තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණේ දුක් විඳින සියලුම සත්ත්වයන් ඒ දුකෙන් මුදවා ගැනීමට යි. උන්වහන්සේ අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය තුළ යම් කෙනෙක් හික්මෙනවානම් ඔහු මේ මහ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙලා අමා මහා නිවන සාක්ෂාත් කරන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.
මේ ලෝක සත්ත්වයා සසරේ දුක් විඳ විඳ ආපු දීර්ඝ ගමන ගැන බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මහණෙනි, තනි පුද්ගලයෙක් මේ මහා පෘථිවිය වෙරළු ගෙඩි ප්‍රමාණයට ගුලි කරල එක එක වෙන් කරනවා. මේ මගේ මේ ජීවිතයේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා කියලා. මහණෙනි, ඒ ගුලි ටික ඉවර වෙනවා. නමුත් අම්මල පරම්පරාව ඉවර වෙන්නේ නැහැ.
ඊළඟට උන්වහන්සේ විස්තර කරනවා මේ ලෝකයේ තිබෙන ගස් සියල්ලම අඟල් හතරේ කෑලිවලට කපලා මේ මගේ මේ ජීවිතයේ පියා. මේ ඒ පියාගේ පියා. මේ ඒ පියාගේ පියා කියලා ඒ අඟල් හතරේ ලී වෙන් කළොත් ලී කෑලි ඉවර වෙනවා. නමුත් පියවරු පරම්පරාව ඉවර වෙන්නේ නැහැ. මෙවන් සංසාරයකට අප වැටි තිබෙන්නේ, අවිද්‍යා සහගතව තෘෂ්ණාවෙන් බැඳිල අවබෝධයක් නැතිව යන වැඩපිළිවෙල නිසා බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ.
උන්වහන්සේ වදාළා මහණෙනි, මේ සංසාරෙයේ එක පුද්ගලයෙක් හෙළන කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි. එක පුද්ගලයෙකුගේ ශරීරයෙන් ගලා ගිය ලේ සතර මහා සාගරයට වඩා වැඩියි කියලා. උන්වහන්සේගේ අවබෝධය විශ්වාස කරන පුද්ගලයා තැති ගන්නවා මෙයින් නිදහස් වෙන්නේ කවද ද කියලා. ඒ වගේම ධර්මය තුළ ඒ ශ්‍රාවකයා සමාධිය වඩනවා. ඇසට දකින රූපයෙන් ආශ්වාදය විඳ විඳ සිටි දෙහින් ගැලවෙනවා. ශබ්දය ගැන, ගඳසුවඳ ගැන, කාපු බීපු දේ ගැන, ස්පර්ශය ගැන, ආශ්වාදය විඳ විඳ සිටි කෙනා එයින් නිදහස් වෙලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිකර ගන්නට වෙහෙසෙනවා. ඔහු සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, මත්වතුර භාවිතය, බොරුකීම, පරුෂවචන කීම ආදි අකුසල් සියල්ලම තිබෙන්නේ කාමය තුළ බව දැනගෙන ඔහු කාමයෙන් වෙන් වෙනවා. අකුසලයෙන් මිදෙනවා. එවිට තමන්ගේ භාවනා අරමුණට හිස හසුරුවීමට පහසුයි. කාමයෙන් වෙන් වූ නිසා සිතට විවේකයක් තිබෙනවා.
සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න ගැඹුරට සිත තැන්පත් වෙනවා. ගැඹුරට සිත සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, සිත සංසිඳෙන සමථ, (සමථය කියන්නේ සංසිඳෙනවා) භාවනාව වැඩිය යුතුයි. මහණෙනි, සමථ භාවනාව වැඩුවාම සිත වැඩෙනවා. මේ සිත පිරිහෙන ස්වභාවයෙනුත් යුක්තයි. වැඩෙන ස්වභාවයෙනුත් යුක්තයි. සිත පිරිහෙනවා කියන්නේ සිතට අකුසල් මිශ්‍රවීමයි. වැඩෙනවා කියා කියන්නේ සිතට කුසල් මිශ්‍රවීමයි. උන්වහන්සේ වදාළා මහණෙනි, සමථය වඩන විට සිත වැඩෙනවා කියා.
දැන් මේ ශ්‍රාවකයා තුළ සීලය තිබෙනවා. සමාධිය තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ඇස, කන ආදී ඉපදිලා ලැබුණ දේ පිළිබඳව හොඳින් විමසා බලන්න කියලා. ඇස, කන, නාසය, දිව, කය, මනස නිත්‍යද, අනිත්‍යද කියලා හොඳින් විමසා බලන්න කිව්වා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු නිත්‍යද, අනිත්‍යද කියා විමසා බලන්න කිව්වා. විඤ්ඤාණය, ස්පර්ශය, විඳීම, නිත්‍යද, අනිත්‍යද කියා හොඳින් විමසා බලන්න කිව්වා. ඒ වගේම සඤ්ඤාව, චේතනාව, තෘෂ්ණාව නිත්‍යද අනිත්‍යද කියා විමසා බලන්න කිව්වා.
දැන් ඔහුගේ සිත තැන්පත් කරගෙන ඉන්න නිසා, සීලයෙන් සංවර නිසා, ඉන්ද්‍රිය සංවරයකින් යුක්තව ඉන්න නිසා ඒකටම සුදුසු කල්‍යාණ මිත්‍රයන් ඇසුරේම ඉන්න නිසා, වීරිය ඇතිවෙන ආකාරයට නුවණින් විමසන නිසා, සතර අපායේ භය ඇතිනිසා, මේ තාවකාලික ජීවිතයේ අනතුර පේන නිසා, නිතරම නුවණින් කල්පනා කරන්න පෙළඹෙනවා. ඒ පෙළඹීම නිසාම ඔහු අවබෝධ කර ගන්නවා මේ ‘දුක’ කියා කියන්නේ සත්‍යයක්මයි කියලා. මේ දුක දෙවි කෙනෙක් හදපු දෙයක් නොවේ. මනුෂ්‍යයාගේ ඉපදීම, ජරා, මරණ, සෝක, වැළපීම් දුක් දොම්නස්, උපායාස දේව මැවිල්ලක් නොවේ කියා අවබෝධ කර ගන්නවා.
උන්වහන්සේ වදාළා මේ ලෝකය මවපු කෙනෙක් නැහැ. මවපු දෙයක් නැහැ. හේතුඵල දහමෙන් හටගත් දෙයක්. අවිද්‍යා, තෘෂ්ණා නිසා හටගන්නේ. අන්න ඒ නිසා අවිද්‍යාවටයි, තෘෂ්ණාවටයි දුක්ඛ සමුදය කියා වදාළේ. මේ හටගත්තේ හේතුවක් නිසා. ඒක ආර්ය සත්‍යයක්. ඊළඟට ඔහු ධර්මය තුළින් ඉගෙන ගන්නවා අවිද්‍යාවෙන් නිදහස් වුණොත් තෘෂ්ණාව නැති කළොත් දුක හැදෙන්නේ නැහැ කියලා.
දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අසනවා ස්වාමිනි, මේ සත්ත්වයා ඉපැද්දෙව්වේ කවුද? කියා. උන්වහන්සේ වදාළා පින්වත් දෙවිය, මේ සත්වයා ඉපැද්දෙව්වේ තෘෂ්ණාවයි. අප උපද්දවපු කෙනා අප ළඟ දැන් ඉන්නවා. ආයෙ ආයෙත් එයා අප උපද්දල දේවි. නිරයේ, පෙරේත ලෝකයේ, තිරිසන් ලෝකයේ අපව උපද්දවාවි. නොයෙක් ලෝකවල උපද්දවාවි. ඒ උපද්දවන කෙනා අප ළඟයි. ඒ තෘෂ්ණාවයි.
මේ තෘෂ්ණාව නැත්නම් අප උපද්දවල දෙන කෙනා නැහැ. අප උපද්දවන කෙනා නැත්නම් උපතින් නිදහස්. තෘෂ්ණාව නමැති හේතුව නැතිවුණාම ඉපදීම නමැති ඵලය නිරුද්ධ වෙනවා. ඒ හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වීම ආර්ය සත්‍යයක්. එය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි.
ඒ වගේම වදාළා මාර්ගයක්. සීල, සමාධි, ප්‍රඥා. මහණෙනි, මෙයයි සීලය, මෙයයි සමාධිය. මෙයයි ප්‍රඥාව කියා අංග අටකින් යුක්ත ආර්ය අෂ්ඨාංගික මාර්ගය විස්තර කරනවා. මෙන්න මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තමයි අපට දුකින් නිදහස් වෙන්න තිබෙන මාර්ගය. කවුරු හරි කියනවානම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ වර්තමාන මනුෂ්‍යයාට ගමන් කරන්න බැහැ කියා ඔහු මනුෂ්‍යයාට අහිත පිණිස, දුක් පිණිස පිළිපන් කෙනෙක්. කවුරු හරි කියනවා නම් මේ ලෝකය් මනුෂ්‍යයාට සීල, සමාධි, ප්‍රඥා වඩන්න බැහැ කියා ඔහු මනුෂ්‍යයාගේත්, දෙවියන්ගේත් සතුරෙක්. ඒ වගේම කෙනෙක් කියනවානම් චිත්ත සමාධියක් ඇතිකරගන්න බැහැ කියා ඔහු මනුෂ්‍යයාගේ වගේම දෙවියන්ගේත් සතුරෙක්. ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනාකොට කෙනෙකුට දියුණු කරන්න ලැබුණත් ඔහුට ආර්ය සත්‍යය අවබෝධ කරන්න බැහැ කියා කියනවානම් ඔහුත් මනුෂ්‍යයන්ට දෙවියන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන් මිනිස් කෙමනක්. ඔහුන් මේ මනුෂ්‍යයාගේ නිවන් මඟ අහුරනවා.
එනිසා අප දැනගත යුතුයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සියල්ල අපට මේ ජීවිතයේදීම කරන්න පුළුවන් දේවල්. සිල් ආරක්ෂා කිරීම, ඉන්ද්‍රිය සංවරය මේ ජීවිතයේම කරන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ කොටස් වෙන් කරලා නුවණින් විමසලා බලන එක මේ ජීවිතයේ කරන්න පුළුවන් දෙයක්. ආශ්වාස, ප්‍රශ්වාස ගැන සිහිය පිහිටුවීම මේ ජීවිතයේ කරන්න පුළුවන් දෙයක්. ඉරියව් ගැන සිහිය පිහිටුවීම මේ ජීවිතයේ කරන්න පුළුවන් දෙයක්.
මේ ජීවිතයේම මේවා කරන්න පුළුවන් වෙන්නේ ධර්මය මනාකොට දේශනා කරපු දෙයක්. (ස්වාක්ඛාතයි) ඒ ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කරන්න පුළුවන් දෙයක්. (සන්දිට්ඨිකයි) ඒ ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ඇවිත් බලන්න කියලා පෙන්වා දෙන්න පුළුවන් දෙයක්. (ඒහිපස්සිකයි) තමා තුළම ඇති කරගත යුතු දෙයක්. (ඕපනයිකයි) බුද්ධිමත් කෙනා පමණක් තමාගේ බුද්ධියේ ප්‍රමාණයට ප්‍රත්‍යක්ෂ කරගන්නා දෙයක්. (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි)
ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දෙව් මිනිස් ලෝකයාගේ යහපත පිණිස යි. දෙව් මිනිස් ලෝකයාගේ හිතසුව පිණිසයි. දෙව්වරුත් දිව්‍ය ලෝකයේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය යි. දෙවිවරුත් මාර්ගඵල ලබන්න මහන්සි ගන්නවා. උත්සාහ කරනවා. මාර්ගය කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න දෙවියොත් වෑයම් කරනවා. මිනිසුන් වන අපත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමට වෑයම් නො කළ යුතු වන්නේ මක් නිසාද? අපත් තම තමන්ට හැකි පමණින් වෑයම් කළ යුතුයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම මාර්ගය යි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් ලැබෙන අවබෝධය ඵලය යි. ඒ අවබෝධය නිසා කෙලෙසුන්ගෙන් නිදහස්වීම තමා තිබෙන්නේ. මේ කරා යන්න තිබෙන දුර්ලභ අවස්ථාවක් තමා අපට මේ ලැබී තිබෙන්නේ.
එනිසා අප සියලු දෙනාටම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ අප සංසාරයේ කරපු පිනක විපාකයක් ලෙසයි. මේ පුණ්‍ය විපාකය නිසා අපට කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රයට ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිවි පරදුවට තියලයි මහා සංඝරත්නය ධර්මය ආරක්ෂා කළේ. තල්පත්වල මේ ධර්මය ලිව්වේ අපේ ප්‍රයෝජනයට යි.අප මේ ලැබුණ දුර්ලභ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජනය අරගෙන අප සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සද්ධානුසාරි, ධම්මානුසාරි වෙලා, සෝතාපන්න වෙලා, සතර අපායෙන් අත්මිදී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව උදාවේවා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ
අගෝස්තු 29 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment