සැබෑ මිතුරුකම අතුපතුර විහිදී ගිය ශක්ති සම්පන්න රුකක් බඳුය. එය සුළඟට පවා බිම හෙළිය නොහැකිය. එතරම්ම ශක්තිමත් වේ. කලණ මිතුරා ගේ ගුණයහපත්කම ඔහුගේ මෙන්ම සෙස්සන්ගේ ද දියුණුවට මහඟු පිටිබලයක්ම වේ. තමා තමන්ට හෝ අනුන්ට හෝ කිසිම වංචාවක් නොකරන නිසාවෙන් ඔහු මෙන්ම ඔහුගේ සිතද බොහෝ ශක්ති සම්පන්නය.
පිරිත් පොත් වහන්සේ තුළ වන ආශිර්වාදාත්මක දේශනා අතර මිත්තානිසංස සූත්‍රය ප්‍රමුඛ දේශනාවකි. සූත්‍රපිටකයේ ඛුද්දක නිකායට අයත් මෙය සැබෑ මිත්‍රත්වයේ ආනිශංස කියාපාන දේශනාවකි. සත්‍ය ක්‍රියාවක් ලෙස හඳුන්වාදීමද නිවැරැදිය. ආර්ය මාර්ගයේ ගමන් කිරිම සඳහා උපකාරවන කාරණා අතර කල්‍යාණ මිත්‍රත්වයත් එකකි. කල්‍යාණ භූමි, කල්‍යාණ ආශ්‍රය සහ කල්‍යාණ ධර්ම ගැන බුදුදහමේ නිරන්තරව සාකච්ඡා කෙරේ. කලණ මිතුරු ගුණය අතිශයින්ම වටිනා හෙයිනි.
එක් අවස්ථාවකදී ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ, තමන්ට පහළ වූ අදහසක් ගැන උන්වහන්සේගෙන් විමසති.
“බුදු පියාණන් වහන්ස, මේ සම්බුද්ධ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත නොවේදැ”යි යනුවෙනි. බුදුන් වහන්සේ එහිදී දුන් පිළිතුරෙන් කල්‍යාණ මිත්‍රත්වයේ අගය කොතෙක්දැයි මොනවට පැහැදිලි වේ. උන්වහන්සේ අනඳ හිමියන්ට වදාළේ “ආනන්දය, එසේ නොපවසන්න. බුදුසසුනෙන් අඩක් නොව මුළුමහත් සම්බුද්ධ ශාසනයම රඳාපවතින්නේ කල්‍යාණ මිත්‍රත්වය නිසා”යි යනුවෙනි.
“ඉමිනා පුඤ්ඤ කම්මේන..” ආදි වශයෙන් අපි නිවන් ප්‍රාර්ථනා කිරීමේදී ‘නිර්වාණාවබෝධය තාක් අසද්පුරුෂ ආශ්‍රයක් නොමවේවා, යහපත් මිත්‍ර සමාගමයම වේවා’යි ප්‍රාර්ථනා කරන්නෙමු. කලණ මිත්‍රත්වය උදෙසා කෙතරම් උසස් තැනක් බුදුදහමෙන් ලබා දී ඇති දැයි එමඟින්ද පැහැදිලි වේ. අපගේ අසහාය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ බුදුපියාණන් වහන්සේය.
මිත්තානිසංස සූත්‍රය පුරාම සඳහන් වන්නේ මිතුරන්ට ද්‍රෝහි නොවීම නිසා ලැබෙන යහපත් ආනිශංස ධර්මයන්ය. මෙහිදී මිතුරු ශක්තියේ බල 23 ක් ගැන කියැවේ. එබඳු උසස් ගුණයන්ගෙන් හෙබි පිරිස් මැඩලීමට සතුරෝ පවා අපොහොසත් වෙති.
යමකු අවංක මිතුදමෙන් මිත්‍රයන්ට සලකන්නේද ද්‍රෝහි කම්නොකරන්නේද, නිවෙසින් බැහැරව වාසය කළත් කිසිදු ආහාරයකින් අඩුවක් නොමැතිව ජීවත්වීමේ භාග්‍ය ඔහුට හිමිවේ. එපමණක් නොව බොහෝ දෙනා ඔහුගේ ආශ්‍රයෙන් ජීවත්වන්නෝ බවට පත්වෙති.
‘පහූතභක්ඛො භවති, විප්පවුත්තො සකා ඝරා
බහූ නං උපජීවන්ති ,යො මිත්තානං න දූභති’
ලෙස සූත්‍රයේ දක්වන්නේ එහෙයිනි.
යමකු මිතුරන්ට ද්‍රෝහිනොවෙයිද ඔහු යම් දනව්වකට හෝ නියම්ගමකට හෝ රජ දහනකට හෝ ගියේ වෙයිද ඒ සෑම තැනකදීම පිදීමට ලක්වේ. එසේ ප්‍රසාදයට පත්වන්නේ මිත්‍රද්‍රෝහි නොවීමේ මෙලොව ආනිශංස ලෙසයි. සසර සතුරන් ඇති කරගැනීමට වඩා මිතුරන් ඇතිකර ගැනීම යහපත්ය. ඒ සඳහා සැබෑ මිත්‍ර ධර්මයන්ගෙන් යුක්ත විය යුතුය.මිතුරන්ට මිතුරු ගුණදහමෙන් සලකන්නා වෙත සොරුන් ළංනොවන අතර ඔවුන්ගෙන් විපත් නොපැමිණේ. පාලකයන් විසින් අවමන් නොකෙරේ. සෑම සතුරන්ම දුරු කෙරේ
(සබ්බේ අමිත්තෙ තරති)
සභාවෙහි සතුටින් සිටිය හැකිවන්නේද නෑයන් අතර උතුමකු ලෙස සිටිය හැකිවන්නේ ද කෝපයෙන් තරහෙන් තොරව තම නිවෙසට ඇතුළුවීමේ භාග්‍ය උරුමවන්නේද මිත්‍රද්‍රෝහි නොවන්නාටය. මෙම දුර්ලභ ගුණයන්ගෙන් යුක්තවීමේ හැකියාව සියල්ලන් සතු නොවේ. කල්‍යාණ මිත්‍රයා අනුන්ට සත්කාර කර තමාද පෙරළා සත්කාර වින්දනය කරයි. එසේම අනුන් කෙරෙහි ගෞරව කරන අතර තමාද ගෞරව ලබයි. මිතුරා ඇති තැන මෙන්ම ඔහු නැති තැනද එක හා සමානව කටයුතු කිරීමේ හැකියාව ඔහු සතුය. එහෙයින් ඔහු නිතරම බොහෝ පිරිසකගේ වර්ණනාවට පාත්‍රවේ. එය වැළැක්විය නොහැකිය. ඔහුගේ කීර්තිය දසත පැතිරීමට එය බලවත් හේතුවකි. ඔහු එම වර්ණනාවට වඩාත් සුදුස්සෙකි. (වණ්ණකිත්ති භතො හොති)
තමා පූජාවට පාත්‍රවීමට කැමැත්තක් දක්වන්නාසේ අනෙකාද එසේ යැ’යි කල්පනා කරන සැබෑ මිත්‍රයා විසින් තම මිතුරන් පුදනු ලැබේ. ඊට අනුරූපව තමාද පිදීමට ලක්වේ. තමාට වඩා ගුණ යහපත්කමෙන් පොහොසත් උතුමන්ට ගරුකරන ඔහු තමාද පෙරළා වැඳුම් ලැබීමට සුදුස්සකු බවට පත්වෙයි. ඒ තුළින්ම ඔහු කීර්තිමත්, ප්‍රශංසාවට ලක්වන්නකු බවට පත්වන අතරම යසස වැඩීමට වෙනයම් පුහු ගුණ ගායනා හෝ තනතුරු තානාන්තර අවශ්‍ය නොවේ.
නියම සද්පුරුෂ මිත්‍රයා දෙවියකු මෙන් බැබළීමට පත්වේ. (දේවතාව විරෝචති) ගින්න දැල්වෙමින් දිලිසෙන්නා සේ ඔහු දිලිසීමට පත්වීම නොවැළැක්විය හැක්කකි. යහපත් සිතුවිලි, ප්‍රාර්ථනා නිසාවෙන් ලේ ධාතුව පිරිසුදු වන අතර එම පවිත්‍ර රුධිරය ශරීරය පුරා ගමන් කිරීම නිසා සිරුර පැහැපත් වේ. යමකු ඊර්ෂ්‍යාව, ද්වේෂය, වෛරය ආදි අයහපත් චේතනාවන්ගෙන් යුක්තව සිටිමින් එසේ නොමැතියැයි පෙන්වීමට උත්සාහ කළද අභ්‍යන්තර ඉන්ද්‍රිය ඊට සූදානම් නොවේ. ඒ නිසා එවන් මිත්‍රද්‍රෝහීහු දුර්වර්ණ බවට පත්වෙති.
යහපත් මිත්‍රයන් වෙත සැපයත් සෞභාග්‍යයත් ළඟා වේ. එසේ නොවන්නන් වෙත අභාග්‍ය, අයහපත, අයස පැමිණීම සිදුවේ. එය දුරුකළ හැක්කේ තමා තමාටම අවංකව මිත්‍ර ගුණධර්ම තුළ පිහිටීමෙන් විනා මිත්‍ර ප්‍රතිරූපකව හිඳුමෙන් නොවේ.
කෙත්වතු සරුසාරවීමත් භවභෝග සම්පත් වැඩීමත් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ගව සම්පත වර්ධනය වීමත් යහපත් මිතුරන්ට ලැබෙන ආනිශංසයකි. ඔහු පින්වත් දූ පුතුන් ලබන අතර එවන් දරුවන් මවුපියන්ට සහ සමාජයට පිළිල නොවේ.මිත්‍රද්‍රෝහීන්ට සොබා දහම පවා යම්දිනෙක එරෙහි වනු ඇත. එහෙයින් සැබෑ මිත්‍ර ආකල්ප ස්වභාව ධර්මය පවා පි‍්‍රයකරන අයුරු පැහැදිලිය.
ස්වභාවික විපත්වලින් පීඩාවට පත්නොවන සැබෑ මිතුරා එසේ විපතකට මුහුණ දුන්නද එයින් කෙසේ හෝ ආරක්‍ෂා වේ. සූත්‍රය ඒ බව මෙසේ දක්වයි.
‘දරිතො පබ්බතාතො වා
රුක්ඛාතො පතිතො නරො
චූතෝ පතිට්ඨං ලභති
යො මිත්තානං න දූභති’
යමකු මිතුරන්ට ද්‍රෝහි නොවෙයිද ඒ තැනැත්තා පර්වතයකින් හෝ ගසකින් හෝ වැටුණේ වේද රැඳී සිටීමට ආධාරයක් ලබයි යනු එහි අර්ථයයි.
සැබෑ මිතුරුකම අතුපතුර විහිදී ගිය ශක්ති සම්පන්න රුකක් බඳුය. එය සුළඟට පවා බිම හෙළිය නොහැකිය. එතරම්ම ශක්තිමත් වේ. තමා ගේ ගුණ යහපත්කම තම දියුණුවට මහඟු පිටිබලයක්ම වේ. තමා තමන්ට හෝ අනුන්ට හෝ කිසිම වංචාවක් නොකරන නිසාවෙන් ඔහු මෙන්ම ඔහුගේ සිතද බොහෝ ශක්ති සම්පන්නය.
මිත්‍රද්‍රෝහියා අනුන් රවටන චේතනාවෙන් ක්‍රියා කරන්නට යෑම නිසා තමා රැවටීමට පත්වේ.රැවටීම ආකාර දෙකකි. එනම්, තමා අනුන්ට රැවටීම හා තමන් තමන්ටම රැවටීම වශයෙනි. මෙයින් බොහෝසේ අයහපත් වන්නේ තමා තමාට රැවටීමය. ඒ මන්ද යත් තමා රැවටුණු බව ඔහු නොදන්නා බැවිනි. තමාම නිවැරැදි යැයි සිතා එසේ කටයුතු කිරීම නිසා පරිහානිය ඇතිකර ගනී.
මිත්තානිසංස සූත්‍ර දේශනාව ආශිර්වාදාත්මකව දේශනා කරවා ගෙන සැපත, සතුට ලබාගත හැකිය. එහෙත් එහි අඩංගු යහපත් කරුණු තම ජීවිතයට ඇතුළත් කර ගැනීමෙන් දෙලොව ආශිර්වාදය ලබාගැනීම ඉතාම යහපත්ය. එවිට පුද්ගලයාගේ සිත සැහැල්ලුවී පාරිශුද්ධ වන අතර සමාජ ගැටලු, ගැටුම් ආදිය බොහෝ දුරට අවම වේ. බුදු දහමේ සැබෑ ආශිර්වාදය ලබාගැනීමට කැමැති සියලු දෙනා කල්‍යාණ මිත්‍රධර්මය තම ජීවිතයේ අංගයක් බවට පත්කරගත යුතුය. එවිට තම ගෙදර ගම,රට,ලෝකය මෙන්ම විශේෂයෙන් තමා ජයග්‍රහණය කරගත හැකිය.
ගෞරව ශාස්ත්‍රවේදී
සියඹලාගොඩ
ධම්මින්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ
අප්‍රේල් 03 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment