Labels

Friday, August 28, 2015

දත යුතු සතර අපා තතු

 

අනේකවිධ දුක්ඛයන්ගෙන් යුක්ත වූ ප්‍රේත අපාගත උප්පත්ති ලබන්නෝ කවරහුද? තුන්සිත පහදවාගෙන දන් නොදෙන්නෝ, ඊර්ෂ්‍යාවෙන් හා ලෝභකමින් යුක්ත වූවෝ, මව්පියන් කෙරෙහි නිවැරැදි පිළිපැදීම් නැති අය සහ අගතියෙන් නොමඟ යන්නෝ ආදි අනේකවිධ පාපී ක්‍රියාවන්හි නියුක්ත වූවෝ මරණෙන් මතු ප්‍රේතලෝක උප්පත්ති ලබති.


බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද්දා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට නොගත්, මාර්ගඵලයනට නොපැමිණි මනුෂ්‍ය සත්වයා ඇතුළු සෑම සත්වයකුම සසරෙහි භයානකත්වය දැන වාසය කිරීම යහපත්ය. සසරෙහි බියජනක ස්වභාව නොදන්නා වූ, අවිද්‍යාවෙහි ඇලුණු මානවයා මමය, මාගේය යන දිට්ඨියෙන් යුක්තව වාසය කොට මියෙදී, දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයෙහි උපරිම ඵල නොලැබ පුද්ගලයන් හා වස්තුන් කෙරෙහි ඇති කරගත් තෘෂ්ණාවට අනුරූපව සතර අපායට වැටී අනේක විධ දුක් විඳියි.
දුලබ මිනිස් ජීවිතයක ඇති වටිනාකම හා උත්තරීතර බව තේරුම් ගෙන කුසල් දහම්හි යෙදී වාසය කිරීමට උත්සුක වනුයේ සසරෙහි නියම තතු දන්නා වූ ප්‍රඥාවන්තයකුම පමණි. සංසාරයෙහි සැබෑ තත්ත්වය නොදන්නා වූ පෘථග්ජන පුද්ගලයා කුසල් දහම්හි නොයෙදී තම මනුෂ්‍ය ජීවිතය පාවා දෙමින් කටයුතු කරයි. සංසාරයෙහි ඇලී ගැලී අනේක දුක් විඳින්නා වූ සසරගත සත්වයා හට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව සසරෙහි භයානකත්වය පිළිබඳ දේශනා කොට වදාරමින් එයින් මිදීම උදෙසා වු මාර්ගය පෙන්වා වදාළ සේක.

ලෝක සත්වයන් අනාදිමත් කාලයක් මුළුල්ලෙහි අවිද්‍යාවෙන් මුළාවී, තෘෂ්ණාවෙන් බැඳී, කුසලාකුසල කර්ම සිදුකරමින් එම කර්මයන්ට අනුරූප සැප දුක් විඳින ආකාරය පිළිබඳ මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසකයේ දේවදූත සූත්‍රයේ දී පෙන්වා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩසිිටින සමයෙහි සිව්වනක් පිරිස අමතා මේ සූත්‍ර දේශනාව සිදුකොට වදාළ සේක.

“මහණෙනි, මුහුණට මුහුණ ලා දොරටු ඇති ගෙවල් දෙකක් අතර මනාව ඇස් පෙනෙන පුරුෂයෙක් සිටියේ වී ද එක් ගෙයකින් නික්ම අනෙක් ගෙට පිවිසෙන්නා වූ ද එම ගෙවල් හි ඉරියව් පවත්වන්නා වූ ද, ඔබ මොබ හැසිරෙන්නා වූ ද, මිනිසුන් දක්නේ යම් සේද මහණෙනි, මම ද පිරිසුදු වූ මිනිස් ඇස ඉක්ම වූ දිවැසින්, කර්මානුරූපව චුත වන්නා වූ ද, තදනන්තර භවයෙහි උපදින්නා වූ ද, සත්වයන් තත් වූ පරිද්දෙන් දකිමි.”
මෙලෙස සත්වයාගේ චුති චිත්තය අනුව ලබන ප්‍රතිසන්ධිය පිළිබඳ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් ස්පර්ශ කරති. ජීවත්වන කෙටි කාල පරාසය තුළ ප්‍රාණඝාත, අදත්තාදාන සහ කාමමිථ්‍යාචාරයන්ගෙන් වෙන් වී කායසුචරිතයෙහි යුක්ත වූවන් ද, මුසාවාද, පිසුනාවාච, සම්ඵප්‍රලාප සහ ඵරුසාවාචයන්ගෙන් වෙන්වී වාග් සුචරිතයෙහි යුක්ත වූවන් ද අභිද්‍යා, ව්‍යාපාද, මිථ්‍යා දෘෂ්ටින්ගෙන් වෙන්වී මනෝ සුචරිතයෙහි යුක්ත වූ අය ද ආර්ය උපවාද නොකරන ලද සහ සම්‍යග් දෘෂ්ටි ඇත්තා වූ ප්‍රඥාවන්තයන්ද මරණින් මතු සුගති භූමි ලෙස හඳුන්වන්නා වූ මනුෂ්‍යයන් අතර හෝ දෙවියන් අතර උපදනා බව ශාන්තිනායකයන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

සුචරිතයෙහි නොයෙදී කාය දුශ්චරිතයෙන්, වාග් දුශ්චරිතයෙන් හා මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූ පිරිස් ද ආර්යයන්ට උපවාද කළාවූත්, මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්තව මිථ්‍යා ශීලව්‍රතාදී කර්ම ඇත්තන් ද මරණෙන් මතු ස්වර්ගමෝක්ෂ සම්පත්තියෙන් වියුක්තව වාසය කරන බව මෙම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ සේක. මෙලෙස පුද්ගලයා විසින් සිදුකරනු ලබන කුසලකර්ම සහ අකුසල කර්ම හේතු කොටගෙන සුගති – දුගති භූමිවල සැරිසරයි. ඒ අනුව, අකුසල කර්මයන්හි බලවත් බව අනුව සතර අපා දුකට පැමිණෙයි. අනේක දුක්ඛයන්ගෙන් පරිපූර්ණ එම සතර අපාය තිරිසන්, ප්‍රේත, අසුර හා නිරය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක.

“තිරො අඤ්ජිතාති – තිරච්ඡානා” කිසි ලෙසකින් මඟඵල ලබන්නට නොහැකි වූ, එහෙයින්ම පහතට පතිත වන, කාමයෙන් හා බියෙන් නිතර තැවෙන සත්වයෝ තිරච්ඡාන නම් වෙති. මෝහයෙන් මුළාවී, කුසල ක්‍රියාවන් හඳුනා නොගෙන, අකුසල කර්ම කළ අය බොහෝ සෙයින් තිරිසන් අපායෙහි උපදිති. තිරිසන් ලෝකයෙහි භයානකත්වය අතිමහත්ය. මූලික වශයෙන් තිරිසන් ලෝකය සංඥා තුනකින් යුක්තය. ඔවුහු කාම සේවනය නිතර බලාපොරොත්තු වෙමින් වාසය කරති. එමෙන්ම කිනම් වෙලාවක ගොදුරක් ලැබේදැයි සොයසොයා ඇවිදිති. මරණ බියෙන් තොරව ගත කරන එක් මොහොතක්වත් නොමැති තරම් ය. ආහාර සෙවීම ද, කාමසේවනය ද මරණ බියෙන් යුතුවම සිදුවෙයි. මෙම තිරිසන් සතුන් අතර ඇසට පෙනෙන, නොපෙනෙන, දිග වූ, කෙටි වූ, මහත් වූ, සියුම් වූ බොහෝ වර්ගවල තිරිසන් සත්වයන් වේ.
උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා වුවද අකුසල ක්‍රියාවන්හි යෙදෙමින් සිට තිරිසන් අපායට වැටී අනේක දුක් විඳින්නට සිදු වූ සත්වයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී පෙන්වා දෙනු ලැබිණි. බුද්ධකාලීන භාරතයෙහි බමුණකුව උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලද්දා වූ තෝද්‍යෙය තෙමේ, මරණෙන් මතු සුනඛයකු වූයේ තමා ජීවිත කාලයේ දී ලද වස්තුව කෙරෙහි ඇති කරගත් ආශාව හා තණ්හාව නිසාවෙනි. අවබෝධයෙන් තොරව වස්තුව පරිහරණය කිරීම නිසාවෙන් කල්ප ගණන් අපාදුක් විඳින්නට සිදුවූවන් අපමණය.
තිරිසන් අපාය මෙන්ම ප්‍රේත අපාය ද දුශ්චරිතයෙහි ඇලී ගැලි වාසය කරන තැනැත්තන්ට උරුමවන ස්ථානයකි. ඛුද්දක නිකායෙහි ප්‍රේත වස්තුවෙහි බොහෝ සෙයින් ප්‍රේත සත්වයන් පිළිබඳ දක්වා ඇත. ‘පකඨෙන සුඛතො ඉතා ගතානිති පෙතා’ මුළුමනින්ම සැපයෙන් පහව ගියේ ප්‍රේතයන්ය. විවිධ ආකාර වූ ප්‍රේතයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සේක. සිරුර තුළම දැල්වුණු ගිනිදැලෙන් දැවෙන සිරුරු ඇති ප්‍රේතයෝ නිජ්ඣාමතණ්හිත නම් වෙති. ගස් සිදුරක හටගත් ගින්නෙන් ගස දැවෙන්නා සේ ඔවුහු දැවෙති. මල, මුත්‍ර, සෙම්, සොටු පමණක් ආහාර කොටගෙන බුද්ධාන්තර දහස් ගණන් සා පිපාසා දෙකෙන් පීඩා විඳින්නෝ ඛුප්පිපාසික නම් වෙති. පස්ගොඩවල්, කුණු ගොඩවල්, අසූචි වළවල් හා කඳුබෑවුම් ආදී අපිරිසුදු ස්ථානවල උපදින්නේ පංසුපිසාචක ප්‍රේතයන්ය. අන් අය අනුමෝදන් කරන ලද පින්වලින් පමණක් ජීවත් වන්නේ පරදත්තූපක ප්‍රේතයන්ය.

සඳඑළියක් හිරුඑළියක් නොලබා තද ගනඳුරෙන් වැසුණු, තද සීතලෙන් අතරක් නෑර පීඩා විඳින්නා වූ උපන්නවුන්ගේ සිරුර කාරම් දියෙන් පිරුණු චක්‍රාවාට තුනක් මැද උපන්නේ කාලකඤ්ජික ප්‍රේතයන්ය. සිවි, සම්, නහර පමණක් ඇති ලේ මස් නැති ඇටසැකිලි දරන්නේ අට්ඨිසංඛලික නම් පිරිසය. සම නැති, ඇටනහර වැසුණු කුණු වූ මස් ගොඩක් වැනි සිරුරු දරන්නේ මංසපිණ්ඩික නම් ප්‍රේතයන්ය.
මෙසේ අනේකවිධ දුක්ඛයන්ගෙන් යුක්ත වූ ප්‍රේත අපාගත උප්පත්ති ලබන්නෝ කවරහුද? තුන්සිත පහදවාගෙන දන් නොදෙන්නෝ , ඊර්ෂ්‍යාවෙන් හා ලෝභකමින් යුක්ත වූවෝ, මව්පියන් කෙරෙහි නිවැරැදි පිළිපැදීම් නැති අය සහ අගතියෙන් නොමඟ යන්නෝ ආදි අනේකවිධ පාපී ක්‍රියාවන්හි නියුක්ත වූවෝ මරණෙන් මතු ප්‍රේතලෝක උප්පත්ති ලබති. අසුර අපාය කාලකඤ්ජික ප්‍රේත කොටසටම අයත් වේ.
සතර අපායන් අතුරින් අධික ලෙස දුක්ඛයන්ගෙන් ගහන වූ අපාය නම් නරකයයි. නරකය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දීර්ඝව පහදා දී ඇත. දේවදූත සූත්‍රයට අනුව, නරකය ප්‍රධාන වශයෙන් අට ආකාර වේ. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය හා අවිචිය ලෙසය. යමපලුන් විසින් ගිනිගෙන දිලිසෙන නන් වැදෑරුම් ආයුධ වලින්, උපන් නිරිසතුන් කඩ කොට සිඳිනු ලබන නමුත් නැවත නොමැරී ජීවත්වන ස්ථානය සංජීවයයි. සතුන් මැරීම, සොරකම් කිරීම, ක්‍රෝධ සහිත බව ආදි පාපී ක්‍රියා කළ පිරිස් මෙහි දුක් විඳිති. ගිනිගත් වෑ ආදිය ගෙන නිරිසතුන්ගේ ශරීරය සසින්නා වූ නරකය කාලසූත්‍රය වන අතර මව්පිය ගුරුවර කුල දෙටුවනට අපරාධ කළෝ ද මුසා බස් කියන්නෝ ද මෙහි උපත ලබති. අත් පා දඬු මුගුරින් අනුනට පහර දෙන්නෝ ද තිරිසන් සතුනට වධ හිංසාකොට මැරුවෝ ද සංඝාත නරකයෙහි දුක් විඳිති. නිරිසතුන්ගේ ශරීරයෙහි නවද්වාරයෙන් ගිනි දැල් හා නපුරුවිෂ දුමාර යැවීම නිසාවෙන් වේදනාවෙන් හැඬීම රෞරව නරකයෙහි ස්වභාවයි. බොරු සාක්‍ෂි දෙන අය, හොර වෙළෙඳාම් කරන්නෝ මෙහි විඳවති. රෞරව නරකයට වඩා හැඬීම් අධික නරකය මහා රෞරවයයි. තෙරුවන් සතු දෑ පරිහරණය කරන්නෝ මෙම නරකයෙහි පැසෙති. නිරිසතුන් ගිනිගෙන දිලිසෙන යවුල් මත අමුනවන්නාවූ නරකය තාප නරකයයි. සතර අගතියෙන් යුතුවූවෝ ද මිථ්‍යා දෘෂ්ටිගත වූවෝ ද, ප්‍රාණඝාතය කළෝ ද තාප නරකයට යති. තාප නරකයට වඩා බිහිසුණු ලෙස ගුගුරා පැසෙන නරකය ප්‍රතාප නරකයයි. තෙරුවන් නැතය කියා මිථ්‍යාදෘෂ්ටිගත වූවෝ මෙම නරකයෙහි උපදිති. ගිනිදැල් හා නපුරු සතුන් ආදි පීඩා පමුණුවන දුක්ඛයන්ගෙන් අතරක් නෑර පවත්නා බැවින් අවීචිය වන අතර ආනන්තර්ය පාපකර්ම කළෝද මිථ්‍යා දෘෂ්ටිගත වූවෝ ද මෙම අපා දුක් විඳිති.

මෙලෙස වූ සතර අපායෙහි කිසිදු සැපතක් නොමැත. ඇත්තේ දුක ශෝකය පමණක් වන අතර එය කල්ප ගණන් පවතී. සමහර මිථ්‍යාදෘෂ්ටිකයෝ සතර අපාය තොරතුරු සුරංගනා කතා ලෙස සලකා බැහැර කරති. නොඑසේනම් මානව පථය තුළම අපාය වේයැයි අදහස් කරති. නමුදු දසබලධාරී තථාගතයන් වහන්සේ පැහැදිලිවම අපායන් පිළිබඳ දේශනා කොට වදාළ සේක. ‘මම සතර අපායට නොවැටෙන්නෙක්මි’ යන්න තෙරුවන් සරණ ගිය බෞද්ධයකු හට ස්ථිරසාර ලෙස විශ්වාසයෙන් යුක්තව ප්‍රකාශ කිරීමේ ශක්‍යතාවක් ඇත්නම් ඒ ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තයකුම විය යුතු ය. ශාන්තිනායකයන් වහන්සේගේ අභිප්‍රාය වූයේ සත්වයා දුකට පමුණුවන සතර අපා දොරටු වසා ඔහුට සදාකාලික සැනසීම, විමුක්තිලාභය අත්කර දීමයි.

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ
මොරගොල්ලාගම උපසමා සිල්මාතාව

 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ අප්‍රේල් 09 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment