බෞද්ධ කර්ම සංකල්පයේ සුවිශේෂත්වය වන්නේ චේතනා පූර්වක ක්‍රියා පමණක් කර්ම වශයෙන් පිළිගැනීමයි. “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි “ චේතනාව කර්මය වශයෙන් වදාරන බුදුන් වහන්සේ සියලු දෘෂ්ඨීන් අභිබවා භාරතයේ නව චින්තන විප්ලවයක් ඇති කිරීමට සමත් විය. චේතනාවේ ක්‍රියාකාරිත්වය පුද්ගලයා දැන හෝ නොදැන සිදුවේ. එමගින් කර්මයේ ඇති බලවත් බව පැහැදිලි වේ.
“කම්මස්සකෝම්හි කුම්ම දායාදෝ කම්ම යෝනි
කම්ම බන්ධු කම්ම පටිසරණෝ යං කුම්මං කරිස්සාමි
කල්්‍යානං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිනි
අභිණ්හං පච්චවෙක්ඩිතබ්බං ඉන්ථියා වා පුරිසෙන වා
ගහටිඨෙන වා පබ්බජිතෙන වා තී”
සියලු සත්වයෝම කර්මය ස්වකීය කොට ඇත්තෝය. කර්මය දායාද කොට ඇත්තෝය. කර්මය සැප දුක් වේදනා ගෙන දෙනු මූල හේතුව කොට ඇත්තේය. එසේම කර්මය ඥාති කොට ඇත්තේය. කර්මය පිහිට පිළිසරණ කොට ඇත්තෝය.
ඉදින් යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේනම් ඔහු විසින් ඒ කළාවූ කර්මයාගේ විපාකද ඔහුටම දායාද වන්නේය. ඒ ආකාර වූ කර්මය ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිරන්තරයෙන් සිහි කටයුතු යැයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සේක
බෞද්ධ කර්ම සංකල්පයේ සුවිශේෂත්වය වන්නේ චේතනා පූර්වක ක්‍රියා පමණක් කර්ම වශයෙන් පිළිගැනීමයි. “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි “ චේතනාව කර්මය වශයෙන් වදාරන බුදුන් වහන්සේ සියලු දෘෂ්ඨීන් අභිබවා භාරතයේ නව චින්තන විප්ලවයක් ඇති කිරීමට සමත් විය. චේතනාවේ ක්‍රියාකාරිත්වය පුද්ගලයා දැන හෝ නොදැන සිදුවේ. එමගින් කර්මයේ ඇති බලවත් බව පැහැදිලි වේ. මේ අනුව පුද්ගලයා විසින් තිදොරින් ක්‍රියාත්මක කෙරෙන යහපත් හෝ අයහපත් ක්‍රියා කර්ම නම් වේ. සංවේදනය, සංචේතනය , සංජානනය වශයෙන් මිනිස් මනසේ ක්‍රියාකාරිත්වය තෙවදෑරුම් වේ. සියලුම ආකාරයේ හැඟීම් සංවේදනය යටතට ගැනෙන අතර දැනුම් පද්ධතිය සංජානනය යනුවෙන් හැඳින්වේ. සිතෙහි පවතින අභිසංස්කරණය හෙවත් රැස්කිරීම සංවේතනය යන්නෙන් අදහස් වේ. මේ අනුව කර්මය අපේ ජීවිත තුළට නිරතුරුවම බැදී පවතින්නකි. එදිනෙදා ජීවිකාව තුළ සිදුවන නොයෙක් දුක් කම්කටොලු රෝගාබාධ හමුවේදී නිරතුරුවම මුවග රදාපවතින්නේ කර්මය යන වචනයයි. ඇතැම් රෝගි අවස්ථාවකදී සිතට නැගෙන්නේ මෙය පූර්ව කර්මයක්ය යන්නයි.
එසේ සියල්ල කර්මය වශයෙන් ග්‍රහණය කර ගැනීම බුදු දහමින් ප්‍රතික්‍ෂේප කරනු ලබයි. මේ පිළිබඳව මිලින්ද පඤ්භයේ කර්මක්‍ෂය ප්‍රශ්නය ඇසුරින් මෙය මනාකොට ගම්‍යමාන වේ.
මිලිදු රජු නාගසේනයන් වහන්සේගෙන් නාගසේනයන් වහන්ස, තථාගතන් වහන්සේ සියලු අකුසල් නසා සර්වඥතාඥානයට පැමිණ වදාළ සේක් ද? අකුසල් ඇතිව සර්වඥතාඥානයට පැමිණ වදාළ සේක්දැයි විචාළේය. රජතුමනි, තථාගතයන් වහන්සේ සියලුම අකුසල් දුරුකොට සර්වඥතාඥානයට පැමිණ වදාළ සේක. එසේ නම් නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි කිසියම් දුක්ඛ වේදනාවක් උපන්නේ ද? එසේය මහ රජතුමනි, රජගහනුවරදී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය ගල්පතුරක් වැදීමෙන් ලේ ගලන ලද්දේය. තවද ලෝහිත පක්ඛන්දිකා නම් රෝගයක් හට ගත්තේය. ශරීරයෙහි ලේ වැඩී ව්‍යාප්ත වූ කල්හි ජීවක වෛද්‍යවරයා විසින් විරේක කරන ලදී. වාතාබාධය උපන් කල්හි අනඳ තෙරුන් විසින් උණුපැන් වළදන ලදී.
ඉදින් නාගසේනයන් වහන්ස, බුදුන් වහන්සේ සියලු කෙලෙසුන් නසා අකුසල් නසා බුද්ධත්වය ලැබුයේ නම් ඒ වචනය බොරු වන්නේය. ස්වාමීනි කර්මයක් නොමැතිව විදින්නා වූ දුක්ව වේදනාවක් නැත්තේ ය. සියලු දුක්ඛ වේදනා විදීම කර්මය මුල් කොට ඇත්තේය. මිලිදු රජු මේ ආකාරයෙන් නාගසේනයන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී.
මහ රජාණෙනි. සියලු දුක්ඛ වේදනාවෝ කර්මය මුල්කොට ඇත්තො නොවෙති. මහරජතුමනි, කරුණු අටකින් දුක්ඛ වේදනාවො උපදින්නාහ. එම කරුණු අට නම්,
01. පීත්ත සමුට්ඨාන ආබාධා .(පිතින් වන රෝගය )
02. සෙම්හ සමුට්ඨාන ආබාධා (සෙමින් වන රෝගය)
03. වාත සමුට්ඨානා ආබාධා (වාතයෙන් වන රෝගය)
04. සන්නිපාතිකා ආබාධා (වාත, පිත , සෙම, තුන් දොසින් වන රෝගය)
05. උතුපරිණාමජා ආබාධා (ඍතු පෙරළීමෙන් වන රෝගය)
06. විසමපරිහාරජා ආබාධා (ආහාර විෂවීමෙන් ඇතිවන ආබාධ)
07. ඔපක්කමිකා ආබාධා (පරෝපක්‍රමයෙන් වන ආබාධය )
08. කම්ම විපාකජා ආබාධා (කර්ම විපාකයෙන් වන රෝගය)
මහ රජාණෙනි, මේ ලෝකයෙහි පීත සමුට්ඨාන වූත් යම් දුක්ඛ වේදනාවක් උපදනාහ. සෙම්හ භිත සමුට්ඨාන වූත් යම් දුක්ඛ වේදනාවක් උපදනාහ. වාත සමුට්ඨාන වූත් යම් වේදනාවක් උපදනාහ. සන්නිපාතික වුත් යම් දුක්ඛ වේදනාවක් උපදනාහ. උතුපරිනාමජ වූත් යම් වේදනාවක් උපදනාහ. විෂමපරිහාරජ වූත් යම් දුක්ඛ වේදනාවක් උපදනාහ. ඔපක්කමික වූත් යම් දුක්ඛ වේදනාවක් උපදනාහ. මහරජාණෙනි, කම්ම විපාකජ වූත් යම් දුක්ඛවේදනාවක් උපදනාහ. මහරජාණෙනි, යථෝක්ත වූ මේ අට කාරණයෙන් බොහෝ සත්ත්වයෝ දුකින් පෙළනා ලද්දාහ. මේ දුක් සියල්ලම කර්මයෙන්ම සිදුවන්නේයැයි අන් කරුණු හත වළක්වන්නේ නම් එය මිත්‍යා වචනයක් වන්නේය.
මිලිඳු රජු නැවතද පීත සමුට්ඨාන, සෙම්හ සමුට්ඨාන, වාත සමුට්ඨාන , සන්නිපාතික,උතුපරිනාමජ , විසමපරිහාරජ, ඔපක්කමික, කම්ම විපාකජ වූ යම් අබාධයෙක් ඇත්ද ඒ සියල්ලම පූර්ණ කර්ම ගෙන්ම වන්නාහයි කීහ. මහරජාණෙනි, ඒ සියලු ආබාධයෝ පූර්ව කර්මයෙන්ම වන්නාහු නම් ඒ ආබාධයන්ගේ ලක්‍ෂණ කොටස් වශයෙන් වන්නාහ. කිපෙන්නාවූ වාතය වනාහී ශීතයෙන්ද, උෂ්ණයෙන්ද, ක්‍ෂුධායෙන්ද, පිපාසයෙන්ද, බොහෝ කොට උපක්‍රමයෙන්ද , කර්ම විපාකයෙන්ද යන දස ආකාරයෙන් කිපෙන්නාහ. එම දස ආකාරයෙන් කර්ම විපාකය ඇත්හැරී විට අන්නව ආකාරයෙකින් කිපෙන්නේය. එය ඉකුත් වූ අතීතයෙහිද අසම්ප්‍රාප්ත වූ අනාගතයෙහිද නොඋපදින්නාහ. මේ වර්තමාන භවයේදීම උපදින්නේය. එම නිසා සියලු දුක්ඛ වේදනාවෝ කර්මය මුල්කොටම පවතීයැයි නොසිතිය යුතුය. මහරජාණෙනි, උතුපරිනාමජ වේදනාව ඍතු වෙනස් වීමෙන් උපදින්නේය. විෂමපරිහාරජ වු වේදනාව විෂමාහාරයෙන් උපදින්නේය. ඔපක්කමික වේදනාව පරෝපක්‍රමයෙන් වීමත් ඇත. පූර්ව කර්මයෙන් වීමත් ඇත. කර්ම විපාකජ වූ වේදනාව පූර්ව කර්මයෙන්ම උපදින්නේය.
කර්ම විපාකජ වූ ආබාධ ඉතා මදය. ඉතිරි ආබාධ ඉතා බොහෝය. සියල්ල කර්මයෙන්ම සිදුවන්නේයැයි සිතා ඉතිරි කරුණු හත අමතක නොකළ යුතුය. බුදුන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි ගල්පතුර වැදීම පරොවික්‍රමයකින්ම සිදු වූවක් මිස අන් සත් කරණයෙහි සිදු වූවක් නොවන්නේය. එය පරොපක්කමික වේදනාවක් මිස අන් වාත සමට්ඨානාදි වේදනාවක් නොවන්නේය.
මහාරජාණෙනි, පඨවී,ආපො, තේජො, වායො යන සතරින් උපන්නාවු ශරීරහෙි නොයක් වේදනාවො උපදින්නේය. මහරජාණෙනි, මේ ලෝකයෙහි අහසෙහි දමන ලද ගල් කැටය පොළොවට වැටෙන්නේය. ඒ ගල් කැටය පූර්ව කළ කර්මයෙන් පොළොවට වැටෙන්නේද? යම් හෙයකින් මේ පොළොව කුශලාකුශල විදින්නේද? එබඳු හේතුවක් මේ මහපොළොවෙහි නොමැත. වර්තමානු වූ අකර්මක හේතුවෙන් ගල්කැටය මහපොළොවට වැටෙන්නේය. රජතුමනි පෘථිවිය යම්සේද එපිරිද්දෙන්ම තථාගතයන් වහන්සේ දත යුතුය. තවද මනුෂ්‍යයෝ මහා පෘථිවිය බිදින්නාහ. සාරන්නාහ. ඒ මනුෂ්‍යයාගේ පූර්වකළ කර්මයෙන්ම මහ පොළොව බිදින්නාහුද? කරන්නාහුද? මහ රජාණෙනි, ඒ පරිද්දෙන් බුදුන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි වැදුනා වූ ගල්කැබැල්ල පූර්ව කර්මයෙන් නොවදින ලද්දේය.
භාග්‍යවතුන් වහන්සේට යම් ලෝහිත පක්ඛන්දිකා රෝගයෙක් හටගත්තේද එය සන්නිපාතකයෙන් උපන්නා මිස පූර්ව කළ කර්මයෙන් නූපන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෝලිය සීවක සූත්‍රයෙහි සීවකනම් පරිබ්‍රාජකයා හට වදාළේ, සීවකය මේ ලෝකයෙහි පීත සමුට්ඨාන, සෙම්හ සමුට්ඨාන, වාත සමුට්ඨාන ආදි ආබාධයන් හටගත්තේය. ඒ සියල්ල මෙය පූර්ව කර්මයෙන් සිදුවූවක් ලෙස නොගන්න. එය කර්මයේ ඵලයක් ලෙස ගනී නම් එය මිත්‍යා මතයක් ලෙස දේශනාකොට වදාළහ. මෙම සූත්‍රය දේශනා කළ කල්හි සීවක පරිබ්‍රාජකයා අන්‍ය දෘෂ්ටීන් හැරපියා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්විය. මේ ආදී කාරණයෙන් සියලු දුක්ඛ වේදනාවෝ කර්ම විපාකජ නොවන්නේයැයි දතයුත්තාහ.
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා!
අමරගම රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ වප් පුරපසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ ඔක්තෝබර් මස 22 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment