Labels

Monday, August 31, 2015

දරුවන් අතර මුදල් ගැවසෙනවා යැයි කියන්නේ ඔවුන්ට සර්පයෙක් ලබාදීමයි


දරුවන්ට ආහාර ලබා නොදී මුදල් අතට දුන් විට බොහෝ දරුවන් මව්පියනට ඉතිරි මුදල් ලබා දෙන්නේ නැහැ. ඔවුන් තමන්ට ලබා දුන් මුදල් වියදම් වීම සඳහා හේතු සාධක නිර්මාණය කරනවා. එයත් ඔවුන් මුසාවාදයට පෙළඹෙනවා. රැවටීමට යොමුවනවා. මේ නිසා පාසල් දූදරුවන් මුදල් පරිහරණයට යොමු කිරීම සමාජ ව්‍යසනයට හේතු සාධක වනවා. මුදල් ලබා ගැනීමට නොහැකිවූවිට සොරා ගැනීමට පවා පෙළඹෙන්නට පුළුවන්. එවිට අප දු දරුවන් සමාජයේ ඉදිරි මඟකට ගෙනයාමට හැකියාව ලැබේවිද ?


‘සතෙන් සතේ .... ඉතිරි කරල, ඉතිරි කරල ...’ රූපවාහිනියෙන් කාලෙකට ඉස්සර නිතරම විකාශනය වූ ඒ වෙළඳ දැන්වීම අපට දුන්නෙ ලොකු පණිවුඩයක්. විශේෂයෙන්ම අපේ අනාගතය බාර ගැනීමට සූදානමින් ඉන්න ළමා පරපුරට ලොකු හැඟීමක් ඇති කළා.

පුංචි කාලයේ ඉදල ඉතිරි කරන්න ඉගැන්වීමට හොඳ පණිවුඩයක් ලබා දුන්න.
පුංචි පැල්පතක මැටි ගහපු බිත්ති කණ්ඩියක වාඩි වෙලා කිලිටි ගවුමක් ඇඳගෙන හිටිය දුගී දියණියක් කැටේකට තමන් අතට ලැබුණු කුඩා මුදල ඉතිරි කිරීමට යොමු කරපු ඒ දැන්වීම ගමේ විතරක් නෙමෙයි නගරයේ දූ දරුවන් පවා ඉතිරි කරන්න යොමු කළා. විශේෂයෙන්ම අද අපේ දරු දැරියන්ට මුදල් ඉතිරි කිරීම ගැන දැනුමක් නැහැ. ඉතිරි කරනවා වෙනුවට තමන් සතු සියල්ල වියදම් කිරීමට ඔවුන් පෙලඹිලා.
මේ තත්ත්වයට වැඩිහිටියන් වගකිව යුතු බව අප කවුරුත් පිළිගතයුතු වනවා.
මඳක් සිතා බලන්න. බොහෝ පාසල් දරුවන් අත පවා ජංගම දුරකතන දකින්න තිබෙනවා. ජංගම දුරකතනයක් ඔවුන්ට අවශ්‍යමද? බොහෝ මව්පියන් දරුවන්ට ජංගම දුරකතන ලබා දී ඇත්තේ දරුවාගේත් තමන්ගේත් සන්නිවේදන පහසුවටයි. එහෙත් ජංගම දුරකතනයක් භාවිතා කරන දරුවා බොහෝවිට සමාජයට නොගැලපෙන දේ සඳහා යොමුවීමත් අධික ලෙස මුදල් වැය කිරීමටත් පෙළඹෙනවා.
මවත් පියාත් දෙදෙනාම රැකියාවේ නියුතුවූ විට ඇතිවන තත්ත්වයක එක් ප්‍රතිඵලයක් ලෙසද අපට මෙය හඳුන්වා දීමට පුළුවන්. එසේම පාසල් යන දරුවාට ආපනශාලා මඟින් ආහාර ගැනීමට හුරු කිරීම, විශේෂයෙන් ක්ෂණික ආහාර සඳහා දරුවන් යොමු කිරීමේ ප්‍රතිඵල බෙහෙවින් භයානක වීමටත් ඉඩ තිබෙනවා. මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ අවශ්‍ය පෝෂ්‍යදායී ආහාරය වෙනුවට කෘතිම රසකාරක යෙදූ ආහාර ඔවුන් මිලදී ගැනීමයි. ඊට මිත්‍රයන්ගේ පෙළඹීමත් එක් හේතුවක්. තවත් හේතුවක් වන්නේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය. මෙහිදී දරුවාගේ මනස අධික ලෙස පිරිහෙනවා. තමන් එවන් දේ ආහාරයට ගැනීමෙන් උසස් පුද්ගලයෙක් වේ යැයි මිථ්‍යා දෘෂ්ටියක් ඔහු තුළ ඇතිවෙනවා. මානය ඔහුගේ සිත් තුළ ඇති වනවා. විශේෂයෙන්ම අන් අයට වඩා තමන් උසස් යැයි සිතනා “සෙයිය මානය” ඇතිවෙනවා.
මෙය ඉදිරි පරපුර බාරගෙන සමාජයට වගකීම් ඉටු කිරීමට බලාපොරොත්තුවන දරුවකුගෙන් සිදුවිය යුත්තක් නොවේ. එවන් මිථ්‍යා දෘෂ්ටියක් ඇති කරගත් දරුවකුගෙන් අපට සතර සංග්‍රහ වස්තු බලාපොරොත්තු වන්න පුළුවන්ද ? සමඟිව ජීවත් වීම අන්‍යයන් හා සමඟ සුහදව ජීවත්වීමට සාමය රැකගෙන සිඟාලෝවාද සූත්‍රයට අනුව දිවි ගෙවීමට ඔහුට හැකියාවක් ලැබේවිද ?
මේ තත්ත්වය වැඩිහිටියන් මැනවින් අවබෝධ කරගත යුතුය. මෙවන් පරිසරයක් නිර්මාණය කරන්නේ අපම නොවේද?

අලසකම පිරිහීමට හේතුවක් බව දහමේ දැක්වෙනවා. “ඉතා සීතලය, ඉතා රස්නය,’ යනුවෙන් කටයුතු නොකළ යුතු වනවා. අලුයමින් පිබිදී දරුවන්ට සුදුසු ආහාර වේලක් සකස් කරදීමට විශේෂයෙන්ම මව වග බලා ගත යුතුවෙනවා.
දරුවන්ට ආහාර ලබා නොදී මුදල් අතට දුන් විට බොහෝ දරුවන් මව්පියනට ඉතිරි මුදල් ලබා දෙන්නේ නැහැ. ඔවුන් තමන්ට ලබා දුන් මුදල් වියදම් වීම සඳහා හේතු සාධක නිර්මාණය කරනවා. එයත් ඔවුන් මුසාවාදයට පෙළඹෙනවා. රැවටීමට යොමුවනවා. මේ නිසා පාසල් දූදරුවන් මුදල් පරිහරණයට යොමු කිරීම සමාජ ව්‍යසනයට හේතු සාධක වනවා. මුදල් ලබා ගැනීමට නොහැකිවූවිට සොරා ගැනීමට පවා පෙළඹෙන්නට පුළුවන්. එවිට අප දු දරුවන් සමාජයේ ඉදිරි මඟකට ගෙනයාමට හැකියාව ලැබේවිද ? මුදල් අතට ලැබීම නිසා තම මිතුරන් සමඟ අනිසි ගමන් යාමටත් දූ දරුවන් පෙළඹිලා.

අනිසි මුදල් පරිහරණය නිසා දූ දරුවන් තමන්ගේ සීමාව ඉක්මවා ගොස් කටයුතු කරනු ලබන බව අපට මාධ්‍ය මඟින් වාර්තා වනවා. මෙහිදි පාසල් පද්ධතියටත් විශාල වගකීමක් තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙන් පැහැදිලිව දක්වා ඇත්තේ ‘ සිසුවා යහපතෙහි යෙදවීම’ ගුරුවරයෙකුගේ යුතුකමක් ලෙසයි. එමනිසා සිසුන් අතර පැවැත්වෙන ප්‍රියසාද මෙන්ම ඔවුන්ගේ විය පැහැදම් ගැන මව්පියන් මෙන්ම ගුරුවරුන්ද අවධානය යොමු කළ යුතුවනවා. දරුවන් අතර මුදල් ගැවසෙනවා යැයි කියන්නේ සැබැවින්ම ඔවුන්ට සර්පයෙක් ලබා දීමයි. දරුවන්ගේ සාක්කුවට සර්පයන් දැමීමයි. මේ නිසා දූ දරුවන් සැමවිටම මුදල් ඉතිරි කිරීම සඳහා යොමු කළයුතු වනවා. හදිසියේ මව, පියා රෝගාතුර වුවහොත් පාසලේ හෝ පවුලේ හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් තමන් ඉතිරි කළ මුදල් ලබාදී එම අවශ්‍යතාවය දුරු කිරීම දක්වා මනස මෙහෙයවා කටයුතු කිරීමට දරු දැරියන් පුරුදු පුහුණු කළයුතු වනවා.

විශේෂයෙන්ම දරුවාගේ අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරනවාසේම මව්පියන් කිසිවිටෙක මුදල්වලින් දරුවන්ට ආදරය නොකිරීමට කටයුතු කළයුතුයි.
එමෙන්ම පාසල් පද්ධතියේදීත් දරුවන් හරහා මුදල් ලබා ගැනීම නොකර හැකි සැමවිටම මව්පියන් ඒ සඳහා දායක කර ගැනීම ඉතාම වැදගත් වනවා.
ඉතිරි කරගත් මුදලින් දරුවාගේ යහපතට යමක් කරනවාට වඩා ඔහු යහපත කරා යොමු කිරීමට කටයුතු යෙදීම දරුවන්ට බෙහෙවින් වැදගත් වනවා.
දරුවකු ඉතිරි කරගත් මුදලින්, දරුවාගේ උපන් දිනය යෙදුනවිට දුගී දරුවකුට තම දුව පුතා මඟින්ම ඇඳුමක් හෝ අධ්‍යාපනික උපකරණ ලබා දීම හෝ සීල සමාදානයෙහි යෙදෙන වැඩිහිටියකුට අවශ්‍ය වස්ත්‍රයක් හෝ ලබාදීම මගින් දරුවාට අභිමානයක් ඇතිවනවා. තමන් උසස් පුද්ගලයෙක් යන හැඟීම ඔහු තුළ ඇතිවනවා. දානය, ප්‍රියවචනය වැනි ගුණ දහම් ඔහු තුළ වර්ධනය වනවා.
ලෝකයේ ඉතිරි කිරීම සම්බන්ධව ලෝකයේ ඉහලම දැනුම ලබාදුන්නේ බුදුරජාණන් වහන්සේ විසින්
.
“ඒකෙන භොගෙ භුඤ්ජෙය්‍ය
ද්විහි කම්මං පයොජයෙ
චතුත්ථංච නිධා ප්‍යෙය
ආපදාසු භවිස්සති’


ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කර වදාළේ උපයනු ලබන ධනය කොටස් හතරකට බෙදා වෙන් කර එක් කොටසක් එදිනෙදා පරිභෝජනයට යොදා ගන්නා ලෙසත් කොටස් දෙකක් ව්‍යාපාරයන්හි වෙලහෙළදාම් ආදියෙහි ආයෝජනය කළයුතු බවත් ඉතිරි කොටස හදිසි ආපදා අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට සුරැකිව තබන ලෙසත් දහමෙහි දැක්වෙනවා.
මෙය උපයනු ලබන ධනය ආරක්ෂා කර දැහැමි දිවි පෙවෙතක් ගත කිරීමට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආරක්ෂාකාරී මාර්ගයක්. මව්පියන් වැඩිහිටියන් නිරතුරුවම තේරුම් ගැනීමට උත්සාහ කළයුත්තේ තම දුව, පුතා මෙම මාර්ගයට යොමු කිරීමට තමන් කටයුතු කරන්නේද යන්නය.
අපේ රටේ ඉතිහාසය ගෙන බලන්න ධාතුසේන රජු පුතාට (කාශ්‍යප) තමන් ඉපැයූ ධනය නැත්නම් වස්තුව ලෙස පෙන්වා දුන්නේ කුමක්ද ? රජරට පෝෂණයට අදත් උර දෙන කලා වැවයි. කාශ්‍යප කුමරුට පියාගේ ඒ වස්තුව ගැන දැනුමක් තිබුණේ නැහැ. ඇළ, දොල, වැව් පොකුණු ඉඳි කිරීම මෙන්ම පැළයක් රෝපණය කිරීම මඟින් අපට ධනය, වස්තුව ඉතිරි කිරීමට දායක වන්නට පුළුවන්.
ඉතිරි කළ යුත්තේ ධනය පමණක්ම නොවේ. ආර්ථික වශයෙන් මුදල් වැදගත්වුවත් අපගේ අනාගතය සරුකර ගැනීම පිණිස සමාජය යහපත් බවින් පෝෂණය කරා ගෙනයාමට ගුණ දහම් වර්ධනයට කටයුතු කළයුතු වනවා.
ඉතිරි කිරීම එහි එක් අංගයක් පමණයි. අපට ලැබෙන ශක්තිය සමාජයේ බොහෝ වැඩ කටයුතු සඳහා යොදා ගැනීමට ඉතිරි කිරීම බෙහෙවින් ඉවහල් වන බව අප සැමවිටම තේරුම් ගතයුතු වනවා. බුදුරජාණන් වහන්සේ වදාළ නිසි ධනය උපයන හා ආරක්ෂණ මාර්ගයේ ගමන් කළ හැකිවන්නේ එවිටයි.

 ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 09 වන බ්‍රහස්පතින්දා   දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment