Labels

Sunday, August 30, 2015

ත්‍යාගය භාවනාවකි



පරිත්‍යාගය හෙවත් ත්‍යාගය භාවනාවක් වශයෙන් මෙනෙහි කිරීමට පිළිවන, එසේ තමන් සිදු කළ ත්‍යාගය පිළිබඳ මෙනෙහි කිරීම මඟින්, දන් දීමෙන් ලබන කුසල ඵල වලට අමතරව, චිත්ත සමාධිය උපදවා ගැනීමට ද හැකි වෙයි. ඔබ ‘ත්‍යාගානුස්සති’ භාවනාව වැඩීමට අදහස් කරන්නේ නම්, ආහාරයට ගන්නා දෙයින් ස්වල්පයක් හෝ සුදුසු ප්‍රතිග්‍රාහකයෙකුට පිළිගන්වමියි කියන අදිටන ඇති කරගත යුතු ය.


ලෞකික ජීවිතයේ දී අනේක විධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව ඔබ දන්නෙහිය. එම සියලු ගැටලුවලට විසඳුම් බුදු දහම තුළ පෙන්වා දී ඇත. ගිහි හෝ පැවිදි හෝ අපට අවශ්‍ය කරන්නේ මානසික සැනසීමයි. එම සැනසිල්ල ලබා ගන්නා ආකාරය මජ්ජිම නිකායට අයත් ‘සබ්බාසව‘ සූත්‍රයේ ඉතා පැහැදිලිව දක්වා ඇත. එහි සඳහන් පරිදි,

1 . පටිසේවන පහාතබ්බා - අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි සීමා සහිතව පරිහරණය කිරීම මඟින් ගැටලු විසඳා ගත හැකිය. ආහාරපාන, ඇඳුම්, පැළඳුම්, ජලය, විදුලිය වැනි සියලු දෙයක්ම ප්‍රමාණය නොඉක්මවා පරිහරණය කළ යුතු ය. එසේ නොකළොත් ආර්ථික, සෞඛ්‍ය මෙන්ම සමාජයෙන් ද පරිහානියට පත්වෙයි.

2. අධිවාසන පහාතබ්බා - ඉවසීම මඟින් ගැටලු නිරාකරණය කර ගත හැකිය. නොඉවසිල්ල නිසා බොහෝ ගැටලු ඇතිවී අවුල් ජාලයක් වන අවස්ථාවන් ඇත. එබැවින් ඉවසීමෙන් සැනසීම ලබාගත හැකි බව සිතිය යුතු ය.‍

3. පරිවර්ජන පහාතබ්බා - සිතට ආවේගයක් ඇති වූ විට එම ස්ථානයෙන් ඉවත්ව යාම මඟින් බොහෝ ගැටලු විසඳා ගත හැකිය. කලකෝලාහල වැනි අවස්ථාවන්ට පැටලීම මඟින් බොහෝ දෙනා විපතට පත්වන අයුරු දැකිය හැකි ය.

4. විනෝදනා පහාතබ්බා - සිත තුළ ඇතිවන කෝපය, වෛරය පළිගැනීමේ චේතනාව, තණ්හාව, ආශාව වැනි දෙය නිසා ගැටලු ඇති වේ. ඒවා නිසා දරුණු අපරාධ පවා කිරීමට පෙළඹෙයි. එබැවින් එවැනි චේතනා ඉවත් කර ගත යුතු ය.

5. දස්සනා පහාතබ්බා - එනම් අවබෝධයෙන් කටයුතු කිරීමයි. හොඳ සහ නරක පිළිබඳ, කළ යුතු දෙය නොකළ යුතු දෙය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු ය. අනෙකුත් ජාතිකයන්, අනෙකුත් ආගමිකයන් පිළිබඳ මනා අවබෝධයක් මෙන්ම සුහදතාවයක් ගොඩනඟා ගත යුතු ය. එසේ නොවුනහොත් ආගමික, වාර්ගික ගැටුම් ඇති වෙයි.

6. සංවර පහාතබ්බා - මෙයින් පෙන්නුම් කරන්නේ පංච ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමයි. සමාජයේ බොහෝ ගැටලු ඇති වන්නේ පංච ඉන්ද්‍රියයන් අසීමිතව පිනවීමට උත්සා ගැනීම නිසායි. එසේනම් සිත, කය,වචනය කියන තිදොර යමෙක් සංවර කරගන්නේ නම් වර්තමානයෙහි අප දකින බොහෝ සමාජ ගැටලු විසඳා ගත හැකි ය.

7. භාවනා පහාතබ්බා - මනස නොහොත් සිත සංවර කර ගැනීම මඟින් සියලු ගැටලු නිරාකරණය කර ගත හැකි ය. බුදු දහමේ ඉගැන්වීමට අනුව සියලු දෙයටම ප්‍රධාන වන්නේ මනස හෙවත් සිතය. යමෙක් සිත සංවර කරගන්නේ නම් හෙතෙම සමාජයට වැඩදායක අයෙකු මිස, සමාජයට කරදරකාරී අයෙක් නොවේ. ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට සෙතක් ශාන්තියක් මිස කරදරයක් විපතක් ඇති නොවේ.
මනස හෙවත් සිත එකඟ කර ගැනීම මඟින් අපේ සිත සහ හදවත පිරිසුදු කර ගැනීමට හැකියාව ලැබෙයි. එවිට ශක්තිමත් මනසකින් යථාර්ථය වටහා ගැනීමට හැකි වෙයි. නිරතුරුවම මිනිස් සිත් ආශාවන්, සහජ ගති, ප්‍රේමය, වෛරය, ආශාව වැනි සිතිවිලි රාශියකින් පිරී ඇත. සිතට නැග එන අප්‍රමාණ සිතිවිලි අතරින් අපට ප්‍රයෝජනයක් නැති, පීඩාකාරී සිතිවිලි වලින් මිඳීමට අවශ්‍යතාවයක් ඇති වෙයි. එවිට ඇතැම් දෙනා කරන්නේ කුමක්ද? ඇතැමුන් කලා නිර්මාණ වලට යොමු වෙති. ඇතැමුන් හුදු තාවකාලික විනෝදාශ්වාදයට යොමු වෙති. තවත් පිරිසක් මත් වතුර, මත් ද්‍රව්‍ය වලට යොමුවීමෙන් මානසික අසහනය තාවකාලිකව යටපත් කර ගැනීමට උත්සාහ කරති. එයට ද එහා යන ඇතැමුන් අසහනය දුරු කර ගනු පිණිස සිය දිවි නසා ගැනීමට පෙළඹෙති. එවැනි නිරර්ථක ක්‍රියා මාර්ගයන්ට යොමු විය යුතු නැත. හිතට සහනයක් ලබා ගැනීමට බෞද්ධ භාවනා ක්‍රම අතිශය වැදගත් වෙයි. එයින් සිතෙහි නිරෝගිතාවය මෙන්ම කයෙහි නිරෝගිතාවය ද ඇති කර ගත හැකිය. සමථ භාවනා කිරීමේ දී කමටහන් හතළිහක් පමණ ඇත. එයින් එක කමටහනක් නම් ත්‍යාගයයි. එය ත්‍යාගානුස්සති භාවනාව වශයෙන් හඳුන්වයි. එම ත්‍යාගානුස්සති භාවනාව කරන ආකාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ.

පරිත්‍යාගය හෙවත් ත්‍යාගය භාවනාවක් වශයෙන් මෙනෙහි කිරීමට පිළිවන, එසේ තමන් සිදු කළ ත්‍යාගය පිළිබඳ මෙනෙහි කිරීම මඟින්, දන් දීමෙන් ලබන කුසල ඵල වලට අමතරව, චිත්ත සමාධිය උපදවා ගැනීමට ද හැකි වෙයි. ඔබ ‘ත්‍යාගානුස්සති’ භාවනාව වැඩීමට අදහස් කරන්නේ නම්, ආහාරයට ගන්නා දෙයින් ස්වල්පයක් හෝ සුදුසු ප්‍රතිග්‍රාහකයෙකුට පිළිගන්වමියි කියන අදිටන ඇති කරගත යුතු ය. එසේ අදිටන් කරගෙන ගුණවත්, සිල්වත් ප්‍රතිග්‍රාහකයෙකුට ශක්ති ප්‍රමාණයෙන් යමක් පරිත්‍යාග කර, ඒ දෙන ලද දානය පිළිබඳ මෙනෙහි කරමින්,
මච්චේර මල පරියුට්ඨිතාය අජාය විගත මච්චරේන චේතසා විහරාම් මුක්ත චායෝගයපානී වොස්සග්ගරතෝ යාචයෝගෝ දානසංවිභාගරතෝ...... (අංගුත්තරනිකාය) සඳහන් පරිදි ‘ඒකාන්තයෙන්ම මට ලැබුණේ ලාභයකි. මසුරුකමෙන් මිඳුනෙමි. සම්පූර්ණ අයිතිය අතහැර දන් දෙන්නෙක් වෙමි. (මුක්තචාගෝ) සැමදා මගේ අතින් සකසා දන් දෙන්නෙක් වෙමි. (පයථපානී) නිරන්තරයෙන්ම දන් දෙන්නට කැමැත්තෙක් වෙමි. (වොස්සග්ගරතා) කිසිවකු විසින් ඉල්ලන ලද දෙය පරිත්‍යාග කිරීමට කැමැත්තෙක් වෙමි. (යාචයෝග) මැනවින් පිළියෙල කර සහ පරිභෝග කළ යුතු දෙයින් කොටසක් දන් දෙනු කැමැත්තෙමි. (දාන සංවිභාගරතෝ) යන ආදී වශයෙන් තමන් කළ පරිත්‍යාගය මෙනෙහි කළ යුතු ය. ඔබ ත්‍යාගානුස්සති භාවනාව ප්‍රගුණ කිරීමට කැමැත්තෙහි නම් නිරතුරුවම මැනවින් දන් පිළියෙළ කොට සිල්වත්, ගුණවත් ප්‍රතිග්‍රාහකයන්ට දන් දෙන, එමෙන්ම අනුභවය පිණිස සූදානම් කර ගත් ආහාරයෙන් පිඬක් හෝ දීමට කැමති පින්වතෙක් විය යුතු ය.

ඔබ මෙයට පෙර දන් දී පුරුදු නැති අයෙක් නම් මෙම භාවනාව ඇරඹීමට ප්‍රථම සිල්වත්, ගුණවත් ප්‍රතිග්‍රාහකයකුට ආහාර ස්වල්පයක් හෝ පිළිගන්වා, ඉදිරි කාලයෙහි ද හැකි අයුරින් නොකඩවා දන් දෙමි යි කියන ස්ථිර වූ ද දැඩි වූ අධිෂ්ඨානයක් ඇත කර ගන්න. එසේ අධිෂ්ඨාන කරගෙන තමන් දෙන ලද දානයෙහි වටිනාකම මෙනෙහි කරමින් භාවනාව ආරම්භ කරන්න. මෙහිදී දානය වශයෙන් ආහාර පමණක් සැලකිය යුතු නැත. බෙහෙත්, ඇඳුම්, පැළඳුම්, නිවාස, පොත්පත්, කුමන දෙයක් වුවද අවස්ථාවෝචිතව යොදාගත හැකිය.දන් දෙන පින්වතුන්ට එයින් අත්වන ප්‍රතිලාභ රැසක් දක්වා ඇත. ‘ලාභෝවතමේ’ තමන්ට එයින් ලාභයක් අත්වෙයි. ‘ආයුංකෝපන දත්වා ආයුස්සභාගීහෝති දිබ්බස්සවා මනුස්සස්සවා, ‘ආයුෂ දෙන නිසා තමන් ලබන දිව්‍ය මනුස්ස ආත්මවල ආයු ප්‍රමාණය වැඩි වෙයි. ‘දදංපියෝහෝති භංජන්තිනං බහුං’ දන් දෙන පුද්ගලයා ලෝකයට පි‍්‍රය වෙයි. ‘සතං ධම්ම මනුක්ඛමං’ ඔහු සත්පුරුෂ ධර්මයට අනුව කටයුතු කරන්නෙක් වෙයි. බුදුහිමියන් විසින් දන්දීම ගැන ආනිසංස වදාරණ ලද්දේ යම්සේද එම ආනිසංස තමන්ට ද අත් වන්නේ ය. දීමෙහි වටිනාකම ගැන මෙසේ ධර්මානුකූලව අවබෝධයක් ලබා ගත් ඔබ ත්‍යාගානුස්සති කමටහන වැඩීමට සුදුසු අවස්ථාවට පත්ව සිටින්නෙහිය.

භාවනා කිරීමට සුදුසු විවේක ස්ථානයට යා යුතු වෙයි. භාවනා කිරීමට නොසුදුසු ස්ථාන 18 ක් තිබෙන බව ‘විසුද්ධි මාර්ගයෙහි’ දක්වා ඇත. මැනවින් සිත කය සංවර කර ගත් යෝගියාට කුමන ස්ථානයකදී වුවද සිත එකඟ කැර ගත හැකිය. සිදුහත් බෝසත් තුමා තෝරා ගත්තේ උරුවෙල් දනව්වයි. කඳු බෑවුමක පිහිටි ගල් ගුහා ප්‍රදේශය අද ද නිහඬ, නිස්කලංක භාවනාවට උචිත පරිසරයකි.
සුදුසු ස්ථානයකට ගොස් පහසු ඉරියව්වෙන් වාඩි වී භාවනා කිරීම ඇරඹිය යුතුය. බුද්ධානුස්සති වැනි කර්මස්ථානවල මෙන් මූලික පූර්ව කෘතීන් සිදු කර, තමන් කරන ලද දානමය පුණ්‍ය කර්මය පිළිබඳ සිතමින් සතුට ඇති කැර ගත යුතු ය. ඉදිරි කාලයෙහි තව තවත් ත්‍යාගයන් කරන බව සිතමින් වඩාත් සතුටක් ඇති කර ගන්න. .... සාධු.... සාධු දීම නිසා මට ඒකාන්තයෙන්ම ඇති වූයේ ලාභයක්මය. දිව්‍ය මනුස්ස සැප සම්පත් ලැබීමට සුදුස්සෙක් වුණෙමි... දන් දීම උතුම් ලාභයකි.... මෙසේ සිටීම් ඉඳීම් වශයෙන් සජ්ඣායනා කරමින් භාවනා කළ යුතුය. අනතුරුව ‘සාධු.... සාධු දන් දීම නිසා බුද්ධ ශාසනයෙන් නියම ඵල ප්‍රයෝජන ලබා ගත්තෙමි. මිනිස් ආත්මයෙන් නියම ප්‍රයෝජන ලබා ගත්තෙමි.... දන් දීම උතුම්ය.... මෙලෙස හොඳින් ප්‍රගුණ වන තුරු භාවනා කළ යුතු ය. ඉන් අනතුරුව, දන් දීමෙන් ලාභ ප්‍රයෝජන කිසිවක් බලාපොරොත්තු නොවෙමි.... පූර්ණ අයිතිය අත්හැර දමන්නෙමි.... මගේ දානය ඉතා උතුම්ය.... මෙම කොටස් ඉහත සඳහන් කොටස් සමඟ සම්බන්ධ කර ගනිමින් එක් වරකට පැයක් හමාරක් භාවනා කළ යුතු ය.

ඉන් පසුව.... ‘මගේ අතින් පිළියෙල කර පිරිසුදු සිතින් මුල, මැද, අග යන තුන් කාලයේ හිත පහදා ගෙන දෙන ලද මගේ දානය ඉතා උතුම්ය... පරිත්‍යාග චේතනාවෙන් නොකඩ කොට, නොවරදවාම නිරතුරුවම දෙන ලද මගේ දානය ඉතා උතුම්ය... මා වෙත පැමිණෙන සිල්වතුනට, දුගී, මගී, යාචකයන්ට පිරිසුදු සිතින් දෙන ලද දානය ඉතා උතුම් ය.... මගේ දානය ගෞරවයෙන් පිළියෙල කරන ලද්දක් ය. මගේ ආහාරයෙන් කොටසක් නොවරදවාම දන් දෙමි..... දන් දීම මහා සැපතකි.... මාගේ දානය ඉතා උතුම් ය....
මෙලෙස සජ්ඣායනා වශයෙන් මෙම සියලු කොටස් සති කිහිපයක් භාවනා කර, අනතුරුව මනසිකාර භාවනාවට යොමු විය යුතු ය. හොඳින් ප්‍රඟුණ වනතුරු නොකඩවා මෙම භාවනාව කළ යුතු ය. මෙම භාවනාව දිගින් දිගටම කරන විට ඔබගේ සිත තුළ පිහිටි රාග, ද්වේෂ, මෝහ, සිතිවිලි සන්සිඳී යනු ඇත. ත්‍යාගවන්ත බව අරමුණු කරගෙන සිත සෘජු බවට පත් වේ. කාමච්ඡන්ද ආදී නීවරණ පහව ගොස් ධ්‍යාන උපදවා ගත හැකි වෙයි. තම භාවනාවෙහි උතුම් බවත්, එහි ආනිසංසත් විවිධ අයුරින් මෙනෙහි කරත්ම නීවරණ යටපත්ව ‘විතර්කය’ පහළ වෙයි. මනසිකාර අරමුණෙහිම විතර්කය පහළ වන විට ‘විචාරය’ දියුණු වෙයි. කෙළෙස් කසට දුරු කර සන්සුන්ව භාවනා කිරීමෙන් ‘පී‍්‍රතිය’ හට ගනියි. එම පී‍්‍රතිය නිසාම සිත සැහැල්ලු බවට පත්ව බලවත් වූ ‘සුඛය’ පහළ වෙයි. මෙලෙස චිතක්ක, විචාර, පී‍්‍රති, සුඛ යන ධර්ම හතර අනුව සිත යොමු කරමින් තව දුරටත් භාවනා කරන විට සිතෙහි ‘ඒකාග්‍රතාවය’ පහළ වෙයි. මෙහි දක්වන පරිදි ත්‍යාගානුස්සති භාවනාව වඩන පින්වතුන් නිරතුරුවම ත්‍යාගශීලිව කටයුතු කරති. ඔහුගේ හෝ ඇයගේ සිතෙහි ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි හට නොනගියි. කරුණා, මෛත්‍රි, සිතිවිලි ඇතිව කටයුතු කරයි. ඔහු හෝ ඇය විශාරද බවට පත් වෙයි. නිතර සතුටින් කාලය ගත කරති.

 බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති
නාලන්දේ විමලවංශ හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජනවාරි 08 වන බදාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment