යම් කෙනකු මුලදී වැරැදි අඩුපාඩු සහිතව ජීවත් වී පසුව එම වැරැදි අඩුපාඩු සකස් කරගෙන නිවැරැදි ජීවිතයක් ගත කිරීමට යොමු වන්නේ නම් ඔහුට තම ජීවිතය වැඩදායක බවට පත් කරගත හැකිය. සමස්ත සමාජයම ආලෝකමත් කළ හැකිය. අංගුලිමාල හිමි සහ ධර්මාශෝක මහරජතුමා වැනි චරිතවලින් ද එය සනාථ වෙයි
යො ච පුබ්බේ පමජ්ජිත්වා
පච්ඡා සෝ නප්පමජ්ජති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝව චන්දිමා
(ධම්මපදය ලෝකවග්ගය)
මේ දහම් ගාථාව අපේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සම්මුඤ්ජන හිමියන් අරමුණු කරගෙන දේශනා කරන ලද්දකි. මෙම ගාථාවෙහි සරල අදහස මෙසේ ය. ‘යම් කෙනෙකු මුලදී පමා වී වැරැදි සිදු කර පසුව නොපමාව එම වැරැදි නිවැරැදි කර ගනී නම් ඔහු වළාකුලින් ඉවත් වූ සඳ මෙන් ලෝකය බබළවන්නේය.’
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දවස සම්මුඤ්ජන නමින් භික්‍ෂූන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේ කුඩා කාලයේදීම කරගත යුතු වූ ත්‍රිපිටක ධර්මය ඉගෙනීම, භාවනා කිරීම, වත් පිළිවෙත් කිරීම අතපසු කළහ. බොහෝ කාලයක් ගත වූ විට ඒ ගැන පසුතැවීමට පටන් ගත්හ. මට දැන් බණ දහම් ඉගෙන ගත නොහැක, භාවනා කළ නොහැක, මාර්ගඵල අවබෝධ කරගත නොහැක. එනිසා මළු පෙත්මන් ඇමදීම පමණක් කළ යුතු යයි සිතා දවස පුරාම විහාර මළුව හා අවට අතුගාමින් කාලය ගත කළහ. කාලයක් ගතවන විට වත්පිළිවෙත් කරන්නේ තමා පමණක් යන හැඟීමෙන් අධිමානයක් ඇතිකරගත්තේ ය.
දිනක් විවේකයෙන් සිටින රේවත මහරහතන් වහන්සේ සමීපයට ගොස් අලසව එක්තැනකට වී කාලය ගත නොකර තමන් මෙන් අතුපතු ගාන්න යයි ප්‍රකාශ කළහ. සම්මුඤ්ජන හිමියන් අධිමානයෙන් නොමඟ ගොස් ඇති බව අවබෝධ කරගත් රේවත මහරහත් හිමියෝ පැන් පහසු වී පිරිසුදුව තමන් සමීපයට පැමිණෙන ලෙස ඒ හිමියන්ට ප්‍රකාශ කළහ. එසේ පැමිණි පසු රේවත මාහිමියන් වහන්සේ කරුණාවෙන් මෙසේ පැවසූහ. ‘ඇවැත්නි, වත් පිළිවෙත් කිරීම ඉතා යහපත්. එසේ කිරීමෙන් පරිසරය පිරිසුදු වෙනවා. එසේම තම ශරීරයත් නිරෝගි වෙනවා. තමාගේ හා අන්‍යයන්ගේ සිත් ද පැහැදෙනවා. නමුත් එයින්ම පමණක් පැවිදි ජීවිතය සම්පූර්ණ වන්නේ නැහැ. බණ දහම් ඉගෙනීම, බණ දේශනා කිරීම, භාවනා කිරීම ආදිය ද කළ යුතුයි. පරිසරයේ තිබෙන කුණුකසල වගේම තම සිතෙහි තිබෙන කෙලෙස් කසල ද ඉවත් කරගත යුතුයි. ඒ සඳහා අසුබ භාවනාව වැඩීම ඔබවහන්සේට සුදුසුයි. උදේ සවස නියමිත වේලාවට පමණක් වතාවත් කරන්න. වැඩිවේලාවක් භාවනා කරන්න. අතීතය ගැන ශෝක නොවන්න. වර්තමානයේ ජීවත් වෙන්න.’ රේවත මහ රහතන් වහන්සේගේ මේ උතුම් අවවාද පිළිගෙන ඒ අනුව ක්‍රියා කළ සම්මුඤ්ජන හිමි ඉතා කෙටි කාලයක් තුළ විදසුන් වඩා මාර්ගඵල පිළිවෙළින් උතුම් වූ රහත් ඵලයට පත්විය. ඉන්පසු උන්වහන්සේගේ දින චර්යාවද ක්‍රමානුකුල විය. මේ ගැන සෙසු භික්‍ෂූන් වහන්සේ විමසූ විට තමන් සියලු කුණුකසල අතුගා දමා අවසන් කළ බව පැවසීය. සම්මුඤ්ජන හිමියන්ගේ මෙම ප්‍රකාශය ගැන එම භික්‍ෂූන් වහන්සේ දම් සභාවේදී බුදුරදුන් දැනුම්වත් කළහ. එහිදී බුදුපියාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රකාශය තහවුරු කරමින් ඉහත ගාථාවෙන් ධර්ම දේශනා කළ සේක. එම දම් දෙසුම බොහෝ දෙනකුට මාර්ගඵල ලබාගැනීමට හේතුවිය. මෙම ගාථාවේ සඳහන් අන්දමට ප්‍රමාද වීම යනු සිහිනුවණින් කටයුතු නොකිරීමය. එවිට තමාගේ දෙලොව දියුණුවට හේතුවන දේවලින් ඉවත් වී පිරිහීමට පත්වන දේ පමණක් කරයි. යම් කෙනකු මුලදී එසේ වැරැදි අඩුපාඩු සහිතව ජීවත් වී පසුව එම වැරැදි අඩුපාඩු සකස් කරගෙන නිවැරැදි ජීවිතයක් ගත කිරීමට යොමු වන්නේ නම් ඔහුට තම ජීවිතය තමන්ට මෙන්ම සමාජයට ද වැඩදායක යහපත් ජීවිතයක් බවට පත් කරගත හැකිය. එම ජීවිතයෙන් සමස්ත සමාජයම ආලෝකමත් කළ හැකිය. අංගුලිමාල හිමි සහ ධර්මාශෝක මහරජතුමා වැනි චරිතවලින් ද එය සනාථ වෙයි.
පින්වත, ඔබත් ඔබගේ වැරැදි අඩුපාඩු සකස් කරගෙන ලොවම ආලෝකමත් කරන පුන්සඳ වැනි පුද්ගලයකු වීමට උනන්දු වන්න. උතුම් බුදුබණට අවධානය යොමුකිරීමේ පින් බලයෙන් ඔබට දෙලොව යහපත උදාවේවා. උතුම් නිවනම අවබෝධ වේවා.
වැලිගම කොක්මාදුව ශ්‍රී පූර්වාරාම වාසී
කනංකේ රාජමහා විහාර පරිවේණාධිපති
ශාස්ත්‍රපති
කැටවල ඉන්දසාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 09 වන බ්‍රහස්පතින්දා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment