නකුල පියාත්, නකුල මාතාවත් විවාහ දිවිය පිළිබඳ කර ඇති මෙම ශ්‍රේෂ්ඨ විග්‍රහය වර්තමානයේ විවාහ ජීවිතයන් සාර්ථක කරගැනීම සඳහා කෙතරම් ප්‍රයෝගික වන්නේ ද යන්න සිතා බැලිය යුතු ය. විවාහ ජීවිත සමඟ අඹු, සැමියන් අතර ඇතිවන නව බැඳීම සෙනහසින්, ආදරයෙන් මෙන්ම විශ්වාසයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ඇති කරගනු බැඳීමක් වන්නේ නම් විවාහ දිවියේ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ගොඩනැඟෙන්නක් බව මෙම කතා ප්‍රවෘත්තියෙන් කියා දෙයි
පසුගියදා අපගේ අවධානය යොමු වුයේ කවුරුත් හොඳින් දන්නා සූත්‍ර ධර්මයක් වන දීඝ නිකායේ ඇතුළත් සිඟාලෝවාද සූත්‍රයේ එන ස්වාමි, භාර්යා යුතුකම් විමසා බැලීමටයි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, ප්‍රඤ්ඤාභිසන්ද වර්ගයේ ඇතුළත් නකුලපිතු සූත්‍රයෙහි සඳහන් යුග දිවියේ සාර්ථකත්වය සඳහා බලපාන කරුණු මොනවාදැයි විමසා බැලීමටයි.
නකුල මවත්, නකුල පියාත් බුදුරජාණන් වහන්සේට ආත්ම පන්සියයක් මව්පියන් ලෙස ද, ආත්ම පන්සියයක් වැඩිමහල් මාපියන් ලෙසද, තවත් අවුරුදු පන්සියයක් සුළු මාපියන් වශයෙන් සසර ගමනේ දී හමු වී ඇත. බුදුරජාණන් වහන්සේ දුටු දිනයේ පටන් මේ දෙදෙනාට පුත්‍ර ස්නේහය ඇති වී ඇත. එනම් බුදුරජාණන් වහන්සේට මේ දෙපළ අමතා ඇත්තේ තමාගේම පුත්‍රයෙකුට කරන ආමන්ත්‍රණයෙනි. බුදුරජාණන් වහන්සේගේ පළමු හමුවෙන්ම බණ අසා සෝවාන් ඵලයට පැමිණි මේ දෙපළ ගත කළ විවාහ ජීවිතය බුදුදහමේ සාර්ථකම විවාහ දිවිය ලෙස සලකනු ලැබේ. බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම ගණනාවක තම මාපියන් වූ මේ දෙපළ හමුවීමට කිහිප වතාවක්ම වැඩම කොට ඇත.
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භගු රට සුංසුමාර පර්වතයෙහි, භේසකලා වනයෙහි, මිගදායෙහි වාසය කරන සේක.එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙන, නකුල පිතු ගෘහපතියාගේ නිවාසය යම් තැනක ද, එහි වැඩියහ. එහි වැඩම කොට, පනවන ලද අසුනෙහි වැඩහුන් සේක.
එසේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ නකුලපිතු ගෘහපතියා නකුලමාතා ගෘහපතිනිය පිළිබඳ මෙසේ සැලකර සිටියහ. ‘ස්වාමිනි, යම් කලක බාල වයස් වූ නකුල මාතාව, බාල වයස් වූ මා ගෙන එන ලද්දේ ද, නකුල මාතා ගෘහපතිනිය සිතිනුදු මා ඉක්මවා හැසිරීමක් නොදනිමි වචනයෙනුදු මා ඉක්මවා හැසිරීමක් නොදනිමි. කයෙන් කියනුම කවරේද? එය ද එසේමය. ස්වාමීනි අපි මෙලොවද ඔවුනොවුන් දකින්නට කැමැතිවෙමු. පරලොවද ඔවුනොවුන් දකින්නට කැමැති වෙමු.” යනුවෙන් තම ස්වාමි දියණිය ගැන නකුලපිතු ගෘහපති තුමා බුදුරජාණන් වහන්සේට කීය.
එවිට නකුලමාතා ගෘහපතිනිය ද බුදුරජාණන් වහන්සේ සමීපයට එළැඹ, බුදුරජාණන් වහන්සේට මෙසේ සැලකර සිටියාය. ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, යම් කාලයක බාල වයසෙහි වූ නකුල පිතු ගෘහපතිතුමාට බාල වයසෙහි සිටි මම ගෙන එන ලද්දෙමි.නකුල පිතු ගෘහපතිතුමා සිතිනුදු මා ඉක්මවා හැසිරීමක් නොදනිමි. වචනයෙනුදු මා ඉක්මවා හැසිරීමක් නොදනිමි. කයෙන් කියනුම කවරේද? එය ද එසේමය. ස්වාමීනි අපි මෙලොව ද ඔවුනොවුන් දකින්නට කැමැති වෙමු. පරලොව ද ඔවුන්නොවුන් දකින්නට කැමැති වෙමු.” යනුවෙන් තම ස්වාමි පුරුෂයා පිළිබඳ නකුලමාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේට කීවා ය.
එවිට බුදුරජාණන් වහන්සේ ඔවුනට මෙසේ වදාළහ. ගෘහපතිවරුනි, අඹු, සැමි දෙදෙනා මෙලොවද ඔවුන් දක්නට කැමැත්තේ ද, පරලොව ඔවුනොවුන් දක්නට, කැමැත්තේ නම් දෙදෙනාම සමාන ශ්‍රද්ධා, සමාන සීල, සමාන ත්‍යාග, සමාන ප්‍රඥා ඇත්තෝ වන්නාහුය. ඔවුහු මෙලොවද ඔවුනොවුන් දකිත්. පරලොවද ඔවුනොවුන් දකිත් යනුවෙන් වදාළ සේක.
තවදුරටත් ඔවුන්ගේ ගෘහ ජීවිතය පිළිබඳ අගය කරන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
උභො සද්ධා වදඤ්ඤුච
සඤ්ඤතා ධම්මජිවිනො,
තෙ හොන්ති ජානිපතයො
අඤ්ඤමඤ්ඤං පියංවදා.
අත්ථාසං පවුරා හොන්ති
ඵාසුකං උපජායති,
අමිත්තා දුම්මනා හොන්ති
උභින්නං සමසීලිනං
අඹු සැමි දෙදෙනා ශ්‍රද්ධාවන්තද, යාචක ජනයාගේ වචන දන්නාහුද, සංයමද, ධාර්මික ජීවිකාවෙන් යුක්තද, ඔවුහු ඔවුනොවුන් පි‍්‍රය වචන කියන්නාහු වෙත්ද, ඔවුන්ගේ වස්තුන් බොහෝ වෙත්. පහසුව පිණිස පවතී. සමාන ස්වභාව ඇති දෙදෙනාගේ අමිත්‍රයෝ දුර්මුඛ වෙත්.
ඉධ ධම්මං චරිත්වාන
සමසීලබ්බතා උහො,
නන්දිනො දෙවලොකස්මිං
මොදන්ති කාමකාමිනො’ ති
සමාන සීල පැවතුම් ඇති දෙදෙනා මෙලොව ධර්මයෙහි හැසිර කැමැති දෙයින් කැමැති වෙමින් සතුටු වන්නාහු දෙව්ලොවදීත් සතුටුවෙත්.
නකුල පියාත්, නකුල මවත් හමුවීමට වැඩිය බුදුරජාණන් වහන්සේට මේ දෙපළ පවසා සිටින තම යුගදිවිය පිළිබඳ කරුණු කාරණා සාර්ථක විවාහ දිවියකට අතිශයින්ම වැදගත් වෙයි. නකුල පියා බුදුරජාණන් වහන්සේ තම ස්වාමි දියණිය පිළිබඳ සිදු කරන වර්ණනාව මිහිපිට ස්වාමියකු විසින් තම භාර්යාව පිළිබඳ කරන ලද ශ්‍රේෂ්ඨ ඇගයීමකි. තරුණ වයසේ විවාහ වී තම නිවෙසට රැගෙන එන ලද නකුල මාතාවට තමා එදාත්, අදත් දක්වන්නේ එක හා සමාන සෙනහසක් බව ඔහු ප්‍රකාශ කරයි. එදා පටන් අදවන තෙක් තම ස්වාමි දියණිය වචනයෙන්, කයින් මෙන්ම සිතින් පවා කිසිදු වෙනසක් නොදක්වා ඇති බව බුදුරජාණන් වහන්සේට පැවසීම තම ස්වාමි දියණියට කරන ලද මහත්ම ගෞරවයකි. එමෙන්ම මෙලොව පමණක් නොව පරලොව ද ඔවුන් එකිනෙකා දැකීමට කැමැති බව දැන්වීමෙන්ම කෙතරම් අර්ථවත් අයුරින් තම ගෘහ ජීවිතය ගත කර ඇත් ද යන්න පැහැදිලි වෙයි.
නකුල මාතාව ද බුදුරදුන් ඉදිරියේ තම ස්වාමියා පිළිබඳව ද එවැනිම වර්ණනාවක් කරයි. තමා ද නකුල පියා විසින් බිරිඳ ලෙස ඔහුගේ නිවසට රැගෙන ආ දිනයේ පටන් අද දක්වා කිසිම වෙනසක් නැතිව එක හා සමාන සෙනෙහසින් කටයුතු කරන බව දක්වා තම ස්වාමිපුරුෂයා තමාට එදා පටන් අද දක්වා වචනයෙන් කයින් මෙන්ම සිතින් ද කිසිදු වෙනසක් නොදක්වමින් එක හා සමාන පි‍්‍රය භාවයෙන් කටයුතු කරන බව දක්වමින් තම ස්වාමියා පිළිබඳ කරන ලද ගෞරවනීය ප්‍රකාශනය එදා සිට අද දක්වා බෞද්ධ සාහිත්‍යයේ ස්වාමි දියණියක විසින් තම ස්වාමිපුරුෂයා පිළිබඳ කරන ලද ශ්‍රේෂ්ඨතම ඇගයීම බවට පත්ව ඇත.
මෙම නකුල පියාත් නකුල මාතාවත් විවාහ දිවිය පිළිබඳ කර ඇති මෙම ශ්‍රේෂ්ඨ විග්‍රහය වර්තමානයේ විවාහ ජීවිතයන් සාර්ථක කරගැනීම සඳහා කෙතරම් ප්‍රයෝගික වන්නේ ද යන්න සිතා බැලිය යුතු ය. විවාහ ජීවිත සමඟ අඹු, සැමියන් අතර ඇතිවන නව බැඳීම සෙනහසින්, ආදරයෙන් මෙන්ම විශ්වාසයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ඇති කරගනු බැඳීමක් වන්නේ නම් විවාහ දිවියේ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ගොඩනැඟෙන්නක් බව මෙම කතා ප්‍රවෘත්තියෙන් කියා දෙයි.
මහරැඹෑවැවේ පාලිත හිමි
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
මාර්තු 16 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment