Labels

Saturday, August 29, 2015

ආධ්‍යාත්මය සුරක්ෂිත කරන කලණ මිතුරා සොයමු

 

බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළ සාකච්ඡාවට භාජනය කරන මෙම කල්‍යාණ මිත්‍රත්වය අපට වැදගත් වන්නේ කුමන ආකාරයෙන්ද? භෞතික දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වී කැප වී වැඩ කරන ඔබගේ මනස ඔබත් නොදැනීම ඒ දියුණුවට ආශක්ත වන්නට වසඟ වන්නට පටන් ගන්නවා. එවිට එම ඇලීමට එම වසඟභාවයම ඔබ විසින් දියුණුව උදෙසා කළ යුත්තේ මොනවාද? නොකළ යුත්තේ මොනවාද? කියන කාරණාව පිළිබඳව අවබෝධය ඔබට නැතිකිරීමට තරම් ප්‍රබල වන්නට හැකියාව තිබෙනවා.


තරුණ ජීවිතය සාර්ථක කරගැනීමට වෙර දරන ඔබ වෙනුවෙන් මෙවර අප සාකච්ඡා කරනු ලබන්නේ, ඔබගේ මිත්‍රයන් සහ ඔබ අතර පවත්වන සබඳකම ඔබගේ ජීවිතයේ දියුණුවට, ප්‍රගමනයට කුමන ආකාරයෙන් බලපෑමක් කරනවාද ? කියන කාරණය පිළිබඳවයි. 

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපගේ සාර්ථකත්වයට අපගේ ජයග්‍රණවලට මිත්‍රයන්ගේ දායකත්වය තුළ තිබෙන්නා වූ වටිනාකම පිළිබඳව, ප්‍රයෝජනවත් භාවය පිළිබඳව, විවිධ අවස්ථාවන්හිදී කරන ලද මඟපෙන්වීම් දැකගත හැකියි. විශේෂයෙන්ම සිඟාලෝවාද සූත්‍රයේදී කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, නිවැරැදි යහපත්, ගුණවත් මිතුරන් යම්කිසි ගිහියෙකුට තමන්ගේ ජීවිතයේ මුණ ගැසීමම ඔහුගේ සාර්ථකත්වයට ඔහුගේ ජයග්‍රහණවලට විශාල බලපෑමක් සිදුකරනු ලබන බව බුදුපියාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් කර තිබෙනවා.
බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළ සාකච්ඡාවට භාජනය කරන මෙම කල්‍යාණ මිත්‍රත්වය අපට වැදගත් වන්නේ කුමන ආකාරයෙන්ද? භෞතික දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වී කැප වී වැඩ කරන ඔබගේ මනස ඔබත් නොදැනීම ඒ දියුණුවට ආශක්ත වන්නට වසඟ වන්නට පටන් ගන්නවා. එවිට එම ඇලීමට එම වසඟභාවයම ඔබ විසින් දියුණුව උදෙසා කළ යුත්තේ මොනවාද? නොකළ යුත්තේ මොනවාද? කියන කාරණාව පිළිබඳව අවබෝධය ඔබට නැතිකිරීමට තරම් ප්‍රබල වන්නට හැකියාව තිබෙනවා.
අප කළ යුතු දේ? නොකළ යුතු දේ? පිළිබඳව නිවැරැදි වැටහීමක් නිවැරැදි අවබෝධයක් නොමැතිව අප අපගේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කරන්නට පටන් ගතහොත් සිදුවිය හැකි ඉතාම භයානක කාරණාව වන්නේ අප සම්මා ආජීවයෙන් බැහැරට ගොස් සම්මා ආජීවයෙන් ඉවත් වෙලා අපගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්නට ඉඩ කඩ ප්‍රස්ථා තිබෙනවා. එම නිසාමයි කල්‍යාණ මිත්‍රයන් අප ළඟ සිටිය යුතු වන්නේ. කල්‍යාණ මිත්‍රයන් හැම වෙලාවකම හැම අවස්ථාවකම අප නිරීක්ෂණය කරනවා. අප අකුසලයේ යෙදෙනවාද? කුසලයෙහි පිහිටනවාද? කියන කාරණාව පිළිබදව කල්‍යාණ මිත්‍රයන් ඉතාම සියුම්ව නිරීක්ෂණය කරනවා. ඇතැම්විට අපට අපේ සාර්ථකත්වය වෙනුවෙන් කරගෙන යන වැරැදි ක්‍රියාකාරකමක් නොපෙනුනාට අපගේ සමීපතමයාට ග්‍රහණය වෙන්නට පුළුවන්.
එවිට ඉතාම හොඳ කල්‍යාණ මිත්‍රයකු අපට සිටීමේ ප්‍රයෝජනය වන්නේ අපගේ අධ්‍යාත්මික ශක්තිය පිරිහෙන්නට නොදී අඛණ්ඩව පවත්වාගන්නට ඒ මිත්‍රයාගෙන් ලැබෙන්නාවූ ශක්තිය විශාල එකක් වන නිසා. භෞතික දියුණුවටත් ඔවුන්ගෙන් යම් යම් උදවු උපකාර ලැබෙන්න පුළුවන්. නමුත් බෞද්ධයකු කල්‍යාණ මිත්‍රයකු සොයනු ලබන්නේ භෞතික සාර්ථකත්වය ලබාගැනීම ඔහු පාවිච්චි කිරීම සඳහා නොවේ, ඒ භෞතික සාර්ථකත්වය කරා යන ගමනේදී අධ්‍යාත්මිකව සිදුවිය හැකි පරිහානිකර තත්ත්වය නිදහස් වීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශකවරයා ලෙසත් මඟපෙන්වන්නා ලෙස කල්‍යාණ මිත්‍රයාට කළ හැකි කාර්යය භාරය ඉතාම ප්‍රබලයි. එම අවස්ථාවලදී අප හැම විටම උත්සාහ කළ යුත්තේ, අපට සමාන සීලයක් ආරක්ෂා කරන, අපට සමානව පව් පින් පිළිගන්න,අපට සමාන ශ්‍රද්ධාවක් තිබෙන, අපට සමානව පරිත්‍යාගශීලි වීම පිළිබඳව හෙවත් අතහැරීම පිළිබඳව යම්කිසි විශ්වාසයක් තිබෙන අපට සමානවම අනිත්‍යය, දුක්ඛ,අනාත්ම පිළිබඳව එම ධර්මයන් වටහා ගත් විදර්ශනා ප්‍රඥාවකින් හෙබි එමෙන්ම විෂය ලෝකය පිළිබඳවත් පරමාර්ථ ධර්මයන් පිළිබඳවත් සැලකිය යුතු මට්ටමක හෝ අවබෝධයෙන් යුතු අය අපගේ කල්‍යාණ මිත්‍රයන් වීම අත්‍යවශ්‍ය වෙයි. එහිදී මෙම සඳහන් කරන්නාවු ගුණධර්ම වලින් සමාන පුද්ගලයකු අප සමීපයේ කල්‍යාණ මිත්‍රයකු ලෙස ජීවත් වීමෙන් අපට මඟ පෙන්වීමට අවශ්‍ය කරන සාරය ඔහු තුළ අන්තර්ගත වෙලා තිබෙනවා.
එම ශක්තිය ඔහු තුළ තිබෙනවා.ඇතැම් විට ගුරුවරයකු අපට සැම වෙලාවක නිවැරදි මඟ පෙන්වීමක් කරනු ලැබුවත්, ඔවුන් අභියසදී ස්වභාවිකව හැසිරෙන්නේ නැහැ. අප ගුරුවරයකු අබියස හැසිරෙන්නේ අප ස්වාමින් වහන්සේ නමක් අභියස හැසිරෙන්නේ ඉතාමත්ම පරීක්ෂාකාරිවයි. එනිසාම අපගේ දුර්ගුණ අයහපත් පැති, අපගේ නොහික්මුණුකම් බොහෝ අවස්ථාවල ගිහි ගුරුවරු අසලදී හෝ පැවිදි ගුරුවරු අසලදී නිරාවරණය වන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇතුළත අපට වඩා සීලාදි ගුණධර්මවලින් උසස් පුද්ගලයකු අපට වඩා මහා ප්‍රඥාවකින් මනා ඥානයකින් ඉතාම ඉහළ පුද්ගලයකු අපට හමුවන ප්‍රමාණය අඩුවෙනවා. නමුත් අපට සමාන අය ලෙස හඳුන්වනු ලබන්නේ අප නිතරම අපට සමගාමීව ඇසුරු කරනු පුද්ගලයන්. අපට ඔවුන්ගේ දේවල් සමාන නම්, අප ඔවුන් සමීපයේදී නිතරම විවෘත වෙනවා. අප ඔවුන් සමීපයෙහිදි සාමාන්‍ය වෙනවා. අප විශේෂ හැසිරීමකට ගමන් කරන්නේ නැතිව ඉන්නවා. එවැනි සමාන සීලාදි ගුණධර්මවලින් යුක්ත කෙනකු අපගේ කල්‍යාණ මිත්‍රයකු වන විට අපට යම් යම් කරුණු කාරණා පැවතීමේ පෞරුෂත්වයක් ඔහු තුළ ගොඩනැගෙනවා. ඔහු අභියස යම් යම් කරුණු කාරණා ප්‍රකාශ කිරීමේ පෞරුෂත්වයක් අප තුළත් ගොඩනැගෙනවා මෙන්ම අපගේ ස්වභාවික ජීවිතය ගෙවීමට අවස්ථාවක් ලැබෙනවා. එවැනි ස්වභාවිකව ජීවත් වීමක් තුලදී සත්‍ය වශයෙන්ම පුද්ගලයකුගේ දුර්ගුණයත් යහගුණයත් නිවැරැදිව දකින්න පුළුවන් වෙනවා.
නිවැරැදිවම පුද්ගලයකු දැකින්න ලැබෙන අවකාශයක් තුළ ඔහු වැරැදිකාරි ස්වභාවයක් සහිත පරිසරයක් තුළ සිටිනවා නම් නිවැරැදි කිරීමට අවශ්‍ය පරිසරය සාදාගැනීමට අදාළ පුද්ගලයා ට අවස්ථාවකි හමුවන්නේ . එනිසා ඉතාම කරුණාවෙන් ඔබට යෝජනා කරනු ලබන්නේ ඔබගේ කළ්‍යාණ මිත්‍රයන් ඔබට සමානයකු වීම අත්‍යවශ්‍යයයි. සීල, ශ්‍රද්ධා, ත්‍යාග, ප්‍රඤ්ඤා ආදි උදාර ගුණවලින් සම වන ඔහු ඔබ නිවැරැදි මාවතේ රැගෙන යාවී. ඔබට සාධනීය විවේචනයන් ලබාදේවි. සාධනීය වු මාර්ගෝපදේශනයන් ඔහු විසින් ලබා දෙයි. ඔබව අපායෙන් ගලවා ගැනීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ ඔහු. ඔබ යහපතෙහි පිහිටුවීම කරනු ලබන්නේ ඔහු ඔබට වරින් වර පැවිදි ගුරුවරුන් ගිහි ගුරුවරුන් හමුවීම අවශ්‍ය වුවද ඔබ අවබෝධ කරගත යුතු වටිනම කාරණ ඔබට ළඟට සිටිනා තැනැත්තා හෝ තැනැත්තිය ඔබට කල්‍යාණ මිත්‍රයකු ලෙස ඔබගේ අධ්‍යාත්මය සුරක්ෂිත කිරීම අත්‍යවශ්‍යයයි කියන කාරණාව. ඔබට තෙරුවන් සරණයි.

 අතුරුගිරිය ආරිය නිකේතන නිර්මාතෘ
ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 29 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment