Labels

Friday, August 28, 2015

නිවැරැදිව දම් දෙසමු


පුරා හතළිස් පස් වසක් පුරාවටම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ලෝවැසි සත්වයා සසර දුකින් අත්මුදා ගැනීමට අපමණ වෙහෙසුන සේක. උන්වහන්සේ සත්වයා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මුදා ගත් සේක.
නිවැරැදිව පැහැදිලිව දහම් දේශනා කොට වදාළහ. වර්තමානයේ දී උන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම ඇතැම් අය ඉතාමත් වැරැදි සහගත ලෙසත් අනිසි ලෙසත් භාවිතා කර ධර්මයේ නොවනදේත් ඉදිරිපත් කරණ බවක් ද පෙනෙයි.

ධර්මය ඉතාම සියුම් ලෙස විමර්ශනය කළ යුතුයි. නැතහොත් හරි දේ වැරැදි දේ ලෙසත් වැරැදි දේ හරි දේ ලෙසත් ගෙන මිථ්‍යා දෘෂ්ටියට පත්වීමට මහත් සේ ඉඩ ප්‍රස්ථාවක් දැන් යෙදී ඇත. භාග්‍යවතුන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දී කාලේන ධම්ම සවණං - කාලීනව (සුදුසු කල්හි) ධර්ම ශ්‍රවණයත් , කාලේන ධම්ම සාකච්ඡා කාලීනව (සුදුසු කල්හි) ධර්ම සාකච්ඡාවත් මංගල කාරණයක් ලෙස දේශනා කොට වදාළහ.

දිනක් ආයුෂ්මත් උදායි හිමියන් ගිහි පින්වතුන් පිරිසක් පිරිවරා ගෙන දහම් දේශනා කළ සේක. මේ බව දුටු ආනන්ද හිමියන් ඒ බව භාග්‍යවතුන් වහන්සේට දන්වා වදාළහ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළේ පරෙසං ඛොපන ආනන්ද ධම්ම දේශනා න සුඛරා ආනන්ද අනුන්ට (පරහට ) දහම් දේශනා කිරීම පහසු නැත. දහම් දේශනා කරන්නේ නම් දහම් දේශනා කරන ලද්දේ තමා තුළ පිහිටුවා ගත යුතු කරුණු පහක් (5) ඇත.

1. ආනුපුබ්බී කථං කථෙස්සාමීති – අවුලෙන් තොරව පිළිවෙළක් ඇති කතාවක් කරම්යි. දහම් දේශනා කළ යුතුයි

2. පරියාය කථං කථෙස්සාමීති - ඒ ඒ දෙය එසේ වීමට හේතු දක්වමින් සුදුසු කථාවක් කරමියි දහම් දේශනා කළ යුතුවේ

3. අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති - දුකට පත් සත්වයින් දුකින් මුදවමියි කුළුණින් තෙත් හදවතින් දහම් දේශනා කළ යුතුයි.

4. ආමි‍යන්තරේ කථං කථෙස්සාමීති - සුවිපස හි හෝ කීර්ති ප්‍රශංසා හෝ වෙනයම් ආමිෂයක් ලබමියි යන අපේක්‍ෂාවෙන් තොරව දහම් දේශනා කළ යුතුයි.

5. අන්තාතං පරං අනුපහව්ව කථං කථෙස්සාමීති – තමා හුවා ගැනීම් හෝ අනුන් හෙළා දැකීම් නැතිව අනුන් ගුණ නොනසන කථාවක් කරමියි දහම් දෙසීම කළ යුතුයි.

මෙම කරුණු පහෙන් තොරව යම් භික්ෂුවක් (ස්වාමීන් වහන්සේ) දහම් දේශනා කොට වදාරයි නම් එය පිරිසුදු දේශනාවක් නොවේ.

පිළිවෙළකට දහම් දේශනා කළ යුතුයි. ගිහියාට අවබෝධ වන අයුරින්

ආදි කල්‍යාණං - මුල (සීල)

මජෙඣ කල්‍යාණං – මැද (සමාධි)

පරියොසාණෙ කල්‍යාණං – අග (ප්‍රඥා)


මුල, මැද, අග යන්නද දැන ඉතා පිරිසුදු දහම් දේශනා කොට වදාළ යුතුයි. මුල නම් ශීලයයි. මැද නම් සමාධියයි. අඟ නම් පඤ්ඤාවයි. විටක බුදුරජාණන් වහන්සේ “ න භීක්ඛවෙ ආයාතකෙන ගීතස්සරෙන ධම්මෝ භාසිතබේබ “ දික් වූ ගීතයෙන් ඇද උස්කොට නගන පහත් කොට හෙලන හඬින් ලෙලව ලෙලවා බණ නොකිව යුතුයි. වශයෙන් ශික්‍ෂා පදයක්ද වදාළහ. මේවා මනාව අවබෝධ කර නොගන්නා කම නිසා බොහෝ මිනිසුන් මුලා වී අනවබෝධාත්මක දේ පිටිපස හඹා යන බවක හැඟෙයි. වහාම මේවා අවබෝධ කරගෙන ධර්මය තුළ ජීවත් වීමට උත්සාහ කළ යුතුයි.

සසර ගමන ඉතා ඉක්මණින්ම නතර කරගත යුතුයි. නැතහොත් නැවත දහම් ඇස කවදා කෙසේ පහළ කර ගැනීමට හැකිවේවිද යන්න අවිනිශ්චිතයි. භික්‍ෂුවක් ධර්මාසනයකට වැඩිය පසු එතැන මහත් සහනයක් ගෙන දෙන තැනක් විය යුතුයි. විහිළු කරමින් කෙලි කවටකම් කරමින් නළුවන් රඟන වේදිකාවක් නොවිය යුතුයි.
දහම් යනු ලෝක සත්වයා සසර කතරින් එතෙර කරවන ආර්ය්‍ය දේශනාවකි. විහිළු තහළු කරමින් දහම් දේශනා කරන්නේ නම් එයින් අකුසල් සිදුවෙයි. දෙනු ලබන දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයි.

“සබ්ද දානං ධමම දාන ජිනාති “

දිනක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ අලුයම නැගිට දහම් පදයක් සජ්ඣායනා කරන්නට විය. ඒ අවස්ථාවේ එක්තරා යකින්නියක් තම පි‍්‍රයංකර පුතුන් සමඟ ආහාර සොයා යන්නට විය. ඒ යන විට ඇගේ හිතට සහනයක් ගෙන දෙන වාග් මාලාවක් කණ වැටුණි. එහෙත් ඒ වචන මාලාව ඇසීමට නොහැකි වෙයි.
තම දරුවා කුසගින්න ඉවසා ගැනීමට නොහැකිව අඬයි. එවිට මේ යකින්න තම පුතාට නොහඬන්න. පුතේ නොහඬන්න යැයි කියමින් පුතා සනසවා දහම් පද අසා එයින් චුතව මිනිසත් බවක් ලබා රහත් බවට පත් වූවාය.

භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනා කිරීමේ දී ක්‍රමවේදයන් හතරක් (04) භාවිතා කොට ඇත.

1. පටිජුචඡාව්‍යාකරණීය - ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් කරුණු පැහැදිලි කරදීම

2. එකංස ව්‍යාකරණීය – කිසියම් පැනයකට එක එල්ලේම පිළිතුරු දීම

3. විභජ්ජ ව්‍යාකරණීය – කොටස් කොටස් වශයෙන් බෙදා විස්තර කර දීම

4. ඨපනිය - වැඳ ගැම්මකට නොමැති ප්‍රශ්න ඉවත් කරලීම


තවත් ක්‍රම (4) ක් උපයෝගී කරගෙන ඇති බවක්ද පෙනේ.

1. අත්තජඣාසය -
2. පරංක්‍ධාසය -
3. පූච්ඡාවසික -
4. අට්ඨූපපතතික -


බුදුරජාණන් වහන්සේ ඒ ඒ අයට ඒ ඒ අයුරින් දහම් ඇස පහළ කර වූ සේක. චුල්ලපන්ථක හා මහාපන්ථක සොහොයුරන් දෙදෙනා වහන්සේ නමකි. මෙයින් චුල්ලපන්ථක හිමියන්ට කිසිම දෙයක් මතක නොසිටියි. පාඩම් නොසිටියි. උන්වහන්සේට ඒ හේතුව නිසාම තම සොහොයුරාද වූ මහාපන්ථක හිමිගෙන් නිතර නිතර ආරක්‍ෂාව හා සෙනෙහස කරුණාව අහිමි විය. මේ හේතුව නිසාම බොහෝ දුකට පත් වූ චුල්ල පන්ථක හිමියන් දුටු බුදුරජාණන් වහන්සේ සුදු රෙදි කඩක් අතට දී මේ රෙදිකඩ “රජො හරණං රාජො හරණං “ වශයෙන් කියමින් පිරිමදින්නැයි වදාළහ. පසුව බොහෝ වේලාවක් එසේ කළ පසු සුදු රෙදිකඩ ජරාවට පත්විය. ඒ බව මෙනෙහි කොට ජීවිතේ ස්වභාවය අවබෝධ කොට රහත් භාවය ලැබූහ.

තවත් විටක තම දරුවා මැරුණත් නොමැරු දරුවෙකු මෙන් ඇකයේ හොවා ගෙන මේ දරුවා සුවපත් කරදෙන්නැයි ගෙයක් ගෙයක් පාසා ගිය කිසාගෝතමීට සහනයක් වූයේත් නොමළ ගෙයකින් අබ මිටක් සොයාගෙන එන ලෙස කීමෙනි. එතැන්හිදී බුදුරජාණන් වහන්සේ මානසික වෛද්‍යවරයෙකි. සියලුම රෝග වලට බේත් කරණ වෛද්‍යවරයෙකි. ඒ නිසාම භෙසජ්ජ ගුරු වෙයි.

නියම ධර්ම දේශකයන් වහන්සේ තමන් ළඟ තිබිය යුතු දේ හැටියට අටුවාචාරීන් පෙන්වා දෙනු ලබන්නේ අන් අයට දහම් දේශනා කොට වදාරන්නා විසින් ධර්මයෙහි සැබෑ අර්ථ හෙළි පෙහෙළි කොට දක්වා මුල මැද අග සම්බන්ධ කොට පරස්පර විරෝධී නොවන සේ දහම් දෙසීම කළ යුතුයි. දහම් දේශනා කරණ විට කිසියම් පිරිසක් වෙත්නම් ඒ අයට මෙතෙක් වේලා බණ කිව යුතුයි.

ඔවුන්ගේ සිරිත් විරිත් දන්නකු වී බණ කීමට දේශකයන් වහන්සේ සකස් විය යුතුයි. අකුරු පද නොනසමින් වැකි නොනසමින් ඉක්මන් නොවී බොහෝ කරුණු කාරණා නොකියා හරිමින් ධර්ම ශ්‍රවණය කරන්නට අවුල් නොවී ධර්ම ශ්‍රවණය කිරීමට සත්‍යම දේශනා කරමින් අසන්නාට පහසු අයුරින් තේරුම් ගත හැකි අයුරින් ඉතා මධුර වූ පැහැදිලි හඬකින් අසන්නාගේ කණට සහනයක් ගෙන දෙන අයුරන් මිනිස් හඬින් ශිෂ්ට වචනයෙන් ඉක්මන් කමින් හා ඉතා පමාවීමෙන් තොරව උස් හඬින් හා පහත් හඩින් වෙන්ව එකම මට්ටමක සිට ධර්ම ශ්‍රවණය කරන්නන්ගේ අවධානය තමා වෙතට නතු කරවා ගෙන දහම් දේශනාව කිරීම කළ යුතුයි.

ඒ නිසාම සියල්ලම අවබෝධ කොට ගෙන ක්‍රමයෙන් තමාත් නිවන් මාර්ගය පසක් කොටගෙන අන් අයටද ඒ උතුම් අමා මහා නිවන් අවබෝධය පිණිසම දහම් දේශනා ම¼ග අවබෝධයෙන් තේරුම් ගෙන දහම් දේශනාව පවත්වමු. සියලු සතුන් ලොව සත් සිත් ඇත්තෝ වෙත්වා ! නිවන් දකිත්වා !

 දියදොර ඉහළවත්ත
ශ්‍රී ජයසුමනාරාමයේ
වෙලගෙදර අනෝමසිරි හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ වප් පුරපසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ ඔක්තෝබර් මස 22 වන  සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment