දරුවා බුද්ධි සම්පන්න පුද්ගලයකු බවට පත්කිරීමයි වඩාත් වැදගත් වන්නේ. අනාගත ලෝකයට වැදගත්වන්නේ, රටේ තිබෙන සම්පත් ගිලගන්නා ශරීර වෙනුවට රටේ තිබෙන සම්පත් සංවේදීව පරිභෝගය කරන්නාවූ පිරිසක්. සංවේදී පාරිභෝගිකයෙක් අවශ්‍යයි. සංවේදී පාරිභෝගිකයා යනු සාමාන්‍ය පාරිභෝගිකයාට වඩා වෙනස් වූ පුද්ගලයෙක්. සාමාන්‍ය පාරිභෝගිකයා යනු අතෘප්තිකර ආශාවෙන් පාරිභෝජනයෙහි යෙදෙන්නා. සංවේදී පාරිභෝගිකයා යනු තමාද අනුන්ද දෙගොල්ලම පාරිභෝජනය කළ යුතු යැයි සිතන්නා
“පුත්ථා වත්ථු මනුස්සානං” කියන ප්‍රකාශය තථාගතයන් වහන්සේගේ වැදගත් ප්‍රකාශයක්. මිනිසුන්ට තිබෙන වටිනාම වස්තුව දරුවන්. වස්තුවක සාමාන්‍ය ස්වභාවය ආරක්‍ෂා කළ යුතු,වස්තුව නාස්ති නොකළයුතු සහ සංවර්ධනය කළ යුතු දෙයක්. දරුවන් ආරක්‍ෂා කළ යුතුසේම, සංවර්ධනය කළ යුතු යි. තථාගතයන් වහන්සේ “වස්තු” කියන වචනය පාවිච්චි කරන්නේ දරුවන් උදෙසායි. දරුවන් සංවර්ධනය කළ යුතු සහ දරුවන් ආරක්‍ෂා කළ යුතුයි කියන අවස්ථාවක් තුළ දෙමාපියන් සතු බරපතළ වගකීමක් තියෙනවා
දෙමාපියන් විශ්වාස කරනවා සහ දෙමාපියන්ගේ අදහසක් තියෙනවා දරුවා පාසලට යවාපුවහම පාසලටයි අයිති. දරුවා පන්සලට යවාපුවහම පන්සලටයි අයිති ආදි වශයෙන්. මෙම අදහස් දෙකම වැරැදියි. පාසලක එක පන්තියක අවම වශයෙන් දරුවන් හතළිහක් වත් (40) සිටිනවා. එම දරුවන් හතළිහම බලාගන්නෙ එක ගුරුවරියක් පමණයි. එක අම්ම කෙනෙකුට දරුවන් තුන් හතර දෙනයි බලා ගන්න ඉන්නේ. අම්ම කෙනෙක් සතු වගකීම විශාල බව පැහැදිලි කරුණක්. දරුවා පාසලේ ගත කරන කාලසීමාව අනුව ගුරුවරියට හෝ ගුරුවරයාට ළමයා මුණ ගැහෙන්නේ පැය හයක (6) කාල ප්‍රමාණයක්. දවසේ පැය විසිහතරෙන් හතරෙන් එකක් ද දවසේ පැය විසිහතරෙන් පැය දහ අටක්ම ළමයා රැඳෙන්නේ මව සහ පියා ළඟ.
ගුරුවරිය දරුවන්ට විෂය උගන්වන අතර වාරයේ තමයි මෙම සියලු වගකීම දරන්නෙ. නමුත් අම්මාට තියෙන්නේ දරුවන් ආරක්‍ෂා කිරීමයි. සංවර්ධනය කිරීමයි.අපේ රටේ සාමාන්‍ය ප්‍රවණතාවයක් තියෙනවා කුමන හෝ වැරැද්දක් සිදු වූ විට ගුරුවරුන්ට ගුරුවරියන්ට දෝෂාරෝපණය කිරීම. එය තමාගේ වගකීමෙන් බේරෙන්න කරන දෙයක් මිසක් සාධාරණ චෝදනාවක් නොවෙයි. දරුවන් කෙරෙහි වගකීම විශාල වශයෙන් දෙමාපියන් සතුයි. වර්තමාන සමාජයේ ක්‍රමානුකූලව දරුවන්ගේ පිරිහීමක් දක්නට ලැබෙනවා. ඇතැම් දරුවන් ඉතාම හොඳින් තමන්ගේ වැඩකටයුතු කරගෙන යනවා. ඉතිහාසය පුරාම දකින්න ලැබුණෙ එවැනි ප්‍රවණතාවයක්. සමස්තයක් වශයෙන් ලෝකයේ කිසිම ස්ථානයක යහපත්ම වූ සමාජයක් කවදාවත්ම නිර්මාණය වෙලා තිබුණෙ නැහැ. නමුත් වැඩිපුර යහපත් සමාජයක් නිර්මාණය වෙලා තිබුණා.
ඒකාලයේ හොඳ දරුවන් ගොඩයි නරක අය ටිකයි. අද වන විට අපචාරි දරුවන් වැඩියි, සහචාරි දරුවන් අඩුයි. එසේ වුවත් සුවච කීකරු යහපත් දරුවන් සමාජයේ ඉන්නවා. දරුවන් පිළිබඳ දෙමාපියන්ගේ ආකල්පය ක්‍රමානුකූලව වෙනස් වෙලා තියෙනවා. අතීතයේ දෙමාපියන්ගේ ආකල්පය වුනේ දරුවන්ගේ ඇස්දෙක පාදන්න ඕනෙ කියන හැගීම. ඊළඟට පැමිණි අලුත් සංකල්පය වුනේ “අම්මල දුක්ගන්නේ පුතුන් හදන්නයි. පුතුන් රජුන් කරන්නයි’ මෙම සංකල්පයට අනුව ළමුන් රජුන් කරන්න පටන් ගත්තා. සමස්තයක් වශයෙන්ම දරුවන් රජුන් කරන්න කරන වෑයමේදී දරුවන් පරම්පරාවක් හැටියට රජුන් කරන්න බැරුව ගියා. දරුවන්ගෙන් කොටසක් රජුන් වුනා. කොටසක් ඉන්න තැනිනුත් පහළට වැටුනා. දෙමාපියො වෑයම් කරන්නේ දරුවන් කිසියම් පිරිසක් අතර නායකයා කරන්නයි.
අසල්වාසි දරුවනට වඩා හොඳ දරුවෙක් තමාගේ ගෙදර නිර්මාණය කරගන්න උත්සාහ කරනවා මිසක් සමස්තයක් වශයෙන් රටට වටිනා දරුවෙක් නිර්මාණය කරන්න දෙමාපියො වෑයම් කළේ නැහැ. සමස්ත කුළකයේ යහපත බවට පත්කරනවාට වඩා සන්සන්දනාත්මක යහපතෙක් බවට පත්කරන්න තමයි උත්සාහ කළේ. දැක්මක් නැති පරම්පරාවක ස්වභාවය එයින් පෙන්නුම් කරනවා. තමන්ගේ දරුවා මඩගා ගන්නේද නැති, මජන් ගාගන්නේද නැති. විදුලි පංකාවක් සහිත කාර්යාල කාමරේක සේවය කරන කෙනෙක් සහ වැඩිපුර ආදායම් ලබාගන්නා කෙනෙක් බවට පත්කිරීම දෙමාපියන්ගේ අපේක්‍ෂාව වනවා. තමන්ගේ දරුවා ඉගෙන ගත්තෙ නැතිවූවාට කමක් නැහැ කියන ආකල්පයේ සමහර දෙමාපියන් ඉන්නවා. මේ තියෙනා දේවල් නඩත්තු කරගෙන හිටියාම, මදිද? අමුතුවෙන් දේවල් ඉගෙන ගන්න ඕනෙද? යන අදහස. දරුවා කීයක් හරි හම්බකරගෙන ජීවත්වීමට පුලුවන් ශරීරයක් නිර්මාණය කිරීම පමණයි ඇතැම් දෙමාපියන්ගේ බලාපොරොත්තුව. එය ඉතාම වැරදි ආකල්පයක් එවැනි ආකාරයකට බලුපැටියෙකුත් හදන්න පුළුවන්. බලුපැටියකුට තුන්වේලම කන්න තියෙනවා නම් ඉන්න තැනක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.
නමුත් බලුපැටියාය, දරුපැටියාය අතර තිබිය යුතු වෙනස එය නොවෙයි. දරුපැටියාව, බලුපැටියාට වඩා ලොකු වෙනසක් තිබිය යුතුයි. අම්මලා දරුවන් හදන්නේ බලු පැටියන් හදන ආකාරයට නම් ඔවුන්ගේත් බලාපොරොත්තු වෙන්න ඕනෙ බලු සමාජයක් පමණයි.එම සමාජය නිර්මාණය වෙන්නෙ මම අනෙක් අසල්වැසියාට වඩා හොඳීන් කාල බීල ඉන්න සමාජයක් නිර්මාණය කිරීමෙනි. ඔහුගෙන් රටට යමක් විය යුතුය. ඒ විය යුත්තේ කුමක්ද? යන්න දෙමාපියන් කල්පනා කළේ නැහැ. රටින් තමන්ට හම්බවෙන ප්‍රමාණය ගැන සිතමින් දරුවො හදන්නෙ. දරුවා දොස්තර කෙනෙක් කරන්න උත්සාහ කරන්නේ ලෙඩුන් සුවපත් කරන්න නොවෙයි. ගණකාධිකාරිවරයෙක් හදන්න උත්සාහ කරන්නේ ඔහුගේ වේතනය ගැන සිතමින් පමණයි. දරුවෙක් හොඳ ගොවියෙක් කරන්න, වෘත්තිකයෙක් කරන්න,හොඳ කර්මාන්තකරුවෙක් කරන්න, හොඳ නව නිපැයුම්කරුවෙක් කරන්න යන ආකාරයට දරුවෙක් නිර්මාණය කරන්න, උත්සාහ කළා නම් එවැනි දෙමාපියන් අතළොස්සක් පමණයි හිටියේ.
තම දරුවන් තැනුවේ රටේ තිබෙන්නාවූ මොනයම්ම සම්පතක් හෝ තම ගිණුමට බැර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් නම් එය දෙමාපියන්ගේ බලාපොරොත්තුවක් නොවිය යුතුය.කිසියම් ශිෂ්‍යයෙකුගේ හෝ පුද්ගලයකුගේ බලාපොරොත්තුව හැකි උපරිමයක් රටේ තිබෙන්නාවූ ධනය තමා නතුකරගැනීම නම් එය සත්භාවී සත්පුරුෂ පුරවැසියෙකුගේ පරමාර්ථය නොවිය යුතුයි. යමෙක් විශාල ධනස්කන්දයක් තිබෙන කෙනෙක් බවට පත්වීම පිළිබඳව ආඩම්බර වන්නේ නම් ඒකත් ඒතරම් වැදගත් කමක් නැහැ. කිසිම කෙනෙකුට සල්ලි හම්බ කරන්න බැහැ.ලෝකයේ සෑම කෙනෙක් ළඟම රුපියල් දාහ ගණනෙ තිබෙනවා යැයි සිතුවොත් ඉන් එක් අයෙක් කිසියම් උපක්‍රමයකින් හැම කෙනා ලඟම තිබෙන මුදල් වලින් රුපියල් සීය සීය තමන් සතු කරගතහොත් එම පුද්ගලයා මහා ධනපතියෙක් වෙනවා. එම පුද්ගලයා ළඟ තිබෙන්නේ අනෙක් අය ළඟ තිබුණු මුදල. “හම්බකරනවා” යනු නිෂ්පාදනයක් නොව වෙනත් කෙනෙක් සතුවූ දෙයක් උපක්‍රමයකින් තමන් සතු කර ගැනීමයි. උපක්‍රමයකින් අනුන් සතු දෙයක් තමා සතු කරගැනීම යනු එකී උපක්‍රමයට හසුවී තමා සතු දේවල් අන්සතු කරගත්තු විශාල පිරිසක් බිහිවෙන සමාජයක් නිර්මාණය වෙන්නෙ. එක ධනපතියෙක් නිර්මාණය වෙන කොට දුප්පතුන් විශාල ප්‍රමාණයක් බිහිවෙනවා. අවශ්‍යතා නිර්මාණය කරගන්නා සමාජයකුයි ධනපතියන් නිර්මාණය වෙන සමාජයකයි අතර වෙනස තථාගතයන් වහන්සේ දැක්කා. හැම කෙනෙකුටම පුළුවන් උපක්‍රමශීලිව අනෙකා සතු ධනය තමා සතු කරගැනීම පමණයි. දරුවන් තනන්නේ එළෙස නම් දරුවන් වස්තුන් හැටියට නොවෙයි පාවිච්චි වෙලා තියෙන්නෙ. “පුත්තා වත්ථූ මනුස්සානං” යන කියමන නොවෙයි දරුවා අනෙකාගේ මුදල් තමා ළඟට ඇද ගැනීමේ යන්ත්‍රයක් පමණයි. එහෙම අවස්ථාවක දරුවන් පිළිබඳව හෝ දරුවන්ගේ ස්වභාවය පිළිබඳව කතා කරන්න බැහැ.
දරුවා බුද්ධි සම්පන්න පුද්ගලයකු බවට පත්කිරීමයි වඩාත් වැදගත් වන්නේ. අනාගත ලෝකයට වැදගත්වන්නේ, රටේ තිබෙන සම්පත් ගිලගන්නා ශරීර වෙනුවට රටේ තිබෙන සම්පත් සංවේදීව පරිභෝගය කරන්නාවූ පිරිසක්. සංවේදී පාරිභෝගිකයෙක් අවශ්‍යයි. සංවේදී පාරිභෝගිකයා යනු සාමාන්‍ය පාරිභෝගිකයාට වඩා වෙනස් වූ පුද්ගලයෙක්. සාමාන්‍ය පාරිභෝගිකයා යනු අතෘප්තිකර ආශාවෙන් පාරිභෝජනයෙහි යෙදෙන්නා .සංවේදී පාරිභෝගිකයා යනු තමාද අනුන්ද දෙගොල්ලම පාරිභෝජනය කළ යුතු යැයි සිතන්නා. සිංහල ඉතිහාසයේ සංවේදී පාරිභෝගිකයා යන සංකල්පය තිබුණත් වර්තමාන පාරිභෝජනවාදී ආර්ථීකයේ එහෙම එකක් නැහැ. ඈත බැද්දේ ගම්මානවල ගොවිතැන් බත් කරන මිනිසුන් ඔවුන්ගේ අස්වද්දන ලද කුඹුරු යායම නොකපන සිරිතක් තිබුණා. “කුරුළු පාලුව“ නමින් එක කොටසක් කුරුල්ලන්ට ඉතිරිකලා. එය සංවේදී පාරිභෝගිකයාගේ ස්වභාවය. තමාද අනෙකාද පරිභෝග කළ යුතු යැයි යන හැඟීම. අතීතයේ මිරිදිය කර්මාන්තයේදී කෙමනක් ගහල මාළු අල්ලනවා. ඒ කෙමනෙදි පොඩි මාළු ඉවත්වෙලා ගිහින් ලොකුමාළු පමණක් ඉතිරි වෙනවා. දරුවන් තනන්නාවූ දෙමාපියන් දරුවන් තැනිය යුත්තේ සංවේදී පාරිභෝගී මනසක් තිබෙන නිෂ්පාදන හැකියාවක් සහ නිෂ්පාදන වුවමනාවක් තියෙන රට පෙරට ගෙනයන්නාවූ දරු පිරිසක් මිසක් හැකි උපරිමයෙන් අතෘප්තිකර පාරිභෝජනයෙහි යෙදෙන පාරිභෝගිකයන් පිරිසක් නිර්මාණය කිරීම නොවෙයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ
මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක්
වූ අගෝස්තු 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment