Labels

Tuesday, August 25, 2015

කර්මය සහ විපාකය


පුදුම සිදුවීම් නිතර නිතර ම ලෝකයත් ලෞකිකයාත් පිළිබඳ ව අසන්නට දකින්නට ලැබෙයි. සෑම දෙනෙකුන්ම තම තමා ගැන ම මවිතවන අවස්ථා එමට ය. මෙසේ නොසිතූ විරූ පරිදි බොහෝ දේ සිදුවීමට හේතුවක් - කාරණයක් තිබිය යුතු ය. නො එසේනම් කරවන්නෙක් නිර්මාපකයෙක් අවශ්‍යය. කෙනෙකුට යස ඉසුරු සැප සම්පත් අනෙකෙකුට වද වේදනා දුක් විපත් දීමට සුවපතුන් දුකටත් දුක්පතුන් සැපටත් අද තිබෙන දෙය හෙටට වෙනස් කරන්නටත් කෙනෙකුට හැකිදැයි සිතා බලා එබඳු විශ්ව බලයක් පුද්ගලාරෝපණයකට බාහිර විද්‍යාඥානයෙන් කෙසේවත් ඉඩ නොලැබෙන බුද්ධි යුගයක ජීවත්වන මිනිසා අනෙකුත් නොයෙකුත් හේතු සෙවිම නොවැලැක්විය හැකි ය.

මෙසේ දාර්ශනිකයන් විමසූ මූල ධර්ම අතර කර්මය මුල් තැනක් ගන්නා බව පැහැදිලිව දැක්වෙතත් කර්මය බැහැර කළ ඇතැම් දර්ශනයන් ද ඇත. කර්මය පිළිබඳ ගැඹුරු දර්ශනයන් හැමදාම ප්‍රකට වන අත්දැකීම් විසින් සමාජය මත පතිත වනතුරු මෙසේ විමසීමද නොනවතින්නේ ය.

කර්මය

බුදු දහමෙහි කර්මය එහි ඉතා සියුම් ගැඹුරු තැනින් පටන් ගැනේ. සියලු සිතකම යෙදෙන චේතනාව එහි කර්මප්‍රත්‍ය ශක්තිය බව පට්ඨාන මහා ප්‍රකරණයෙහි දැක්වූ සේක. විනයෙහි සහ සූත්‍රාන්තයෙහි ද ‘කර්මය’ ප්‍රකට ය. විනයෙහි භික්‍ෂුන් විසින් සිදු කළ යුතු විනය කර්ම රාශියක් දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ වදළ ‘කම්ම වාචා’ කර්ම වාක්‍යයන් කියැවීමෙන් විනය කර්ම සිදු කරනු ලැබේ. එහි දී නම් භික්ෂූන් එක් රැස්ව (සතර නමක් හෝ වැඩිදෙනෙකුත්) කර්ම වාක්‍ය කියැවීමේ ක්‍රියාව සිදු කිරීමෙන් විනය කර්ම කිරීමේ ක්‍රියාව කර්මය වේ. එහෙත් එහිදූ කුශලාකුශල කර්ම බවට පත්වන්නේ චේතනාව ය.
සූත්‍රාන්තයෙහි කර්මය කාය කර්මානදීන්ගේ වශයෙන් නා නා ප්‍රකාරය, “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් චේතනාව ම කර්මය වෙයි. විපාක දීමේ වශයෙන් දිට්ඨම්මිකාදි එකොළොස්දොළොස් සොළොස් වැදෑරුම් කර්මයක් දැක් වූ සැටි ප්‍රකට ය.

කළු සුදු – කණ්හ සුක්ක
තවද සූත්‍රාන්තයේ කර්මය කොටස් සතරකට බෙදා ඇත.
I කළු – කළු විපාක ඇති (සැප විපාක දෙන අකුශල කර්ම)
II සුදු – සුදු විපාක ඇති (දුක් විපාක දෙන කුශල කර්ම)
III කළු සුදු – කළු සුදු විපාක ඇති (දුක සැප විපාක දෙන අකුශල කුශල මිශ්‍ර කර්ම)
IV නො කළු නො සුදු - එම විපාක ඇති (දුක හෝ ලෞකික සැප නො දෙන කර්ම)

මෙසේ අංගුත්තර චතුක්ක නිපාතයේ බෙදා ඇති අයුරු පාපකර්මයන්ට කලු නාමය ද කුශල කර්මයන්ට සුදු නාමය ද දෙසූ සේක.
පින් පව් මිශ්‍රවීමක් කෙසේ විය හැකි ද? අපි මල් පුදමු. “පූජේමි බුද්ධං කුසුමේන නේන’, මෙම මලින් බුදුන් පුදමි. එම පිනින් නිවන් ලැබේවා! එහෙත් දෙව් මිනිස් සැප ද එම පිනින් ලැබේ. එසේ සැප ලැබේ ය යි එම පින ආස්වාදනය කොට ලෝභ සහගත අකුසල් ද පහළ විය හැකි ය. එසේ ම මගේ පින යැයි සතුටුව ගැනීමෙන් දිට්ඨ අභිනන්දනය ඇති විය හැකි ය. ඒ සිත් අකුශල් ය. යලිත් මල් පිදීමේ කුසල් සිත් හා ඉහත කී අයුරු ලොභ, දිට්ඨි, විචිකිච්ඡා, උද්ධච්ච, දොමනස්ස ආදී අකුසල් සිත් පහළ විය හැකි ය. මෙසේ කුසල් ජවන් සිත් පෙළවල් අතරට අකුසල් ජවන් සිත් පෙළවල් (විථින්) හටගත හැකි ය. මෙසේ එක පින්කමක් කිරීමේ දී කුශලාකුශල චිත්ත විථින් හට ගැනීමෙන් එය කුශලාකුශල මිශ්‍ර කර්මයක් වෙයි.
බන්ධුල මල්ලිකාවන් අගසවු සැරියුත් මාහිමියන් ඇතුළු සඟරුවනට දන් බෙදද්දී දාසියක අතින් ගිතෙල් සැලියක් බිඳින. මල්ලිකාවෙනි, බිඳීම ස්වභාව කොට ඇති දෙයක් (බිෙඳන සුළු දෙයක්) බිඳිනැයි සැරියුත් හිමි වදාළේ දානමය කුසල් සිත් වැල අතරට දොම්නස් සහගත අකුසල් ඇති විය හැකි හෙයිනි එහෙත් මල්ලිකාව පින්දැනපින් කරන උත්තමාවක් හෙයින් තම ස්වාමියාත් දෙතිස් පුතණුවනුත් යුදයෙහි මළ පුවත සඳහන් දන් දෙත් දී ලැබුණු ලිපිය බඩතුරෙන් ගෙන ‘ස්වාමීනි, ගිතෙල් සැලකට මා නොසැලෙන නියාව දැන වදාරන්නැ’යි නුමුසු පින්කමක් සිදු කරගත්තා ය.
සතර වැනිව දක්වන ලද්දේ කුසලුත් නොවන අකුසලුත් නොවන - සුදු කළු නොවන කර්මය යි.

චේතනාව පමණක් කර්මය ද?

සුදු කළු නොවන සුදු කළු විපාක නොවන කර්මය නම් මාර්ග ඥාන සිත් ය. එම සිත්හි යෙදෙන වේතනාව කර්ම ප්‍රත්‍යය වන නමුදු එයින් ප්‍රතිසන්ධි භවාංග චුති තදාලම්බණ විපාක නොදේ, එනමුදු එය කර්ම ක්ෂය කිරීම සඳහා චිත්ත චෛතසිකයන් රැස් කළ හෙයින් කර්මප්‍රත්‍යය විය. සහජාන වශයෙනි. නා නා ක්ෂණික නොවේ. එම චේතනාවෙන් උපකාර ලද මාර්ගාංශ චෛතසිකයන් කර්මක්ෂය කරන කර්මය ලෙස වදාළ හෙයින් චේතනාවක් ඇතැම් චෛතසිකත් කර්මයබව ධම්මසංගණි අටුවාව තීරණය කරයි.
”කිං පනේතං කම්මං නාම? චේතනාවේව ඒකච්චේ චේතසිකා ධම්මා!”

සහජාත කර්මය

ඉහත සඳහන් කළ පරිදි කර්මය සහජාතය නා නා ක්ෂණිකයැයි පට්ඨාන මහා ප්‍රකරණයෙහි දැක් වේ. චේතනාව සිත හා අනිත් චෛතසිකත් සමඟම ඉපදෙමින් සිත හා අනිත් චෛතසික එක ක්‍රියාවක් සඳහා රැස් කරයි. එකවිට ම බිඳෙයි. එයින් එහාට සහජාත කර්ම ශක්තිය බල නොපවත්වයි. එසේ ම එය චිත්තජරූපයන්ට ද කර්ම ශක්තියෙන් උපකාර කරයි. චිත්තජ රූප නම් සිතෙන් හටගන්නා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, කථා කිරීම් ආදී ශබ්ද යෑම්ඊම් ආදී විඤ්ඤාත්ති ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා ආදී රූපයෝ ය.

නා නා ක්ෂණික කර්මය

කර්ම සිද්ධියත් විපාක වින්දනයත් වෙන වෙන ම වේලාවන්හි සිදුවන කර්ම ශක්තිය නා නා ක්ෂණික කර්මය වේ. මේ අත්බැව්හි දි ප්‍රවෘත්ති විපාක වශයෙන් හෝ මතු ආත්මයක දී ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති වශයෙන් හෝ විපාක පහළ වන්නේ මෙම නා නා ක්ෂණික කම්ම බලයෙනි. එසේ ම එය කර්මජ රූපවලට ද උපකාර කෙරේ. කර්මජ රූප නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ඇස, කණ, නාසය, දිව, ශරීරය, හදයවත්ථු, ජිවිතින්ද්‍රිය රූප වශයෙන් දැක් වේ. මේ ඉන්ද්‍රිය රූපයන් කර්මයෙන් පහළ වන හෙයින් - “නරාන කළ කමට ඉඳුරෝ දෙස්” යැයි සිදත් සඟරා පාඨය ගැඹුරු .අබිදහමක් පළ කරයි.
අද බොහෝ දෙනා කථා කරන්නේ මෙම නා නා ක්ෂණික කර්මය පිළිබඳව යි. සිතත් චෛතසිකත් සමඟ එක්ව ම ඉපිද බිෙඳන චේතනාව මෙසේ මතු විපාක ලබා දීමේ ශක්තිය චිත්තසන්තතියෙහි නිදහස් කරනුයේ නා නා ක්ෂණික කර්මප්‍රත්‍ය බලයෙනි.

කර්මය ද? විපාකය ද?

මේක මගෙම කරුමයක්. උරුමේ අරන් කරුමේ ගෙවනවා විනා.” ආදීන් ව්‍යවහාරයෙහි කර්ම විපාකයට කර්මයැ යි කියනු ඇසේ. එසේ ම අකුශල කර්ම විපාකය සඳහා එසේ කියැවෙන බව ද ප්‍රකට ය. බෙහෙවින් දුක් වේදනාවක් පැමිණි විට ය එසේ භාවිත වන්නේ. කුශල කර්ම විපාකයකින් සැප විඳින්නෙකුගෙන් මෙය මගේ කරුමයක් යැ යි කියැවෙන්නේ නැත.
එහෙත් දෙක ම කර්ම විපාක ම ය.
“පාක” යනු පැසුණු ඉදුණු යන තේරුම දෙයි. කර්මය ද විශේෂයෙන් පැසීමට මේරීමට පැමිණියේ එළඹ සිටීමට අවශ්‍ය කරුණු සම්පාදනය වූයේ විපාක වශයෙන් ඉදිරිපත් වෙයි. නොනැවතී ගලා යන දිය පහරක් මෙන් පවත්නා චිත්ත සන්තතිය සමඟ රැස්කරන ලද කර්ම වේගය ද විපාක දීමට සුදුසු වේලාව පැමිණෙන තුරු අළුයට ගිනි පුපුර මෙන් සමංගිතායෙන් යුතුව පවතී.

එහෙයින් ධම්මපදයෙහි,

“නහි පාපං කතං කම්මං” කරණ ලද පවුකම එදින දෙවූ කිරි එදිනම මිදෙන්නාක් මෙන් විපාක නොදේ. අළුයට ගිනි පුපුරමෙන් පව් කළ පුද්ගලයා දවමින් යයි. අළුවලින් වැසුණු ගිනිපුපුර මත තණ පරඩැල් දර වැටීමෙන් හා වාතය හැමීමෙන් මහත් ගිනි කඳක් මැවේ. මෙසේ කරණ ලද කුශලාකුශල කර්මයන් හෙවත් කුශලාකුශල ජවන් සිත්හි පහළ වූ චේතනාවන් ඒ සත් හා බිඳී ගිය නමුදු නැවත විපාක සිත් විසින් පහළ වීම එම සිත් පහළවීමට අරමුණු වල පහළ වීම විපාක විඳීම බව වටහා ගත යුතුය.
සියල්ල සිදුවන්නේ

පෙර කර්මයෙන් ද?

බුදු දහම අනුව සියල්ල පෙර කර්මයෙන් සිදුවේ යැ යි ගැනීම අතිධාවනයක් බව සංයුත්සඟයෙහි දෙසූ සේක. පෙර කර්මයෙන් විපාක විඳීමත් නැවත කර්ම රැස් කිරීමත් සිදු වේ. ජීවත් වීම සත්ත්වයාගේ පැවැත්ම මෙසේ පෙර කළ කර්මයන්ගේ විපාක විඳීමක් උපන්නාට වෙනුව වැනෙන මිනිසුන් අමුතු උසස් බලාපොරොත්තු අනුව උසස් කර්ම රැස් නාකර වීර්යය නොකර නුවණ නොවිහිදුවා ‘ජීවත්මෘත’ ජීවත්වන එහෙත් මල මිනිසුන් සියල්ල පෙර කර්මයෙන් හෝ වාසනාවෙන් සිදුවේ යැ යි සිතන සේ පෙනේ.

ඉපදීම හා ජීවත්වීම

ඉපදීම නම් ප්‍රතිසන්ධි සිතක් පහළ වීම ය. එය විපාක සිතකි. කුශල හෝ අකුශල විපාකයක් විය හැකි ය. මිනිසෙක් ව උපදින්නේ කුශල විපාකයකින් ම ය. ඒ උපන් සිත එතන් සිට මැරෙන තුරු එම භවයෙහි අංගයක් - හෙවත් නොනවතින මනෝවේගය බවට පත් වෙයි. එම භවංග සිත් ද විපාකම ය. රූප ශබ්දාදි අරමුණු ලැබ භවංග සන්තතියෙන් මිදුණු අතුරු සිත් පාරවල් හෙවත්, චිත්තවිථි හෙවත් සිත් වැල් පහළ වෙයි.
පි‍්‍රය රූපයක් අප ඉදිරියට පැමිණෙයි. භවංග සන්තතියෙන් (අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද) මිදී කුමන දොරටුවකින් ඒ අරමුණ ගත යුතු දැ යි බලන සිතක් (පඤ්චද්වාරාවජ්ජන, පසු දොර අවදනා සිත) පහළ වේ. එය ක්‍රියාමාත්‍ර සිතකි. රූපයක් හෙයින් චක්ඛු ද්වාරයෙන් ඒ අරමුණ දකිමින් සිතක් (චක්ඛුවිඤ්ඤාණ සිත) පහළ වේ. අරමුණු වූයේ පි‍්‍රය රූපයක් හෙයින් එය කුසල විපාකයෙකි.
සිරි රහල් හිමියෝ - “තොප දැකුමෙන් අප පින් කළ බව දැණිනි” යැ යි මෙම කුශල විපාක චක්ඛුවිඤ්ඤාණ සිත සඳහන් කළහ. එම අරමුණ පිළිගනිමින් සිතක් (සම්පට්ච්ඡන) පහළ වෙයි. එය ද විපාක සිතකි. එය තීරණය කරමින් (සන්තීරණ) සිතක් පහළ වෙයි. එය ද විපාක සිතකි. ව්‍යවස්ථාපනය හෙවත් වඩාත් විමසමින් සිතක් පහළ වෙයි. (වොත්ථපන) එය ක්‍රියා සිතකි. එම රූපාරම්මණයෙහි ලෝභයක් හටගත්තොත් ලෝහ මුලික අකුසල් ජවන් සිතක් සත් වරක් ඉපිද බිඳෙයි. මෙම සිත්වල යෙදෙන චේතනාව අකුශල කර්මය, රූපාරම්මණය පිළිබඳ මෛත්‍රී සහගත හෝ අසුභ – අනිත්‍යාදී සිත් පහළ වුවහොත් කුසල් සිතක් ජවන් වශයෙන් සත් වරක් උපදී. චේතනාව කුශල කර්මය, ඉක්බිති එම අරමුණු රස විඳිමින් (තදාලම්බණ) දෙසිතෙක් පහළ විය හැකි ය. ඒවාත් විපාක සිත් ය. ඊළඟට යළිත් අරමුණක් ලැබෙන තුරු සිත භවංග ගත වෙයි. භවංග සිත් වර්තමාන කිසිම අරමුණක් නොගනිමින් අමුතු කිළිටිවීමක් හෝ පිරිසිදුවීමක් නොමැතිව එක සේ ම එක දිගටම සදොරට අරමුණක් නැති කල්හි පහළට අතීත කුශලාකුශලයෙක විපාකයක් වශයෙන් ප්‍රතිසන්ධි දුන් සිතම ඉපදෙමින් බිෙඳමින් පවතින හෙයින් එම ප්‍රකෘති සිත පැහැදිලි සිත බව දැක් වූ සේක.

ජීවත්වීමය කියන්නේ මෙසේ ප්‍රතිසන්ධි, භවංග විපාක සිත් ද පඤ්චද්වාරාවජ්ජන කිරිය සිත ද චක්ඛු විඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ විපාක සිත් හා වොත්පන කිරිය සිත ද ජවන් වශයෙන් කුසල් හෝ අකුසල් සිත් ද තදාලම්බණ විපාක දෙසිත ද යන සිත් පහළවීමයි.
මෙසේ ජීවත්වීම – වැඩි වශයෙන් විපාක සිත් පහළ වීමෙන් පෙර කළ කර්ම විඳීම ප්‍රධාන වශයෙන් සිදු වෙයි. ඊළඟ නිරතුරුවම ජවන් සිත් කුසල් අකුසල් (කිරිය ජවන් රහතුන්ට ය) ලැබෙන හෙයින් හොඳ හෝ නරක කර්ම රැස් කිරීම ද ජීවත් වීම යි. උට්ඨාන වීරිය ඇති පුද්ගලයා වඩ වඩා කුසල් සහ වස්තු රැස් කර ඉතා හොඳ උද්‍යෝගමත් ජීවිතයක් ගත කරයි. ඔහු විපාක විඳීමට හොඳ කර්ම රැස් කරයි.
එහෙයින් ජාගරියානුයෝගීව (නිදිවරා භාවනා කිරීම) ප්‍රතිපත්ති පිරීමට බුදුරජාණන් වහන්සේ නියම කළහ. සියල්ල පෙර කළ කර්මයෙන් නම් විපාක සිත් පහළවීම පමණක් බලාපොරොත්තු විය යුතු ය. ලෞකික කර්මයෙන් කර්ම විපාකයන්ට උපකාරවීමත් – මඟහැරවීමත්, අමුතු කර්ම රැස් කිරීමත් සිදු වේ. ඉහත සඳහන් ලෝකෝත්තර කර්මයෙන් කර්ම විපාකයන් නැති කිරීමත් – කර්ම විපාකයන් රැස් නොකිරීමත් සිදුවන බව සැලකිය යුතුය. බෞද්ධයාගේ පරමාර්ථය එම කර්මක්ෂය කර ඥානය ලබා සැනසීමට ය.

No comments:

Post a Comment