සත්ව ජීවිතය ඉතා ස්වල්පය.
අද බක් පුර පසළොස්වක දා තම දිවි ගමනේ මෙතෙක් අඩුපාඩු සහිත වූයේ නම් ඒවා නිවැරැදි කර ගනිමින් ජීවිතාභිවෘද්ධිය සලසා ගැනීම බුද්ධිමත් මනුෂ්‍යයාගේ වගකීම වේ.
තම තමන්ගේ ජීවිත දෙස හැරී බැලීමට යහපත් සද්ධිස්ථානයක් සේ සලකා අඩුපාඩු සකසා ගැනීමට කල්පනා කරන්නේ නම් උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් වේ.
මනුෂ්‍යාත්මභාවය දුර්ලභසේම ජීවිත පැවැත්මද කටුකය. එමෙන්ම ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ද දුක සේ ලැබිය යුත්තකි. එමෙන්ම බුදුවරුන් ලොව පහළවීම අතිශයින්ම දුර්ලභ කටයුත්තකි.
ජීවිතයක යථාර්ථය පිළිබඳ මෙනෙහි කරන කවර ආගමක මනුෂ්‍යයකුට වුවද එම ජීවිතය අර්ථාන්විතව ගත කිරීමේ අපහසුවක් සිදු නොවනු ඇත.
ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළවීමෙන් සැබෑ මනුෂ්‍ය ජීවිතයක ඇති වටිනාකම ලොවට දේශනා කර වදාළහ.
හැකිතාක් ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමේ වාසනාව හිමි වී තිබෙන්නේ ද මනුෂ්‍යයාට ය.
මෙවන් සුවිශේෂි කරුණු කල්පනා කරමින් තමන්ගේ ජීවිතය අර්ථ සම්පන්න ලෙස ගත කිරීමට ධර්මානුකූලව සිහියට ගත යුතු ය.
එවිට දුෂ්කරව ලබාගත් ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත්වනු ඇත.
ජීවිතයෙහි පවතින අස්ථිරභාවය මෙනෙහි කරන මොහොතක් පාසා දිවි ගමන සාර්ථක කර ගැනීමට එය ද එක්තරා යහපත් මාර්ගයක් වනු ඇත.
මෙලොව වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් පරලොව ජීවිතයද සාර්ථක කර ගැනීමට උනන්දුවන්න.
තෙරුවන් සරණින් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.
ප්‍රංශයේ ජේතවනාරාමාධිපති
මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ අප්‍රේල් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment