Labels

Sunday, August 30, 2015

විශ්වයේ සම්භවය හා පරිණාමය විස්තාරිත අග්ගඤ්ඤ සූත්‍රය


බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කරන්නේ මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වෙසෙන සමයෙකය. (දීඝ නිකායේ පාථික වග්ගයේ සිව්වැනි සූත්‍ර දේශනාවයි.) වාසෙට්ඨ භාරද්වාජ යන බමුණු කුලයෙහි පැවිදි පඬිවරුන් දෙදෙනා නිමිති කරගෙන මෙම සූත්‍රය දේශනාකොට ඇත. බුදුරජාණන් වහන්සේ සවස් යාමයෙහි ඵල සමවතින් නැඟී සිටියේ, එළිමහනෙහි සක්මන් කරමින් වැඩ සිටි සේක. උන්වහන්සේ අනුව වාසෙට්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනම ද සක්මන් කළහ.

එකල්හි බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනමගෙන් මෙසේ ප්‍රශ්න කරති

“තෙපි වූ කලි බ්‍රාහ්මණ ජාතික වූ බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ බ්‍රාහ්මණයන් හැර ගිහිගෙයින් නික්ම සසුන් වන්නෝ වෙහු. තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රොශ නො කරත් ද? පරිභව නො කරත් ද? “

එවිට වාශිෂ්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනම ප්‍රකාශ කොට සිටින්නේ අපරිපූර්ණ නොවු පරිපූර්ණ වූ තමනට හුරු පුරුදු වචනයෙන් ආක්‍රෝශ පරිභව කරන බවත් ය.
“ස්වාමීනි, බමුණෝ මෙසේ ප්‍රකාශ කරත්, බ්‍රාහ්මණ වංශයම ශ්‍රේෂ්ඨය. ශුක්ල වර්ණය ශුද්ධවේ. අනික් වරණයෝ එසේ නොවෙති. බ්‍රාහ්මණයෝම බඹහුගේ මුවින් බිහි වූ, බඹුහුගෙන් උපන්, බඹහු විසින් මවන ලද බඹහුගේ ඖරස පුත්‍රයෝය. මෙවැනි ශ්‍රේෂ්ඨ වර්ණයක් අතහැර ඔබලා හීණ වර්ණයකට ගියහ” යනුවෙන් ඔවුහු ප්‍රකාශ කරති.

“තෙ තුම්හෙ සෙට්ඨං වණ්ණං හිත්වා - හීනමත්ථු වණ්ණං අජ්ඣුපගතා”
බුදුරජාණන් වහන්සේ දේශනාකොට සිටින්නේ, බමුණන් එසේ ප්‍රකාශ කරන්නේ පුරාණ කථාව
නොදන්නාකම නිසා බවයි.

“ තග්ඝ වො වාසෙට්ඨො බ්‍රාහ්මණා පොරාණං අසරන්තා එවමාහංසු”

“ වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණ ,ක්‍ෂත්‍රීය,වෛශ්‍යය , ශුද්‍ර යැයි කුල හතරකි. මෙම කුල හතරේම පිරිස වැරැදි වැඩ කරති. ඒවා කෙසේද යත් ප්‍රාණඝාතය සිදු කිරීම, නොදුන්දේ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, පෙහෙසුන් තෙපලීම, පරොස් බස් කීම, සම්ඵප්‍රලාප කීම, අභිධ්‍යා බහුල වීම, සහ ව්‍යාපාදයට පත්වීමයි.
තවද මෙසේ කුශල යැයි කියන ලද කුසල්ම වු, වරද රහිත වු , වරද රහිත යැයි කියන ලද සෙවිය යුතු යැයි කියන ලද සේවනය වූ, ආර්යභාවට පත් වූ බ්‍රාහ්මණ,ක්‍ෂත්‍රීය වෛශ්‍ය, ශුද්‍ර, වංශිකයෝ ද ඇත්තාහ. ඔවුහු නුවණැත්තන් විසින් පසස්නා ලද යහපත් ධර්මයෙහි ඇතැමුන් පිහිටුවති.
මේ සතර වර්ණයෙන් ඇතැමෙක් රහත් ද, ක්‍ෂීණාශ්‍රවද බඹසර ඇත්තේද කොට නිමි කටයුතු ඇත්තේ ද, පැමිණි ස්වාර්ථය රහත් බව ඇත්තේද, හැම ලෙසින් නැසූ භව බන්ධන ඇත්තේද, මොනවට දැන මිදුණේද, හෙතෙම හැම දෙනා අතුරෙන් අග්‍රයැයි කියනු ලැබේ. මක්නිසාද ? ඔහු අග්‍රවන්නේ ඒ අධර්මයෙන් නොව ධර්මයෙන්ය.”

ධම්මෙනෙව නො අධම්මෙන ධම්මොහි වාසෙට්ඨො සෙට්ඨො ජනෙතස්මිං දිට්ඨෙ මෙව ධම්මෙ අභිසම්පරායෙච”

වාශිෂ්ඨයෙනි, ධර්මයම මෙලොව පරලොව ද ශ්‍රේෂ්ඨය.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව දෙලොවම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයම බව තහවුරු කරදීම සඳහා තවත් කරුණු ගෙන හැර දක්වන සේක.
එනම් පසේනදී කොසොල් රජතුමාය, ශාක්‍ය වංශිකයෝ එතුමාට ගෞරව දක්වති. බුහුමන් දක්වති. කළමනාසැලකිලි දක්වති. තවද එතුමා කෙරෙහි ආදරය දැක්වීම, වැඳීම, දැක නැඟී සිටීම, ඇඳිලිබැඳීම, වත් දැක්වීමද කරති. එතුමා මේ සියල්ල ශාක්‍යවංශිකයකු වූ මාහට ද දක්වයි. එතුමා එසේ සිදුකරන්නේ ‘ශ්‍රමණ භවත් ගෞතමයන් බලවත්ය. මම බලවත් නොවේ”ආදි වශයෙන් සිතමින් නොවේ. එතුමා එසේ සිදුකරන්නේ ධර්මයටමය.

අථ ඛො තං ධම්මං යෙව සක්කරන්තො ධම්මං ගරුකරන්තො ධම්මං මානෙන්තො ධම්මං පූජෙන්තෝ ධම්මං අපචායමානෝ...”

ධර්මයටම සත්කාර කරනුයේ, ධර්මයට ගෞරව කරනුයේ, ධර්මයට බුහුමන් කරනුයේ, ධර්මයට පුදනුයේ, ධර්මයට යටත් පැවැතුම් දක්වනුයේ වෙයි.
තවද අග්ගඤ්ඤ සූත්‍රයෙහි, බ්‍රාහ්මණමතය ඛණ්ඩනය කරීම පිණිස බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
“වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලි නානා ජාතියට අයත්වන්නා වු නානා ගෝත්‍රයට අයත්වන්නා වූ, නානා කුලයට අයත්වන්නා වූ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වූහ. තෙපි කවුරුදැයි විචාළ කල්හි මෙසේ පිළිතුරු දිය යුතුය”

“සමණා සක්‍යපුත්තියම්හාති පටිජානාථ”

අපි ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ පුත්‍රයෝ වෙමු. උන්වහන්සේ කෙරෙහි පවත්නාවූ මුල්බැසගත් ශ්‍රද්ධාව දෙවියකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයකුට හෝ ලොවේ කිසිම පුද්ගලයකුට නොසෙල්විය හැකිය. මක්නිසාද? උන්වහන්සේ ධර්මකාය, බ්‍රහ්මකාය, ධර්මභූත , බ්‍රහ්මභූ®ත ආදී නාමයන්ගෙන් හඳුන්වන නිසාය.
ඉන්පසුව බුදුරජාණන් වහන්සේ ලෝකාරම්භ හා ලෝක විනාශ කථාව දේශනා කිරීමට අවශ්‍ය මූලාශ්‍ර මෙසේ ඉදිරිපත් කරති.
“වාශිෂ්ඨයෙනි, කිසියම් කාලයක මේ ලෝකය විනාශයට පත්වේ. එසේ විනාශ වන විට සත්වයෝ ආභස්සර බ්‍රහ්මලෝකයේ උපදිති. ඔවුහු එහි උපදින්නේ ධ්‍යානචිත්ත බලයෙනි. පී‍්‍රතිය ආහාරකොට, තම සිරුරේ ආලෝකයෙන් ආලෝකය ලබාගෙන අහසින් ගමන් කරමින්, සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පෙරවාගෙන බොහෝ කාලයක් ජීවත්වෙති. දිගු කලක්, ඇවෑමෙන් ලෝකය ආරම්භ වේ. ආභස්සර බ්‍රහ්මලෝකයෙන් බමුණන් අවුත් මිනිස් ලොව උපදියි .“

1.රසපඨවිපාතුභාවො

ආභස්සර බ්‍රහ්මලෝකයෙන් පැමිණි බමුණන්, මිනිස් වෙසින් මනුලොව පහළ වූවාට පසුව රස පොළොව ලෝකයේ පහළ විය. රස පොළොවෙහි ස්වභාව මෙසේය.
“වාශිෂ්ඨයෙනි, ඉක්බිති යම්සේ නිවෙන්නා වු හුණූ කිරි මත්තෙහි යොදයක්වේද එසේ වර්ණ සම්පන්නය. ගන්ධ සම්පන්නය.”
තවද ලෝකයේ විවෘත වූ සමයෙහි සියලුම සක්වළ එකම දිය කඳක් බවත් ඒ සියලුම දිය කඳ මත්තෙහි රස පොළොව ප්‍රචාරය වී තිබුණූ බවත් සූත්‍රයෙහි සඳහන් වේ. මේ වන විට සඳ හිරු දෙදෙනා, නැකත් තරු, රෑ දාවල්, මාස පක්‍ෂයෝ,ඍතු සංවත්සරයෝ, ස්ත්‍රී පුරුෂ පහළ නොවූහ.
එක්තරා ලෝලි ස්වභාව ඇති පුද්ගලයකු හට රස පොළොවට තෘෂ්ණාව ඇතිවිය. රස පොළොවට ඇඟිල්ල දමා දිව මත තැබුවේ, ආශාව ඇති විය. ලෝකයේ වෙනස්වීම් එමඟින් ආරම්භ වු බව අග්ගඤ්ඤ සූත්‍රයෙහි විස්තර වේ.
ඉන්පසුව ඒ ආකාරයටම අනිකුත් සියලුම සත්හු රස පොළොව ඇඟිල්ලෙන් ඇන අනුභව කරන්නට වූහ. සියලුම දෙනාට තෘෂ්ණාව ඇතිවිය. පී‍්‍රතිය ආහාර කොට ජීවත් වූ මොවුන්ගේ ස්වයං ප්‍රභාස්වරය අතුරුදන් විය. ක්‍රම ක්‍රමයෙන් රස පොළොව කොටස් කොට ගෙන අනුභව කරන්නට වූහ. ඔවුන්ගේ ස්වයං ප්‍රභාස්වරය අතුරුදන් වූ කල්හි,

චන්ද්‍රිමසූරියා පාතුරහෙසුං, චන්දිමසූරියෙසු පාතුභුතෙසු නක්ඛත්තානි තාරකරූපානි පාතුරහෙසුං. රත්තින්දිවා පඤ්ඤයිංසු. මාස්ධමාසෙසු පඤ්ඤයමානෙසු උතුසංවච්ඡරා පඤ්ඤයිංසු.”

පී‍්‍රතිය වෙනුවට රස පොළොව අනුභව කිරීමත් , එය කොටස්කර, ගැනීම නිසාත් ස්වයං ප්‍රභාස්වරය අතුරුදන් වීමෙන් පසුව හිරු සඳු, නැකත් තරූ, රාත්‍රී දවල්, මාස, ඍතු ආදිය ලෝකයේ පහළ විය.
ක්‍රම ක්‍රමයෙන් රස පොළොව අනුභව කිරීම නිසා ඔවුන්ගේ සිරුරු රළු බවට පත්විය. නොපැහැපත් විය. ඔවුන් අතුරෙන් ඇතැමෙක් පැහැපත් වූ අතර ඇතැමෙක් අවලස්සන වූහ. මෙසේ සත්වයන්ගේ සිතෙහි මානය හෙවත් මානාති මානය ඇතිවීම හේතුවෙන් රස පොළොව අතුරුදන් විය.

“තේසං වණ්ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං රස පඨවී අන්තරාධායී”

රස පොළොව අතුරුදන් වීමෙන් අනතුරුව ඔවුහු එක්රැස් වූහ. එක්රැස්ව ‘අහෝ පෘථිවි රසය, අහෝ පෘථිවි රසය, යැයි පුන පුනා කීහ..අදද මිනිස්සු මනාප රසයක් ලැබ අතුරුදන් වූ කල්හි අහෝ රසය,අහෝ රසයැයි මෙසේ කියත්. ඒ පැරැණි ලෝකෝත්පත්ති කථාව අනුව යෑම බවත් එහි අරුත ඔවුන් නොදන්නා බවත් දේශනා කළ සේක.

“තදෙව පොරානං අග්ගඤ්ඤං අක්ඛරං අනුසරන්ති නෙත්වස්ස අත්‍ථං අජානන්ති”
 
2.භූමිපප්පටකපාතුභාවො
 
රස පොළොව අතුරුදන් වීමෙන් අනතුරුව භූමිපප්පටකය (බිම් පප්පඩම්) පහළ විය. යම්සේ නාහතු පහළ වන්නේද ඒ ආකාරයෙන් මෙය පහළ වේ. තවද මෙය පැහැපත්ය. සුවඳවත්ය. රසවත්ය.

”සෙය්‍යථාපි නාම ඛුද්දමධු අනෙළකං එවමස්සාදො අහොසි”
 
භුමිපප්පටකය පිළවුන් නැති මීවදයක් වැනිය. පිරිසුදු මීවදයක යම් රසයක් ඇද්ද මෙය ඒ රසයෙන් යුක්තය.
ඉන්පසුව සත්හු භූමිපප්පටකය වළඳන්නට වූහ. මෙසේ භූමිපප්පටකය ආහාරයට ගත් සත්වයන්ගේ ශරීරය, ක්‍රම ක්‍රමයෙන් රළු විය. පැහැය අඩු විය. ඔවුනට මෙබඳු සිතුවිලි පහළ විය. මොහු මට වඩා ලස්සනය. මම මොහුට වඩා ලස්සනය ආදි වශයෙනි. එම සිතුවිලි නිසාවෙන් භූමිපප්පටකය ද අතුරුදන් විය.
තෙසං වණ්ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං භූමිපප්පටකො අන්තරධායි”

3.බදාලතාපාතුභාවො
 
භූමිපප්පටකය අතුරුදන් වු කල්හි බදාලතාව පහළ විය. විල්පලා යම් සේද බදාලතාවද එබඳුය. මෙය රසවත්ය. පැහැපත්ය. සුවඳවත්ය. පිරිසුදු මීවදයක් මෙන් රසවත්ය. සත්වයෝ බදාලතාව අනුභව කරන්නට වූහ. ඉතා දිගු කලක් බදාලතාව අනුභව කිරීම නිසා ඔවුන්ගේ ශරීරය ඉතා රළු තත්ත්වයට පත්විය. මානාතිමානය නිසා බදාලතාවද අතුරුදන් විය.
තෙසං වණ්ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං බදාලතා අන්තරාධායි”
ඉන්පසුව ඔවුහු රැස්වූහ. “පෙර අපිට මෙසේ තිබුණි. දැන් අපිට නැත” යනුවෙන් සිහිපත් කළහ. අද ද සත්වයෝ පුරාණ කතාව මෙබඳු අවස්ථාවක සිහිපත් කරති.
“අහු වත නො, අහායි වත නො’ති . තදෙව පොරාණං අග්ගඤ්ඤං අක්ඛරං අනුසරන්ති, නෙත්වවස්ස අත්‍ථං අජානන්ති”.

4.අකට්ඨපාකසාලිපාතුභාවො

බදාලතාව අතුරුදන් වීමෙන් අනතුරුව සහල් විශේෂයක් පහළ විය. එහි ස්වභාවය මෙසේය.
“අකණො අථුසො සුද්ධො සුගන්ධො තණ්ඩුලඵලො”

නොසෑ පොළොවෙහි හටගෙන පැසෙන, කුඩු නැති, දහයියා, නැති, සුවඳවත් සහල් විශේෂයෙකි. එකල්හි ඒ සත්වයෝ නොසාන ලද බිමෙහි හටගෙන පැසුණු, හැල්සහල් පරිභෝග කරන්නේ, එයම වළඳන්නේ එයම ආහාර කොට ගන්නේ ඉතා බොහෝ කාලයක් එසේ ජීවත් වූහ.

5. ලිඞ්ගපාතුභාවො

මෙසේ නොසෑ පොළොවෙහි හටගෙන පැසෙන, කුඩු නැති දහය්යා නැති, සුවඳවත් සහල් අනුභව කරන විට ඔවුන්ගේ ශරීර වඩ වඩාත් රළුවිය. අපැහැපත් විය. ස්ත්‍රියට ස්ත්‍රීලිංගය ද පුරුෂයාට පුරුෂ ලිංගයද පහළ විය.
“තෙසං අතිවෙලං අඤ්ඤමඤ්ඤ උපනිජ්ඣායතං සාරාගො උදපාදි, පරිළාහො කායස්මිං ඔක්කමි. තෙ පරිළාහපච්චයා මෙථුන ධම්මං පටිසෙවිංසු”
ඔවුන් එකිනෙකා දිහා බොහෝ වේලාවක් බලා සිටීම නිසා සරාගය පහළ විය. රාගපරිදාහය ශරීරයෙහි හටගත් අතර එම නිසාම මෙවුන්දම්හි හැසිරුණේය. මෙය දකින සත්වයන් ‘වසලිය, නැසෙව, වැනසෙව, කෙසේ නම් මෙසේ හැසිරෙන්නේදැ’යි කියා පස් දමා ගසත්. අළු දමා ගසත්, ගොම දමා ගසත්, අදද මෙය සත්වයන් සිදුකරන්නේ පුරාණ වංශයට අනුවය.

6. මෙථුනධම්මසමාචාරො

මෙකල, අසම්මතය සම්මත විය. අධර්මය ධර්මය විය. මෙකල සත්වයන්,මෙවුන්දම් සේවනය කරනුයේ, තුන් මසකින් දෙමසකින් ගමකට හෝ නියම්ගමකට පිවිසෙන්නට නොහැකි විය. එසේ හෙයින් බොහෝ වේලාවක් මෙවුන්දම් සේවනය කිරීම පිණිසත් ,අසද්ධර්මය වසාලනු පිණිසත් ගෙවල් කරන්නට වූහ.
“අථ ඛො අගාරානි උපක්කමිං සුකාතුං, තස්සෙව අසද්ධම්මස්ස පටිච්ඡාදනත්‍ථං”
ඉක්බිති එක්තරා අලස පුද්ගලයකුට මෙබඳු චේතනාවක් පහළ විය. උදේ භොජුන් සඳහා උදෑසනද හවස භොජුන් සඳහා හවස ද හැල් ගෙන ඒම දුෂ්කරය. දෙවේලටම එකවර හැල්ගෙන එමි. ඉන්පසුව දවසට, දවස් දෙකකට ප්‍රමාණවත් පරිදි හැල්ගෙන ආවේය. ඔහුගේ එම ක්‍රියාකලාපය අනෙකුත් සත්වයෝද අනුගමනය කළහ. ඉන්පසුව සතර දිනකටද අටදවසකටද සහල් ගෙනාවේය. ඉන්පසුව කුඩුවලින්ද දහය්යාවලින්ද අපිරිසුදුකමින් ද සහල් වසාගති.

7. සාලිවිභාගො
 
ඉන්පසුව ඔවුහු එකිනෙකා රැස්ව අතීතයෙහි සිදු වූ සියල්ල සාකච්ඡා කළහ. ඔවුන්ගේ ආශාව, මානය, නිසා සියල්ල අතුරුදන් වීමත්, ලෝකය ප්‍රභවය ඇති වූ අයුරුත් මෙම කොටසේ දී සාකච්ඡා කොට ඇත.
අවසානයේදී සහල් කොටස් වශයෙන් බෙදාගත්හ. ඉන්පසුව එක්තරා ලොල් මිනිසෙක් තමාගේ කොටස ආරක්‍ෂා කරනුයේ, අනෙකකුගේ කොටස නොදන්වා පරිභෝජනය කළේය. දෙවනුවද තෙවනුවද, හෙතෙම එම ක්‍රියාව සිදුකළේය. ඉන්පසුව ලෝකයේ නොදුන්දෙය ගැනීම, බොරුකීම, දණ්ඩදානය පහළවිය.
“අඤ්ඤෙ පාණිනා පහරිංසු. අඤ්ඤෙ ලෙඩ්ඩුනා පහරිංසු.අඤ්ඤෙ දණ්ඩෙන පහරිංසු. තදග්ගෙ ඛො පන වාසෙට්ඨ අදින්නාදානං පඤ්ඤයති,ගරහා පඤ්ඤයති, මුසාවාදො පඤ්ඤයති,දණ්ඩදානං පඤ්ඤායති.”

8. මහාසම්මතරාජා

මෙම පාපකාරි, ලාමක අකුසල් චේතනා පහළ වීමෙන් අනතුරුව සත්වයන් සාකච්ඡා කළේ ගැරහිය යුත්තාට ගැරහීම පිණිසත්, නෙරපිය යුත්තා නෙරපීම සඳහාත්, දොස් නැඟිය යුත්තාට දොස් නැඟීම සඳහාත්, එක් සත්වයෙකු සම්මත කළ යුතු බවයි. වඩා රූපසම්පන්න වඩා දැකුම්කළු , වඩා සිතපහදවන සුළු, මනා තේජසක් ඇති සත්වයෙකු මහාසම්මත රජකු ලෙස පත්කර ගත්හ. මහජනයා විසින් සම්මත කරගනු ලැබූ බැවින් ඔහු ‘ මහාසම්මත’ විය.
ඉන්පසුව කෙතට අධිපතියා ක්‍ෂත්‍රීය යනුවෙන් “ඛෙත්තානං අධිපතීති ඛො වාසෙට්ඨො ඛත්තියො” දෙවැනි ව්‍යවහාරයද, ධාර්මිකව සත්වයා පාලනය කරන බැවින් රාජ ව්‍යවහාරයද “ධම්මෙන පරෙ රඤ්ජෙතීති ඛො වාසෙට්ඨ රාජං “ ලොව පහළ විය. මෙසේ ක්‍ෂත්‍රීය මණ්ඩලයේ ආරම්භය සිදුවිය. එයද සිදුවූයේ ධර්මයෙන්ම ය, අධර්මයෙන් නොවේ.

9. බ්‍රාහ්මණමණ්ඩලං

ලාමක වූ අකුශල ධර්මයන් බැහැර කරන පුද්ගලයෝ බ්‍රාහ්මණයෝ නම් වූහ.
“පාපකෙ අකුසලෙ ධම්මෙ බාහෙන්තීති ඛො වාසෙට්ඨො බ්‍රාහ්මණා බ්‍රාහ්මණා ‘ත්වෙව පඨමං අක්ඛරං උපනිබ්බිත්තං” ඔවුහු අහර ලැබගෙන පෙරළා ගොස් වන පෙදෙස්හි පන්සල්හි ධ්‍යාන කෙරෙත්. ධ්‍යාකයෝය, ධ්‍යාකයෝයි දෙවැනි නම් ඔවුනට ඇති විය. ඔවුහු ධ්‍යාන නොකරන බැවින් මොවුහු අධ්‍යායකයෝ යැයි තෙවැනි ව්‍යවහාරය ඇති විය.


10. වෙස්සමණ්ඩලං

මෛථූන ධර්ම ආදිය සේවනය කොට ගවපාලනාදී රැකියා කළ අය වෛශ්‍ය නම් වූහ.

11. සුද්දමණ්ඩලං

රෞද්‍රාචාර, ක්‍ෂුද්‍රාචාර ඇත්තෝ වූහ. ක්‍ෂුද්‍රාචාර හැසිරීම් ඇති අය සුද්දමණ්ඩල හෙවත් ශුද්‍රයෝ නම් වූහ.
මෙම සතර මණ්ඩලය ගිහි ගෙයින් නික්ම පැවිදි බිමට පත්වන්නේද එයින් ශ්‍රමණ මණ්ඩලයාගේ ආරම්භය විය. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර , ශ්‍රමණ මණ්ඩලයන්ගේ ආරම්භය සිදුවන්නේ ධර්මයෙන්ය. අධර්මයෙන් නොවේ. සමානයන් අතරය .අසමානයන් අතර නොවේ.

12. දුච්චරිතාදිකථා
 
ක්‍ෂෙත්‍රීයා ද බ්‍රාහ්මණයා ද, වෛශ්‍යයාද, ශුද්‍රයා ද, ශ්‍රමණයා ද, සිත කය වචනය යන තුන් දොරින් දුශ්චරිතකොට , සැප නැති, දුකට තැන්වූ නිරයට පැමිණෙති. මොවුන්ද කුසල් කොට ස්වර්ග ලොවට පැමිණෙති. අකුසල් කුසල් දෙකම කොට නිරයේ ද ස්වර්ගයේ ද උපදිති.

13. බොධියපක්‍ඛිය භාවනා 
 
ක්‍ෂත්‍රියා ද සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් වඩා රහත් භාවයට පත්වෙයි. සතර වර්ණයෙන් කවරෙක් නමුදු, අරහං (අරහත් වූ) ඛීණාසවො (නැසූ ආශ්‍රව ඇති) වුසිතවා (වැස අවසන් කළ බඹසර ඇත්තේ)කතකරණීයො (කරන ලද කටයුතු ඇත්තේ) ඔහිතභාරො (බහා තැබුබර ඇත්තේ) ආදි වශයෙන් කෙලෙසුන්ගෙන් මිදුණු මහණෙක් වේද හෙතෙම හැමදෙනා අතුරෙන් අග්‍රවේ. සනන් කුමාර බ්‍රාහ්මණ පුත්‍රයා මෙසේ ප්‍රකාශ කළේය.

ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං
යෙ ගොත්තපටිසාරිනො
විජ්ජාචරණසම්පන්නො
සො සෙට්ඨො දෙවමානුසෙ’ති 

 

යම් කෙනෙක් ගෝත්‍රය සිහිකරන්නේ වේ ද ඒ ඒ ජනයා අතුරෙන් ක්‍ෂත්‍රීයය ශ්‍රේෂ්ඨ වන්නේද විජ්ජාචරණ ධර්මයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වන සේක. බුදුරදුන් ද ඉහත ගාථාව අනුදැන වදාළ සේක. උන්වහන්සේ ද එම ගාථාව ඒ ආකාරයෙන්ම සූත්‍රයේ දේශනා කොට ඇත.


 කො/ශ්‍රී ධර්මරක්‍ෂිත ත්‍රිපිටක ධර්මායතන
පිරිවෙනේ ආචාර්ය
බම්බලපිටිය මෙත්තාරාම වාසී
සිටිනාමළුවේ පඤ්ඤාවංස හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ජනවාරි 24 වන සිකුරාදා දින හා දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජනවාරි 30 වන බ්‍රහස්පතින්දා දිනයන්හි බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපි දෙකකි

No comments:

Post a Comment