Labels

Saturday, August 29, 2015

සප්ත බොජ්ඣංග ගුණාංග

 
අප තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් ලෝකයේ පහළ වූ මේ යුගයේ අපිට ඉගෙනගන්න ලැබෙන්නේ ඉතාමත් උත්තරීතර දේවල්. ඒවා ඉගෙනගෙන ප්‍රගුණ කර ගැනීම තුළින් අපට අපේ ආධ්‍යාත්මික සුවය සලසාගන්න පුළුවන්. බාහිර දියුණුව ඉතාමත් ප්‍රකට එකක් වුණත් කැපී පෙනෙන එකක් වුණත් අපේ ගුණ ධර්මවල දියුණුව තමයි අපට ඉතාමත්ම වටින්නෙ. ඉතිං මේ පිළිබඳව තව දුරටත් අපට දේශනා කළ උතුම් සූත්‍ර දේශනාවක් මුල්කරගෙන තමයි අද පින්වත් ඔබට කරුණු කියල දෙන්නෙ.

මේ සූත්‍ර දේශනාව අපට හමුවන්නෙ සංයුක්ත නිකායෙ පළවන කොටසේ බොජ්ඣංග සංයුත්තයේ පබ්බත වර්ගයේදී උතුම්ම අංග වන සප්ත බොජ්ඣංග ගුණ තමයි මෙහිදී දේශනා කෙරෙන්නෙ. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව යම් භික්ෂූන් වහන්සේලා සීලයෙන් යුක්ත වෙනව නම්, සමාධියෙන් යුක්ත වෙනව නම්, ප්‍රඥාවෙන් යුක්ත වෙනව නම්, විමුක්තියෙන් යුක්ත වෙනව නම්, විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වෙනව නම් ඒ වගේ භික්ෂූන් වහන්සේලා දැකීම පවා බොහෝ උපකාරියි කියනව. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනව එවැනි භික්ෂූන් වහන්සේලාට සවන්දීමත් බොහෝ උපකාරයි කියල. ඒ භික්ෂූන් වෙත එළඹීම, ඒ භික්ෂූන් ඇසුරු කිරීම, ඒ භික්ෂූන් සිහිකිරීම, ඒ භික්ෂූන් අනුව පැවිදිවීම ආදී මේ සියල්ල බොහෝ උපකාරයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට හේතුව ඒ වගේ භික්ෂූන් වහන්සේලාගේ ධර්මය අහල කාය විවේකයයි, චිත්ත විවේකයයි කියන මේ දෙවැදෑරුම් විවේකයෙන් යුක්තව වාසය කරන නිසා ඉතිං පින්වතුනි, භික්ෂුවක් හුදෙකලාවේ වාසය කරමින් ඒ ධර්මය සිහි කරනකොට නැවත නැවත විතර්ක කරනකොට, අනුවිතර්ක කරනකොට ඒ භික්ෂුව පටන්ගන්නෙ සති සම්බොජ්ඣංගය. බොජ්ඣංග කියන්නෙ නිවනට, සම්බෝධියට උපකාරවන අංග ඒකෙ පළවැනි එක තමයි සති සම්බොජ්ඣංගය.

මේ විදියට ඒ භික්ෂූන් වහන්සේ සති සම්බොජ්ඣංගය වඩනකොට ඒ බෝධි අංගය පරිපූර්ණත්වයට පත්වෙනව. එතකොට පුළුවන් වෙනම ධර්මය ප්‍රඥාවෙන් විමසන්න. එතකොට ප්‍රඥාව හසුරුවල මනාලෙස විමසීමට පැමිණෙනවා.
මේ විදියට කාලයක් තිස්සේ භික්ෂුවක් සිහියෙන් වාසය කරමින් ධර්මය ප්‍රඥාවෙන් විමසනවද හසුරුවනවද මැනවින් විමසීමට පැමිණෙනවද එතකොට ඒ ශ්‍රාවකයා පටන්ගන්නේ ධම්මවිචය සම්බොජ්ඣංගය. එතකොට ඒ ධම්මවිචය සම්බෝධි අංගය වැඩෙන්න පටන් අරගෙන ඒක පරිපූර්ණත්වයට පත් වෙනව. ඊට පස්සෙ ඒ භික්ෂුව ධර්මය ප්‍රඥාවෙන් විමසනකොට, ප්‍රඥාව හසුරුවන කොට මැනවින් විමසනකොට ඒ ශ්‍රාවකයා තුළ වීර්යය පටන් ගන්නව. හැකිලීමක් ඇතිවන්නේ නෑ.
එතකොට ඒ භික්ෂුව තුළ වීර්යය පටන්ගන්නකොට හැකිලීමක් ඇතිවෙන්නෙ නැතිකොට දියුණුවෙන්නෙ වීරිය සම්බොජ්ඣංගයයි. එතකොට වීරිය සම්බොජ්ඣංගය පටන්ගන්නකොට ඒ සම්බෝධි අංගය පරිපූර්ණත්වයට පත්වෙනව. පටන් ගත් වීරිය ඇති කෙනාට නිරාමිස පී‍්‍රතිය ඇතිවෙනව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේවලින් තොරවූ පී‍්‍රතිය හටගන්නවා

දැන් ඒ භික්ෂුව තුළ නිරාමිස පී‍්‍රතිය උපදිනකොට ඒ ශ්‍රාවකයා ආරම්භ කරල තියෙන්නෙ පී‍්‍රති සම්බොජ්ඣංගය. මේ විදියට භික්ෂුව පී‍්‍රති සම්බොජ්ඣංගය වඩනකොට ඒ සම්බෝධි අංගය වැඩිල පරිපූර්ණත්වයට පත්වෙනව. පී‍්‍රති මනසක් තියෙනකොට ඒ කෙනාගේ කයයි, සිතයි දෙකම සැහැල්ලුවෙනව. දැන් පී‍්‍රතියෙන් යුක්ත මනසක් තියෙන භික්ෂුවකගේ සිතත් සැහැල්ලුවෙනකොට භික්ෂුව පටන් අරගෙන තියෙන්නෙ පස්සද්ධි සම්බෝධි අංගයි. මේ විදියට පස්සද්ධි සම්බොජ්ඣංගය වඩනකොට ඒ සම්බෝධි අංගයත් පරිපූර්ණත්වයට පත්වෙනව. සැහැල්ලු කයක් තිබෙන කෙනාට සැපය ඇතිවෙනව. සැප ඇති ශ්‍රාවකයාගේ සිත සමාධිමත් වෙනව.


සැහැල්ලු කයකින් සැපසේ සිටින භික්ෂුවගේ සිත සමාධිමත් වෙනකොට ඒ ශ්‍රාවකයා ආරම්භ කර සිටින්නේ සමාධි සම්බෝධි අංගය. මේ විදියට සමාධි සම්බොජ්ඣංගය වඩනකොට ඒ ශ්‍රාවකයා තුළ සමාධි සම්බෝධි අංගය භාවනාව තුළ පරිපූර්ණත්වයට යනව. එතකොට ඒ සමාධිමත් වූ සිත දෙස ඉතා මැනවින් මැදිහත්ව බලනව. ඒ විදියට යම් කාලයක ශ්‍රාවකයා මනා ලෙස සිත දෙස මධ්‍යස්ථව බලනකොට ශ්‍රාවකයා ආරම්භ කරල තිබෙන්නෙ උපේක්ෂා සම්බොජ්ඣංගය. භික්ෂුව උපේක්ෂා සම්බෝධි අංගය වඩනකොට භික්ෂුව තුළ උපේක්ෂා සම්බොජ්ඣංගය වැඩීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනව.
ඊළඟට අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් සප්ත බොජ්ඣංගයත් වැඩුවාම බහුල වශයෙන් වඩනකොට ප්‍රතිඵල හතක් ලබාගන්න පුළුවන් බව දේශනා කරනව. ආනිසංශ හතක් ලබා ගන්න පුළුවන් කියල දේශනා කරනවා. ඒ තමයි මෙලොවදීම කලින්ම අරහත් තත්ත්වයට පත්වෙනව. එහෙම නැත්නම් මරණය කාලයෙහිදී රහත්භාවයට පත්වෙනව. එහෙම නැතිනම් ඕරම්භාගීය සංයෝජනයන් වන සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ ක්ෂය කරල අන්තර, පරිනිබ්බායී වෙනවා. එහෙම නැත්නම් පහක් වූ ඕරම්භාගීය සංයෝජනයත් ක්ෂය කරල උපහච්ච පරිනිබ්බායී වෙනව. එහෙම නැතිනම් ඒ ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කරල අසංඛාර පරිනිබ්බාධී වෙනව. එහෙම නැතිනම් ඒ සංයෝජන පහ නැති කරල සසංඛාර පරිනිබ්බාය වෙනව. එහෙම නැතිනම් පත් වූ ඕරම්භාගීය සංයෝජනයත් ක්ෂය කරල උද්ධංසෝත අනිට්ඨගාමී වෙනව. ඉතින් මේ ආකාරයෙන් සප්ත බෝධි අංග වැඩීමෙන් මේ ආනිසංස කැමැති විය යුතු බව අපේ තථාගතයන් වහන්සේ මේ සීල සූත්‍රයේදී දේශනා කරනව.
ඉතින් පින්වත් අප සැමත් බුදු කෙනෙකුගේ බුදු මුවින් භික්ෂූන් වහන්සේලා මූලිකකොට දේශනා කළ මේ දේශනය පිළිබඳව ඉගෙනගෙන යම් දිනයක මෙවැනි උදාර දියූණුවක් ඇති කර ගැනීමට අදිටන් කර ගනිමු. අපට ඒ භාග්‍යය සලසා ගැනීමේ වාසනාව උදාවේවා.




 පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 29 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment